ලතීෆ්ලා උවමනාකර තිබේ

 ඡායාරූපය:

ලතීෆ්ලා උවමනාකර තිබේ

ශ්‍රී ලංකාව ගල්ෆ් කලාපයේ සහ අග්නිදිග ආසියාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ බෙදාහැරීමේ මධ්‍යස්‌ථානය බවට පත්ව තිබෙන බව ඉන්දියාව, පාකිස්‌තානය සහ මැලේසියාව ඇතුළු රටවල පොලිස්‌ විමර්ශනවලින් පැහැදිලිව හෙළිදරව් විය.

අබිං කෑම ලංකාවට හඳුන්වා දුන්නේ පෘතුගීසීන් යැයිද, ඉංග්‍රීසි පාලනයේදී අබිං වගාව සංවර්ධනයට ගොවීන් දිරිමත් කරමින් අනුබල දුන්නේ යැයිද ඉතිහාස සටහන් තිබේ. රජ දවස මධුපානෝත්සව ගැන කතාද ඒ අතර වෙයි.

ශ්‍රී ලංකාවට නාමික නිදහස ලබා දී තිබූ නමුත් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට 1955 වන තෙක්ම උත්සාහ නොගෙන තිබිණි.

මෙරට හෙරොයින්වලට ඇබ්බැහි වූ 50,000කට අධික ප්‍රමාණයක් සිටින බව පර්යේෂණ මඟින් හෙළි වී ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 18-30ත් අතර වයස් කාණ්ඩයට අයත්ය.

වෙනත් මත්ද්‍රව්‍ය වෙත යොමු වූ පිරිස්ද අති විශාලය. මෙරට පාසල් පද්ධතියට දැඩි බලපෑමක් කරන්නට මත් උවදුරට හැකිව තිබේ.

තත්ත්වය දරුණුය...!

දරුවන් සඳහා උචිත නවීන මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින් නව වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම ජාවාරම්කරුවන්ගේ අරමුණ වී ඇත.

හිතුවක්කාර දේවල් අත්හදා බැලීමේ කැමැත්ත හා විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් එල්ල වන පීඩනය දරුවන් මත්ද්‍රව්‍යවලට ඇදී යෑම කෙරෙහි බලපා තිබේ. මෙහිදී වැඩිහිටියන්ට ඇත්තේ නොපටු වගකීමකි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය 2005දී බලයට පත්වූයේ මතට තිත තබන බවට ජනතාව හමුවේ දිවුරා පොරොන්දු ලබා දෙමින්ය. එහෙත් මතට තිත වෙනුවට තිතට මත ක්‍රියාත්මක විය. ඉතාම කුප්‍රකට ලෙස මත් ජාවාරමට සම්බන්ධ මන්ත්‍රීවරු සුරක්ෂිත කිරීමට පවා එවක මහින්ද ආණ්ඩුව කටයුතු කළේය. මත්ද්‍රව්‍ය චෝදනාවක් මත මීගමුවේ නිවස පරික්ෂා කරන්නට පොලිසිය කටයුතු කරද්දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලංසාගේ නිවසට ගොස් ඔහුව වැළඳගෙන ආරක්ෂාව සැලසුවේය. කොළොන්නාව වැනි ප්‍රදේශ කුඩු රජදහන් බවට පත් වූ අතර මුහුණට මුහුණ වෙඩි තබා ගන්නා කුඩු ජාවාරම් එවක සිදුවිය.

ආසියාවේ ආශ්චර්යය සහ සුබ අනාගතය ගැන කතා කරමින් අග්නිදිග ආසියාවේ මත්කුඩු බෙදාහරින කේන්ද්‍රස්‌ථානය බවට ශ්‍රී ලංකාව පත් වූයේ රාජපක්ෂ පාලන සමයේය.

ශ්‍රී ලංකාව ගල්ෆ් කලාපයේ සහ අග්නිදිග ආසියාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ බෙදාහැරීමේ මධ්‍යස්‌ථානය බවට පත්ව තිබෙන බව ඉන්දියාව, පාකිස්‌තානය සහ මැලේසියාව ඇතුළු රටවල පොලිස්‌ විමර්ශනවලින් පැහැදිලිව හෙළිදරව් විය.

එමෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ආණ්‌ඩුවෙන් ප්‍රමාණවත් සහයෝගයක්‌ නොලැබෙන බවට එවක ඒ රටවල් විවිධ අවස්‌ථාවන්හිදී ශ්‍රී ලංකාවට බරපතළ චෝදනා එල්ල කර තිබිණි.

ඉතිහාසයේ නොවූ විරූ ලෙස මුළු සමාජයම හෙරොයින් ගැන කතා කරන්නට වූයේ එවකය. අගමැතිවරු, ඇමැතිවරු දක්වාම ඒවායේ කළු පැල්ලම් තැවරිණ. පාසැල් පද්ධතිය පවා දරුණු කුඩු ව්‍යසනයක ඉලක්කගත ගොදුරු වෙමින් තිබිණ. මතු පරම්පරාව පිළිබඳව ඉතිරිවෙමින් තිබුණේ අන්ධකාර චිත්‍රයක් පමණි.

මත් උවදුර මර්දනය කිරීමේ සාරවත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූයේ යහපාලන ආණ්ඩුව යටතේය. එහි වඩාත් සාධනීය වැඩ කොටසක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය. අද වන විට මත් ජාවාරම්කරුවන් බුරුතු පිටින් හසුවෙයි. තෝරාගත් පාතාලයන්ට වීරයන්ගේ කිරුළු පළඳා කටයුතු කළ තත්ත්වය දැන් වෙනස්ය.

ජනාධිපතිවරයා 'මතින් තොර රටක්' සංකල්පය හරහා එහි ප්‍රතිලාභය පාසැල් මට්ටමට ගෙන යන වැඩපිළිවෙළක් හැදුවේය. මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට අධිකාරියක් පිහිටුවීය. මත් ජාවාරම්කරුවන්ට එරෙහිව ඉතාම දැඩි නීතිරීති ගෙන ආවේය.

පාතාලය සහ මත් උවදුරට එරෙහි නිලධාරීන් ශක්තිමත් කළේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මොහොමඩ් වැනි සක්‍රිය නිලධාරීන්ගේ සේවා දිගු සිදුවන්නේ මතට සහ පාතාලයට එරෙහිව ආණ්ඩුව ප්‍රශස්ත මැදිහත්වීමක් කරන නිසාය.

මේ දිනවල බොහෝ දෙනා කතා කරන තවත් ප්‍රබල චරිතයක් වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මොහොමඩ්ය. ලතීෆ් මහතා යනු ඉතාමත් කාර්යශූර ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයවා ඉතාම සාර්ථක වැටලීම් රැසක් සිදුකළ දක්ෂ නිලධාරියෙකි. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව විවෘතවම යුද්ධ ප්‍රකාශ කර ඇති මෙවන් සමයක ලතීෆ් මහතා වැනි අත්දැකීම් සපිරි, පරිණත නිලධාරීන්ගේ සේවය පොලිස් දෙපාර්තමේන්තුවට අත්‍යාවශ්‍ය විය.

1979ක් වූ ජනවාරි මස 15 වැනි දින ශ්‍රී ලංකා පොලිසියට එක්වන්නේ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙනි.

විශේෂ කාර්ය බළකාය තුළ කඳවුරු අණදෙන නිලධාරී, සේනාංක භාර නිලධාරී, අණදෙන නිලධාරී පුද්ගලික සහකාර, අධ්‍යක්ෂ ත්‍රස්ත මර්දන, අධ්‍යක්ෂ ප්‍රභූ ආරක්ෂක යන තනතුරු හොබවමින් එතුමන් සතුව තිබූ අව්‍යාජත්වය හා නායකත්වයේ ගුණාංගද කාර්යශූරත්වයද නිසාම විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ධුරයට පත් විය.

1985.05.15 වැනි දින පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබා එතැන් සිට වසර 3ක් වැනි කෙටි කාලයකින් තමන්ගේ සුවිශේෂී දක්ෂතාවන් හා කාර්යශූරත්වය කෙරෙහි අවධානය යොමු කළ එවකට සිටි විශේෂ කාර්ය බළකායේ ප්‍රධානීන් විසින් 1987.11.01 වැනි දින ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට ක්ෂේත්‍ර උසස්වීම් ලබා දෙන ලදි.

සහකාර පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා නියෝජ්‍ය පොලිස්පති ධුරය හෙබවූ ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේද රාජකාරි කළේය.

එසේම තායිලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් ලෙසද, බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ පළමු ලේකම් ලෙසද, තායිලන්ත තානාපති කාර්යාලයේ උපදේශකයකු ලෙසද, ප්‍රංශ තානාපති කාර්යාලයේ පළමු ලේකම් ලෙසද, තායිලන්ත තානාපති කාර්යාලයේ කවුන්සලර්වරයකු ලෙසද, කටයුතු කළ ලතීෆ් මහතා විදේශීය බුද්ධි කටයුතු පිළිබඳව අධ්‍යක්ෂවරයකු ලෙසද රාජකාරි කළේය.

තම රාජකාරි දිනයේදී ලතීෆ් මහතා ජනාධිපති පොලිස් වීරතා, පොලිස් වීරතා, පූර්ණ භූමි, විශිෂ්ට සේවා, ජනාධිපති පදවිප්‍රාප්ති, පොලිස් 125 වැනි සමැරුම්, 50 වැනි නිදහස් ස්වර්ණ ජයන්ති, නැ‍ඟෙනහිර මානුෂීය මෙහෙයුම්, ප්‍රථමාධාර, පොලිස් 150 වැනි සැමරුම් පදක්කම්වලින්ද පිදුම් ලැබීය.

පොලිස් විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරි ලෙස කටයුතු කරමින් එම්. ආර්. ලතීෆ් මහතා යටතේ ඇරඹි මත්ද්‍රව්‍ය වටලන මෙහෙයුම්වලදී දහසකට කිට්ටු මත්කුඩු තොග වටලනු ලැබීය.

එතෙර සැඟවී කරනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් නීතියේ රැහැනට හසු කරගන්නටත්, එවැනි මාෆියා මඬින්නටත් ඔහු සමත් විය. පසුගිය වසරේදී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයන් හතළිස් දෙදෙනකු මෙරටදී කොටුවී තිබිණ.

පාතාලය සහ මත් ජාවාරම ගසට පොත්ත මෙනි. ලතීෆ් වැනි නියමුවෝ එවන් සමාජගත පිළිල සමාජයෙන් තුරන් කිරීමට සමත් වූහ.

ඔහුට සේවා දිගුවක් ලබා දීමෙන් කම්පා වන්නේ පාතාලය සහ කුඩු ජාවාරම්කරුවන් පමණි.

[සම්පත් වික්‍රමසිංහ]

මාතෘකා