සිහින දැකීම් අත්නොහරින්න

 ඡායාරූපය:

සිහින දැකීම් අත්නොහරින්න

Child Of the Dark

ජීවත් වීමම හිංසාවක් වූ කළ, උදාවෙන සෑම අලුත් දිනයක්ම සැනසීමක් නොමැති කුණාටුවකට හසුවී සුනු විසුනු වීම නියමයක් වූ යථාර්ථයක සිට සිහින දකින මිනිසුන් සිටීද? ජීවිතයේ පොරබදන්නට සිදුවන කාරණාව කුසගින්න පමණක් වෙද්දී ඉපදුණු පොළොවේ බිම් අඟලකවත් අයිතියක් නොමැතිව අසරණකම සහ වේදනාව නමැති යෝධ කකුල්වලට පෑගි පෑගී තැලෙන ජීවිතවල සිට සිහින දකින්නට තරම් ශක්තිමත් හදවත් තිබේද? මේ කතන්දරය, සියල්ල අහිමි වෙද්දී, සිහින දැකීම අත්නොහැරි අපූර්වතම ගැහැනියකගේ ජීවිතය ඇතුළත් කෘතියක් පිළිබඳවය.

බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ මුඩුක්කුවක තම ජීවිතය සමඟ අරගල කළ ඇය නමින් කැරොලිනා මරියා ඩී. ජීසස්ය. ඉතා කටුක ළමා කාලයක් ගෙවූ ඇය වසර දෙකකට පමණක් සීමා වූ අධ්‍යාපනයක් ලැබූවෙකි. තම ජීවිතයේ ගැටලු ඉදිරියේ ඇදවැටෙන සහ දරාගැනීම අල්පව දිවි තොර කරගන්නා මිනිසුන් මේ නූගත් නීග්‍රෝ ගැහැනියගෙන් ඉගෙනගත හැකි සියුම් තැන් නැවත නැවත හැදෑරිය යුතුය.

ඈ ජීවත් වූ ෆැවෙලාව (මුඩුක්කුව) පිහිටා තිබුණේ සාඕ පවුලෝවල ප්‍රයෝජනයට නොගන්නා වගුරු බිමකය. රැකියාවක් නොමැති ගැබිනියක් ලෙස ඈ කැනින්ඩේ නම් ෆැවෙලා ජීවිතය පටන් ගන්නීය. ඉවත දැමූ ලෑලි, කාර්ඩ්බෝඩ්, ටින් කෑලි එකතු කර ඈ සියතින්ම තම පැල්පත සෑදුවාය. ෆැවෙලාවේ වෙසෙන මිනිසුන්ට රැකියා දීමට කිසිවකු ඉදිපත් නොවූ හෙයින් ඔවුන් ජීවත් වූයේ නගරවැසියන් ඉවත දමන කසළ බාල්දි අවුස්සා එකතු කර ගන්නා දෑ විකුණා ලැබෙන සුළු මුදලින්ය. ඔවුන් කුසගිනි නිවාගන්නේද කසළ බාල්දිවල ඇති ඉවත දැමූ හෝ නරක් වූ කෑම ආහාරයට ගෙනය. මානව පරිහානිය අතින් ඉහළම තැනක තිබූ ෆැවෙලා ජීවිත ගත කළ මිනිසුන් අතරින් කැරොලිනා පමණක් වෙනස් වන්නේ කෙසේද? වැදගත්ම තැන එතැනය.

"රෑ උණුසුම වැඩියි. අහස තරුවලින් තිත් වැටිලා. මට පිස්සු ආසාවක් ඇතිවෙනවා අහසේ කෑල්ලක් කපල ඇඳුමක් මසා ගන්න.."

මේ ඇගේ සිතිවිලිය. දරුවන් වැදීම, කුසගින්න සමඟ පොරබැදීම, අපිරිසුදුකම, මත්පැන් මැද දුගඳ හමන ජීවිත ගෙවන ෆැවෙලා ගැහැනුන් අතර ඇය වෙනස් වූයේ මෙතැනය. කායිකව සහ මානසිකව කෙතරම් හිංසනයට ලක් වුවද ඇය තමාගේම සිහින ලෝකය බිඳෙන්න නොදුන්නාය. ඈ ලිවීමට ආශා කළාය. අතට හසුවන ඕනෑම දෙයක් කියැවීමට ආශා කළාය. ඇගේ සිතිවිලි වෙනස් වූයේ එතැනය. තමා මුහුණදෙමින් සිටි පීඩාවන් අමතක කිරීමට ඈ නවකතා, නාට්‍ය සහ කවි ලීවාය. ඒ අතර ඇගේ ජීවිතයේදී මුහුණදෙන දෛනික සිදුවීම් සහ දැනෙන දේ විවෘතව ලීවාය. තමාගේ එකම සතුරා වූ කුසගින්න ගැන ඈ අපූරුවට තම දිනපොතේ සඳහන් කරන්නෙ මෙසේය.

"ජීවත්වෙන්න කැමති නම් කෑදර ගිජුළිහිණියන්ව අනුගමනය කරන්න ඕනෑ බව තේරුම්ගෙන තිබෙන එකම කණ්ඩායම තමයි ෆැවෙල්ඩෝස්ලා"

සිතිවිලි අතින් උස් මුදුනක උන් ඇය මවක් ලෙසද ෆැවෙලාවේ වෙසෙන ගැහැනුන්ට වඩා ඉදිරියෙන් සිටියාය. පියවරු කවුදැයි නොහඳුනන දරුවන් තිදෙනකු ඈ රැකබලා ගන්නා ආකාරය පුදුම සහගතය.

"අහගෙන ඉන්න මොනතරම් අප්‍රසන්නද ළමයෙක් කෑම කන අතරේ අහනවා නම් 'තව නැද්ද?' හිස් මුට්ටිය දිහා බලන අතරේ අම්මාගේ ඔළුව ඇතුළෙ සියවරක් නාද වෙමින් තියෙන්නෙ 'තව නැද්ද?'"

තම දරුවන්ට කෑම අල්ප දිනයක ඇය දිනපොතේ සඳහන් කරන්නේ එසේය. ෆැවෙලාවේ සිටින්නවුන් කසළ ආහාරයට ගත්තද, කැරොලිනා තම දරුවන් තිදෙනාට කසළ ආහාරයට ලබා දීමට අකමැති වූවාය. සිය අසනීප නොතකා මුළු දිනය පුරාම, ඉවතලන කඩදාසි, හිස් බෝතල් එකතුකර විකුණා ලැබෙන සුළු මුදලින් දරුවන්ට දිය හැකි හොඳම වර්ගයේ ආහාර ලබාදීමට ඈ වෙහෙසුණාය. ඇගේ හදවතත් දරුවන්ගේ හදවතත් අතර හිස්තැනක් නොතබන්නට ඈ වගබලා ගත්තාය. තමන් ගෙවන දුක්බර ජීවිතයට වඩා සැප පහසු ජීවිතයක් දරුවන්ට ලබා දීමට සිහින දුටු ඇගේ හදවතේ තිබූ වීර්යය මහා පර්වතයක් තරම් විශාලය.

මේ එඩිතර නීග්‍රෝ ගැහැනියගේ ආත්මය සෙමින් කියවාගෙන යන අතර හසුවන ඉතා සියුම් සහ වටිනා දෙය නම්, ඇය ඇයවම කියවාගෙන ඇති ප්‍රමාණයයි. අප ජීවත් වන වර්තමාන සමාජයේ වුවද තමන්ව හරිහැටි කියවා තේරුම් ගත් පිරිස අල්පය. නිහඬව තමන්ට කන්දී තමන්ගේ හැඟීම් ගලන රටාව හැඳිනගත් මිනිසුන් අල්පය.

තමන්ගේ දැනීම් පිළිබඳව මනා වැටහීමක් ඇති මිනිසුන් අල්පය. නමුත් කැරොලිනා ඒ සියල්ලටම වඩා ඉදිරියෙනි.

"මම හිතන්නෙ නෑ ඒ ප්‍රචණ්ඩ බව කිසිවක් විසඳනවා කියලා."

ෆැවෙලා මිනිසුන් දිනපතා එකිනෙකා අතර ඇතිකර ගන්නා ආරවුල්වල මැදි වෙන ඇය සිතන්නේ එසේය. කෙතරම් සංයමයකින් ඇය ඇයව සහ අවට සමාජ පරිසරය තේරුම්ගෙන ඇතිද යන කාරණා ඇගේ දින සටහන් අතර සෑම තැනකින්ම නිතර මතුවී පෙනෙයි.

"සෙන්යෝර් මැනුවෙල් ඇවිල්ල කියනවා එයාට මාව බඳින්න ඕනෑලු. නමුත් මට ඕනෑ නෑ. මොකද මම දැන් මෝරලා. කියවීම නවත්තගන්න බැරි, රෑටත් ඇඳෙන් නැඟිටල ලියන, කොට්ටෙ යට කඩදාසි පැන්සල් තියන් ඉන්න ගෑනියෙක්ව ගන්න කැමති මිනිහ කවුද?"

ඒ ඇගේ සිතිවිලි ලෝකයය. රෙදි කැබැල්ලකින් සිය නාසය වසාගෙන සිටිය යුතු තරම් දුගඳ අපිරිසුදු පරිසරයක සහ අපිරිසුදු පැල්පතක ජීවත් වූ ඇගේ සිතිවිලි ලෝකය වෛවර්ණ සහ ඉතා සුවඳවත් එකක් වූයේය. ඇය ඇයටම අවංකව විවෘතව ලියූ දිනසටහන්ම ඇයගේ සිහින ලෝකය සැබෑ කර දුන්නේය. ඇතැම් විට එය හිංසාකාරී ජීවිතයක සිට සිහින දැකීම අත්නොහැරි එඩිතර බව වෙනුවෙන් ස්වභාවධර්මයා ඇයට තිලිණ කළ ත්‍යාගයක් විය යුතුය.

ඇගේ දිනසටහන් කෘතියක් ලෙස මුද්‍රණය වූ පසු, ෆැවෙලා ජීවිතයන්හි කටුක යථාර්ථය ලෝකයට හෙළිවිය. ඇගේ දිනපොත බ්‍රසීලය පුරා සාහිත්‍යමය ප්‍රබෝධයක් ඇති කරන්නටද හේතු විය. අවසානයට නූගත් නීග්‍රෝ ගැහැනියක ලෙස හැඳින්වූ කැරොලිනා ජීසස්ගේ පොත තරම් බලපෑමක් ඇතිකළ වෙනත් පොතක් එවකට නොතිබුණි.

පසුව ඇය විශ්වවිද්‍යාලයන්හි දේශන පැවැත්වූ අතර ඇගේ දිනපොත සාඕ පවුලෝ නීති විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව හදාරන සිසුන්ට අනුමත පොතක්ව තිබිණි.එසේම ඇය එම විශ්වවිද්‍යාලයේ "ගෞරව සාමාජිකත්වය" ලැබූ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොමැති පළමුවැනියාද වූවාය.

ඇගේ දිනසටහන්වල ප්‍රධාන චරිතය වූයේ කැරොලිනා නොව, කුසගින්නය. කුසගින්නට පිළිස්සෙමින් පදම් වූ ඇය ෆැවෙලාවෙන් ගැලවී ජීවත් වන කාලයේදී ආපනශාලාවක කෑමක් ගැනීමට ලද අවස්ථාවක ඇය සමඟ පිංතූරයකට පෙනී සිටි පුද්ගලයකුට මෙසේ පැවසුවාය.

"ඔය පිංතූරය යටින් ලියන්න, කුණු බාල්දිවල කෑම කාපු කැරොලිනා අද උසස් ආපනශාලාවක කෑම ගන්නවා කියලා. කුණු ගඳගහන නරාවලේ ඉඳලා දැන් එයා මිනිස් වර්ගයා වෙත ආපසු ඇවිත් කියලත් ලියන්න."

"මම ඉන්නේ අපායේ වෙන්න ඇති" නමින් සිංහල භාෂාවටද පරිවර්තනය වී ඇති "THE DIARY OF Carolina Maria de Jesus" නම් මේ අගනා කෘතියේ ඔබ කැරොලිනා ජීසස්ව හමුවිය යුතුමය. ඇගේ ජීවිතයේ වේදනාකාරී අතීතය, ෆැවෙලා ජීවිතයෙන් සම්පූර්ණයෙන් ව්ව්හෙසට පත් වූ ඇයට අවසානයේදී දෛවය දුන් ප්‍රහාර අතර ඇගේ නිමාව ඔබ කියවිය යුතුමය.

අවුරුදු දාහතරක ගැහැනු ළමයි නොමඟට කැමති කරවා ගැනීමේදී සාර්ථකත්වයක් තිබෙනවා යැයි කැරොලිනාට මිනිසකු පැවසූ අවස්ථාවකදී ඇයට දැනුණු හැඟීම පිට කළ ඇගේ කවියකින් මම නවතින්නෙමි.

 

"නොසිතන්න කිසිදා ලැබේ යැයි කියා

මගේ ආදරය නැවත

නැහැ, වැඩෙනු ඇත්තේ මගේ වෛරයයි

මුල් සැදී ගෙඩි සැදෙනු ඇත."

සටහන [හංසි පෙරේරා]

News Order: 
11
මාතෘකා