ගෑනු අපි එහෙම තමයි... වැරදුණාම ඉගෙන ගන්නවා! : විමල් කැටිපෙආරච්චි සතිපතා ‘ඉති’ වෙත ලියයි

 ඡායාරූපය:

ගෑනු අපි එහෙම තමයි... වැරදුණාම ඉගෙන ගන්නවා! : විමල් කැටිපෙආරච්චි සතිපතා ‘ඉති’ වෙත ලියයි

මම ආයෙ කවි ලියන්නෙ නෑ.. කවියො තමයි ලෙඩ්ඩු. උන් උන්ගෙ ලෙඩේට තනියම බොන බේත් තමයි කවි. කොටින්ම කවි කියල කියන්නෙ සෙල්ෆ් කවුන්සලින්. කවි පොත් කියල කියන්නෙ උන්ගෙ බේත් තුණ්ඩු. ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් කියවල රස විඳින උන් තමයි මෝඩ හැත්ත.

``ස..ප්‍රා යිස්``

සුලෝචනා කොහේදෝ සිට පැමිණ සලිත්ගේ අතේ එල්ලුණාය. අතේ ඇති දුරකථනයෙන් ඇයට ගත් ඇමතුම වහා විසන්ධි කළ සලිත් බොරු තරහකින් ගෙරෙව්වේය.

``කොහෙද ගියේ? ඇයි දවසක් තිස්සෙ ෆෝන් ඕෆ්? කාත්තෙක්කද ගියේ? මම බලාගෙන ඉන්න බව දන්නැද්ද?``

එහෙත් ඒ ප්‍රශ්න මාලාව අසා අවසන් වන විට, අර බොරු තරහ යටගොස්, සුලෝචනා නැවත දැකීමේ විස්මය මුසු සතුට උඩට ඇවිත් තිබිණි. සලිත්ගේ අතේ එල්ලීගෙන ම ``යං යං උඩට`` යැයි සුලෝචනා කීවාය.

``මහත්තය සල්ලි?``

සරුවත් කඩේ මහල්ලා කෑ ගැසුවේ ඉන් අනතුරුවය.

``මං ඒ සල්ලි පස්සෙ දෙන්නං අංකල්``

සුලෝචනා එදෙස නොබලා ම, එපමණට ම හඬ නැඟුවාය. සලිත්, ආපසු හැරී මහල්ලා දෙස බලා ``ඔව් එහෙම වෙයි. එයා දෙයි`` වැනි හැඟවුමක් එන සේ හිසෙන් සන් කළේය. මහල්ලා, සරුවත් කඩය ඉදිරියට විත්, නිකට මඳක් ඔසවා, තම දුර්වල දෑස හැකිතාක් තියුණු කරගෙන බලා සිටින හැටි නොදැක්කා සේ සලිත් මහල් නිවාසයට ඇතුළු වූයේය. සුලෝචනා කතා කළාය.

``සලිත් ප්‍රියශාන්ත එගොඩවත්ත. ඔයාගෙ නම නං හරියටම හරි. කොයි වෙලේ බැලුවත් සලිත වෙලා ඉන්නෙ. ඇත්තට ම කවුද ඔය නම දැම්ම කිව්වෙ.. ආ තාත්තා නේද? සලිත්.. ඒක මහ අමුතු නමක්. ෂුවර් එකට උප්පැන්නෙ ලියනකොට වැරදිලා. එක්කෝ ඔයාට දාන්න ඇත්තෙ ලලිත් කියල.. නැත්තං සමිත් හරි සුමිත් හරි කියල. ඒත් කොහොමහරි වැටෙන්න ඇත්තෙ සලිත් කියල. සමහරවිට නම දාන වෙලාවෙත් සලිත වෙලා අඬ අඬ ඉන්නැත්තෙ.. අම්මයි තාත්තයි ඒ පැත්තට දුවන්න ගිහිං නම වරදින්න ඇති. කොහොමහරි කමක් නෑ ගැළපෙන නම වැටුණනෙ.. ඔච්චර සලිත වෙන්නෙපා අනේ.. මගේ ෆෝන් එක වොෂ්රූම් එකේදි බිම වැටුණා.. බිම කිව්වට අර එතන තිබ්බ පොඩි බේසමට. මට බනින්න එපා ඉතින්. ෆෝන් එකට වතුර ගියා. ඔව් ඔයා කියල තියෙනව තමා ෆෝන් එකත් අරං වොෂ්රූම් යන්න එපා කියල. දැනුයි මට ඒක තේරෙන්නෙ. ගෑනු අපි එහෙම තමයි.. වැරදුනාම ඉගෙනගන්නවා. ඉතින් මම ගියා ෆෝන් එකක් ගන්න. ඇත්තටම මම ගියේ වෙන දෙයක් ගන්න. ඒ ගමන්ම ෆෝන් එකකුත් ගත්තා. මේනකා ආව මාත්තෙක්ක ෂොපින් යන්න. මම දන්නව දැන් ඉතින් මෙතන බයවෙලා දඟලනව ඇති කියල.. සලිත් වුණාට ප්‍රියශාන්තයි හැබැයි.. හරි හරි මම දන්නව ඔයාගෙ නමේ ඒ කෑල්ලට ඔයා කොහෙත්ම කැමති නෑ කියල. ඒ කෑල්ල ටිකක් පරණයි වගේ තමයි, ඒ වුණාට ඒකෙ මොකක්දෝ ලස්සනක් තියෙනව කියල ඔයාට හිතෙන්නෙ නැද්ද? අනික ඒ දවස්වල ඔයා විකල්ප පත්තරවලට කවි ලියනකොට ඒ නමේ මාර ගැම්මක් තිබ්බා. ඔයා හැමදාම එගොඩවත්තේ. මම මෙගොඩවත්තේ. අපි බඳින්නෙ නැද්ද අනේ. දැන් මට වයසයි ළමයෝ. කොහොමහරි මම ඉතින් වහ වැටුනේ ඔය නමට තමා මුලින්ම. මුලින්ම නමට. ඊට පස්සෙ කවිවලට. ඊටත් පස්සෙ මනුස්සයට. මේ.. මට ඔයා කිව්ව දෙයක් මතක් වුණා. ඉස්කෝලෙ යන කාලෙ ඔයත් එක්ක එකට කෙඩෙට් කරපු යාළුවො කිව්වෙ එස්.පී. කියල ඔයා දවසක් කිව්වනේ.. අම්මෝ මෙයා එස්.පී නෙමෙයි ඒ.එස්.පී.``

වක්කඩේ වදන් දිය මඳකට නතරකොට, සුලෝචනා සලිත්ට හොඳට ම තුරුලු වූවාය.

``ඒත් මං මේ පොලිස්කාර හිතක් තියෙන කවියට හරි ආදරෙයි``

ඕනෑවට වඩා හිත ඉස්සර කරගෙන ලෝකෙ නැති මනස්ගාත මවාගැනීම ගැන සිතින් ලැජ්ජා වෙමින්, සලිත්, සුලෝචනා දෙස බැලුවේය. තරප්පු පෙළෙහි අඩක් දැන් පැමිණ තිබේ.

``පොඩ්ඩක් නවතින්න උපන්දින කුමාරයා. මට මේ සිමෙන්ති බැම්මට හේත්තු වෙලා ඔයාට බර්ත්ඩේ කිස් එක දෙන්න ඕන.``

``මොකක්?``

``මොකක් නෙමෙයි කිස් එකක්``

``නෑ අපි ඇතුළට යං``

``බෑ... මට මෙතන ඕනේ``

``ඔයාට පිස්සුද?``

``ඔව් පිස්සු``

එසේ කියමින්, සුලෝචනා, තම අතැති සියල්ල බිම අතහැර, සලිත්ගේ ගෙලෙහි එල්ලුනාය. ඔහුගේ දෙතොල තම දෙතොලෙහි අත් අඩංගුවට ගෙන, ඔහු ඉතා ප්‍රියකරන සුසුම් සංග්‍රහයක යෙදුණාය. සුලෝචනාගේ හිස කෙස් අතර අතැඟිලි යවන විට, පර්දාවක් ස්පර්ෂ වූවාක් වැනි අමුතු හැඟීමක් ඇවිත් ගියේය. කෙසේ වුව, ඒ ආලිංගනයට විනාඩියක්වත් ගතවෙන්නට ඇත.

``හරි. දැන් යං``

සුලෝචනා සිනා සිසී ඉස්සර වුණාය. මඳ සිනහවක් දෙතොලෙන් තදකරගෙන සලිත් පස්සෙන් වැටුනේය. මේ යමක් හිතන්නට හොඳ වේලාවකි.

``හොඳ වෙලාවට ඇතියි කියල හිතුනෙ. කවුද දන්නෙ කවුරු මෙතනින් යයිද එයිද කියලා. අර එහා ගෙදර ගෑනු කෙනාවත් ආවනං එහෙම.. ඇයි ආව කියල මොනව වෙන්ඩද? ඒත් මට මැවිලා පේනවා, අපි දිහා බලාගෙන යන හැටි.. ඒ ඇස්දෙක නං මාරයි. ඒත් මම එහෙම හිතන එක හරි නෑ. සු පව්. ඒත් මොනා කරන්ඩද? පිරිමි අනුරාගය කියන්නෙ ගෙඩි පිරුණු ගහක් වගේ. තමන්ට විතරක් ඵල නෙළාගන්න කියල හිතං ගෑනු අතු හොල්ලනවා. හැබැයි එතකොට එක එක ගෙඩි එක එක තැන්වලට වැටෙනවා. කරන්න දෙයක් නෑ. මගේ පැසට වැටුණු අඹ හැර තවත් අඹ තිබේද කියල හොයන එක තේරුමක් නැති වැඩක් සු.``

``මොනවද තනියම හිත හිත එන්නෙ.. වෙන කෙල්ලෙක් ගැනද? එව්වනං තියාගන්ඩ එපා හරිද?``

ඉසිඹු නැති සිනහව අතරේ සුලෝචනා කතාකරයි.

මේ ගැහැනියට පරචිත්ත විජානන ඥානය තිබේදැයි සලිත් කල්පනා කළේය. පිරිමි සිත අයාලේ යන හැටි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණයක් බවට ආලිංගනයක් හරවාගන්නා හැටි ගැහැනු හොඳහැටි දනිති. ඒ ලිට්මස් පරීක්ෂණයෙන් තමා අසමත් වීද යන පැනය විසින් සලිත්ව තව තවත් නිහඬ කරවනු ලැබීය.

``මෙන්න මේ බෑග් ටික අල්ලගන්ඩකෝ මම දොර අරිනකම්..``

සුලෝචනා අත තිබූ අඩුම කුඩුම ටික තම අතට ගන්නා අතරේ සලිත් බැලුවේ යාබද නිවසේ දොර දෙසය. ඒ දොර නිසලය. එදෙස බලන දෑස සසලය. දොර හැරි සුලෝචනාට, අඩුම කුඩුම නැවත බාර දී, ඇයට යන්නට ඉඩහැර, සලිත් සිගරැට්ටුවක් පත්තු කර ගන්නට සූදානම් වූයේය.

``ඉක්මනට එන්න.. මට ඔයාට බර්ත්ඩේ ප්‍රසන්ට් එක දෙන්න තියෙනවා..``

සුලෝචනා ගෙතුළට වදින අතරේ කෑ ගැසුවාය.

තවත් එක සැරයක් යාබද නිවසේ දොර දෙස බැලූ සලිත්, ඉන් ඇස් මුදාගෙන, සාක්කුවට අත දා ලයිටරය ගෙන, තොල් අතර රඳවාගත් සිගරැට්ටුවට ගින්දර සාත්තුවක් දී, කෙමෙන් දැවෙනු පිණිස ඊට පණ දුන්නේය. ප්‍රථම දුම් උගුර ප්‍රථම ප්‍රේමය තරම් ම නැවුම්ය. ඔහු එයින් ජීවනාලිය කම්පනය කරගෙන පහත බැලීය.

සරුවත් කඩය අසල සිදුවන සිදුවීම කුමක් ද? කළු ජැකට්ටුවක් හැඳගත්, මුළු මුහුණ ම වැසෙන සේ කළු හෙල්මටයක් පැලඳගත් මෝටසයිකල් කරුවෙක් පැමිණ, සරුවත් කඩය අසලින් නැවතිණි. සලිත් කල්පනා කළේය. මේ අද්භූතයා කවුද? මෙන්තෝල් රසයත් දුමත් අතරින්, මේ මෙතැන් සිට ගෙවුණු ජීවිතයේ, අවසාන මිනිත්තු පහළොව, ස්වකීය මතකයේ අහුමුළු අවුස්සා ආපස්සට ප්රැතිධාවනය කර බැලූ විට සලිත්ට හෝඩුවාවක් හමු විය.

``සරුවත් කඩේ ගාවදි සුලෝචනා ඇවිත් මගේ අතේ එල්ලෙනකොටත් මූ ඈතින් බයික් එක නවත්තගෙන ඉන්නව මම දැක්කා. මම ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. අන්න දැන් ඌ හෙල්මට් එක ගලවලා සරුවත් කඩේ අන්කල් එක්ක කතාකරනවා.``

ජැකට් කාරයා හෙල්මටය ගලවන්නට පෙර මහල් නිවාසය දෙස හොඳින් නිරීක්ෂණය කළ ද, දැන්, හෙල්මටය ගැලවීමෙන් පසු සරුවත් විකුණන මහල්ලා සමග කතාකරමින් සිටින්නේ අනෙක් පස හැරී හෙයින්, ඔහුගේ මුහුණ සලිත්ට හරියට පෙනෙන්නේ නැත. මහල්ලා මොන මොනවදෝ කියන අයුරුත් දෙවරක් මහල් නිවස දෙසට අත දිකරන අයුරුත් සලිත් පැහැදිලිව ම දුටුවේය.

``ෂුවර් එකටම ඉන්ටෙකේ එකෙක්. අරූ බූරුවා වගේ වමාරනව මට පේන විදිහට``

මේ සිද්ධිය සුලෝචනාට පෙන්වන්නට සලිත්ට උවමනා විය. ඔහු දොරෙන් එබී රහස් ස්වරයකින් කෑ ගැසුවේය.

``සු.. සු.. මෙහාට එන්න ඉක්මනට``

සුලෝචනාගෙන් ප්‍රතිචාරයක් නැති තැන, ඔහු ගෙතුළට ගොස් ඇගේ කාමරයට එබී යළිත් කතා කළේය. ඇය එහිත් නැත. අතිශය කුඩා යට ඇඳුම් දෙකකින් සැරසී ඈ සිටියේ කුස්සියේය.

``මම කෝපි හැදුවා. කේක් කෑල්ලක් කන්න එන්න උපන්දින කුමාරයා``

``කෙහෙල්මල් කේක් නෙමෙයි, අරුං මගේ පස්සෙන් ආයෙමත් ෆලෝ කරන්න පටන් අරං. එකෙක්ව මං හොඳටම නෝට් කරා. ඉක්මනට එන්න පෙන්නන්න.``

``අරුං.. කවුද? මොක්කුද? අනික මෙහෙම කොහොමද එළියට එන්නේ..?``

``මොකක්හරි රෙදි කෑල්ලක් පටලගෙන ඉක්මනට එනවා``

එසේ කීවත් සියල්ල පසෙක ලා, මේ දැවෙන ගැහැනු සිරුර මුළුතැන්ගෙයි ම පෙරළාගන්නට තරම් අනුරාග ආවේගයක් ද මෙවේලෙහි ඔහු සිතෙහි උපන්නේය. කලබලය චකිතය මැද කිසි හැඟුමක් පැහැදිලි කරගත නුහුණු තත්පර දෙකකින් පසු සලිත් නැවත කතා කළේය.

``ඉක්මනට එන්න``

එසේ කියමින් ඔහු දොර අසල බැල්කනියට දිව්වේය. මඳක් ලොකු ටී ෂර්ටයකින් සැරසී සුලෝචනා ඔහුගේ පස්සෙන් වැටුණාය.

ඔහු දොරෙන් එළියේ සිටියදී, සුලෝචනා දොර අසල සිටගෙන, පා ඇඟිලි වලින් ඉස්සී බැලුවාය.

``කෝ? කවුද?``

සලිත් සිය දෑසින් හාත්පස පීරුවේය. කළු ජැකට්ටුව හැඳ, මුළු මුහුණ ම වසාගත් අද්භූත මෝටසයිකල්කරුවා අතුරුදන් වී ඇත. සරුවත් කඩයේ මහල්ලා කිසි අමුත්තක් නොවූ පරිදි, පොළට ගොස් එන්නේයැයි සිතිය හැකි මහලු ගැහැනියකට සරුවත් වීදුරුවක් සකසමින් සිටියි.

``ඌ මාරු වෙලා``

සලිත් මිමිණුවේය.

``රත්තරන්``

සුලෝචනා ආදරයෙන් සලිත්ගේ අත ඇල්ලීය.

``මෙහෙ එන්න. ඔය පරණ දේවල් ගැන ඕනවට වඩා කල්පනා කරන්න එපා.``

ඇගේ අත විසින් ඔහු දොර අසලටම ඇදගනු ලැබිණි.

``ඕනවට වඩා කල්පනා කරාම මනස්ගාත පේනවා. ඔයා ආපහු කවි ලියන්න පටන් ගන්න. එතකොට ඕව හරියයි.``

``මොකක්?``

සලිත් යක්ෂාවේශ වූයේය. ඔහුගේ කටහඬ මුළු මහල් නිවාසය පුරා ම ගැටෙන්නට ඇත.

``එතකොට උඹත් කියන්නෙ මට පිස්සු කියලද? මොකටද කවි ලියන්නෙ? මම ආයෙ කවි ලියන්නෙ නෑ.. කවියො තමයි ලෙඩ්ඩු. උන් උන්ගෙ ලෙඩේට තනියම බොන බේත් තමයි කවි. කොටින්ම කවි කියල කියන්නෙ සෙල්ෆ් කවුන්සලින්. කවි පොත් කියල කියන්නෙ උන්ගෙ බේත් තුණ්ඩු. ඒ ප්රිිස්ක්රි්ප්ෂන්ස් කියවල රස විඳින උන් තමයි මෝඩ හැත්ත!``

(මතු සම්බන්ධයි)

මාතෘකා