දරුවන්ට දඬුවම් ඕනෑමද?

 ඡායාරූපය:

දරුවන්ට දඬුවම් ඕනෑමද?

මවුපියන්ගේ ක්ෂණික කෝපය නිසා දරුවන් පීඩාවට පත්වන අවස්ථා ඕනෑ තරම් දක්නට තිබේ. නමුත් මවුපියන් ලෙස ඔබේ කෝපය අහිංසක දරුවා පිටින් යැවීම සාධාරණද? දරුවාටද නිදහස් සහ ස්වාධීන ජීවිතයක් තිබිය යුතුය.

කුඩා කල සිටම නිදහසේ හැදෙන දරුවන් නිර්මාණශීලී දරුවන් වනවා සේම ඔවුන් ජීවිතයේ අභියෝග ඉලක්ක ඉතාම පැහැදිලිව ජයගනු ලබන බව සත්‍යයකි. එහෙත් කිසියම් රාමුවකට කොටුවූ දරුවන් යන්ත්‍ර සූත්‍ර මෙන් ක්‍රියා කරන කිසිවක් ස්වාධීනව කරගත නොහැකි පිරිසක් බවට පත්වීම නිතැතින්ම සිදුවන්නකි.

දරුවකු මෙලොවට බිහිකළ නිසාම ඔහු හෝ ඇය මවුපියන්ට අවශ්‍ය ආකාරයටම හැදෙන්න අවශ්‍ය නැහැ. එහෙත් අවාසනාවකට මෙන් බොහෝ මවුපියන් සිතන්නේ ඒ ආකාරයටයි. තමාට ළඟාවීමට නොහැකි වූ ඉලක්ක සහ ජයග්‍රහණ දරුවා තුළින් බලාපොරොත්තු වීමට ඇතැම් මවුපියන් පෙලඹෙයි. තමන්ට ඇතිවන කේන්තිය සහ මානසික ආතතිය දරුවා පිටින් යැවීමට පහරක් දීම දෛනික අංගයක් කරගත් මවුවරුන්ද සමාජයේ වේ.

රැකියාව, ගෙදර වැඩ සමඟ දරුවන්ගේ වැඩ ආදී සියලු වගකීම් තමා මත පැටවී තිබෙන විට මවක් විශාල ආතතියකට ලක්වීම අරුමයක් නොවේ. එහෙත් අහිංසක දරුවන්ට තම මවුපියන්ගේ මානසික මට්ටම අවබෝධ කරගැනීමට හැකියාවක් නැතද මවුපියන් සිතන්නේ දරුවන් ඔවුන්ගේ මානසික මට්ටම වටහාගත යුතු බවයි. එමෙන්ම තමා කියන දේ එකවරම දරුවන් අවබෝධ කර ගනී යැයි බලාපොරොත්තු වීමද මවුපියන් අතින් සිදුවන තවත් වරදකි. එම නිසාම එය එසේ නොවූ විට දරුවන්ට බැණ වැදීමට හා පහර දීමට පෙලඹේ.

දරුවන්ගේ වැරදිවලට ලබාදිය යුතු අවසාන දඬුවම පළමුවෙන්ම ලබාදීම නිසා දරුවන් මුරණ්ඩු වීමට මඟපාදන්න බව ඔබ දැන සිටියාද? එවැනි දරුවන් දිනකදී මවුපියන්ට හොර රහසේ තම අවශ්‍යතා සපුරා ගැනීමටද ක්‍රියා කරනු ඇත. වරක්, දෙවරක්, තෙවරක් මවුපියන්ගේ පහරදීම්වලට ලක්වූ දරුවකු "අම්මාගේ හෝ තාත්තාගේ ගුටිය” විහිළුවකට ගන්නවා සේම එය ඔවුන්ට දැරිය හැකි සාමාන්‍ය දෙයක් බවටද පත්කරගනී.

ඒ නිසා දරුවන් "කමක් නෑ, ගුටියක්න ලැබෙන්නේ" කියන අදහසින් නැවත නැවත මවුපියන් කේන්ති ගැන්වීමට උත්සාහ දරන අවස්ථාද දකින්නට තිබේ.

එවැනි අත්දැකීම් ඇති මවුවරු පවසන්නේ එය සත්‍යයක් බවයි.

ඉතින් මේ ක්‍රමයෙන් යහපත් දරුවකු බිහිවීම කෙසේවෙතත් මවුපියන්ටත් හොරෙන් තමාගේ අවශ්‍යතා සපුරා ගන්නා, සමාජයට වෛර කරන පුද්ගලයකු නම් බිහිවීමට ඉඩ ඇත. එම නිසා දරුවන් එම තත්ත්වයෙන් මුදවා ගෙන යහපත් හා ස්වාධීන දරුවන් ලෙස අනාගතයට යැවීම බුද්ධිමත් මවුපියන්ගේ යුතුකමක් සහ වගකීමක්ද වේ.

වැඩිහිටියන් විසින් දරුවන් කරන වැරදිවලට දඬුවම් දීම අවශ්‍ය නැද්ද? දරුවන්ට දිය යුතු දඬුවම් මොනවාද? එම දඬුවම් තෝරාගැනීමේ මනෝවිද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක පසුබිම කෙසේදැයි දැන් විමසා බලමු.

කාර්ය බහුල ජීවන රටාව එක්ක නිතරම ඔබ ඔබේ දරුවා සමඟ ගැටෙනවාදැයි ඇසුවහොත් බොහෝ අයගේ පිළිතුර "ඔව්" යන්නයි. ඒ නිසා ඇතිවන හදිසි කෝපය නිසා දරුවාට පහර දෙන්නට, බැණවදින්නට බොහෝ මවුවරු පෙලඹෙන්නේ නිරායාසයෙනි. මේ ආකාරයට දිගින් දිගටම පහරකෑම්වලට සහ දෝෂාරෝපණවලට ලක්වන දරුවකු තුළින් නිතරම ශ්‍රාවය වන්නේ ඇඩ්‍රිනලීන් සහ කෝර්ටිසොල් වැනි හෝර්මෝනයි. මෙම හෝර්මෝන පහරදීම, පලායෑම, දුක සහ කෝපය වැනි අවස්ථා සමඟ සම්බන්ධ වී පවතී.

දිගින් දිගටම කුඩා දරුවන් මෙසේ පීඩාවට ලක් වීමෙන් සිදුවන මනෝවිද්‍යාත්මක බලපෑම් ලෙස ප්‍රචණ්ඩකාරී බව වැඩි වීම, සමාජ විරෝධී චර්යාවන්ට හුරුවීමත් සිදුවේ. එමෙන්ම මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීමෙන් පසුකාලීනව මානසික ආතතිය නිසා විශාදයට පත් වීම, සියදිවි හානි කරගැනීමේ අවදානම ඇතුළු අහිතකර කාරණා රැසකට හේතු විය හැකිය.

එමෙන්ම නිතර පහරකෑමට ලක්වන දරුවකු මුහුණ දෙන වෛද්‍ය විද්‍යාත්මක පසුබිම ඊටත් වඩා අහිතකර විය හැකිය. මුලින් සඳහන් කළ පරිදි පහර කෑම/ තදින් දෝෂාරෝපණයට ලක්වන විට ශරීරයෙන් ශ්‍රාවය වන්නේ ඇඩ්‍රිනලීන්, කෝටිසෝල් වැනි හෝර්මෝනයි. මේවා දීර්ඝකාලීනව ශ්‍රාවය වීමෙන් ශරීරයට නුසුදුසු බලපෑම් ඇතිවිය හැකිය.

එනම් ඇඩ්‍රිනලීන් සහ කෝටිසෝල් නිසා රුධිර පීඩනය ඉහළ යෑම, හෘදයේ ක්‍රියාකාරීත්වය ඉහළ යෑම, ශරීරයේ සිදුවන පරිවෘත්තිය ක්‍රියාවල වෙනස්කම් ඇතිවීම මඟින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යෑම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වීම, නිතරම විඩාව දැනීම, සන්ධි වේදනා, බඩගින්න(නිතර ආහාර ඉල්ලීම), නින්ද සම්බන්ධ ගැටලු, ඉරුවාරදය ආදී ගැටලු රාශියක් ඇතිවිය හැකිය.

මේවා එකවරම ඉහළම අගයන්ට ළඟා නොවුණත් නිතර මෙම හෝර්මෝන ශ්‍රාවය වීමෙන් තරුණ වයසට පෙර ළමාවියේදීම බෝ නොවන රෝග අවධානමක් ඇතිවීමටද ඉඩ ඇත. එනම් දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඉරුවාරදය, ආතරයිටිස්, ගැස්ට්‍රයිටිස්, හෘද කිරීටක රෝග, විශාදය ඇතුළු තවත් බොහෝ රෝග ඇතිවීමේ අවදානම ඉහළ මට්ටමක පවතී.

නිතර නිතර පහරකෑමට සහ බැණ වැදීම්වලට ලක්වන දරුවකුට එවැනි කායික, මානසික බලපෑම් ඇතිවන විට දරුවාට පහර දෙන සහ බැණ වදින මවුපියන්ටද එවැනිම අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. ඒ අනුව ඔවුන්ද ඉහත රෝග ඇතුළු බොහෝ රෝගවලට පහසුවෙන් ගොදුරු විය හැකිය.

එසේනම් එවැනි තත්ත්වයක් ඇති නොකර දරුවන් පාලනය කරන්නේ කෙසේද? එක වරම හිතට එන කේන්තියට දරුවාට අත උස්සනවා වෙනුවට මවුපියන් ලෙස අපට කළ හැකි දේවල් මොනවාද?

දරුවන් පූර්ව ළමාවියේදී සිදුකරන වැරදි ලෙස මවට අවශ්‍ය ප්‍රමාණයට දරුවා කෑම නොගැනීම, නොනවත්වා හැඬීම හෝ කෑගැසීම, එපා කියන දේම නැවත නැවත කිරීම, නිවසේ බඩු අදිමින් ඒවා ඇවිස්සීම, කියන කිසිවක් නෑසුණා සේ සිටීම, බාල සොහොයුරු සොහොයුරියන් සමඟ රණ්ඩු වීම, පෙර පාසලෙන් / පාසලෙන් දෙන වැඩ කිරීමට මැළි වීම, අමතර පන්ති යෑමට සහ ඒවායේ දෙන වැඩ කිරීමට මැළි වීම, මවට නිවසේ වැඩක් කරගැනීමට නොහැකි සේ කරදර කිරීම සැලකිය හැකිය.

මීට අමතරව වයස අවුරුදු 2 -5 අතර වාගේ දරුවන් ක්‍රමානුකූලව මළ, මුත්‍රා පිට නොකිරීම හෝ වැසිකිළි /කොමඩ් භාවිතය නොකරනවා කියා දරුවාට පහර දෙනවා නම් හෝ බණිනවා නම් එය ළමා අපචාරයක් බව හොඳින් මතක තබාගන්න.

ඉතින් එවැනි වැරදිවලට දරුවන්ට පහර දීමෙන් වැළකී දිය හැකි සුන්දර දඬුවම් දෙකක් ගැනයි මේ දැනුවත් කිරීම.

දරුවාගේ හොඳ චර්යාවන් සහ හොඳ ක්‍රියාකාරකම් අගය කරන්න. එම හොඳ චර්යාවන්ට ලකුණු / තෑගි ලබාදෙන්න. දරුවකු සතුටින් යමක් කරන විට ඔහුට වැඩිහිටියාගේ අවධානය ලැබෙන්නේ නැතිම තරම්ය. නමුත් දරුවා වරදක් කළ විට වැඩිහිටියන්ගේ අවධානයට ඉක්මනින්ම ලක්වේ. නමුත් ඇයි ඔබට බැරි පොඩි වෙලාවක් අරන් දරුවාගේ හොඳ වැඩත් අගය කිරීමට? එසේ දරුවා අගය කරන විට ඔහුගේ මොළයේ ස්නායු සෛලවලින් ශ්‍රාවය වන ඩොපමින් නම් රසායන ද්‍රව්‍ය නිසා දරුවාට සතුටින් සිටීමට, ක්‍රියාශීලී වීමට සහ උනන්දු වීමට අවශ්‍ය හෝර්මෝන ශ්‍රාවය වීමෙන් ඔවුන්ට ලැබෙන උත්තේජන නිසා ඔවුන් සතුටට පත් වෙනවා සේම තවත් හොඳ දේවල් කරන්නටද නිතැතින්ම පෙලඹෙනු ඇත.

එම නිසා අපි දරුවාගේ හොඳ දේවල් අගය කිරීමට පුරුදු වන්න. ඔහු අගය කිරීමට ලකුණු හෝ තෑගි දීමේ ක්‍රමයකින් දරුවාගේ යහපත් චර්‍යාවන් උත්තේජනය කරන්නට මෙන්ම අයහපත් චර්යාවන් යටපත් කරන්නටත් හැකියාව තිබෙන බව අමතක නොකරන්න.

[රොනිති සර්ධාතිලක]

---------------

නත්තල් සාදයට බටර් කුකීස්

 

රසවත් ආහාරපාන නත්තල් සාදයට නැතිවම බැරි අංගයක්. විශේෂයෙන් පොඩිත්තන් සිටින නිවසක නම් ඔවුන් වෙනුවෙන් විශේෂ ආහාර පිළියෙල කරන්නත් ඔබට සිදුවනවා. ඉතින් පාසල් නිවාඩු කාලේ ළඟ එන නත්තලට සූදානම් වන ඔබට පොඩිත්තන්වත් ළං කරගෙන සාදාගත හැකි රසවත් ආහාරයක් ගැනයි මෙවර දැනුවත් කරන්නේ. පොඩිත්තන් වැඩිපුර ප්‍රියකරන මේ කුකීස් අවන් එකට දමන්නට පෙර ස්මාර්ටීස් සහ චොකලට් මල් තබා අලංකාර කරගෙන තිබෙනවා. පහසුවෙන් සාදාගත හැකි මේ රසවත් අලංකාර බටර් කුකීස් ඔබේ නත්තල් සාදයටත් වෙනස් රසයක් එක්කරාවි.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 400ක්, බේකින් පවුඩර් තේ හැඳි 2ක්, සීනි ග්‍රෑම් 150, වැනිලා තේ හැඳි 2ක්, බටර් ග්‍රෑම් 150, බිත්තර 2ක්, රෝලින් පින් එකක්, කුකීස් කපා ගැනීමට කටර් කිහිපයක්.

සාදන ක්‍රමය

භාජනයක් ගෙන එයට පාන් පිටි, බේකින් පවුඩර් දමා හොඳින් කලවම් කරන්න. දැන් එයට අනෙක් අමුද්‍රව්‍යද එක්කර ගන්න. බටර් දමන විට කුඩා කැබලිවලට කපා දමාගැනීමෙන් කලවම් කිරීම පහසු වේ. දැන් මේ සියල්ල හොඳින් අනාගන්න. රොටියකට පිටි අනන ආකාරයට හොඳින් අනාගත් පිටි මෝලිය භාජනයකට දමා ලන්ච් ෂීට් එකකින් වසා ශීතකරණයේ දමා විනාඩි 30-35ක් තබන්න.

පසුව එය පිටතට ගෙන නැවතත් හොඳින් අනා කොටස් කිහිපයකට වෙන්කර ගන්න.

දැන් ලෑල්ලක් අරන් ඒ මත පාන් පිටි ස්වල්පයක් ඉස ගන්න. රෝලින් පින් එකේද පිටි ස්වල්පයක් තවරා ගන්න. පිටි මෝලිය ඇලෙනසුලු නිසා එය වළක්වා ගැනීමට අතේද පිටි ස්වල්පයක් තවරා ගන්න. ඉන්පසු පිටි කොටසක් ගෙන ලෑල්ල මත තබා රෝලින් පින් එකෙන් තුනීකර ගෙන කටර් පාවිච්චි කර කැමති හැඩතලවලට කපාගන්න. එවැනි කටර් නැතිනම් වීදුරුවක් භාවිත කර රවුම් හැඩයට කපාගන්නත ඉන්පසු තැටියකට තෙල් කඩදාසියක් දමා ඒ මත කපා අවසන් කරගත් කුකීස් එකින් එක අතුරන්න. ළඟ ළඟම නොතබා තරමක පරතරයක් ඇතිව තබන්න. දැන් සෙ.ග්‍රේට් අංශක 180ට විනාඩි 10ක් කලින් රත්කර ගත් අවන් එකට දමා විනාඩි 10ක් රන්වන් පැහැ වන තෙක් බේක්කර ගන්න.

සූපවේදිනී [චාමලී මදනායක]

------------

සමේ පැහැයට ගැළපෙන ඇඳුම් තෝරමු

විලාසිතා නිර්මාණ ශිල්පිනී (විලාසිතා නිර්මාණවේදී ගෞරව උපාධිධාරිනී)

සමහර අවස්ථාවන්හිදී අප මිලදී ගන්නා ඇඳුම් පැලඳුම් නිකරුණේ ඉවත දැමීමට සිදුවන්නේ ඒවා ඇඳ බැලූ විට ඒවා අපගේ සිරුරට නොගැළපෙන බවක් පෙනෙන නිසාය. කෙතරම් මිල අධික මෝස්තර රටාවෙන් යුතු ඇඳුමක් වුවත් ඒවායේ පැහැය පිළිබඳ ඔබ සැලකිලිමත් නොවුණහොත් එයින් ඔබට ලැබෙන්නේ අවලස්සන පෙනුමක් පමණයි. සුන්දර විලාසිතාවන්ගෙන් සැරසීමට කැමති ඔබ ඒ සඳහා ඔබේ සමේ වර්ණය අනුව ගැළපෙන පැහැයන් මොනවා දැයි දැනගැනීම ඉතා වැදගත් වන්නේ ඒ නිසාය.

ඔබගේ සමේ පැහැය අනුව මිලදී ගන්නා ඇඳුම් පැලඳුම්, පාවහන්, ආභරණ ආදිය වෙනස්විය යුත්තේ කෙසේදැයි මෙවර අපි විමසා බලමු.

ඒ සඳහා පළමුව ඔබගේ සමේ පැහැය කුමක්දැයි වටහා ගත යුතුය. එසේ නම් එය නිර්ණය කරන්නේ කෙසේද?

ලොව ජීවත් වන අප සියලු දෙනාට එක් එක් පුද්ගලයාට ආවේණික සමක් තිබුණද පොදුවේ අප සියලු දෙනාම ප්‍රධාන වර්ණ කාණ්ඩ දෙකකට අයත්වේ. ඒ, ශීතවර්ණ සහ උණුසුම් වර්ණ ලෙසයි.

ඉතා පැහැපත් සමක් හිමි රෝස පැහැයට වඩාත් නැඹුරු සමක් හිමි ඔබට හිමිවන්නේ ශීත වර්ණ සමකි. කහ පැහැයට හුරු අඳුරු පැහැයක් ගන්නා ඔබට ඇත්තේ උණුසුම් වර්ණ සමකි. ඔබේ සම දිනපතා නිරතවන කාර්යයන්ට අනුව හෝ දේශගුණික බලපෑම මත වෙනස්වීමට ලක්වුවත් ඔබ අයත්වන ශීත හෝ උණුසුම් යන කාණ්ඩ දෙක නම් කිසිවිටකත් වෙනස් වන්නේ නැත. ඔබට හිමි සමේ වර්ණය නිවැරදිව හඳුනා ගැනීමට පහත ක්‍රමය අත්හදා බලන්න.

ඔබගේ මැණික්කටුව ඇතුළු පැත්ත හෝ වැළමිටෙහි ඇතුළු පැත්ත හොඳින් නිරීක්ෂණය කරන්න. එම ස්ථානවල සම හරහා දැකිය හැකි නහර නිල් පැහැයට හුරු නම් ඔබට ඇත්තේ ශීත වර්ණ සමකි. ඒවා කොළ පැහැයට හුරු නම් ඔබට ඇත්තේ උණුසුම් වර්ණ සමකි.

වර්ණ රෝදය කුමක්ද?

අප සියලු දෙනා දන්නා පරිදි අපගේ ඇස ගැටෙන සියලුම වර්ණ සැකසී ඇත්තේ නිල්, කහ, රතු යන මූලික වර්ණ තුන අඩු වැඩි වශයෙන් මිශ්‍ර වීමෙන්ය. එසේ සැකසෙන මෙම වර්ණ විවිධ කාණ්ඩවලට අයත් වන අතර ඒවා පිළිබඳ අවබෝධයක් තිබීම විලාසිතා ලොව සැරිසරන ඔබට මහඟු පිටිවහලක් වනු ඇත.

සංගත වර්ණ

සංගත වර්ණ ලෙස අප හඳුන්වන්නේ වර්ණ රෝදයේ එකිනෙකට ආසන්නයෙන් පිහිටි වර්ණයි. මේවා එකිනෙකට ඉතා ගැළපෙන වර්ණ වේ. රතු-කහ, කහ-කොළ, රතු-දම් උදාහරණ ලෙස හැඳින්විය හැකිය.

විසංගත වර්ණ

මෙම කාණ්ඩයේ වර්ණ දෙකක් එක ළඟ යෙදූවිට එම වර්ණවල තීව්‍රතාව අවම කරයි. මෙම වර්ණ රෝදයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පිහිටයි. උදාහරණ ලෙස රතු-කොළ, නිල්-තැඹිලි, කළු-සුදු වැනි වර්ණ හැඳින්විය හැකිය.

මෙම වර්ගීකරණයට අමතරව වර්ණ රෝදය තුළත් ශීත සහ උණුසුම් ලෙස වර්ණ කාණ්ඩ පිහිටයි. කොළ නිල්, දම් වැනි වර්ණ ශීත වර්ණ ලෙසත් කහ, තැඹිලි, රතු උණුසුම් වර්ණ ලෙසත් දැක්වේ.

සමට ගැළපෙන වර්ණ

ඔබේ සම ඉහත කුමන ආකාරයකට අයත් වුවත් පොදුවේ ඔබ සැමටම කිසිදු සැකයකින් තොරව භාවිත කළ හැකි වර්ණ කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. දීප්තිමත් රතු පැහැය, අඳුරු රෝස පැහැය, තද දම් පැහැය, කොළ පැහැයට හුරු නිල් පැහැය එවැනි වර්ණ වේ.

ශීත වර්ණ සමට

ඔබ සුදු ජාතිකයන්ට සමාන ඉතා ළා පැහැති සමක් සහිත අයකු නම් ඔබට වඩා ගැළපෙන්නේ නිල්, කොළ, දම් වැනි වර්ණ සහ ඒවායේ ප්‍රභේදයි. මීට අමතරව ඉතා පියකරු වර්ණ කාණ්ඩයක් වන පැස්ටල් වර්ණද ඔබගේ සුන්දරත්වය වඩාත් වැඩි කරනු ඇත. කළු, සුදු, අළු වැනි තියුණු වර්ණද ඔබට යෝග්‍ය වනු ඇත.

උණුසුම් වර්ණ සමට

ආසියාතික අපට හිමි සුන්දර ඡවි වර්ණය වඩාත් සුන්දර කරගැනීමට නම් රතු, තැඹිලි, කහ වැනි වර්ණ ඔබට තෝරාගත හැකිය. මීට අමතරව දුඹුරු, මෙරූන්, බේජ් වැනි වර්ණද ඔබේ සමට නියමාකාරයෙන් ගැළපේ.

ආභරණ

ඇඳුම් පමණක් නොව ඔබ පලඳින ආභරණද සමේ වර්ණයට ගළපා ගත යුතුය. නොගැළපෙන ආභරණ ඔබගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයටද හානියකි. ශීත වර්ණ සමක් හිමි ඔබට රිදී පැහැ ආභරණත් උණුසුම් වර්ණ සමක් හිමි ඔබට රත්‍රරන් ආභරණත් වඩා යෝග්‍ය වේ.

ඉහත පරිදි ඔබ අඳින පලඳින සෑමඅයිතමයක්ම සියයට සියයක්ම සමේ පැහැය හා ගැළපීම අවශ්‍ය නොවේ. නමුත් ඔබ අඳින ඇඳුම්වලින් එකක් හෝ නිවැරදි වර්ණ ගැළපීමෙන් වඩා සුන්දර ප්‍රියමනාප තැනැත්තියක ලෙස ඔබට කැපී පෙනීමට හැකිවනු ඇත.

[මුතුහාරී අත්තනායක]

 

-----------

ගම්පේස්ට්වලින් නත්තල් සීයෙක් හදමු

ළඟ එන නත්තල් උත්සවය වෙනුවෙන් සූදානම් වන ඔබට නත්තල් සාදය හැඩකර ගැනීමට උපකාරී වන නත්තල් සීයා කෙනෙකු නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳයි මෙවර දැනුවත් කිරීම.

ඒ සඳහා රතු, සුදු, කළු සහ සමේ ( peach) පාට ගම්පේස්ට් අයිසින් අවශ්‍ය වේ.

නිර්මාණය සකසා ගැනීමට නත්තල් සීයාගේ කඳ කොටස සඳහා රතු පාට ගම්පේස්ට් අයිසින් බෝලයක් ගෙන එය මඳක් දිගැටි ලෙස සකසා ගන්න. සුදු පාට අයිසින්වලින් සිහින් පයිපින් තීරු දෙයක් ගෙන සකසාගත් නත්තල් සීයාගේ කඳ කොටස හරි මැදින් පහළට වැටෙන සේ අලවා ගන්න. එවිට කෝට් එකේ විවර වාටිය සේ දිස්වේ. ඒ ආකාරයටම සුදු පාට අයිසින් පටියක් ගෙන එය කෝට් එකේ යට වාටිය ලෙස පෙනෙන සේ රදවාගන්න. එම සුදු තීරු කතුරු තුඩකින් හෝ ටුවිසර් එකකින් වටේ සිහින් කැපුම් ලෙස සලකුණු කරගන්න. එවිට වූල් ලෙස දිස්වනු ඇත.

අත් දෙක සකසා ගැනීමට රතු පාට ගම්පේස්ට් අයිසින් ගුලි දෙකක් ගෙන එය සිහින්ව දිගැටියට රෝල් කරමින් අත අවශ්‍ය දිගට සකසා ගන්න. කළු පාට අත්වැසුම් ලෙස පෙනෙන පරිදි කුඩා ගම්පේස්ට් අයිසින් බෝල දෙකක් රඳවා ගන්න. අත් වාටිය ලෙස පෙනෙන පරිදි සුදු පාට අයිසින් පටියක් අලවා ගන්න. බඳ පටිය සකස් කිරීමට කළු පාටින් පටියක් කපා බඳ වටා අලවා ගන්න. බකල් එකක් සේ දිස්වන පරිදි වර්ණ දෙකකින් කොටු කපා පටිය මැදින් අලවන්න. බඳ පටිය ඇලවූ පසු සකසා ගත් අත් රඳවා ගන්න.

දැන් මුහුණ සකසා ගැනීමට සමේ වර්ණයෙන් කුඩා ගම්පේස්ට් අයිසින් බෝලයක් සාදාගන්න. එය ටූත්පික් එකක් ආධාරයෙන් කඳ කොටසට රඳවාගන්න. මුහුණ පුරා වැසුණු රැවුල සකසා ගැනීමට සුදු පාට අයිසින් කොටසක් කපාගන්න. Tool එකකින් ඉරි ඇඳ රැවුල සේ සකසාගෙන එය මුහුණ මත අලවන්න. ඇස් ලකුණු කර කළුපාටින් ගම්පේස්ට් අයිසින් බෝල දෙකක් රඳවාගෙන සුදු පාට අයිසින්වලින් ඇහි බැමි සකසා අලවාගන්න. එලෙසින්ම සුදු අයිසින් කොටස් දෙකක් සිහින්ව සකසා උඩු රැවුල සේ සකසා ගන්න. කුඩා ගම්පේස්ට් අයිසින් බෝලයක් නහය ලෙස පෙනෙන පරිදි උඩු රැවුල මැදින් අලවාගන්න. ඉන්පසු කට ලකුණු කරගන්න.

තොප්පිය සැකසීමට රතු පාට ගම්පේස්ට් අයිසින් බෝලයක් ගෙන එය කෝන් එකක් හැඩයට සකසාගෙන Ball tool එකකින් මැද හිඩැසක් පාදමින් හිස උඩ කොටසින් රැඳවීමට හැකිවන පරිදි සාදා ගන්න. සුදු පාට අයිසින් පටියක් තොප්පි විවරය වටා අලවාගෙන කුඩා අයිසින් බෝලයක් තොප්පියේ මුදුනේ රඳවා ගන්න. සාදා නිමකරගත් තොප්පිය නත්තල් සීයාගේ හිස මත තබා අලවා ගන්න.

 

[දිනේෂි අමරකෝන්]

--------------

බ්ලීචින් නැතුව සුදු වෙන හැටි

කේෂාලංකාර සහ රූපලාවණ්‍ය ශිල්පී

ප්‍රින්සස් කැරේජ් බ්‍රයිඩල් ඇන්ඩ් සැලෝන්- දංකොටුව

වත්මන් සමාජයේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ විශාල දියුණුක් දැකිය හැකි අතර එය හොඳ ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකිය. ඊට හේතුව රූපලාණ්‍ය තුළින් සිදුවන්නේ ශරීරයේ අභ්‍යන්තරයට වඩා මතුපිටින් ප්‍රතිකර්ම කිරීම තුළින් මනස සහ ශරීරය ඒකාකාරීව පවත්වාගෙන යෑමයි. මේ වන විට දේශීය වශයෙන් සහ බටහිර වශයෙන් විවිධ රූපලාවණ්‍ය නිශ්පාදන බිහිවන අතර ආයුර්වේදීය නිෂ්පාදනද ශීඝ්‍රයෙන් බිහිවෙමින් තිබේ. රූපලාවණ්‍ය නිෂ්පාදන අතර සම සුදු කරන ආලේපන සඳහා ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි.

සම සුදු කිරීම යනු කුමක්ද යන පැනයට මෙවැනි පිළිතුරක් දිය හැකිය. රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ වයිටින්, ලයිටින්, ෆෙයාර්, යනුවෙන් සම සඳහා ප්‍රතිකර්ම කරන්නේ ඒ සඳහාය. එමෙන්ම ඇතැම් විට අපිට ස්වභාවයෙන් ලැබී ඇති සම වයිටින් කිරීම නැත්නම් සුදු කිරීම යටතේ විවිධ ආලේපන ගැල්වීම මෙන්ම එන්නත් කිරීමද සිදුකරයි. ලයිටින් කිරීම සඳහාද යොදාගන්නේ බොහෝ විට මේ ආකාරයේ බ්ලීචින් අඩංගු නිෂ්පාදනයි. නමුත් ඔබේ සම සුදු කිරීමට කිසිදු ආකාරයක බ්ලීචින් අඩංගු නිෂ්පාදන යොදාගැනීමට අවශ්‍ය නොවේ. මන්ද ඒ සඳහා ස්වභාවික, දේශීය නැතිනම් ශාකසාර ආලේපන යොදා ගත හැකිය. එමෙන්ම ෆේශල් වැනි ප්‍රතිකර්මවලින්ද එය සිදුකරගත හැකිය.

බ්ලීචින් සමට අහිතකර වන්නෙ කුමන අවස්ථාවලදීද?

බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදනවල බ්ලීචින් අඩංගු වේ . ප්‍රමිතියට අනුව නම් බ්ලීචින් අඩංගු කළ යුත්තේ සියයට දශම එකක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් වුවත් වර්තමානයේ බොහෝ විට සිදුවන්නේ සතියෙන් දෙකෙන් සම සුදුවීමට කියා බ්ලීචින් අධික ලෙස අඩංගු කර ආලේපන සැකසීමයි. එවැනි ක්‍රීම් වර්ග ආලේප කිරීමෙන් මුහුණේ ලප කැලැල් සහ ආසාදනය සිදුවනවා පමණක් නොව වෙනත් බොහෝ ආසාදිත තත්ත්වයන්ගේ ආරම්භයද ඇති කරයි.

බ්ලීචින්වලින් සිදුවන්නේ කුමක්ද?

සමේ මෙලනින් නම් සංඝටකයක් ඇති බවත් එම සංඝටකය මුලික කරගෙන එහි නිපදවීම අඩු වැඩි වීම මත අප එක් එක් පුද්ගලයාට විවිධ වර්ණයන්ගෙන් සමක් උපතින්ම හිමිවන බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් බ්ලිචින් භාවිතය තුළින් සිදුවන්නේ ශරීරයට උපතින්ම ලැබෙන වර්ණදේහකය හෙවත් මෙලනින් නිපදවීම අඩාළකර දැමීමයි. එවිට මෙලනින් නිපදවීම අඩුවීම තුළින් අපෙ සම සුදු පැහැයට හුරුවෙමින් සම මළානික වීමක් සිදුවේ. බොහෝ දෙනකු සුදුවීම යයි සිතන්නේ එම තත්ත්වය වුවත් එය පවතින්නේ ඉතා සීමිත කාලයකට පමණයි. බ්ලිචින් අඩංගු නිෂ්පාදන පාවිච්චි කර අව්වේ ගිය විට සම ඉතා ඉක්මනින් පිළිස්සීමට ලක්වනුද ඔබ දැක ඇති.

එමනිසා ඔබ නිතරම හරිදේ තෝරාගත යුතුවේ. නිතරම ප්‍රමිතිය අතින් උසස් නිෂ්පාදන තෝරාගන්න. එමෙන්ම නිතරම ස්වභාවික නිෂ්පාදන ඔබේ රූපලාවණ්‍ය ප්‍රතිකර්ම සඳහා යොදාගන්න. නිතරම සම පිරිසුදු කිරීම තුළින් ඔබට පැහැපත් සමකට හිමිකම් කිව හැකිය. ඇතැම් යුවතියන්, කාන්තාවන් ස්වභාවික බ්ලීචින් ලෙස රාබු, අර්තාපල් වැනි දේවල් යොදාගෙන මුහුණේ ආලේප කිරීමට නොයෙක් පැක් වර්ග ගෙදරදීම සකස් කරගත්තද ඒවා සමට හිතකර නොවේ. ඒ, එම ද්‍රව්‍ය එකතු කළ යුතු ප්‍රමාණය, සමේ ආලේප කර තැබිය යුතු කාලය ආදී කරුණුවලදී සැලකිලිමත් විය යුතු කරුණු තිබෙන නිසාය. එම නිසා සම පැහැපත් කර ගැනීමට උනන්දුවක් දක්වන ඔබ ඒ සඳහා ආලේපන සහ සත්කාර තෝරාගැනීමේදී මෙම කරුණු පිළිබඳවද සැලකිලිමත් වීමෙන් නිරෝගී පැහැපත් සමකට හිමිකම් කිව හැකිය.

[අසංක ප්‍රනාන්දුපුල්ලේ]

News Order: 
-2
මාතෘකා