රජරටින් හමා ආ 'කඩමුලන් සුවඳ'

 ඡායාරූපය:

රජරටින් හමා ආ 'කඩමුලන් සුවඳ'

වාර්ෂික සිව්වන වරටත් සංවිධානය කරන ලද 'කඩමුලන් සුවඳ' සිතුවම් හා මූර්ති දැක්ම ඉකුත් 28-29 දෙදින පුරා තඹුත්තේගම ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

චිත්‍ර කලාව ශක්තිමත් කිරීම සඳහා එප්පාවලින් ඇරඹි මෙම ප්‍රදර්ශනය ලබන වසරේදී රට පුරා චිත්‍ර ශීලිපීන්ට විවෘත සමස්ත ලංකා තරගයක් බවට පත්කරන බව සෞන්දර්ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ඒ.ඩී.එස්. නේත්‍රානංජන මහතා පවසයි.

28 වැනිදා පස්වරුවේ පැවැති එහි සම්මාන ප්‍රදානෝත්සවයේදී අදහස් දැක්වූ නේත්‍රානංජන මහතා සදාචාරාත්මක සමාජයක් බිහි කිරීම සඳහා හික්මීම ප්‍රගුණ කළ සැබෑ පුරවැසියෙකු බිහි කිරීමට චිත්‍ර විෂය මහෝපකාරී වන බවත් කඩමුලන් සුවඳ තරගාවලිය හා ප්‍රදර්ශනය තෙලිතුඩ ශක්තිමත් කිරීමේ මඟක් බවත් කියා සිටියේය.

"සිතුවම් හා මූර්ති ඇගයීමේ මෙම වැඩසටහන අපි ආරම්භ කළේ මීට වසර හතරකට පෙර එප්පාවල ජාතික පාසලෙන්. මෙවර අපි තරග ශිර්ෂ හතළිහක් යටතේ නිර්මාණ ඉදිරිපත් කිරීමට ශිල්පීන්ට අවස්ථාව ලබාදීමෙන් 6,500ක් තරම් විශාල සංඛ්‍යාවක් නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකි වුණා. ඒ වගේමයි තඹුත්තේගම අධ්‍යාපන කලාපය හැරුණු විට වෙනත් කලාප හා පරිපාලන දිස්තික්ක ගණනාවක සිසුන්ට හා විවෘත අංශයෙන් අනෙක් ශිල්පීන්ට නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසුවා. මේ තරගාවලියට විවිධ තේමා යටතේ ප්‍රශස්ථ නිර්මාණ රාශියක් ඉදිරිපත් වීම අපට සතුටක්. එම නිර්මාණ අතුරින් 500ක් අද දින ඇගයීමට ලක්වෙනවා." යැයි ඒ මහතා පැවැසුවේය.

හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වන කලාශූරී සෝමපාල විජේසුන්දර මහතාගේ සහභාගීත්වයද ඇතිව තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ඒ.ඩී.එස්. නේත්‍රානංජන මහතා ඇතුළු නිලධාරීහු එහිදී විශිෂ්ටයින් ඇගයීම සිදු කළහ. 500ක් තරම් පිරිසකට එකවර සම්මාන සහතික හා කුසලාන එකවර පිරිනැමීම මෙහි විශේෂත්වක් විය.

දෙදිනක් පුරා පැවැති චිතු හා මූර්ති ප්‍රදර්ශනය නැරඹීමට කලාකරුවන් විද්වතුන්, ගුරුවරුන් හා සිසුන් ඇතුළු විශාල පිරිසක් එක් වූ බව සංවිධායකවරු පැවැසූහ.

[සරත් මනුල වික්‍රම]

News Order: 
7
මාතෘකා