යොවුන් පරපුරට Smart Sri Lanka

 ඡායාරූපය:

යොවුන් පරපුරට Smart Sri Lanka

ගෝලීය වශයෙන් සමාජීය කණ්ඩායම් අතර ළමුන් ප්‍රධාන කොට්ඨාසයක් වශයෙන් හඳුන්වයි. නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන් බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ දැක්වේ. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානවල අනුග්‍රහය ඇතිව බොහෝ රටවල් විසින් ස්වකීය ළමා පරපුර උදෙසා විවිධාකාරයේ සැලසුම් සහ වැඩසටහන් සංවිධානය කර තිබේ. ළමා විය පසුකරන්නන් තරුණයන් වශයෙන් නම් කරන අතර ඒ අතුරින් වයස අවුරුදු 18ත් 25ත් අතර පිරිස නව යොවුන් වියේ පසුවන්නන් වශයෙන් හඳුන්වයි.

මෙම කාලය බොහෝ දෙනා විසින් සලකනු ලබන්නේ තීරණ ගැනීම් උදෙසා සහ නව නිපැයුම් සඳහා කය හා මනස සකස් කරන කාලය බවයි. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව ද්විතීයික අධ්‍යාපනය වෙත පිවිසීමෙන් පසුව තෘතීයික අධ්‍යාපනය සඳහා යොමු වන්නේ සමස්තයෙන් කුඩා ප්‍රතිශතයකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ 2017 සිදු කර ඇති දත්ත විශ්ලේෂණයට අනුව සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 312,464 දක්වා පිරිස අතුරින් උසස් පෙළ අධ්‍යාපන මට්ටම දක්වා සුදුසුකම් ලබන්නේ 71.03%ක ප්‍රමාණයකි. ඒ අනුව

උසස් පෙළ අධ්‍යාපන මට්ටම දක්වා අධ්‍යාපනය හදාරා ඇති පිරිස ඔවුනොවුන්ගේ සමාජීය හෝ ආර්ථික සාධකයන් මත විවිධ වූ ක්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමු කරනු ලබයි. වෘත්තීය අධ්‍යාපනික ආයතන වෙත යොමු වන පිරිසක් මෙන්ම සාමාන්‍ය පෙළ අධ්‍යාපන මට්ටම අවසන් කර ඉදිරි කාලයේ අධ්‍යාපනය නොලබා විවිධ රැකියා ලබන පිරිසක් සිටිති. උසස් පෙළ සඳහා සුදුසුකම් ලබන 326,424ක පිරිස අතුරින් 136,421ක ප්‍රමාණයක් පමණක් උසස් අධ්‍යාපන අවස්ථා සඳහා සුදුසුකම් ලබති. අනෙක් පිරිස වෘත්තිය පුහුණු ආයතන සහ විවිධ රැකියාවන්හි නිරතවන්නන් බවට පත්වේ. නව යෞවන විය පසු කරන කාලයේ තරුණ තරුණියන් නිවැරදි හා ඵලදායී ක්‍රියාවලියකට සම්බන්ධ කර ගැනීම මෙන්ම රටේ තිරසාර සංවර්ධනය සඳහා ඔවුන් දායක කර ගැනීම අවශ්‍ය වන්නකි. ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් විවිධ ආයතන ප්‍රමුඛව සිදු වී ඇති අතර වෘත්තිය අධ්‍යාපනය වෙත යොමු වන්නේ රටේ ශ්‍රම දායකත්වය සැපයිය හැකි සියලු පිරිස නොවීම ගැටලුවකි. ඒ සියලු පරමාදර්ශයන් සම්බන්ධ කර ගැනීමේ ඒකීය ක්‍රියාවලියක් තැනීම සඳහා Smart Sri Lanka ව්‍යාපෘතිය ඔස්සේ සිදු වන්නේ න්‍යායික දැනුමට වඩා නිසි වයසේදී ශ්‍රම දායකත්වය සැපයීමට තරුණ ප්‍රජාව යොමු කරවීමකි.

සාමාන්‍ය පෙළ, උසස් පෙළ අධ්‍යාපනයේදී විෂය මාලා සකස් කිරීම මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා යොමු වන්නන් සඳහා විෂය මාලා සකස් කිරීම ප්‍රායෝගික විෂයයික පදනමක් මත සිදු වන්නක්ද යන්න ගැටලුවකි. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල් සඳහා වඩාත් ඵලදායී ශ්‍රම දායකත්වයක් සැපයීම වැදගත් වේ. අනාගතයේ රැකියා වෙළෙඳපොළ ජය ගැනීම සඳහා සිටින තරුණ ප්‍රජාව දිරිමත් කිරීම සඳහා ඔවුන් පූර්ව දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් වෙත යොමු කිරීම වැදගත් වේ. තරුණයන් විසින් ඔවුන් යොමු වන ක්ෂේත්‍ර පිළිබඳ පූර්ව අවධානයක් මෙන්ම ස්වඅවබෝධයක් ලබා දීමද අතිශයින් වැදගත් කාරණාවකි. Smart Sri Lanka ව්‍යාපෘතිය ඔස්සේ සිදු වන්නේ අනාගත තරුණ පරපුර නිසි මඟපෙන්වීමක් ඔස්සේ රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දායක කරවීමයි.

කාර්මීකරණයත් සමඟ ලෝකයේ බොහෝ රටවල් තාක්ෂණය මත යැපීම සිදුවීම සිදුවිය. එම ප්‍රමුඛතා හමුවේ තාක්ෂණික උපකරණයන්ගෙන් යැපීම ආරම්භ වන අතර පුද්ගල ශ්‍රමය දායක කර ගැනීම අවම වශයෙන් සලකා උපකරණ ප්‍රමුඛ වූ තාක්ෂණික ක්‍රමෝපායන්ගේ අරම්භය සිදු විය. කාර්මික විප්ලවයෙන් පසුව බොහෝ රටවල් ස්ව මත අනුව කටයුතු කළත් ආසියානු හා අප්‍රිකානු රටවල් මේ මොහොත වන විටත් දියුණු වෙමින් පවතින රටවල් වශයෙන් හඳුන්වයි. ලොව රටවල් 137ක් අතුරින් ලංකාව 85 වැනි ස්ථානයේ පසුවන්නේ එ’නිසාවෙනි.

ලොව රාජ්‍යයන් සිව්වන කාර්මික විප්ලවයකට සූදානම් වෙමින් සිටී. ඒ සඳහා බොහොමයක් ආසියාතික රටවල්ද ස්වීය වූ ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම සිදු කරයි. විවිධ සමුළු පිහිටුවීම මෙන්ම අන්තර්ජාතිත වශයෙන් සිදු කරන ප්‍රතිපත්ති තුළ අන්තර්ගත වන්නේ ලෝකයේ සිව්වන තාක්ෂණික විප්ලවය සඳහා පූර්ව සූදානමකි. ලෝකයේ දියුණුව විවිධ වූ ආකාරයෙන් සිදු වුවත් තවමත් දරිද්‍රතාවයෙන් පසුවන රාජ්‍යයන් සිටී. අප්‍රිකානු මහද්වීපයේ රාජ්‍යයන් මේ සඳහා නිදසුන් වේ. නව ලෝක විප්ලවයක් හමුවේ ආසියාතික රටක් වශයෙන්

ශ්‍රී ලංකාවට ඒ සඳහා සුදුසුකම් තිබේද යන්න ගැටලුවකි. ලාංකේය ජනයාගේ සාක්ෂරතා මට්ටම අනෙක් රාජ්‍යයන්ට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමේ පවතින බව නිගමනයයි. ශ්‍රී ලංකා කම්කරු සම්මේලනයේ 2018 පළමු කාර්තුවේ සිදු කළ ගවේෂණයට අනුව ලාංකේය ප්‍රජාවක් වූ 372,135ක් ජනගහනයෙන් වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණයන් 193,774ක පිරිසක් මෙන්ම වයස අවුරුදු 25ත් 29ත් අතර තරුණයන්ගෙන් 81,874ක ප්‍රමාණයක් රැකියා විරහිත කාණ්ඩයේ පසුවෙති. ඒ අතුරින් උසස් පෙළ

හදාරා ඇති පිරිස 174,124කි. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ පිරිස 121,895කි. මේ සියලු දත්තයන් හමුවේ ප්‍රත්‍යක්ෂ වන්නේ ලංකාව සතුව පවතින ඥාන ධාන්‍යාගාරයෙන් නිසි ඵල ප්‍රයෝජන ලබා ගැනීම ප්‍රමාද වී ඇති බවයි.

හතරවන ලෝක සංග්‍රාමයේදී කථිකාවන් සිදු කරන Smart City වැනි සංකල්පයන් දක්වා ලෝකයේ විවිධ රාජ්‍යයන් ගමන් කරන්නේ තාක්ෂණික උපකරණයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමිනි. ලෝක ආර්ථික සම්මේලනයේ අනාගත රැකියා සම්බන්ධ වාර්තාවට අනුව 2018 වසරේදී මිනිස් ශ්‍රමය 71%ක් සහ උපකරණ ඔස්සේ 29%ක ප්‍රජාවක් වැඩකටයුතු සිදු කරයි. 2025දී එය මිනිස් ශ්‍රමයෙන් සිදු කරන 52%ක කර්තව්‍යයන් තාක්ෂණික උපකරණ භාවිතයෙන් සිදු කරනු ලබයි. එහිදී මේ වන විට ශ්‍රම දායකත්වය සපයා ඇති පිරිසට රැකියා අහිමිවීමක් දක්නට ලැබේ. ඒ සඳහා රටක් වශයෙන් සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය වේ. ශ්‍රමිකයන් වශයෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමේ සුදුසුම ක්ෂේත්‍රය පිළිබඳ ඔවුනොවුන්ගේ දැනුම් පරාසයන් පිළිබඳ සැලකිලිමත් වෙමින් ව්‍යාපෘති සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතී. ලංකාව සතුව අනෙක් රටවලට සාපේක්ෂව පවතින සුවිශේෂතා හඳුනා ගැනීම අතිශය වැදගත් වේ. එහිදී සංචාරක කර්මාන්තයෙන් ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා සුදුසු ක්‍රමෝපායන් සකස් කිරීම රටක් වශයෙන් වැදගත් වන්නකි. ලංකාවට පමණක් ආවේණික වූ නිෂ්පාදනයන් මඟින් අනාගතයේ ආදායම් ලැබිය හැකි තත්ත්වයට පත්කිරීමේ ශක්‍යතාවක් පවතී.

රටේ ජන ඝනත්වයෙන් ශ්‍රම දායකත්වය සැපයිය හැකි පිරිස ගත් විට ඔවුන්ගෙන් වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ පිරිස් නව යොවුන් විය පසු කරන්නන් වන බැවින් ඔවුන් රටේ තිරසර සංවර්ධනය වෙත දායක කර ගැනීමේ මුඛ්‍ය අභිලාශය Smart Sri Lanka ව්‍යාපෘතියේ අරමුණු අතර වේ. තරුණ ප්‍රජාව නිවැරදි මාර්ගයක් වෙත යොමු කරන්නේ කෙසේද සහ එම යොමුවීම ඔස්සේ තිරසර සංවර්ධන ක්‍රියාවලිය මඟින් රටේ සංවර්ධනය මෙන්ම පුද්ගල සංවර්ධනය සිදු කිරීම සඳහා ඔවුන්ගේ ඥානය භාවිත කරන්නේ කෙසේද යන වග සුවිශේෂ වේ. ඒ අනුව යමින් ග්‍රාමීයව වාසය කරන තරුණයාගේ පටන් විසිරී යන ආකාරයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331ක සහභාගිත්වයෙන් මේ ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතව ඇත. නගරබද අධ්‍යාපනික කේන්ද්‍රයන් සහ විශ්වවිද්‍යාලවලින් නික්මෙන තරුණයන්ගේ මානසික හා වෘත්තීමය තලයන් එකිනෙකට වෙනස් වේ. එම තලයන් ඒකීය මාර්ගයට ගැනීම අවශ්‍ය වන්නක් වන අතර එය මෙම ව්‍යාපෘතිය ඔස්සේ සඵල වන වටිනාකමකි.

එක්සත් ජාතීන්ගේ 70 වන මහා සමුළුවේදී ඉදිරි වසර සඳහා තිරසර සංවර්ධන අභිමතාර්ථ 17ක් අතුරින් දිළිඳුකම තුරන් කිරීමේ අරමුණ මෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වැනි අරමුණු වෙනත් මාර්ගයන්ගෙන් ආවරණය වීමක් වශයෙන්ද Smart Sri Lanka ව්‍යාපෘතිය හඳුනා ගත හැක. ඒ සඳහා වැඩ කළ හැකි තරුණ ප්‍රජාව සම්බන්ධ කර ගැනීම අතිශය වැදගත් වේ. රැකියා අවස්ථාවන් සඳහා සම්බන්ධ කර ගැනීමේදී ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් සඳහා දැනුමැති පිරිසකගේ උපදෙස් ලබා ගැනීම සිදු වනු ඇත. මෙම ව්‍යාපෘතිය හරහා සම්බන්ධ වන හවුල්කරුවන් ඔස්සේ ගොඩනැඟෙන නව රැකියා අවස්ථාවන් මෙන්ම ජාතික පමණක් නොව අන්තර්ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීමය අවස්ථා ළඟා කර ගැනීමේ හැකියාව පවතී. රටේ දිගුකාලීන සංවර්ධනය සඳහා නිර්මාණශීලී මෙන්ම උගත් බුද්ධිමත් තරුණයන් ස්ථාපනය සහ සංස්ථාපනය මෙම ව්‍යාපෘතිය ඔස්සේ සාර්ථක වේ. රටක් වශයෙන් භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් තිරසර සංවර්ධනයක් උදෙසා ගමන් කිරීමේ යෝග්‍යතම කාලයක් වශයෙන් මෙම කාලය හඳුනාගත හැක.

[සුලක්ෂි රත්නායක]

මාතෘකා