මාදුළුවාවේ නාහිමි ජනතා මෙහෙවර මතකාවර්ජනය ‘සඟවිරු සෝභිත නාහිමිගම’

 ඡායාරූපය:

මාදුළුවාවේ නාහිමි ජනතා මෙහෙවර මතකාවර්ජනය ‘සඟවිරු සෝභිත නාහිමිගම’

මාදුළුවාව, කොළඹ දිසාවේ පාදුක්ක පරජන දේශයේ ඉපැරණි ගම් පෙදෙසකි. ඓතිහාසික හොරගල විහාරස්ථානය ඇසුරෙහි මහා දොළක් පැවති බවත් එය එදා මහදොළ වැව ලෙසින් හැඳින්වූ බවත් පසුව එය ජන වහරට එක්ව මාදුළුවාව ලෙසින් නම් වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

ඉපැරණි මාදුළුවාව ගම්මානය පිළිබඳ මෙවන් වූ ඓතිහාසික කථිකාවක් පැවතියද මෑත කාලීන ජන සමාජයේ මාදුළුවාව ගම ප්‍රචලිත වූයේ මාදුළුවාවේ සෝභිත නාහිමි නාමයෙනි. කෝට්ටේ නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්, සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම උදෙසා බිහිවූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘවරයාණන් වශයෙන් සමාජ සංවර්ධන ක්‍රියාවලියේ පුරෝගාමීව කටයුතු කළ අතර උන් වහන්සේ විසින් එදා ගනුලැබූ අභීත පියවරේ ප්‍රතිඵලයක් ලෙස 2015 වසර සමාරම්භයේදී රට තුළ වඩාත් යහපත් වූ රාජ්‍යය පාලන සමයක් උදාවිය. සාම්ප්‍රදායික භික්ෂු සමාජ ක්‍රියාදාමයෙන් ඔබ්බට යමින් සමාජ සාධාරණය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි සෝභිත නාහිමියන්, නිවැරදි දේ වෙනුවෙන් පෙනි සිටි අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ක්‍රියාකාරීත්වය සෝභිත නාහිමියන්ගේ ඒකායන අපේක්ෂාව විය.

සෝභිත නාහිමියන් විසින් සිදුකරන ලද මෙම ජාතික මෙහෙවර අගය කිරීම වස් මාදුළුවාව සෝභිත නාහිමියන්ගේ ජන්ම භූමිය වූ ඉපැරණි මාදුළුවාව ගම්මානය නිවාස අපේක්ෂිත දරුපවුල් සමූහයක් වෙනුවෙන් නිර්මාණය වූ නව ආදර්ශ ගම්මානය, ‘සඟවිරු සෝභිත නාහිමිගම’ නමින් නම්කොට නිවාසලාභීන්ගේ අයිතියට පත්කිරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ විශේෂිත සහභාගිත්වයෙන් නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (පෙබරවාරි මස 11) දින උත්සවාකාරයෙන් සිදුකරනු ලබයි. හැත්තෑව දශකයේ සිට මෙරට සිදු වූ දේශපාලනික හා සමාජ අරගලයන්හි පෙරමුණගත් සෝභිත නාහිමියන් 2015 වසරේ ශ්‍රී ලාංකික ජනසමාජය යහපත් ප්‍රජාතාන්ත්‍රික සමාජයක් නිර්මාණය කිරිමේ මහා ක්‍රියාදාමයේ පුරෝගාමියකු විය. වයස අවුරුදු 73ක් ආයු වැළඳූ මහ නාහිමියන් 2015 වසරේ නොවැම්බර් මස 06 දින අපවත්වී වදාළහ.

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන තුළින් උදා වූ නව ආදර්ශ ගම්මාන රැසක් ශ්‍රී ලාංකික ජන සමාජයේ විවිධ කීර්තිධර පුද්ගලයින් නමින් නම්කිරිම එදා උදාගම් ව්‍යාපාරය තුළත්, අද සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ තුළත් දැකිය හැකි සුවිශේෂී ගුණාංගයකි. එම කාර්යදාමය නොවෙනස්ව ඉදිරියට ගෙනයමින් සජිත් ප්‍රේමදාස මහතා ලබාදුන් උපදෙස් පරිදි මාදුළුවාවේ නාහිමියන් ජන්ම ලාභය ලැබූ ඉපැරණි මාදුළුවාව ගම්මානය අංගසම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙසින් උදාවී ‘සඟවිරු සෝභිත නාහිමිගම’ නමින් නම් විය. සාමාජීය නිදහස වඩාත් අර්ථගන්වන්නේ, සමාජය ශක්තිමත් කරන්නා වූ පවුල් ඒකකය සතු සැබෑ නිදහස තුළිනි. පවුලේ සාමාජිකයින්ගේ සැබෑ නිදහස උදාවූයේ තමන් ජීවත්වන්නා වූ නිවහන තුළිනි. පවුලේ සියලු සාමාජිකයන්ගේ අවශ්‍යතාවයට අනුකූලව නිර්මාණය වූ නිවස තුළ ඔවුන් අපේක්ෂා කරන නිදහස තිරසාර වේ. අසූව දශකයේ ක්‍රියාත්මක කෙරුණු උදාගම් ව්‍යාපාරය එහි ආරම්භක අවස්ථාවේදීම අවධානය යොමුකරනු ලැබුවේ නිවාකරණය තුළින් එහි ජීවත්වන පවුලේ සාමාජිකයන්ට නිදහස් දිවිපෙවෙතක් ළඟා කරලීමයි. එහිදි නිවාසලාභීයා හා පවුලේ සාමාජිකයින්ගේ අවශ්‍යතාවයට අනුකූලව නිවස නිර්මාණය කරලීම තුළින් නිවාසකරණය ආශ්‍රිත නිදහස් සංස්කෘතිය නිර්මාණය විය.

2015 වසරින් ආරම්භ වූ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන, එදා උදාගම් ව්‍යාපාරය වත්මන් සමාජයට ගැළපෙන අයුරින් ප්‍රති නිර්මාණය වී ගත වූ සිව් වසරක කාලපරිච්ඡේදය තුළදී සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළේ ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහන වන ආදර්ශ ගම්මාන වැඩසටහන ලෙසින් දිගු ගමනක් පැමිණ තිබේ. එම ක්‍රියාවලිය තුළින් මේ වන විට නව ආදර්ශ ගම්මාන 784ක සංවර්ධන කාර්යයන් ආරම්භ වී තිබේ. ඒ තුළින් උදා වූ නවතම ආදර්ශ ගම්මානය ලෙස මාදුළුවාවේ සඟවිරු සෝභිත නාහිමිගම නම් කළ හැකි වේ. එය ජන අයිතියට පත්කරන්නේ වු ආදර්ශ ගම්මාන ක්‍රියාවලියේ 162 වැනි නිවාස ව්‍යාපෘතිය ලෙසිනි.

ඒ අනුව තමන්ගේම නිවහනක හිමිකම් නොකී අසරණ දරු පවුල් සමූහයකට නිවසක හිමිකම ලබාදීම තුළින් උදාවූ මෙම අංගසම්පූර්ණ ගම්මානය, සෝභිත නාහිමියන්ගේ ජාතික මෙහෙවර සදා අනුස්මරණය වීමට ඉදිවූ තිරසර මතක සටහනක් වනු නොඅනුමානය.

[ලක්විජය සාගර පලන්සූරිය]

මාතෘකා