පිනි වෑහෙන මිහිදුම් සේලයේ සැඟවුණු MORNING SIDE සුන්දරත්වය

 ඡායාරූපය:

පිනි වෑහෙන මිහිදුම් සේලයේ සැඟවුණු MORNING SIDE සුන්දරත්වය

හිරු ක්‍රමයෙන් ප්‍රචණ්ඩ වෙමින් සිය අණසක පැතිරුවද හාත්පස වසාගත් මිහිදුම් සේලය පරාජය කිරීමට නොහැකි වූවා සේය. තරු කැට සේ දිලිසෙන කුඩා පිනි බිඳිති තවමත් තුරුපත් අග දිස්න දෙයි. හිරිගඩු නංවන සිසිල් මදනලක් තුරුගොමු මැදින් හමා එයි. තුරු පත් මත රැදි පිනි පටලය සිහිගන්වන්නේ තවමත් මද්දහන උදා නොවූ බවයි. නමුත් මද්දහන පසුවී බොහෝ වේලා ගොසිනි. ඒ පිළිබඳ කිසිදු හැඟීමක් හෝ නොදැණුනා මෙනි. තවමත් මෙහි පවතින්නේ අරුණාලෝකය උදාවන සුන්දර හිමිදිරියයි.

හිරු මුදුන් වී යළි සැඟව ගොස් දවස නිමා වුවද මෙහි පවතින්නේ රාත්‍රියත් හිමිදිරි උදෑසනක් පමණකි. අනෙක් ප්‍රදේශවලට හිමිදිරි උදෑසන, දහවල, සවස උදාවුවද හිමිදිරි උදෑසනකට සමාන ස්වභාවයක් මුළු දවස පුරාම පවතින මෙවන් රම්‍ය භූමි දෙව්ලොව පමණක් පවතී යැයි පැවසුන ද එවැනි සොඳුරු රම්‍ය භූමියක් මේ මිහිතලය මත සිංහරාජ වන උයනට මායිම්ව පිහිටා තිබේ. ඒ අන් කිසිවක් නොව හිමිදිරි පෙදෙස හෙවත් 'Morning Side' ලෙස හඳුන්වන සොබා සොඳුරු පාරාදීසයයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කොට්ඨාස සීමාවෙහි රක්වාන හා දෙනියාය අතර සූරියකන්දෙහි පිහිටි හිමිදිරි පෙදෙස හෙවත් 'අරුණාලෝක අඩවිය' ලෙස ප්‍රචලිත වී ඇති මේ මනරම් ප්‍රදේශය සිංහරාජයෙහි නඟෙනහිර මායිමෙහි පිහිටා තිබේ. මෙරට ප්‍රමුඛ වැසි වනාන්තරය වන සිංහරාජ සීමාව තුළ පිහිටියත් තෙත් කලාපීය පරිසර ස්වභාවයෙන් මඳක් ගිලිහුණු මෙම සීමිත ප්‍රදේශය දවස පුරා මිහිඳුම් සේලයකින් වැසී පවතින අතර යාබදව පවතින කඳු පන්තිය නිසා දවසේ වැඩි වෙලාවක් හිරු එළියට මුවා වී පවතී. සවස ඉර බැස යෑමේදී කඳුවල හෙවනැල්ල මේ ප්‍රදේශයට වැටීම නිසා සවස් යාමයේද තද අව් රැල්ලක් වැටීමේ අවස්ථාවක් උදා නොවන නිසා දවස පුරාම මෙහි පවතින්නේ ළා හිරු එළිය සහිත හිමිදිරි උදෑසනක ස්වභාවයකි.

මෙම පරිසර කලාපයෙහි දවස පුරාම මීදුමෙන් බරවූ හිමිදිරි උදෑසනක ඇති සෞම්‍ය කාලගුණයට සමාන දේශගුණික තත්ත්වයක් පවතින නිසා තේ වගාව සඳහා මෙම ප්‍රදේශයට පැමිණි ඉංග්‍රීසි ජාතිකයන් මෙම ප්‍රදේශය හිමිදිරි පෙදෙස හෙවත් 'Morning Side' යනුවෙන් නම් කළ බව විශ්වාස කෙරේ. අතීතයේ සිංහරාජයෙහිම කොටසක් ලෙස පැවති මෙම ප්‍රදේශය බ්‍රිතාන්‍ය පාලන සමයේදී තේ වගාව සඳහා යොදාගත් අතර එකල මෙම ප්‍රදේශය 'Morning Side' වතුයායට අයත්ව තිබී ඇත. පසු කලක මෙම ප්‍රදේශයෙහි එනසාල් වගාව සිදුකළ අතර පසුව තේ හා එනසාල් වගාවන් දෙකම අතහැර දමා තිබේ. ඉන්පසුව යළිත් සිංහරාජයටම නතුවූ මෙම ප්‍රදේශයේ මේ වන විට ද්විතීයික වනාන්තර වඩාත් හොඳින් වර්ධනය වී තිබේ.

පවතින කාලගුණික සහ පාරිසරික ස්වභාවය නිසා ඉහළ වටිනාකමක් හිමිකර ගත් හිමිදිරි පෙදෙස ජෛව විවිධත්වයෙන්ද සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී. සිංහරාජයෙහි නැඟෙනහිර මායිමේ පිහිටීම නිසා සිංහරාජයේ දක්නට ලැබෙන ජෛව විවිධත්වය මෙහිද නොඅඩුව දක්නට ලැබෙන අතර මෙරටට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ රැසක්ද ඒ අතර වේ. සිංහරාජයේ හෝ වෙනත් ලංකාවේ කිසිම වනාන්තරයක දැකිය නොහැකි සත්ත්ව හා ශාක විශේෂ කිහිපයක්‌ මෙම හිමිදිරි පෙදෙසින් වාර්තා වන අතර සිංහරාජයෙහි මෙන්ම තෙත් කලාපයෙහි අවසන් අලි දෙදෙනා වන සිංහාරාජයේ අලි දෙදෙනාද වසරේ ඇතැම් කාලවලදී මෙම හිමිදිරි පෙදෙස ආශ්‍රිතව දැක ගත හැකිය.

2012 වර්ෂයේදී ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මඟින් මේ ආශ්‍රිතව සිදුකළ පර්යේෂණයකදී හිමිදිරි පෙදෙසේ දොළ මාර්ගයක තිබී නව කෙකටිය විශේෂයක් හඳුනා ගැනීමට හැකිවිය. 2016 වසරේදී මෙම කෙකටිය විශේෂය ලොව මෙතෙක් සොයාගෙන ඇති කෙකටිය විශේෂවලට වඩා වෙනස් බව නිගමනය කිරීමට හැකිවිය. ඒ අනුව එය ශ්‍රී ලංකාවට ආවේණික නව කෙකටිය විශේෂයක් බව තහවුරු වූ අතර සොයාගත් නව කෙකටිය විශේෂය නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාට ගෞරවයක් වශයෙන් ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි (Aponogeton kannangarae) යනුවෙන් විද්‍යාත්මකව නම් කරන ලදි. මෙම කෙකටිය විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික හිමිදිරි පෙදෙසේ පමණක් දැකිය හැකි, ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන අතිශය දුර්ලභ ශාක විශේෂයක් වන අතර මෙම කෙකටිය විශේෂය හමුවන්නේ හිමිදිරි පෙදෙසෙහි පිහිටන දොළ මාර්ග දෙකකින් පමණකි.

මෙහි පවතින සෞම්‍ය කාලගුණයත් පරිසයේ පවතින චමත්කාරයක් වෙනත් කිසිම ස්ථානයකදී අත්විඳිය නොහැකි නිසා සංචාරකයන් අතර හිමිදිරි පෙදෙස පිළිබඳව පවතින්නේද දැඩි ආකර්ෂණයකි. මේ නිසා මෙම කලාපය ආශ්‍රිතව සංචාරක කර්මාන්තයද වර්ධනය වී ඇති අතර සංචාරක පහසුකම් ලබාදීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් 'Morning Side' වන නිවහන පවත්වාගෙන යනු ලබයි. සංචාරකයන් හට සූරියකන්ද සිට සැතපුම් අටක් ‌වන මැද පිහිටා ඇති මෙම සංචාරක නිවහනෙහි නැවතී හිමිදිරි පෙදෙසෙහි සුන්දරත්වය විඳීමට අවශ්‍ය පහසුකම් සලසා ගත හැකිය.

සොබා දහමේ විස්මිත නිර්මාණයක් වන මෙම හිමිදිරි පෙදෙස කෙතරම් රම්‍ය භූමියක් වුවද විවිධ මානව ක්‍රියාවන් නිසා එහි සුන්දරත්වය ක්‍රමයෙන් වියැකී යමින් තිබේ. අධික සංචාරක ආකර්ෂණයක් පවතින නිසා සංචාරයක් වෙනුවෙන් මාර්ග, ගොඩනැඟිලි ආදිය ඉදිකිරීම මෙන්ම සංචාරකයන්ගේ නොමනා හැසිරීමද මෙහි සංවේදීතාවයට දැඩි බලපෑමක් ඇති කරයි. මෙම ඉසව්වේ පවතින සංවේදී ඉඩම් සිංහරාජයට එකතුකර ගැනීමට වඩා හෝටල් ඉදිකිරීමට, තේ කුළුබඩු, අල වැනි වගාවන් සඳහා යොදා ගන්නා ආකාරයක්ද දැකිය හැකිය. මේ නිසා මෙම සොඳුරු ප්‍රදේශයෙහි ජෛව විවිධත්වය හා සුන්දරත්වය රැක ගැනීම වෙනුවෙන් හිමිදිරි පෙදෙස අභය භූමියක් බවට පත් කිරීමේ යෝජනාවක්ද මේ වනවිට ඉදිරිපත් වී තිබේ.

මීදුම්සළු නිරන්තරයෙන් අහස් වියනේ ගෙත්තම් කරනා දහවලටත් සවසටත් උදෑසන සේ දිස්වන මෙවන් සොඳුරු ඉසව්වක් මේ මිහිපිට තවත් දැකිය නොහැකි තරම්ය. මේ නිසා එය රැක ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුය. නොඑසේ නම් නුදුරේදීම හිරු දුටු පිනි බිඳු සේ මෙම හිමිදිරි පෙදෙසේ සුන්දරත්වයද වියැකී යනු නොඅනුමානය.

[අසිරු වේදිත කරුණාරත්න]

ඡායාරූප [පේෂල පසන්]

News Order: 
3
මාතෘකා