කාටත් ඉඩ ඇති අමුතු පොත් කඩේ...

 ඡායාරූපය:

කාටත් ඉඩ ඇති අමුතු පොත් කඩේ...

රූස්ස ගසකින් හෙවණ වුණු මරදාන ගාමිණී හෝල් හන්දියට නුදුරු පොත් කඩපේළිය කොළඹට අමුතුම හැඩයක් ලබා දෙයි. බල්කි පිටුවල සුවඳට ආදරය කරන දහස් සංඛ්‍යාත පාඨක ප්‍රජාවක් මේ ඇසුරෙහි බිහිවෙමින් ඇත්තේ දශක කිහිපයක් තිස්සේය. සරත් අන්කල් යනු මේ කඩපේළියේ පරණම සාමාජිකයාය. ඔහුට පෙර මේ ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ ප්‍රේමදාස වීරරත්න නම් ඔහුගේ මාමාය. ඒ 1950 දශකයේය. ඔහුට මේ පොත් විකිණිල්ල පිළිබඳ අදහස එන්නේද ආබාධිතව සිටියදී ඉංග්‍රීසි ජාතිකයන් පොත් කියවනු දැකීමෙන් බව පැවසේ.

“මගේ මාමා දෙවැනි ලෝක යුද්ධයේ රාජකීය නාවික හමුදාවේ සෙබළෙක් විදහට වැඩ කරද්දි ගෑස් කෑන් එකක් පුපුරලා තුවාල වුණා. අවුරුදු දෙකකට සැරයක් මාමාට ආටිෆිෂල් කකුලකුයි, අතකුයි එංගලන්තයෙන් එවනවා. කොළඹට ආවාම එයා දැකලා තිබුණා කොළඹ අවට ඉංග්‍රීසි මහත්වරු නිතරම පොත්පත් කියවන එක. මාමා පුරුදුවෙලා හිටියා කුරුඳුවත්තේ බංගලාවලට ගිහිල්ලා ඒ පොත් සල්ලි දීලා ගන්න. එයා එහෙම එකතු කරපු පොත් මරදානේ ස්ටේෂන් එක ඉස්සරහ පේමන්ට් එකේ විකුණන්න දැම්මා"

මරදාන ප්‍රදේශයේ ඒ යුගයේදී සිටි දුම්රිය නිලධාරීහු, ස්ථානාධිපතිවරු, ගාඩ් මහත්වරු, බ්‍රිතාන්‍ය ජාතිකයෝ පොත්පත් කියැවීමට ඇබ්බැහි වී සිටියහ. ඒ යන එන බොහෝ අය ප්‍රේමදාසගෙන් පොතක් මිලදී ගනිති; ඇතැම්විට ඔහු හා පොත් හුවමාරු කර ගනිති. පොත් ගෙන එන අනිත් අයගෙන් ඔහුද පොත් මිලදී ගත්තේය. මේ සිත්ගන්නා සුලු ව්‍යාපාරය මරදාන වාසීන් සහ විදේශිකයන් අතර බෙහෙවින්ම ප්‍රචලිත විය. ඒ හේතුවෙන් ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දියුණු විය. තවත් එක් පොත් වෙළෙන්දෙක් එතනට පැමිණීමට එය හේතුවක් විය.

ටික කාලයකට පසු මරදාන දුම්රිය ස්ථානය ඉදිරියේ වෙළෙන්දන්ට තම ව්‍යාපාර ආරම්භ කිරීමට ආණ්ඩුවෙන් ඉඩකඩ වෙන්කර දීම නිසා පිඟන් බඩු, රෙදි, සපත්තු, පෑන් වැනි ව්‍යාපාරයන්ටද දොර ඇරිණි. 1976 නොබැඳි සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම හේතුවෙන් නගර සංවර්ධන කාර්යයන් සිදු කිරීමට මරදාන ස්ටේෂමේ පදික වේදිකාවේ සිට දැන් ඉන්න අලුත් නවාතැනට ප්‍රේමරත්නගේ පරණ පොත් කඩය මාරු කරන ලදී. සරත් අන්කල් මෙම ව්‍යාපාරයට සම්බන්ධ වීමට පෙර ඔහුගේ බාල සහෝදරයා පොත්වල බැඳෙන දූවිලි පිසදැමීමට ප්‍රේමරත්න මාමා ළඟට පැමිණ තිබේ.

බොහෝ පිරිස් මේ ස්ථානයට ලොබ බඳින්නේ මෙහි ඇති පාරම්පරික පෙනුමටයි. වීදුරු, ෂෝ කේස් නොදමා අමුවෙන්ම පොත්, රාක්ක තුළ ගුළිකර ඇති ආකාරයටය. මෙතැන ඉඩකඩ අඩු නිසා ඉඩ ඇති භූමියක් ලබාදෙන්නේ නම් මේ සේවාව තවත් පුළුල් කරගත හැකි බව සරත් අන්කල් කීවේය. නිතීඥවරු, දේශපාලනඥයෝ, දොස්තරවරු, ශිෂ්‍යයෝ සහ වෙනත් වෘත්තීන්වල නියැළෙන පිරිස් මෙතනට නිතරම පාහේ පැමිණෙති. විදේශිකයෝ වැඩිපුරම මිලදී ගන්නේ ලංකාවේ ලියැවුණු ඉංග්‍රිසි පොත් වන අතර ටෝනි රණසිංහ හා සුමින්ද සිරිසේනද මෙම කඩයට නිතර ආව ගිය දෙදෙ‍ෙනකි.

ෂේක්ස්පියර්ගේ නාට්‍ය පිටපත්වල සිට නූතනම ඉංග්‍රීසි නවකතා දක්වා අතිවිශාල පොතු එකතුවක් සරත් අන්කල්ගේ පරාදීසයේ ඇත. හැරී පොටර් කතා මාලාවේ සෑම මායාකරුවකුටම වෙන්වුණු යෂ්ටියක් ඇති සේ මේ පාරාදීසයට එන සෑම පාඨකයකුටම වෙන්වුණු පොතක් මඟ බලාගෙන ඇත.

"අපි අලුත් පොතුත් දානවා. නමුත් සෙනඟ පුරුදු වෙලා ඉන්නේ පරණ පොත්වලට. අපිට ගෙවල්වලින් තමයි පොත් ලැබෙන්නේ. මිනිස්සු ගේන පොත්වලට මං මිලක් නියම කරනවා. සමහරක් අය පොත් දීලා එයාලාට අවශ්‍ය පොත් මගෙන් ගන්නවා. නවකතා පොතක් අපි රුපියල් 100 ඉඳලා ගන්නවා. ඒ වගේම පොතක් සල්ලි දීලා අරන් ගිහින් ඒක කියවලා, එ්ක ආයේ දීලා වෙන පොතක් ගන්නත් පුළුවන්. එතනදි රුපියල් 50ක කියවීමේ ගාස්තුවක් ගන්නවා. හැබැයි ඒක දෙන්නේ අපි නවල්ස්වලට විතරයි."

සරත් අන්කල්ගේ හෙවණැල්ල සේ හිඳින්නේ ඔහුගේ පොඩි පුතාය. සෑම පොතක්ම රාක්ක තුළ පදිංචි වී ඇති ස්ථානය ඔහු දනී. පාරිභෝගියකු පැමිණ සරත් අන්කල්ගෙන් "මේ පොත තිබේදැයි" ඇසූ විට ඔහුගේ නෙත දිවයන්නේ සිය පුතු දෙසටය. අලෙවිකරණ අංශයේ ඉහළ තලයක රැකියාවක් කළ ඔහු අද මේ පොත්සැලේ යාවජීව දෙවැනි සාමාජිකයාය. කලින් කරපු රස්සාවෙයි මේකෙයි කිසි වෙනස්කමක් මට පේන්නේ නැහැ. වෙනසකට තියෙන්නේ යුනිෆෝම් එකයි, තැනයි විතරයි."

ජාත්‍යන්තර පාසල්වල විෂය නිර්දේශවලට අදාළ අතිශය දුර්ලභ මිල අධික පොත් සරත් අන්කල් ලබාදෙන්නේ සහන මිලකටය. ඇතැම් වෙලාවකට සම්පූර්ණ මුදලින් අඩකටත් වඩා අඩුවෙන් පොත් ලබාගැනීමට හැකිවන වාසනාවන්තයන්ද මේ පාරාදීසයට ගොඩවදී.

මෙවන් හිත සතුටින් ඉපිලෙන රැකියාවක නිරත වන්නට බොහෝ දෙනකුට අවස්ථාවක් නොලැබේ. ඔහු විඳින්නේ ඒ නිරාමිස ප්‍රීතියය.

"මේ වගේ තැනක තියෙන වටිනාකම ගැන දන්නේ පොත්වලට ආදරය කරන අය. පොතක් ගන්න සිංගප්පූරුවෙන් ආපු විදේශිකයෙක් මට කිව්වේ "Don't kill this taste" කියලා. මේ පරණ විදිහට, දුවිල්ලත් එක්ක තියන්න කියලා. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ ඉන්න තැන ටිකක් ඉඩ තියෙන විදිහට සංවර්ධනය කරලා දෙන්න කියන එක විතරයි. අපි විකුණන්නේ බුද්ධිය. සමහරක් අය මානසික සුවය හොයාගෙන මෙතනට එනවා. විශ්‍රාමික උගතුන් මෙතනට ඇවිල්ලා කතාබහ කරලා එයාලාගේ දැනුම බෙදාගන්නවා. සමහරු මට කියනවා ‘පොඩිකාලේ මං මගේ තාත්තා එක්ක ආවේ ඔයාගේ තාත්තාගේ පොත් බලන්න’ කියලා. මං මේ සම්බන්ධයෙන් වෙබ්සයිට් එකක් පටන් ගත්තා. අපි හිතන් හිටියට කොළඹ 70% -80%ක් මෙතන දන්නවා කියලා, ඇත්තටම දැනගෙන ඉඳලා තියෙන්නේ 30%ක පිරිසක් විතරයි."

"සමහර මිනිස්සු ගාව ඉතාම දුර්ලභ ගණයේ කලෙක්ෂන් තියෙනවා. එයාලා කෑමති නෑ එවා විනාශ කරන්න. එයාලා ඒ වගේ පොත් අපිට ගේනවා. මනුස්සයෙක් ඉන්නවා පොත්වලට ආදරය කරන. නමුත් එයාගේ මුණුබුරා ඒවාට ආස නෑ. එයා පොත් දකින්නේ කසිකබල් ගොඩක් විදිහට. ඉතින් ඒ වයසක උදවිය අපිට පොත් දීලා, අපෙන් පොත් අරන් යනවා. සමහරක් අය මුදල් ගන්නවා. අපි අවුරුදු පහළොවක් තිස්සේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගි වෙනවා."

2021දී ගුවන් දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිසා මේ කඩපේළිය ඉවත්ව යන බවට රාවයක් පැතිර යමින් පවතී. එසේ ඉවත් වුවහොත් පිරිසකට තම රක්ෂාවන් අහිමිවෙනවා සේම පාරිභෝගිකයාටද සිදුවන්නේ අසාධාරණයකි. නෙළුම් කුලුන ආශ්‍රයෙන් බිහිවන සංචාරක පුරයට මෙවන් සංස්කෘතිකමය වටිනාකම් රැක ගැනීමෙන් ලැබෙන ආලෝකය පිළිබඳ අටුවා ටීකා අනවශ්‍යය.

[අයන්ත යුනේෂ්

මාතෘකා