අහිමි වූ දියණිය ගැන හැට වසරක් කඳුළු සැලූ දෝන සිලිනෝනා

 ඡායාරූපය:

අහිමි වූ දියණිය ගැන හැට වසරක් කඳුළු සැලූ දෝන සිලිනෝනා

වයස අවුරුදු 102යි

දෑකැත්ත අතට ගත්තේ අවුරුදු 12දී

වයස 40දී එලොව ගිහින් මෙලොව ආවා

 

ඉවුම් - පිහුම්, මැහුම් - ගෙතුම් සියල්ලටම දක්ෂයි

"දරු දුක වාව ගන්න බැරිව ළිඳේ පැන්න අම්මෙක් තමයි මම. සෑහෙන කාලයක් මම පිස්සුවෙන් දොඩවලා තියෙන්නෙත් දරුවා ගැනමයි. අද නම් ඉතින් උදා වෙලා තියෙන්නේ අම්මලා තමන්ගේ දරුවෝ ගඟට, මුහුදට, දාන කාලයක්නෙ..."

කස්තුරිආරච්චිගේ දෝන සිලිනෝනා මාතාව අතීතයේ සිට වර්තමානය දෙස ගැඹුරු බැල්මක් හෙළමින් කීවාය.

හිරිපිටිය මාගම්මනදී උපන් ඇය මේ වන විට සිය දිවි මගේ 102 වැනි කඩ ඉමට ළගා වෙමින් සිටියි. ඇය උපත ලබා ඇත්තේ 1917 වර්ෂයේ මැයි මස 18 වැනිදාය. මේ වන විට ඇය පිළියන්දල බටකැත්තර ගම්මානයේ ජීවත් වෙයි. දරුවන් හයදෙනෙකුගේ මවක වන සිලි නෝනා මාතාව, පෙර කී ව්‍යාකූල තත්ත්වයට මුහුණ පා ඇත්තේ ඇයගේ බාල දියණිය වන සීලවතී හදිසියේ මියයෑම හේතුවෙනි.

"මේ සිදුවීම වෙද්දී මට අවුරුදු හතළිහයි. මගේ බාලම දරුවා සීලවතී තමයි මේ විදිහට අවාසනාවන්ත ලෙස මියගියේ. මුලින්ම එයාගේ උගුර දෙපැත්තේ ගෙඩියක් වගේ ආවා. පස්සේ ඒ ගෙඩිය ටික ටික ලොකු වෙලා ළමයට මුකුත්ම කන්න බැරි තත්වයට පත් වුණා. අද වගේ ඒ දවස්වල හැම තැනම දොස්තර මහත්වරු හිටියේ නැහැ. අපි දරුවාව නෝනා වාට්ටුවට අරන් ගියා. එහේදි තමයි ළමයා නැති වුණේ. තව දරුවෝ පස්දෙනෙක් හිටියත් මට මේ දුක වාව ගන්න බැරි වුණා. ඒ නිසා මම ගෙදර ඇවිල්ලා ළිඳට පැනලා. ඒක හොඳ සිහි කල්පනාවකින් කළ දෙයක් නෙවෙයි. කවුරුවත් කිසිම හේතුවකට එහෙම කරන්න හොඳ නෑ. ඒ වෙලාවෙ මගේ නංගිගේ මහත්තයා තමයි ළිඳට පැනලා මාව ගොඩ අරන් තියෙන්නේ. නැත්නම් එදා තමයි මම මැරෙන්නේ. එහෙම නම් අද වෙද්දි වළලපු තැනක්වත් හොයා ගන්න ලැබෙන්නේ නැහැ. අනිත් දරුවන්ටත් අම්මෙක් නැති වෙනවා.

නමුත් මට ජීවත් වෙන්න වාසනාව තිබුණා. පස්සේ සෑහෙන කාලයක් මම පිස්සුවෙන් වගේ දොඩවලා තියෙනවා. මට ගොඩක් බෙහෙත් කරලා තියනවා. ඊට පස්සේ තමයි ටික ටික හොඳ වෙලා තියෙන්නේ. අදටත් මට මගේ ඒ දරුවා මතක වෙද්දී දුකයි. මැරෙනකල් ඒ දුක නිවෙන්නෙ නෑ.

සීලවතී නමැති දියණිය මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ 1957 වර්ෂයේදීයි. ඒ වන විට ඇයට වයස අවුරුදු එකහමාරකි.

බාල කාලය

සිලිනෝනා මාතාව හතරදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලාය. ඇගේ පියා එකල ගම්වැසියන් හදුන්වා ඇත්තේ 'මැන්ඩා' නමිනි. ඔහුගේ සම්පූර්ණ නම කස්තුරි ආරච්චිගේ මැන්ඩිස් වන අතර මව ජොසලින් නෝනාය. කේ.ඒ. වාරිස්, කේ.ඒ. බේබිනෝනා, කේ.ඒ. සිසිලින්, සිලිනෝනා මාතාවගේ සහෝදර සහෝදරියන්ය. මේ අතරින් දෙදෙනෙකු මියගොස් ඇති අතර පවුලේ තෙවැන්නිය වන අසූපස් හැවිරිදි බේබිනෝනා ජීවතුන් අතර සිටියි.

"මගේ තාත්තා කළේ කුලී වැඩ. අම්මත් තාත්තට උදව්වට ගියා. ඒ දවස්වල කුලී වැඩට තිබුණේ වැඩිපුරම කුඹුරු වැඩ තමයි. පොඩි කාලේ ඉඳලම අපිටත් ඒවා පුළුවන්. කොච්චර නැති බැරි කම් තිබුණත් මගේ දෙමාපියන් මට උගන්වන්න උත්සාහ කළා. මාව අවුරුදු හතරක් ඉස්කෝලේ යැව්වා. මම ගියේ හිරිපිටිය, මාගම්මන රජයේ විද්‍යාලයට. ඒ දවස්වල ඒක පොඩි ඉස්කෝලයක්. දැන් නම් ලොකු ඇති. මට වැඩිදුර ඉගෙන ගන්න බැරි වුණේ අපේ තිබුණු ආර්ථික අපහසුකම් නිසයි. මම තරමක් ලොකු වුණාම නංගිලා දෙන්නයි මල්ලියි බලාගෙන ගෙදර හිටියා. අම්මයි, තාත්තයි දෙන්නම වැඩට ගියා. මම හිතන්නේ ගෙදර බරින් කොටසක් මම භාර ගනිද්දි මගේ වයස අවුරුදු දහයක් විතර ඇති. බාල සහෝදර සහෝදරියන් බලා ගන්නවට අමතරව මම ගෙදර ඉවුම් පිහුම් වැඩත් කළා."

විවාහය

"දෑකැත්ත" මේ ආයුධය සිලිනෝනාගේ සියුමැලි දෑතට ලැබෙන්නේ වයස අවුරුදු දොළහක් තරම් පුංචි සන්ධියේදීය. එලෙස අතට ගත් දෑකැත්ත තම ඉරණම්කරු සොයා දෙනු ඇති බවක් ඇය දැන සිටියේ නැත. ඇය මේ ආයුධය රැගෙන ගමේ මෙන්ම අවට ගම් නියන්ගම් පුරා ගොස් තමාගේ මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ බඩ වියත රැක ගැනීමේ ප්‍රයත්නයේ නිරත වූවාය.

"අද වගේ ඒ දවස්වල බස් නැහැනේ. කරත්තෙක නැගලා උදේ රැයින්ම යන එක තමයි කරන්නේ. මේ වැඩේ අපි කළේ අකමැත්තෙන් නෙමෙයි. ලොකු සතුටකින්. ඒකට හේතු කීපයක් තිබුණා. එකක් තමයි මෙහෙම ගියාම රසට කන්න ලැබෙනවා. අනික් ප්‍රධාන කාරණය තමයි ගෙදර හිටියොත් ගෙදර ඔක්කොම වැඩ කරන්න වෙනවා. අවුරුදු ගණනාවක් මම මෙහෙම ගොයම් කපන්න ගිහින් තියනවා. ඒ දවස්වල කියපු කවි අදටත් මට ටිකක් මතකයි..."

 

තඹුරු පුබුදු මල් සුවඳයි හැම විට

බමරු ඇවිත් රොන් ගෙන යති උදයට

මදුරු කිඳුරු නද වෙති තද වාතෙට

නැඹුරු වෙලා ඉකි ගෝමර තරමට

ඒ කවි ගායනය සමග, වසර අසූවකට පමණ එහා අතීතයකට ඇය කැන්දන් යාමට මට හැකි විය. ඒ අනුව ඇගේ ඉරණම්කාරයා හමු වූ අයුරුද ඇගේ මතකයට නැගිණි.

''මම ඒ දවස්වල... ඒ කියන්නේ ගැටිස්සි කාලේ හරිම හැඩකාරයි. මම කුඹුරට බැහැල ගොයම් ටික අල්ලලා දෑ කැත්තෙන් කපද්දී ඕනෑ කෙනෙක් මගේ දිහා බලනවා. මම ඒ තරම් කඩිසරයි කියලා තමයි හැමෝම කියන්නේ. ඔය අතරේ දවසක් මම අවා ගොයම් කපන්න බටකැත්තර වෙල් පහළට. ඒ ආපු වෙලේ තමයි මට දරුවන්ගේ තාත්තා මුණ ගැහුණේ. එදා එයත් කුඹුරට බැහැල හිටියා. එයා කීප වරක්ම මාව කතාවට අල්ලගන්න උත්සාහ කළා. නමුත් මම නෙමෙයි කතා කළේ. පස්සේ දවසක එයා අපේ ගෙදරට පණිවිඩයක් එවලා තිබුණා. තාත්තා ඇහුවා මගෙන් එයාට මනාපද කියලා. මම ඔළුව වැනුවා. ඊට ටික කාලෙකට පස්සේ එයා ඇවිල්ලා මාව බක්කි කරත්තයක දාගෙන මේ ගමට අවා. එදා ඉදන් එයා නැති වෙනකල්ම අපි දෙන්න එකම වහලක් යට සතුටින් ජීවත් වුණා."

සිලිනෝනාගේ ඉරණම්කාරයා වූ කුමාරගේ දෝන් විලියම් වයස අවුරුදු හැත්තෑ පහක් ආයු වළඳා ඇති අතර ඔහු මියගොස් ඇත්තේ හදිසි අනතුරකිනි.

බිබික්කම්

මොනවාද අම්මා හදපු රසම කෑම වර්ගය... මම සිලිනෝනා මාතාවගෙන් විමසීමි. සුළු මොහොතක් කල්පනාවේ ගිලී සිටි ඇය එකවරම 'බිබික්කම්' යැයි කීවාය. මේ සමග මුළු නිවසම සිනා සාගරයක ගිලිණි. ඔවුන් සිනාසෙන්නේ සිය මුත්තා ආච්චි එය කියූ විලාසයටයි.

"බිබික්කම් කියන්නේ පොල් කේක් වගේ කෑමක්" එවර ඇගේ මිනිපිරියක වන සුසන්තා කීවාය.

"අද වගේ ඔය කේක් ජාති ඒ කාලේ නැහැනේ. අපි කෑවේ බිබික්කම් තමයි." සිලිනෝනාට කේන්ති ගියාවත්දෝයි මට සිතුණත් මගේ සිතිවිල්ල නිවැරදි නොවිණි. සිනා මුසු මුහුණින් ඇය බිබික්කම් හැදූ හැටි විස්තර කළාය.

"හාල්පිටිවලට පාන්පිටි ටිකක් එකතු කරනවා. මේකට පොල් ඕනෑමයි. සීනි හෝ පැණි ගන්නවා. මේවා එකට කලවම් කරලා වතුර ටිකකුත් එක් කර ගන්නවා. පස්සේ මේ දියරය භාජනයකට දාලා ළිපේ තියනවා. මේ භාජනයට උඩින් කබලක් තියන්නම ඕනෑ. කබලටත් අවශ්‍ය තරමට ගින්දර දමන්න ඕනෑ. මේක ඉතින් හොඳ රස කෑමක්. ඔය හිනා වෙච්ච් කවුරු කවුරුත් බිබික්කම් කාලා තියනවා මයේ හිතේ."

උයන්න පිහන්න විතරක් නෙමෙයි මුත්තා ආච්චිට ගොතන්න, මහන්න, වියන්න මේ ඔක්කොම පුළුවන්. සුසන්තා සුභාෂිණි නැවතත් පැවසුවාය. ඇය අලුත් කතාවක්ද කීවාය.

"මුත්තා ආච්චි හරි ආසයි අල වර්ග කන්න. මට මතකයි ඇගිලි පහ කියන අලවර්ගය ගෙනල්ලා අතම්බලා පොලුයි ලුණු මිරිසුයි එක්ක අපිට කන්න දුන්නා. ඒ වගේම එයා දෙල් තියන කාලේට අටු දෙල් හැදුවා." අලවර්ග ගණනාවක විස්තර සුසන්තා සුළු කාලයක් තුළ මට කීවාය.

දුෂ්කරතා

සිලිනෝනා දුෂ්කරතා රැසක් මැද ජීවත් වන්නියකි. කුඩා නිවසක් තුළ හය හත්දෙනෙකුට වැඩි පිරිසක් සමග ජීවත් වන ඇයට ඇගේ දරුවන්, මුනුපුරන් ආදරයෙන් සැලකුවත් ඔවුන්ගේ ආර්ථිකයේ සීමිතකම් ජය ගැනීමට ආදරයට හැකියාවක් නැත. කුඩා කල සිටම ජීවිතය ජය ගැනීමට අපමණ වෙහෙසක් දරා ඇති මේ ආදරණීය අම්මා වෙනුවෙන් ඔබටත් යමක් කළ හැකිද?

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

මාතෘකා