කාන්තා හඬට නියෝජනයක් ලබාදීම අත්‍යවශ්‍ය කාර්යයක්

 ඡායාරූපය:

කාන්තා හඬට නියෝජනයක් ලබාදීම අත්‍යවශ්‍ය කාර්යයක්

පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා

වසර 22කට පසුව ශ්‍රී ලංකාවේ මැතිවරණ කරළියට පැමිණි, මෙවර ජනාධිපතිවරණයට තරග කළ එකම කාන්තාවද ඇය වෙයි. ලක්වනිතාවට දිරියක් සහ වටිනාකමක් දෙමින් කාන්තා ශක්තියට, හැකියාවට නිසි ගෞරවයක් ලබා දෙන්නට පුරුෂ ජවය හා තරග බිමට පිවිසි බව පවසන ඇය පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරායි.

ජනාධිපතිවරණය අවසන්. තරගය නිමයි. ඔබට ලැබුණු ප්‍රතිඵල දකින්නේ කොහොමද?

මට ලැබුණු ප්‍රතිඵලය ගැන මා සතුටට පත්වෙනවා. මේ රටේ උතුරු නැඟෙනහිර සහ කොළඹ හැරුණුකොට අනෙකුත් ප්‍රදේශවලින් මම හතරවැනියා හෝ පස්වැනියාට ඡන්ද හිමි කරගෙන තිබෙනවා. ඔවුන්ගේ ඡන්දය මා වෙනුවෙන් ලබා දීලා ඔවුන් මට විශාල පණිවුඩයක් දීලා තියෙනවා ඔවුන් මා කෙෙරහි බලාපොරොත්තුවක් තබා ඇති බවට. ඒ ගැන සතුටුයි වගේම මා එය ඉහළින්ම අගය කරනවා. මම ගිහිං වැඩ නොකළ, කතා නොකළ ප්‍රදේශවලින් පවා මට ඡන්දය ලබා දී තිබුණා. ඒ මගේ උගත්කම නිසා, මම කාන්තාවක් නිසා, පරිසරය ගැන වන මගේ විශ්වාසය සහ ඒ සම්බන්ධව කරන වැඩ නිසා සහ දුක්විඳින කාන්තාවන්ට හඬක් අවශ්‍ය නිසා තමයි ඔවුන් මට ඡන්දය ලබාදී තියෙන්නේ.

මොනරාගල මට ඡන්දය ලබා දුන් ජනතාව ගොවිතැන් කරලා ජීවත්වෙන කාන්තාවන්, වතුර නැතිව, අලි ප්‍රශ්න මැද්දේ ජීවිත ගතකරන අය. ඔවුන් විශාල ප්‍රශ්නවලට මුහුණ දෙනවා. මෙතෙක් කාලයක් හිටපු දේශපාලන නායකයන්ගෙන් නොලැබුණු විසඳුම් මා වෙතින් ලබා ගන්න තමයි මේ අය මට ඡන්දය ලබාදී තියෙන්නෙ. ඒ බලාපොරොත්තුවලට ප්‍රතිචාර දැක්වීම මා ඉදිරියේ තිබෙන වගකීමක්. අවුරුදු විසි ගණනකට පසුව තරග කරන්නට ඉදිරියට පැමිණි එකම කාන්තාව විදියට මම ලබාගත් මේ ප්‍රතිඵලය ගැන අවංකවම සතුටු වෙනවා. මේ තුළ මා දකින දෙයක් තමයි මේ රටේ තවත් පිරිසක් ඉන්නවා මේ යන ගමන්මඟ වෙනස් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසක්. මා හිතනවා මගේ යුතුකම ඒ බලාපොරොත්තුවට ආමන්ත්‍රණය කිරීම බව. ඒ බලාපොරොත්තුවේ සියලු ඡන්ද ගැන මට ආදරයක්, වගකීමක් තිබෙනවා.

ඔබගේ ඒ බලාපො‍ෙරාත්තු සමඟින් වන ඊළඟ පියවර කුමක්ද?

මාත් ජනාධිපතිවරණය සමඟින් මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදැක්වූවා. මා කල්පනා කරනවා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මූලිකත්වය ප්‍රමුඛතාව ලබා දෙමින් ප්‍රතිපත්තිගරුකව ඉදිරි කටයුතුවල නියැළීමට. ඒ ප්‍රතිපත්තියට අනුව මා විශ්වාස කරනවා මගේ යුතුකම, මගේ ප්‍රතිපත්ති වෙනුවෙන් කතා කිරීම හා ඒ මත පිහිටා කටයුතු කිරීමට. ඒ ප්‍රතිපත්තියට අනුව රට ඇතුළේ යම්කිසි වෙනසක් ඇති කිරීමට කටයුතු කිරීම, කාන්තාවන්ට අවශ්‍ය රැකියා අවස්ථා රට ඇතුළේම ලබා දීලා කාන්තාවන් ගෘහ සේවය ඇතුළු වහල් මෙහෙයන්ට පිටරට යන එක අවම කර ගැනීමට කටයුතු කිරීම, දරුවන්ගේ අනාගතය උදෙසා මවුවරුන් රට තුළම රඳවා ගැනීමට උත්සාහයක් ගැනීම. මා දකිනවා සංවර්ධන ව්‍යාපෘතිවලදී අපේ පරිසරය ගැන මීට වඩා සිතීම ගැන, ජාතීන් අතර සම්බන්ධතා ගොඩනැඟීමට යම් අාකාරයක උත්සාහයක් ගැනීම වශයෙන් මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අදාළව ඉදිරි කටයුතු කරන්නට අපේක්‍ෂා කරනවා.

මම හොඳ උදාහරණයක් පෙන්නුවා අපේ කාන්තාවන්ට වියහියදම් හා අරපරෙස්සම පිළිබඳ. මගේ මැතිවරණ ප්‍රචාරණයට වියදම් කළේ මිලියන දෙකහමාරක් වැනි මුදල් ප්‍රමාණයක් පමණයි. අන් අයට සාපේක්ෂව එතරම් සුළු මුදලක් මැතිවරණ ප්‍රචාරණ වියදම් ලෙස දරා සිවුවැනි පස්වැනි ස්ථානයට මට පැමිණෙන්නට පුළුවන් වුණා නම් මහා ලොකුවට වියදම් කිරීම අනවශ්‍ය දෙයක් කියලා මා පෙන්නුවා. මා පළමුවැනි වතාවටයි ඡන්දයකට මුහුණ දුන්නේ. රටේ බහුතරයක් මා පිළිබඳ දන්නෙත් නැහැ. එසේ තිබියදීත් එවැනි තැනකට එන්නට පුළුවන් වීමත් සමඟ මා පෙන්වා දෙන්නට අදහස් කරන්නේ අපිට මුදල නෙවෙයි වටින්නේ මනුෂ්‍යයාගේ දුක හඳුනා ගැනීම බවයි. ඔවුන් එක්ක කතා කිරීම සහ ඔවුන් අපේක්‍ෂා කරන දේ සිදු කිරීමයි වටින්නේ.

ඉදිරියටත් මේ අපේක්ෂා යථාර්ථයක් බවට පත් කර ගන්නට සංවිධානාත්මකව වැඩ කරන්නට මා බලාෙපාරොත්තු වෙනවා. රටේ සියලු සංවර්ධන කටයුතුවල විනිවිදභාවය ඇති කිරීම සහ වියදම් කරන මුදල් ගැන සොයා බලා ජනතාව දැනුම්වත් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. මේ රට ගමන් කරන්නේ නිවැරදි මාවතේද යන්න ගැන මා අධීක්‍ෂණය කරනවා. රටේ ගමන්මඟ නිවැරදි කිරීම වෙනුවෙන් දිගින් දිගටම පෙනීසිටිනවා. මේ රටේ ජාතිවාදය, ආගම් වාදය තවදුරටත් ක්‍රියාත්මක වෙන්නට ඉඩ දෙන්න බැහැ. විවිධ වූ කාන්තා පීඩනයට එරෙහිවත් දුක්විඳින සුළු ගොවීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්නත් අධිරාජ්‍ය ගැති නව ලිබරල් ආර්ථිකයට එරෙහිවත් සටන් කළ යුතුව තිබෙනවා. අපේ කාන්තාවන්ගේ සහභාගීත්වයත් මේ සඳහා අත්‍යවශ්‍යයි.

මේ කටයුතුවලදී ඔබට ඡන්දය දුන් සහ මැතිවරණයට පෙර නොයකුත් යෝජනා, ඉල්ලීම්, මැදිහත්වීම් ඉල්ලා සිටි මේ රටේ කාන්තාව, කාන්තා කණ්ඩායම්, ඔබත් සමඟ ඒකරාශී කර ගන්නේ කෙසේද?

ඒක මගේ යුතුකමක්. අවුරුදු 20ක් තිස්සේ මේ රටේ කාන්තාවකට මං වගේ ඉදිරියට එන්නට හැකියාවක් නොතිබුණු තැනට යම්කිසි තල්ලුවක්, ආලෝකයක් ලබා දීමෙන් මා හිතනවා ඊළඟ මැතිවරණවලදී කාන්තාවන්ගේ දායකත්වය වර්ධනය වෙයි කියලා. ඉදිරි සති ගණනක කාලයේදී මගේ යුතුකම වගේම වගකීම වෙන්නේ මේ කාන්තාවන් දැනුවත් කිරීම, පුහුණු කිරීම සහ ඔවුන් දිරිමත් කිරීමයි. මැතිවරණයට පෙර මා හමු වී නොයකුත් යෝජනා ඉදිරිපත් කළ කාන්තා කණ්ඩායම් වගේම අනෙකුත් කාන්තා කණ්ඩායම්ද සහභාගී කරගෙන, අපේ ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩකරන කාන්තාවන්ද සම්බන්ධ කරගෙනයි මේ සියලු වැඩසටහන් ක්‍රියාවට නංවන්නට මා බලාපොරොත්තු වෙන්නෙ.

කාන්තාවක් වීම ම පමණක් වැදගත් වෙන්නෙ නැහැ. ඔවුන්ටත් යම්කිසි වැඩ කොටසක් රට තුළ පැවරී තිබෙනවා. එය ඉටු කරන්නම අවශ්‍යයි. බිම් මට්ටමේ ඉඳලා කාන්තාවගේ දුක හඳුනාගෙන ඉදිරියට යන කාන්තාවට රට ඇතුළේ යම්කිසි ඵලදායී වැඩක් කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔවුන් තුළ පැහැදිලි දර්ශනයක් තියෙන්න ඕනෙ මොනවද තමන් කරන්න අත්‍යවශ්‍ය කියලා. හිස් මනසින් හිස් අතින් තරග බිමට යෑම සුදුසු නැහැ. ඉතිං ඒ නිසා ඒ සුදුසුකම ඔවුන්ට ළඟා කරගන්නට සහාය ලබාදිය යුතුයි. ඉතා ඉක්මනින් ඒ කාර්ය ආරම්භ කිරීම අවශ්‍යයි.

ඔබගේ කසළ ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන මේ කාර්යයන් සමඟින් අවසාන වේවිද?

ඒ අත්‍යවශ්‍ය කාර්ය සිදුවෙනවා නිරන්තරයෙන්ම. මේ ප්‍රතිචක්‍රීකරණය තවත් පුළුල් කරන්න, දියුණු කරන්න ඉදිරියේදී ලොකු උත්සාහයක් ගන්න බලා‍ෙපාරොත්තු වෙනවා. ඔබ දන්නවා පහුගිය කාලේ විශාල ප්‍රශ්නයක් වුණු අරුවක්කාලු රඳවනය. මා දන්නේ නැහැ මේ ගැන වත්මන් ජනාධිපතිතුමා මොනවගේ ක්‍රියාමාර්ගයක් ගනීද කියලා. මාත් ඒ ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. මේ කුණු ප්‍රශ්නය අපි ඉක්මනින් විසඳාගන්න ඕනේ ඒ වගේම අපට කොම්පෝස්ට් පොහොරවල දැඩි අවශ්‍යතාවක් තියෙනවා. කොම්පෝස්ට් පොහොර පිටරටින් ගෙනල්ලා , පොහොරවලට සහනාධාර දීමට නෙවෙයි අපේ රටේම පොහොර ටික හදාගෙන පාවිච්චි කරන්න පියවර ගැනීමයි සිදු කළ යුත්තෙ. ඉන් අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා අදාළ අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා කළ යුතු පියවර ගන්නට මා බලාපොරොත්තු වෙනවා.

ඔබේ මැතිවරණ ප්‍රචාරණ කටයුත්ත සිදුවුණු ආකාරය පිළිබඳත් කිව්වොත්?

ඉතා උග්‍ර ලෙස මේ ප්‍රචාරණ කටයුත්තට මට මුහුණ දෙන්න සිද්ද වුණා. සජිත් ප්‍රේමදාස මහත්තයා වියදම් කර තිබෙනවා මිලියන 375ක් පමණ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා වියදම් කර තිබෙනවා මිලියන 500 ගණනක් විතර. එයට සාපේක්ෂව අපි වියදම් කරලා තියෙන්නෙ මිලියන දෙකහමාරක් විතරයි. සාපේක්ෂව ඉතාම අංශුවක් වැය කරලා අද මා ලබාගෙන තිබෙන ජයග්‍රහණය ගැන මට සෑහීමකට පත් වෙන්නට පුළුවන්. මා තරග කරන්න ඉදිරිපත් වුණේ රටේ තිබෙන ප්‍රශ්න දිහා බලලා මිසක් මගේ අතේ තියෙන මුදල ගැන හිතලා නෙවෙයි. ඒක හරියට අම්ම කෙනෙක් දරුවෙක් අතරමං වෙලා ඉන්නවා කියල දැනගෙන බස් එකට නැඟලා යනවා පර්ස් එකේ සල්ලි තියෙනවද කියලා දන්නෙවත් නැතිව. ඒ වගේ තමයි මගේ මැතිවරණ ප්‍රචාරණ කටයුත්තත් සිදු වුණේ.

මම ජනාධිපතිවරණයට ඉල්ලන බව දැනගත්තට පස්සේ මගෙන් ඉල්ලීම් කළා. බොහෝ දෙනෙක් මගෙන් නිතරම ඉල්ලා සිටි දෙයක් තමයි ඔබට දිනන්න බැහැ, ඒ නිසා තරගයෙන් ඉවත් වෙන්න. තවත් ඉල්ලීමක් තමයි ඔබ කොහොම හරි පාර්ලිමේන්තුවට එන්න උත්සාහ කරන්න කියන එක. තුන්වැනි කාරණය තමයි මා ඇප මුදල් බාර දුන්න දවසෙ ඉඳලම, නාමයෝජනා බාරදුන්න දවස දක්වාම ඉල්ලුවේ ඔබ ඡන්දෙ ඉල්ලන්න එපා, ඒ අවස්ථාව පිරිමි කෙනකුට දෙන්න කියලා. නාමයෝජනා බාරදෙන දාට පෙරදා රාත්‍රියේ එක්තරා පිරිමි කෙනෙක් මට කෝල් කරලා බලකරලා හිටියා මගේ නාම යෝජනාව එයාට දෙන්න කියලා එයා කොමසාරිස්තුමා එක්ක කතා කෙරුවා කියලා. පහුවදා නාමයෝජනා බාරදෙන්න යනකොටත් අන්තිම මොහොතෙත් ඔහු මා හඹා ඇවිත් මට කියනවා ඔබේ නාම යෝජනා මට දෙන්න මට පුළුවනි ඡන්දෙ දිනන්න, ඇයි ඔබට බැරි දෙයක් කරන්න යන්නේ? මේ ආකාරයෙන් මාව අධෛර්යට පත් කරන්න, මානසිකව වට්ටන්නට බොහෝ දෙනෙක් උත්සාහ කළා. මා ඔහුගේ බලපෑමටවත් වෙනත් කාගේවත් බලපෑමකටවත් පසුබට වුණේ නැහැ. නාමයෝජනා බාරදුන්නට පස්සේ මුහුණුපොතෙන් කැත විදියට මට විවේචන එල්ල කරලා තිබුණා. ඒ අතරෙ බහුතරයක් කාන්තාවොත් හිටියා. නමුත් ඒවට මා සැලුණේ නැහැ. ඒ විවේචන සියල්ලක් ගැන මට පොඩි කලකිරීමක් ඇති වුණත් ඒවා ගමනට බාධාවක්, බලපෑමක් ඇති කිරීමට සමත් වුණේ නැහැ.

ඔබ මින් අදහස් කරන්නේ කාන්තාවට දේශපාලන තලය කර්කශකයි කියාද?

මා මෙතෙක් ශක්තිමත් ගැහැනියක්ව සිටියදීත් මෙවැනි කෙනෙහිලිකම්වලට මට මුහුණ දෙන්න සිදුවූ හැටියට ගැහැනියකට දේශපාලනය කිරීම තරමක් දුෂ්කර ක්‍රියාවක් වෙනවා. මොකද තාමත් අපේ සමාජය වර්ධනය වෙලා නැහැ. මුහුකුරා ගිහිං නැහැ. කාන්තාවගෙ ශක්තිය ඥානය ඒ ආකාරයෙන් පිළිගන්න. කාන්තාවක්ද පිරිමියෙක්ද කියලා බලන්නෙ නැතිව, හැකියාව තියෙන කෙනාට දේශපාලනය කරන්න හෝ රට පාලනය කරන්න ඉඩ ලබා දෙන්න. කාන්තාවට නිසි ආකාරයට ගරු කරන්න.

මගේ ඉදිරිපත් වීමෙන් යම්කිසි වෙනසක් සිදුකර තිබෙනවා. ඒක මා දන්නවා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතරයක් කාන්තාවන් ඉදිරියට ඒවි. ඔවුන් යම්කිසි විදියකින් ඔවුන්ගේ ආසන දිනා ගන්න කටයුතු කරාවි. මා විශේෂයෙන්ම ඉල්ලන දෙයක් තමයි අවුරුදු ගණනාවක් දේශපාලනයට සම්බන්ධ නොවූවාට, හොඳට උගත්කම තියෙන, දක්‍ෂතාවක් තියෙන, රට වෙනුවෙන් දර්ශනයක් තියෙන පිරිසට දූෂණයෙන් තොර දේශපාලනයක් අපේ රටේ ආරම්භ කරන්නට එක්වෙන්න කියලා. අපිට අවශ්‍ය නැහැ මේ දේශපාලන ක්ෂේත්‍රයේම ඉන්න අම්මලා, අක්කලා, නංගිලා, බිරින්දෑවරුන් එනවා දකින්න. එයයි දිගින් දිගටම මෙතුවක් කල් සිද්ධ වුණේ.

තරුණ කාන්තාවන්ගෙන් මා විශේෂ ඉල්ලීමක් කරනවා මේ රට ගැන විශාල උනන්දුවක් තිබෙනවා නම්, දර්ශනයක් තිබෙනවා නම්, පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. දිනීමම නෙවෙයි අරමුණු කරගන්න ඕනේ, කාන්තා හඬ නියෝජනය කිරීමත් කාන්තා හඬ ලොවට ඉදිරිපත් කිරීමත් අත්‍යවශ්‍ය කාර්යයක් වෙනවා. මා හිතනවා ඉදිරියේ එන පාර්ලිමේන්තු මැතිවරණයත් අපේ කාන්තාවන්ට, අපේ පවුල් ඒකකයට ආශිර්වාදයක් වේවි කියලා.

CATAMARAN.ORG

[මෙලනි මානෙල් පෙරේරා]

News Order: 
-1
මාතෘකා