මරණය පෙනෙන ඉසව්වේ පැණි සොයන ජීවිත

 ඡායාරූපය:

මරණය පෙනෙන ඉසව්වේ පැණි සොයන ජීවිත

මලේ හැමතැනම බඹරුන් අඬන්නේ

බඹරු බැන්ද තැන අපි වද සොයන්නේ

බඹර කපා පැණි හැමටම බෙදන්නේ

බඹරුනි තොපිට පින් අත්වෙයි කියන්නේ

මිනිස්සු ජීවත් වන්නට බොහෝ දේ කරති. සමහර ජීවන වෘත්තීන් සැහැල්ලුය... සුවපහසුය... සමහර ජීවන වෘත්තීන් බිහිසුණුය... දුක්බරය... මිනිස්සු උපදින්නේ පස් මහ බැලුම් බලා නොවේ. එහෙම පුළුවන්කමක් තිබේ නම් සියලුම මිනිස්සු ඉපදෙන්නට රජගහ නුවරම තෝරාගනු ඇත.

එහෙත් හැම මිනිසකුටම එහෙම වාසනාවක් නැත. ඒ නිසා මිනිස්සු නෙක තැන් හි උපදිති... උපන්නාට අනුව වැනි වැනී ඉන්නට අකමැති මිනිස්සු ජීවත් වෙන්නට ජීවන මාර්ග සොයති.

දඩයම් කිරීම හා බඹර කැපීම බොහෝ පළාත්වල ගැමියන්ට නුහුරු - නුපුරුදු ජීවන මාර්ගයකි. එහෙත් සමහරු එයම ජීවන වෘත්තිය කරගෙන සිටිති. සිය ජීවිත සටනෙහි නොමඳ අරගලයක යෙදෙන ගැමියා බඹර කැපීම සිදු කරන්නේ උස ගස් රුකුල් හා ගල් පර්වත තුළ බඹරුන් විසින් බඳින ලද බඹර වද කැඩීම තුළිනි... මෙය ඉතාමත් කටුක වේදනාකාරී ක්‍රියාවකි.

බඹර කැපීම යනු ගැමි වෘත්තියකි. බඹර බැඳෙන්නේ උස් කඳු ආශ්‍රිතව කඳු බෑවුමක හෝ උස් ගසකය. බඹරගම, බඩරගල, බඹර කන්ද ගල වශයෙන් ගම්වලට නම්ද ව්‍යවහාර වේ. උස ගසක ඇති බඹරකට ළඟාවීම දුෂ්කර කටයුත්තකි. එය ජීවිතයත් මරණයත් අතර සටනක් ලෙස දැක්විය හැකිය. මුලදී වැදි ජනතාවට අයත් කාර්යයක් වූ මෙහි පසුකාලීනව ගොවියෝද නිරත වූහ.

දඹාන, බිංතැන්න, නිල්ගල වැනි වන ගහනවල ජීවත් වූ වැදි ජනතාවගේ ජීවිතවලට දැඩිව බැඳී තිබුණකි, මී පැණි හෝ බඹර පැණි.

මිනිපේ, හසලක, හුන්නස්ගිරිය, බඹරවාන, බඹරැල්ල, බඹරගල බඹරුන්ට ප්‍රසිද්ධය. බඹරාද මී මැසි කුලයට අයත් ඊට වඩා විශාල පැණියෙන් ජීවත්වන කෘමියකි.

බඹරා, මී මැස්සාට වඩා විශාල නිසා නිසා උගේ “වදය”ද මී වදයට වඩා විශාල වේ. උස ගස් බෙනවල, ගල් දෙබොක්කාවල බඳින බඹර වදය කැඩීම, බඹර කැපිල්ලය. බඹර කැපීම වැදි ජීවන රටාවේ තවත් විශේෂ වූ අංගයකි. දඩමස් කල් තබා ගැනීමට පැණි අවශ්‍ය විය. ඒ සඳහා මී වද බඹර වද සොයමින් ගල් රුප්පා, රූස්ස ගස් පීරා මහා වනය පීරමින් ඔවුහු කරක්ගැසූහ. බඹර තියෙන්නේ අත පොවන මානයේ නොවේ. එය ජීවිත අවදානම් සහිත වූවකි. එක්කෝ තුංග ගල් පර්වතයක යටි පැත්තේය. නොඑසේනම් දැවැන්ත ගසක මුදුනේ හරස් අත්තකය. ජීවිතය හා මරණය අතර බිහිසුණු සටනකින් බඹර කැපීම නිමා වෙයි.

නාවලපිටිය නගරයේ සිට සැතපුම් හයක්‌ ගිය විට කොත්මලේට අයත් හරංගල පිටිසර ගම්මානයක් වෙයි. මීට දශක කිහිපයකට පෙරාතුව ඒ ප්‍රදේශය බඹර පැණිවලට ප්‍රකටව තිබිණි.

'ගොවිතැන් වැඩ කම්මුතු වුණාම ගම්මු කාණ්ඩ හැදිලා කැලෑ වදිනවා. එහෙම කැලෑ වදින්නේ නිකන් නොවේ. හාල්, තුනපහ, පොරෝ, කෙටේරි, පිහියා, හට්‌ටි මුට්‌ටි බැඳගෙන සුමාන තුන හතරක්‌ නවතින්න බලාගෙන. ඒ යන්නෙ බඹර කපන්න. කැලේ නැවතිලා උයා පිහාගෙන කාලා දඩයම් කරගෙන බඹර කපලා බඹර පැණි, බඹර ඉටි, දඩ මස්‌ බැඳගෙන ආපහු එනවා.'

දැනට ජීවිතයේ සැඳෑ සමය ගෙවන කිරා අප්පුහාමි එහෙම කියයි. ඔහුට හාරා අවුස්සා පාදා ගන්නට කොතෙකුත් ඉතිහාස කතා වෙයි. 'ඉස්‌සර බඹර කැලේ, බෝපත්තලාව, රම්බොඩ, කඩදොරපිටිය, දුම්මලගස්‌තලාව, විල්කඩ, මොණරාගල මෙන්ම ලොකු කැලෑ දිවියා සහ වළහා හිටපු කැලෑ වගේ ඒවා සේරම මේ වෙද්දි එළි වෙලා. කැලෑ පිරිලා තිබුණු කැලෑ අඩවි දැන් නැත්තටම නෑ. කොලනි ඉඩම් හැදිලා.’ ඔහු කියයි. බඹර පැණියෙහි වටිනාකම හෙතෙම කියා පාන්නේ බොහෝ රසවත්වය.

'නෙලු කියලා පැළෑටියක්‌ වැවිලා එක යායට පැතිරිලා මල් පිපෙනවා. එකක්‌ වැල්නෙලු, අනෙක රත්නෙලු. රත්නෙලු පිපෙන්නේ අවුරුදු හතකට සැරයයි. ඒවා පැණි රසයි. නෙලු පිපෙන කොට වළස්‌සුත් පැණිවලට ඇදිලා එනවා. ඒ තරම් රසයි, සුවඳයි. ඒ දවස්වලට නෙලු පැණි බීපු ලොකු නෙලු මීයෝ හැමතැනම දඟලනවා. දඩයමේ යන අය උල්වලින් ඇනලා උන් මරලා කනවා'

කලාතුරකින් වාසනාවන්ත දිනෙක අපූරු වදයක් හමුවෙයි. එය 'යකිනි බලියකි'.

'එක පිට එක පැණි වද, පිළව් වද පිරිලා තියෙන ලොකු බඹර, කලාතුරකින් අහුවෙනවා. එව්වට කියන්නේ "යකිනි බලිය" කියලා. අවුරුදු ගණන් පැණි පිරුණු පරණ බඹරවලට යක්‍ෂ බැල්ම වැටෙනවා. කපන එක හරිම අවදානම්.'

බඹර කැපිල්ල කජු කැපිල්ල තරමට කරන අගෝනිස් එහෙම කියයි.

ඔහු හරංගල වැසියෙකි. හරන්ගල නම අපූරුය.

'හරංගල ගමේ ගම ඉහළින් දිගටම අඩි තුන්දාහට වැඩි, උස හැතැප්මක්‌ විතර දිග ලක්‌පාන ගල් පර්වතය. ලක්පාන ගල වටේම කැලෑව හැර බැඳලා බඹර කැපූ හින්දම මේ ගමේ නම හැරගල කියන එක තමා පස්‌සේ හරංගල වෙලා තියෙන්නේ.'

අගෝනිස් කියයි.

බඹර කැපිල්ල කරන හැටිද බරපතළ සැත්කමක් කරන තරම් අසීරු කාරියකි.

‘මහ උසක බඹරේ කපන්න මුලින්ම මැස්‌සක්‌ බැඳ ගන්නවා. මැස්‌සට නැඟලා උස ගලට නැත්නම් ගහට හයිය වැල්වලින් හැරපොට බඳිනවා. මේ හැරපොටවල එල්ලිලා ගිහින් බඹරවලට ළං වෙනවා. එක ළඟ බඹර කිහිපයක්‌ තිබුණොත් කපන එක අවදානම්. මොකද එකක මැස්‌සෝ ඇවිස්‌සුණොත් අනෙක්‌ බඹරුත් ඇවිස්‌සෙනවා.'

අගෝනිස් කියයි.

බඹර කපන්න යන්නෝ කැලේ වාඩි ගහගෙන අදාළ කාර්යයට සූදානම් වෙති. හොඳට ඇවිලෙන වියළි කොළ ජාතිවලින් හදාගත්තු දුම නඟින පන්දම් හෙවත් මඩි රැගෙන යාම ඔවුන්ගේ පුරුද්දකි. මේ මඩි ඇල්ලූ විට බඹරු බඹරේ අතහැර ඉහළට යති. උන් ආපසු එන්නට පෙර හැරපට දිගේ ගොස් බඹරේ කපා ගත යුතුය. සුනංගු වෙතොත් අයියනායක දෙයියන්ගේ පිහිටය. 'හොඳ බඹරෙකින් පැණි කළයක්‌ ගන්න පුළුවන්. බිම ඉන්න අය උඩින් බාන මුට්‌ටි බිම තියෙන භාජනවලට හලාගෙන, මුට්‌ටි ආපහු ඉහළට යවනවා. සමහර වෙලාවට ලොකු ගල් දෙබොක්‌කාවල බඹර කපන්න දාඩිය මුගුරු පෙරාගෙන ගල දිගේ නඟින්න වෙනවා.'

බඹර කැපිල්ල එහෙමය.

දැන්නම් අති පිරිසිදු බඹර පැණි හොයනවාට වඩා දිවියලෝකේ යන එක පහසුය. ඒ තරමට බඹර හිඟය.

දැන් බඹර කැපිල්ල ඉතාම කලාතුරකින් දකින්නට ලැබෙන්නකි. එක අතකට බඹර නැත. බඹර හැදෙන්න කැලෑ නැත. බඹරුද යහමින් නැත. සේරටම වඩා බඹර කපන්නන් නැත. බඹර කැපිල්ල දන්නා අයගෙන් දැන ගැනීමට අලුත් පරම්පරාවේ තරුණයෝ අකමැතිය.

අම්මා පල්ලා බඹරුන් අත වරද නැතී

කැලේ තිබෙන මල් කාලා උන් රැකෙතී‍

අනුන් කරන ගොවිපොළකට හානි නැතී

බඹර කපන අය නරකාදියේ යතී

කියන්නාක් මෙන් බඹර කැපූවන් නරකාදියට ගිහින්ද කියා දන්නේ නැත.

[උපුලි ජයරත්න]

මාතෘකා