ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්ති එදා සහ අද

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්ති එදා සහ අද

බ්‍රිතාන්‍ය යුගය

බ්‍රිතාන්‍ය යුගයේ ආකාර දෙකක ගොවිජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය. එකක් නම් සංවර්ධනය නොවූ ඉඩම් අත්පත් කර ගැනීමය. මෙම ඉඩම් යටත් විජිත කිරීටයට අයත් ඉඩම් ලෙස නම් කෙරුණි. දෙවැන්න නම් ප්‍රසිද්ධ වෙන්දේසියේදී ඉහළම ඉල්ලුම්කරුට මෙම ඉඩම් විකිණීමය. 1840 හා 1841 Temple Lands Registration Ordinance පනතේ සියලුම වනාන්තර, මුඩු බිම්, වගා නොකරන ලද ඉඩම්, ඔප්පු තිරප්පු මඟින් අයිතිවාසිකම් පෙන්වීමට නොහැකි වූ සියලුම වගා ඉඩම්ද අත්පත්කර ගනු ලැබීය.

විශේෂයෙන් තෙත් කලාපයේ හා අතර මැදි කලාපවල ගවයින්ගේ තණ බිම් මෙන්ම හේන්ද මේ යටතේ අත්පත් කර ගැනුණි. මෙම ඉඩම් “පොදු ඉඩම්” ලෙස හඳුනාගෙන තිබුණේ පොදුවේ පරිහරණය කරන බැවිණි. කන්නයේ හෝ අවශ්‍යතාව අනුව මෙම ඉඩම් පරිහරණය කිරීම සිරිත විය. Temple Lands Registration Ordinance යටතේ 1856 - 1865 අතර කාලයේදී පන්සල් ඉඩම්ද යටත් විජිත රජයෙන් පවරා ගනු ලැබීය.

1870 තරම් වන විට කෝපි, සින්කෝනා හා තේ වගාව සඳහා අක්කර 600,000ක බිම් ප්‍රමාණයක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා තිබුණි. විදේශිකයන් මෙරට පදිංචි වීමට හා ඉඩම් අයිති කර ගැනීමට ඉඩදීම, යන ඉඩම් විකිණීමේ ප්‍රතිපත්ති නිසා මෙරට වතු කෘෂිකර්මය ආරම්භ විය. උඩරට වතුවල වැඩ කිරීමට ගැමි ජනතාව දැක් වූ අකමැත්ත නිසා වතුවල වැඩ කර ගැනීමට දකුණු ඉන්දියාවෙන් කුලීකරුවන් ගෙන්වා ගැනීමට බ්‍රිතාන්‍ය වතු හිමියනට සිදු විය. මෙහි ප්‍රතිඵලය ලෙස උඩරට වතුවල ස්ථිර ඉන්දියානු වතු කම්කරු පිරිසක් බිහිවිය. පසු කලෙක රබර් හා පොල් වගාවද බිහිවිය.

ගොවි ජනතාවගේ ශුභ සිද්ධිය සඳහා බ්‍රිතාන්‍ය පාලකයින් කිසිවිටක උනන්දු වූයේ නැත. කෝල් බෘෘක් කොමිසමෙන් රාජකාරි ක්‍රමය අහෝසි කිරීම නිසා, වැව් ප්‍රතිසංස්කරණය මෙන්ම ග්‍රාමීය ආර්ථිකයද කඩා වැටුණි. රජරට බොහෝ ප්‍රදේශද වල්බිහිවිය. ධාන්‍ය සඳහා බ්‍රිතාන්‍යයන් විසින් බදු අය කළ අතර, විටින් විට සිදුවන බෝග පාළුවද නොතකා මෙම බදු අය කළහ. ධාන්‍ය බදු නොගෙවන ගොවීන්ගේ ඉඩම් අත්පත් කරගෙන විකිණීමට 1866 අංක 5 දරන ආඥා පනතින් ආණ්ඩුව බලය පවරා ගන්නා ලදි. මෙරට ගැමි ආර්ථිකයේ වී ගොවිතැන ළඟට වැදගත් වූයේ හේන් ගොවිතැනය. හේන් ගොවිතැන තහනම් කිරීමට විරුද්ධව බලවත් විරෝධයක් මතුවීම නිසා එය අත්හැර දැමුණි. ගැමි ජනතාව බලවත් ලෙස ආහාර අහේනියට පත් වූ නිසා එයට පිළියමක් ලෙස නැවතද වරක් වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කර වී වගාව කරගෙන යෑමට පහසුකම් සැලසීමට හෙන්රි වෝඩ් (1856 - 60) කටයුතු කළ නමුත් එය නියම පිළියමක් නොවීය. 1892 දී ධාන්‍ය බද්ද අවලංගු කෙරුණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදි. කෘෂිකර්ම කටයුතු පුළුල් කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ගන්නොරුව වත්ත යොදා ගත් අතර, 1912දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද ආරම්භ කළේය. 1916දී කෘෂිකර්ම පුහුණු හා ව්‍යාප්ත කටයුතු සඳහා පේරාදෙණිය කෘෂිකර්ම අභ්‍යාස විද්‍යාලය පිහිටුවීය.

1927 ඉඩම් කොමිසම, ඉඩම් නොමැති ගොවීන්ට, ඉඩම් ලබාදීම සඳහා නිර්දේශයක් ලබාදීමට හේතු වූයේ වැඩිවන ග්‍රාමීය දිළිඳුභාවයට පිළියමක් ලෙසටය. මේ යටතේ ගම් පුළුල් කිරීම හා ගොඩ ඉඩම්වල ගොවීන් පදිංචි කිරීම ද සිදුවිය. 1935දී පනවන ලද Land Development Ordinance පනත යටතේ පදිංචිකරුවන් සදහා නෛතික පසුබිමක් සහතික විය- 1927 ඉඩම් කොමිසම ස්ථාපිත කළේ පරපෝෂිත වැවිලි කර්මාන්තය නිසා රටේ දරිද්‍රතාව වඩාත් පුළුල් වීම නිසා යැයි විශ්වාස කෙරේ. පළමු ලෝක යුද්ධය සමයේ සහල් අපනයනය පිළිබඳ දුෂ්කරතා ඇති වීම නිසා, කෘෂිකර්මය නඟාලීම අවශ්‍ය විය. 1931 ජූලි 7 දින රැස් වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූ ඇමතිවරුන් අතර, ඩී. එස්. සේනානායක මහතා කෘෂිකර්ම හා ඉඩම් ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසු විශාල වැව් පිළිසකර කර, ජනපදවල ජනයා පදිංචි කරවා, ඒවායේ ගොවිතැන සඳහා පහසුකම් සලසා දීමෙන්, කුඹුරු ගොවිතැනේ විශාල පරිවර්තනයක් සිදු විය. හේන් වගාව නිසා කුරක්කන් මෙනේරි, තල, අබ, මුං වැනි වියළි ධාන්‍ය, මිරිස් හා එළවළුද ලබාගත්හ.

කුඹුරු පනත

1958 ගෙන එන ලද අඳ ගොවි පනත ගොවියා, විශේෂයෙන් අඳ ගොවියා මූලික කර, අනුමත කරගත් නීත්‍යනුකූල පනතකි. මෙය කුඹුරු ඉඩම් සඳහා බලාත්මක කෙරුණි. පනතේ අරමුණ වූයේ අඳ ගොවියා ආරක්‍ෂා කර ගැනීම වේ. අඳ ගොවියාට යම් අසාධාරණයක් සිදුවේ නම් එය විසඳා ගැනීමට වගා කමිටු ස්ථාපිත විය. මේ නිසා අඳ ගොවියාට, වඩා වාසි සහගත තත්වයක් උදා වූ අතර, වාරි හා ජල කළමනාකරණය, යෙදවුම් භාවිතය, ඉඩම් ආරවුල් නිරවුල් කිරීම, ගොවීන් අතර එකමුතු බව වැනි කරුණුද බලාත්මක කිරීම වගා කමිටුවලට බාර විය. මෙහි ගොවියාට ඇති අයිතිවාසිකමක් ලෙස දැක්විය හැක්කේ ඔහුව ඉඩමෙන් ඉවත් කිරීමට ඉඩම් හිමියාට නීතිමය ඉඩක් නොමැති වීමය. අස්වැන්නෙන් 50%ක් ලබා ගැනීමටද ගොවියාට හැකියාවක් තිබේ. නමුත් 2000 අංක 46 සංශෝධනයෙන්, අඳ ගොවියාට තිබුණු වරප්‍රසාද අහිමි විය. කෙසේ වෙතත් ගොවිජන සංවර්ධන පනත 2011 අංක 46 පනතින් නැවතත් අඳ ගොවි වරප්‍රසාද බලාත්මක කෙරුණි. 1958 පනතට සමානව, අක්කරයකට බුසල් ප්‍රමාණයක් ප්‍රවේණි බද්දක් ලෙස ලබා දීමටද තීරණය විය. තවද කෘෂිකාර්මික මෙන්ම කෘෂිකාර්මික නොවන ප්‍රදේශවලටත් මෙම පනත බලාත්මක විය.

ලෝක ප්‍රවණතා

1950 ගණන්වල ඇමෙරිකානු ජාතික නොබෙල් ත්‍යාගලාභී නෝමන් බෝලොග් විසින් කෘෂි රසායන පොහොරවලට ප්‍රතිචාර දක්වන වැඩි අස්වැන්නක් ලබා දෙන, තිරිඟු නිෂ්පාදනය කර ගැනීමත් සමඟ එම අභිජනන තාක්‍ෂණය ආසියාවේ සහල් නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා ලදි. 1960 ගණන් මැද භාගය වන විට ශ්‍රී ලංකාවටද මෙම තාක්‍ෂණය හඳුන්වා දුන්නේය. මෙය ‘හරිත විප්ලවය’ නමින් ප්‍රචලිත විය. මෙම හරිත විප්ලවය, රාජ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්තියද වූ නිසා, පර්යේෂණ හා ව්‍යාප්ත කටයුතු මෙන්ම වැඩසටහන්ද මෙහි ප්‍රවර්ධනයට අනුකූලව සිදුවිය. කෘෂිකර්ම අභ්‍යාස ආයතන, විශ්වවිද්‍යාලයන්හි කෘෂිකර්ම පීඨ හා පාසල්වල විෂය මාලාවටද මෙම විෂය ඇතුළත් කරනු ලැබීය. ඇත්තටම ලංකාවේ සහල් නිෂ්පාදනය මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි විය. පසුකාලීනව කෘෂි තාක්‍ෂණය කෙසේ වෙතත් වෙනත් අවශේෂ බෝග සදහා බාහිර යෙදවුම් භාවිතා කරන ලදි. මේ හැරුණු විට ‘හයිබ්‍රිඩ්’ බඩඉරිඟු වැනි බෝගද මෙරට ගොවිතැනට එකතු විය. ලංකාවේ එතෙක් පැවැති ස්වයංපෝෂිත කෘෂිකර්මය, වාණිජ කෘෂිකර්මයකට පරිවර්තනය වූයේ මෙහි ප්‍රතිඵලය ලෙසිනි. 1977 ආරම්භ වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා ප්‍රථම වතාවට කෘෂිකර්මයද ජාත්‍යන්තර වෙ‍ෙළඳපළට විවෘත විය. වෙළඳාම, සේවා සහ ටැරිෆ් බදු පිළිබඳ ගිවිසුම් දෙකකටත්, දකුණු ආසියානු නිදහස් වෙ‍ෙළඳ ගිවිසුමකටත් ලංකා රජය අනුමැතිය ලබාදුනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගොවියාගේ ආරක්‍ෂණ අහෝසි විය. ගොවියා අපනයන කෘෂිකර්මයකට ගැට ගැසූ අතර, වෙළඳ පළ ආර්ථික ක්‍රමයක මූලික පරමාර්ථය වන, මෙතෙක් අත්දැකීම් නොලැබූ අලුත් තරගයකට මොවුන් යොමු කරවීය.

1996 නොවැම්බර් 13 - 17 දිනයන්හි දී ලෝකයේ සියලුම රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් “ලෝක ආහාර සමුළුව” රෝමයේ දී පවත්වන ලද. එහිදී සාකච්ඡා වූ කරුණු හා යෝජනා ‘රෝම ප්‍රකාශනය’ ලෙස නිකුත් විය. මෙම සමුළුව කෘෂිකර්ම ප්‍රතිපත්ති හා ක්‍රමෝපාය පිළිබඳව සකස් කළ එම ප්‍රකාශනයෙහි සාධනීය කරුණු රැසක් අඩංගු වේ. ආහාර මිනිසාගේ මූලික අයිතිවාසිකමක් ලෙසත්, කුසගින්නෙන් ජනතාව නිදහස් කරගත යුතු බවත් මෙහි කියැවේ. ඒ වන විට බිලියන 7ක්වූ ලෝක ජනගහනයෙන් බිලියන එකක්ම නින්දට යන්නේ කුසගින්නෙන්ය යන්න අවධාරණය විය. ආහාර හිඟයට හා කුසගින්නට ප්‍රධානම හේතුව දිළිඳුභාවයයි. සමුළු නියෝජිතයන් මෙයට එක් විසඳුමක් ලෙස යෝජනා කළේ ආහාර නිෂ්පාදනය වැඩි කළ යුතු බවයි. අවම වශයෙන් ප්‍රධාන ආහාර නිෂ්පාදනය සඳහාවත් අවධානය යොමුවිය යුතු බවයි. මෙය සිදුවිය යුත්තේ ස්වභාවික සම්පත් (ජලය, පස, ජෛව විවිධත්වය) වලට හානිවීමක් හෝ ක්‍ෂය වීමක් සිදු නොවන හෝ ලෙස ගොවිතැන සිදුකිරීමය. බටහිර කාර්මික රටවල පරිභෝජනය හා නිෂ්පාදනය යන රාමුව හානිදායක බවත් ප්‍රකාශ විය. ග්‍රාමීය ප්‍රදේශවල සමාජ ස්ථාවරත්වයක් ඉටුකර ගත නොහැකි වුවහොත්, ඔවුන් කෘෂිකර්මයෙන් ඉවත්ව, නගරවලට හෝ වෙනත් රටවලට සංක්‍රමණය වීමේ අවදානමක් ඇති බවද, මෙම ප්‍රකාශනයෙන් කියැවුණි.

2000න් පසු කෘෂිකර්ම ප්‍රතිපත්ති

මෙම දශකය තුළ කෘෂිකර්ම ප්‍රතිපත්ති විශාල ප්‍රමාණයක් සකස් වී තිබේ. මේවා සියල්ලක්ම කෙටුම් පත් මට්ටමින් එහා ගොස් නැත. පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගෙන ඇත්තේ මින් එකක් පමණක් වීම විශේෂත්වයකි. 1960 ගණන්වල හරිත විප්ලව ප්‍රතිපත්ති මෙන්ම 1977 න් ආරම්භ කළ ධනවාදී විවෘත ආර්ථිකයේ බලපෑමද සමස්ත වශයෙන් මෙම කෙටුම්පත්වල අඩංගු වී තිබේ. භ්එසදබ්ක ්ටරසජමකඑමරු ඡදකසජහ ්බා ීඑර්එැටහ ත්‍ර්පැඅදරන ප්‍රතිපත්ති රාමුව 2001 වර්ෂයේ ජනවාරි මාසයේදී සකස් විය. මෙහි දක්වා ඇත්තේ මෙම ප්‍රතිපත්ති 2001 - 2005 කාලපරාසයට බලාත්මක වන බවයි. මෙහි ඇතුලත් ප්‍රතිපත්ති මෙසේය. කෘෂිකර්ම අංශය වෙළඳපල ඉලක්ක කර වර්ධනය විය යුතුය. මේ සඳහා ඉල්ලුමට සරිලන බෝග තෝරා ගෙන වගා කිරීමෙන් ආහාර නිෂ්පාදනය වැඩි කළ යුතු වේ. පර්යේෂණ හා ව්‍යාප්ත කටයුතු ඒ සඳහාම යොමු විය යුතුය. මෙම කටයුත්තේදී පුද්ගලික අංශයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කෙරේ. මේ සඳහා යෝජනා කරන ආර්ථික රාමුව මෙසේය. අලෙවිය සඳහා රජය මැදිහත් නොවිය යුතුය. පුද්ගලික අංශයේ ක්‍රියාකාරී සහභාගිත්වය වැඩි වැඩියෙන් ලබා ගැනීම, දේශීය ගොවිතැන සඳහා ලබාදෙන ආරක්‍ෂක වැඩ පිළිවෙළ නවතා දැමීම, ගොවීන් වෙළඳපළ තරඟකාරිත්වයට විවෘත කිරීම මෙම ප්‍රතිපත්ති වේ. මේවා පැහැදිලිවම ලෝක වෙළඳ සංවිධානයේ සහ ලෝක බැංකුවේ අවශ්‍යතාවන්ය. මෙම ප්‍රතිපත්ති රාමුවට සියලුම කෘෂිකාර්මික බෝග ඇතුළත් වේ. පරිච්ඡේද නවයකින් (9) සමන්විත මෙම ප්‍රතිපත්ති රාමුව, සැලකිය යුතු තරම් කෘෂිකර්මය පිළිබඳ දත්තද ලබා දී තිබේ.

National Agriculture Policy යනුවෙන් තවත් ප්‍රතිපත්තියක් කෘෂිකර්ම හා පශු පාලන ආමාත්‍යාංශය සකස් කරන්නේ 2002 - 2010 කාල වකවානුව තුළ, බලාත්මක කරමිනි. එකම අමාත්‍යාංශය වසරක් ඉක්මවීමටත් පෙර තවත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස්කරන්නේ ඇයිද යන ප්‍රශ්නයක් මතු වේ. කෙසේ වෙතත් කලින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වූ මූලික ධර්මතා එලෙසටම මෙහිදීද දක්නට ඇත. අලුතින් එක් වූ ප්‍රතිපත්තියක් වන්නේ, ගොවිතැනේ තිරසාරත්වය වැඩි කිරීමය. මේ සඳහා යෝජනා වී ඇත්තේ: පාංශු හා ජල සම්පත රැක ගැනීම සඳහා ජල පෝෂක සංරක්‍ෂණය, පාංශූ සංරක්‍ෂණ පනත බලාත්මක කිරීම, ශාක හා සත්ව අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර, ගොවි බිමේ කාබනික සංචිතය වැඩි දියුණු කර ගැනීම, කාබනික ආහාර නිෂ්පාදනය ගොවිතැනට අදාළ කර ගැනීම වැනි පාරිසරික ගොවිතැනේ භාවිතයන්ය. මෙම කෙටුම්පතද, කලින් ලෙසටම එතෙකින් නිමාවෙයි. 2006 වසරේදී Sri Lanka National Agriculture Policy for Domestic and Export Agriculture නමින් තවත් ප්‍රකාශනයක් සකස් වෙයි. මෙහි ප්‍රධාන ලෙස දක්වන්නේද කෘෂිකාර්මික යෙදවුම් භාවිතය හා වාණිජ කෘෂිකර්මයට අදාළ ප්‍රතිපත්තීන්ය. අලුත් දෙසකට ඇත්තේ කෘෂිකර්මයෙන් ඈත්වන තරුණ පිරිස එක්කර ගැනීමයි. මෙයද වචන ගොඩකින් ප්‍රකාශ වුවත්, ප්‍රායෝගිකව සිදුකළ හැකි කිසිවක් නොමැත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය ලෙස 2007 ජූනි 08 වැනි දින පාර්ලිමේන්තු පනතකින් National Agriculture Policy for Food and Export Agricultural Crops and Floriculture නමැති කෘෂිකර්ම ප්‍රතිපත්තිය අනුමත කර ගත්තේය. ගෝලීය ධනවාදී වාණිජකරණ පිළිවෙතින් යම් ප්‍රමාණයකට හෝ වෙනස් කර, දේශීය කෘෂිකර්ම ප්‍රවේශයක් ලබා ගත්තේය. එහි පාරිසරකව, ආර්ථිකව හා සමාජයීය තිරසාරභාවය, ඉටු කරන ප්‍රතිපත්තියක් ලෙස හැඳින්විය හැක. අරමුණ හා පරමාර්ථ අතර ජාතික ආහාර හා පෝෂණ සුරක්‍ෂිතතාව සහතික කිරීම පිණිස දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනය පුළුල් කිරීම, දේශීය හා අපනයන කෘෂිකර්මය කෙරෙහි ගෝලීයකරණය නිසා ලැබෙන ප්‍රතිලාභ උපරිම කිරීම හා බලපෑම අවම කිරීම, ඒකක නිෂ්පාදන පිරිවැය අඩු කිරීම හා ලාභ වැඩිකිරීමේ ඵලදායී ගොවිතැන් ක්‍රම හා වැඩිදියුණු කළ තාක්‍ෂණ භාවිතය, කෘෂිකර්ම පරිසරයට හිතකර තාක්‍ෂණ භාවිතය, කෘෂිපාදක කර්මාන්ත බිහි කිරීම, සහ එමඟින් රැකියා අවස්ථා බහුල කිරීම මේ අතර වේ.

දිගු නිහැඬියාවකින් පසු 2018 වර්ෂයේ දී නැවතද වරක් කෘෂිකර්ම අමාත්‍යාංශය, ලෝක කෘෂිකර්ම හා ආහාර සංවිධානය හා එක්ව, Development of a National Policy for Sri Lanka කෙටුම්පත ඉදිරිපත් කෙරුණි. මූලික අන්තර්ගතය ගෝලීය වාණිජ කෘෂිකර්ම ප්‍රතිපත්තියමය. මෙහි ඉතා කෙටියෙන් කෘෂිකාර්මික පරිසර පද්ධතියේ ස්ථායීතාව ගැන සඳහනක් ඇත.

පසුගිය වකවානුවේ සකස් වූ කෘෂිකර්ම ප්‍රතිපත්ති ජාතික වශයෙන් වෙනසක් සිදුකිරීමට තරම් ශක්තිමත් වී නැත. ගරු ඩී. එස්. සේනානායක, පිලිප් ගුණවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව වැනි කෘෂිකර්ම අමාත්‍යවරු රටට දැනෙන වෙනස්කම් සිදු කළහ. කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී ගොවි නායකයින්ගේ හෝ ක්‍රියාධරයින්ගේ අදහස් ලබාගත් බව මෙලෙස සකසා ගෙන තිබෙන ප්‍රතිපත්තිවලින් පිළිබිඹු නොවේ. තවදුරටත් ගොවියා, ගොවි කම්කරුවෙක් හෝ භාණ්ඩ සපයන්නෙක් පමණක් විය යුතු නැත. තරුණ පරම්පරාව කෘෂිකර්මයෙන් ඈත් වන බව ප්‍රතිපත්තිවල කියවුණත්, එයට ලැබිය යුතු ප්‍රායෝගික විසඳුමක් ප්‍රතිපත්ති තුළින් ලැබී නැත. කෘෂිකර්ම ප්‍රතිපත්තියක ගොවියා කේන්ද්‍රීය සාධකය නොවන තාක් ශ්‍රී ලංකාවේ ගොවිතැන අනතුරේය.

ආචාර්ය ලයනල් වීරකෝන්

News Order: 
4
මාතෘකා