හීන එක්ක ඉගිල්ලෙන්න

 ඡායාරූපය:

හීන එක්ක ඉගිල්ලෙන්න

අලිමංකඩ කියන්නේ සරලව අලි පාර මාරුවන තැනට. ලංකාවේ උතුරු පළාතෙත් අලිංමකඩ කියලා ගම් පළාතකුත් තියෙනවා. නමුත් මං අද කතා කරන ළමයි ටික හම්බවුණේ ඇන්ටන් ජෝන්ස් රහ කරලා අපිට කියපු ඒ අලිමංකඩදි නෙමෙයි. කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය කියන දිස්ත්‍රික්ක තුනටම මායිම් වුණු ගල්ගමුවේ මහනාන්නේරිය ගමේදි. ගිනි ගහන අව්වෙන් බේරෙන්න ඉස්කෝලෙ පිට්ටනිය අයිනේ ගහක් යට වාඩිවුණු මට කතාවට අහුවුණේ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකතුමාව. නායකතුමාගේ අනෙක් සගයෝ ටික ඉස්කොලේ අනෙක් පොඩි එවුන්ව Dancing Event එකකට ලෑස්ති කරනවා.

"අපේ පන්තියේ ඉන්නවා අයියේ ළමයි හතළිහක් විතර. ඉස්කෝලෙ ඒලෙවල් තියෙන්නේ කලාවලින් විතරයි. තාක්ෂ‍ණික විද්‍යාගාරය 2014දී විවෘත කළාට තාම සබ්ජෙක්ට් එකට ළමයි ගත්තේ නෑ. ඒ බඩු එහෙම්ම තියෙනවා. මටත් ඕලෙවල්වලින් හොඳ ඉස්කෝලයකට යන්න ප්‍රතිඵලයක් තිබුණත් මං ගියේ නෑ"

තමන්ගේ හීනෙන් ඉහළට යන්න ලේසි පාරවල් තිබුණත් කටු අකුළු, බොරලු මැදින් ආපු පරණ පාරට ආදරේ කරන කොල්ලෝ, කෙල්ලෝ තාමත් මේ මුතු ඇටයේ ජීවත් වෙනවා. ගිය අවුරුද්දෙදි එහෙව් ළමයි හයදෙනෙක් මේ ඉස්කෝලෙන් කැම්පස් ගියා. එක්කෙනෙක් යන්නේ යාපනේ law facultyයට. නමුත් සනාථන මන්දිරය යට සංවාද කරගන්න ඔවුන් මුලින්ම අකුරු කළේ ටකරන් ගහපු, පොළොවවත් හරියට මට්ටම් නොකරපු ඒලෙවල් "මඩුවක". මට ඒ පන්තිය දැක්කාම මතක් වුණේ දුයිශෙයින් අල්තීනායිගේ ගමේ හදපු පාසල. ළමයින්ට ටැබ් දීලා අකුරු කොටන්න හදන අධ්‍යාපන ඇමතිවරුන්ට කෝල් එකක් ගන්න සිග්නල් හරියට නැති මේ වගේ පළාත්වල ළමයින්ට ඉගෙනගන්න සුදුසු පරිසරයක් හදලා දෙන්න හිතෙන්නේ නැති එක ගැන මට අනන්තවත් හිතුණා.

"සමස්ත ලංකා නැටුම් තරගවලට අපේ ළමයි හැම අවුරුද්දේම සහභාගි වෙනවා. නමුත් දිනන්නේ නම් හරි කලාතුරකින්. අපි ඉස්කෝලෙන් යන්නේ හවස හතරට විතර. අපිට ෆිල්ම් හෝල් එකක් නැති නිසා අනුරාධපුරේටම යන්න වෙනවා. වැව් හතර පැත්තේම තියෙන හන්දා අයියලායි අපියි ඉඩ ලැබෙන හැම වේලාවකම වැවට පනින්නයි බලන් ඉන්නේ. කොළඹ ළමයින්ගෙයි, අපෙයි අමුතු වෙනසක් දැනෙන්නේ නෑ. අපිට ඕන හැමදේම අම්මලා, තාත්තලා කොහෙන් හරි හොයලා දෙනවා. අපේ ගුරුවරුත් අපිට සලකන්නේ එයාලාගේම දරුවෝ වගෙයි. "

සංවිධායක මඬුල්ල ආරාධිත අමුත්තෙක් විදිහට අපිට හඳුන්වා දුන්නු කපුරුබණ්ඩා ගොවිරාල හරි අපුරු මිනිසෙක්. මහ පොළොව එක්කයි, අලි එක්කයි හොඳට මට්ටු වුණු කපුරුබණ්ඩා ගොවිරාල සොඳුරු රසවතෙක්. හැරමිටිය හෙවණැල්ල කරගත්ත මේ වැඩිහිටියා ඒ ඉස්කෝලෙ හැම දරුවකුගේම ගජ යාළුවෙක් වුණා වගේම මහනාන්නේරිය එක්ක නැදෑකම් කියන පැරණිතම සමාජිකයා වුණෙත් කපුරුබණ්ඩා ගොවිරාල. උදේ 10.30 ඉඳන් හවස 7 වෙනකල් අපි පවත්වපු වැඩසටහන් මාලාවේදි කවි ගායනා කරමින් සභාව රසවත් කළ මේ ගොවි උන්නැහේ ගමේ අනෙක් වැඩිහිටියන්ගේ නොමඳ ගෞරවය ලබමින් ජීවත් වෙනවා.

නගරබද ඉස්කෝලෙකට ඉගෙනගන්න ගිය මට මහනාන්නේරියේ ඉස්කෝලෙ ළමයි මැජික් එකක් වුණා. කිසිම අවස්ථාවක කොළ ගුළියක් උඩින් පාවෙනවාවත් ශිෂ්‍ය නායකයෙක් හරි ගුරුවරයෙක් හරි කෑ ගහන පොඩි එකෙක්ව එළියට අරගෙන ටොක්කක් අනිනවාවත් මං දැක්කේ නෑ. කට්ට අව්වේ දණ ගස්සපු ළමයි හිටියෙත් නෑ. සමහර විට ඔයා හිතයි මේ කතාව බොරුවක් කියල. වෙන්න පුළුවන්. ඔව් මේ කතාව මං යාළුවන්ටත් කිව්වාම ඒ දේම කිව්වා. එත් ඒක ඇත්තක්. සභාව අමතන්න හෝ ගීතයක් කියන්න කැමති දරුවෙක්ට ඉදිරිපත් වෙන්න කිව්වාම මහ ඉස්කෝලවල ළමයි මුහුණු හංගගත්තත් මහනාන්නේරියේ ළමයිට තිබුණේ ඇත්තටම තරගයක්. නිර්මාණවල ජයග්‍රහණ ලැබූ දරුවන්ගේ නම් කියනකොට වාඩිවෙලා උන්නු හැම ළමයෙක්ම නැඟිටලා පිටිපස්ස හැරිලා ඒ දරුවාව හොයනවා. ඒ ඇස්වල ජයග්‍රහණය පිළිබඳ නොසන්සිඳෙන ආසාවක් බැබලෙන විදිහ මං කිහිපවතාවක් දැක්කා. ඉස්කෝලේ නැටුම්වලට සහභාගි වෙන දෙක වසරේ, තුන වසරේ නංගිලා මල්ලිලාට ඇඳුම් ඇන්දෙව්වේ, කොස් කොළ ඔටුනු හදලා දුන්නේ ඕලෙවල්, ඒලෙවල් කරන අයියලා, අක්කලා.

මේ දරුවෝ බලන්න ගල්ගමුවේ ඉඳන් මහනාන්නේරියට අපි යද්දි තැන් කිහිපයක වතුර ලීටරයක් රුපියල් 2යි කියලා ගහපු බෝඩ් දහයකට වඩා පාස් කළා. මං හිතන්නේ ඒ වතුර වෙන්නැති අලිමංකඩ ළමයි බොනවා ඇත්තේ.

අපි නිතර දකින, අපට ඇහෙන සීමාවන්ට ග්‍රහණය වන ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් ලෝකයක්, හරියට නවකතාවල ලියැවිලා තියෙන ලෝකයක් මේ පොළොවේ කොහේ හරි කොණක තියෙනවා. මහනාන්නේරියෙන් අපි පටන් ගත්ත ගමන මේ කතාවෙන්ම නැවතෙන්නේ නෑ.

"මොකද අපි හුස්ම ගන්න එක නවත්තන්න තාම හිතලවත් නැති හන්දා..."

[අයන්ත යුනේෂ් ප්‍රනාන්දු]

මාතෘකා