පටු මාවත්වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත...

 ඡායාරූපය:

පටු මාවත්වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත...

අමරදේව කියන්නේ අමරණීය හඬක්. ඒ බව වැඩියෙන්ම දැනෙන්නේ ඔහු වෙන්ව ගියාට පස්සේ. පණ්ඩිත් අමරදේව ගැයූ ගී අතරින් අතිශය ජනප්‍රිය වුණු ගීතයක් තමයි මේ ගීතය. ප්‍රේමයක අවසානයේ එය අතීත සැමරුමකට සීමා වෙනකොට කාටත් නිතැතින්ම වගේ මේ සිංදුව කියවුණා. දෙන්නා එකට ආගිය තැන් දකිද්දි කාටත් මේ සිංදුව කියවුණා.

ප්‍රේමය කියන්නේ එක්වරම ලැබුණු ජයග්‍රහණයක් නෙවෙයි. පරාජයන් සමූහයක පශ්චාත් තත්ත්වයක්. බොහෝ දෙනකුට එහෙමයි. මේ නිසා බොහෝ දෙනකුට පහුගිය ප්‍රේම කතා තියෙනවා. එහෙම කල් පරණ වෙච්ච ප්‍රේම කතාවක් ඇතුළේ ජීවත් වෙන්න හදන විනාඩි කිහිපයක් විදිහට තමයි මේ ගීතය දැනෙන්නේ. මේක ඇත්තටම අද ඊයේ අත්හැරුණු මඟ හැරුණු ප්‍රේමයක් නෙවෙයි. කාලෙකට ඉස්සර මඟහැරුණු ප්‍රේමයක්. මේ පෙම්වතා තමන්ගේ අතීත ප්‍රේමයේ මතක සටහන් තියෙන පාරක් දිගේ ඇවිදගෙන යනවා. ඒ යන ගමන් මතක් කරනවා ඉපැරණි ප්‍රේමය. මේක ගොඩක් දිග කතාවකුත් නෙවෙයි. ඉතා කෙටි පටුනක්. ජීවිතේ එහෙම බැඳීම් මුණගැහෙනවා. ඉතාම කෙටි කාලයකට විතරක් සමහර විට දවස් කීපයකට විතරක් සීමා වෙන ප්‍රේම කතා ඕනෑ තරම් තියෙනවා. එහෙම දවස් කීපයකින් ප්‍රේමය expire වෙලා ගියාට ඒ මතකය නිතර හොල්මන් කරනවා. මේ පෙම්වතාටත් වෙන්නේ එහෙම දෙයක්. අතීතයේ දවස් කීපයකට විතරක් සීමාවුණු කෙටිම කෙටි ප්‍රේමයක් ගැන අතීත මතකයක් ආපහු මතක් වෙනවා ඇය එක්ක ගිය ගුරු පාරක යද්දී.

“මේ ගුරු පාරේ මේ දොළ අයිනේ

අපේ රහස් ඇත සැඟවීලා

අපේ රහස් ඇත ලියැවීලා”

මහචාර්ය රංජිත් බණ්ඩාර දවසක් දේශනයකදී කිව්වා ඔහුට සරසවියේදී ඔහුගේ එක පෙම්වතියකගේ හිනි ඇඟිල්ලෙන් අල්ලන්න මාස තුනක් විතර ගියා කියලා. ඒ අවස්ථාව ලබා ගන්න සෑහෙන කට්ටක් කන්න වෙලා. ඒත් අද වෙනකොට ප්‍රේමය කියන එකේ සංස්කෘතිය වෙනස් වෙලා කියලයි ඔහු කිව්වේ. ඒ කියන්නේ ප්‍රේමය හුදෙක් ශරීර ගනුදෙනුවක් විතරක් වෙලා දැන් එහෙම කට්ට කන්න ඕන නෑ “Rooms take away” කියලා හැමතැනම ගහලා තියෙනවා කියලයි ඔහු කිව්වේ.

ඇත්ත. ඔය හැටේ දශකයේ හැත්තෑවේ දශකයේ මුල වගේ කාලවල ප්‍රේමය කියන්නේ පට්ට පරම පිවිතුරු පූජනීය දෙයක්. ඒ කාලේ පෙම්වතුන් පෙම්වතියන් බැඳුනේ ආධ්‍යාත්මිකව. ප්‍රේමය ශරීර කෘත්‍යයකට සීමා කළේ නෑ. ඒකට ප්‍රධානම හේතුව මොකක්ද ඒ කාලේ දූපත්වාසී අපි ලෝකය දැකලා තිබුණේ නෑ.

අර ගොළු හදවතේ සුගත් වෙන්නයි හැම පෙම්වතකුටම ඕන කළේ. හැබැයි 1977 විවෘත ආර්ථිකය ආවට පස්සේ ලංකාවේ හිතාගන්නවත් බැරි සංස්කෘතික පරිවර්තනයන් සිදු වුණා. පෙම්වතුන්ට සුගත් අමතක වුණා. අර කියන ප්‍රේමය තවදුරටත් ආධ්‍යාත්මික වැඩක් නෙවෙයි හැඟීම් ගනුදෙනුවක් කියන දේ එළියට ආවා. ඊට පස්සේ ප්‍රේමය ශාරීරික ගනුදෙනුවක ශිෂ්ට, පිළිගත් නාමයක් විතරක් වුණා. හැබැයි මේ සිංදුවේ කියන්නේ ඔය විපර්යාසය සිද්ධ වෙන්න කළින් ප්‍රේමය ගැන.

“පටු මාවත්වල දූවිලි අතරේ

අපගේ ඉපැරණි පිය සටහන් ඇත ...//

දොළ මත දිදුලන පෙණ පිඬු අතරේ

අපේ කතාවේ කෙටි පටුනක් ඇත”

මේ කියන පෙම් කතාවේ අතීත මතකය එකම එක සාධකයක්වත් ඉතුරු නොවෙන විදිහට මැකිලා ගිහිල්ලා. ඉතුරු වෙලා තියෙන්නේ ආගිය පාර විතරයි. එතකොට මේ පෙම්වතා හිත හදා ගන්නවා. “කිසිම මතක සටහනක් අපේ කියලා ඉතිරි වෙලා නෑ. එහෙනම් අපේ පිය සටහන් මේ දූවිලි අතර ඇති කියලා. දැන් ඉතිං දූවිලි අතර තියෙන පියසටහන් හොයන්නේ කොහොමද? ඔහුට හොයන්න ඕන නෑ. ඒත් ඔහු විශ්වාස කරනවා මේ දූවිලි යට නම් පිය සටහනක්වත් ඇති කියලා.

ඒ වගේම තවත් අනියත දෙයක් ඔහු උපමාවට ගන්නවා. “දොළ මත දිදුලන පෙණ පිඬු” මේවා හැමදාම එකම විදිහට තියෙන්නේ නෑ. වෙනස් වෙනවා. එහෙම නම් “දොළේ පෙණ පිඬු අතරේ “මතක සටහන් ඇති කියලා හිතන එකත් හිත හදා ගන්න කියන කතාවක් මිසක් ඇත්තක් නෙවෙයි. ඒ තරමට මේ දෙන්නාගේ ප්‍රේමය මැකිලා ගිහිං ඉවරයි.

“ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා

අතිනත් ගෙන අප දෙඩූ කතාබහ ....//

එනමුදු එදවස් සඟවනු හැකිවේ

ඉරට හඳට ඇළ දොළට කතා බැහැ”

දැන් අර මුලින් කිව්ව පාරිශුද්ධ සඳ එළිය වගේ පවිත්‍ර ප්‍රේමය මෙතැනදි එළියට එනවා. පෙම්වතා කියනවා “අතිනත අල්ලගෙන අපි කතා කරපු දේවල් දැක්කේ ඉරයි හඳයි ඇළයි දොළයි විතරයි” කියලා. එතකොට මේ පෙම්වතා මේ ගුරු පාරෙදි කරලා තියෙන්නේ අතින් අල්ලගෙන කතා කර කර යන එක විතරයි. දැන් ප්‍රේම සංස්කෘතියට අනුව නම් එහෙම අතින් අල්ලගෙන කතා කර කර යන ප්‍රේම කතා ගැන මෙච්චර පද ගලපන්නේ නෑ. එහෙම පද ගළපන්න තරම් හැඟීමක් ඉතුරු වෙන්නෙත් නෑ. එහෙම අතින් අල්ලගෙන නෙවෙයි ශාරීරික ගනුදෙනුවලින් අවසන් වුණු ප්‍රේම කතා බොහොමයක් පහුකරලා යන වර්තමාන පෙම්වතුන් පෙම්වතියන් ඒ සියල්ලම හිතන්නත් බැරි තරම් ඉක්මනින් අමතක කරලා දාලා ජීවිත අලුත් කර ගන්නවා. ඒත් මේ පෙම්වතා තාම අර අතින් අල්ලගෙන ගිය ෆැන්ටසියට මාර ආදරෙයි. ඔහු ඒක ඇතුළේ වින්දනයක් ලබනවා. ඉරට, හඳට, ගහකොළට කතා කරන්න බැරි නිසා ඒ අපි කතා කරපු කිසිවක් එළියට එන්නේ නෑ කියලා. එහෙම බැලුවම මේ පෙම්වතා ඒ අතීතය එළියට එනවට යම් අකමැත්තක් දක්වන බව පේනවා. ඒකට හේතු වෙන්න පුළුවන් ඔහුත් දැන් ඒ අතීතය අමතක කරලා දාලා ජීවිතය අලුතින් පටන් ගැනීම. අර අත් අල්ලගෙන ගිය පාරේ යනකොට මතක් වුණාට ඔහු ඒ මතකයේ සේයාවත් ආපුහු අර දූවිලි ගොඩේ හංගලා දානවා. මොකද වර්තමාන ජීවිතයට ඒක බාධාවක් වෙයි කියලා. බොහෝ දෙනෙක් මේ වැඩේ කරනවා. තමන් විතරක්ම දන්නා රහස් ආපහු ආපහු ඇදලා අරං විඳලා හොරෙන්ම ආපහු හිත අස්සේ හංගලා දාන එක ගොඩක් අය කරන දෙයක්. මේ පෙම්වතාත් එහෙම කෙනෙක්.

[අරවින්ද ඉන්ද්‍රජිත්]

News Order: 
9
මාතෘකා