ජීවිතයෙන් පෙත්තක්

 ඡායාරූපය:

ජීවිතයෙන් පෙත්තක්

කෙටිකතා එවන්න

ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන් (PDF නොකර), වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

කෝසල ගලගෙදර

විදුලිපංකාව නොනැවතී කැරකෙමින් තිබේ. අප ජීවත් වන ලෝක ගෝලයද මේ ලෙසම නැතත් වේගයෙන් කැරකෙනවා විය යුතුය. විදුලි පංකාව යට, රජයේ රැකියාවක නිල පුටුව මත වාඩි වී සිටින මාගේ හිසටද කැරකැවිල්ලක් රිංගාගෙන තිබේ.

“අනුර, මැඩම් කථා කරනවා...”

නිමග්නව සිටි කල්පනාවෙන් මා තිගැස්සී ගියේ දෙපාර්තමේන්තු ප්‍රධානී තුමියගේ විධානයකට ලැබුණු කැඳවීමකිනි. මම පුටුවෙන් පැන ලිපිගොනුවද රැගෙන ඇගේ නිල කාමරය වෙත දිව ගියෙමි.

“අනුර, මේ විදිහට නං මෙතන වැඩ කරගෙන යන්න අමාරුයි. ඔයාගේ වැඩවල කිසි පිළිවෙළක් නෑ කියල මට ගොඩක් පැමිණිලි ඇවිල්ලා තියෙනවා. දැනුත් මේ ලිපිගොනු පිළිවෙළට එකතු කරලා නෑ. එකක්වත් හරියට හොයාගන්න බෑ....”

නොතැළුණු යකඩයකට කම්මල්කරුවකු වැරෙන් මුදාහරින යකුළු පහරක් සේ කීං අනුකරණයෙන් මනස තුළ කම්පනයක් හට ගන්නවා මට දැනුණි. හිසකෙස් අගින් හීනි ඩාබිඳු වෑස්සී බෙල්ල දිගේ රූරා යයි. ඩාබිඳු වැගිරීම වළක්වා ගැනීමට අවශ්‍ය වුවද ඒ කළ නොහැකිය. මැඩම් ඉදිරියේ සිටි මට පාවෙන ගතියක් ගතට දැනිණි. ඇගේ කට සෙලවෙන ආකාරය, ඇහි බැමි ඉහළ පහළ යන ආකාරය දෙස මගේ ඇස් ඉලක්ක වී තිබේ. ඈ පවසන වචන පිළිබඳ මට නිනව්වක් නැත. එහෙත් ඈ පවසන දේ ඇත්ත විය යුතුය. මා අතින් වරදක් වී තිබේ. අඩුපාඩු නිවැරදි කරගෙන හොඳින් සේවයේ නියුතු විය යුතුය යන අදහසේ මමද සිටිමි. එහෙත් මේ මොහොතේ මගේ මනස ව්‍යාකූල වී ඇත. කිසිවකට මා සිත දැහැන් ගත කළ නොහේ.

රජයේ රැකියාවක් ලබා කාර්යාල සේවයට පැමිණි මුල් වකවානුවේ මා කෙතරම් ආකර්ෂණීය පුද්ගලයකු වීද! මැඩම්ගේ කාමරයෙන් පිට වෙද්දීද මට ඒ ගෙවුණු කාලය කල්පනා විය. එය බොරුවක් නොවේ. අප කාර්යාලයේම සිටි දක්ෂතම, කඩිසරම සේවකයා මම වීමි. මම එදා ඉතා හොඳින් වැඩ කටයුතු කරගෙන ගියෙමි. එහෙත් අදිසියේ කඩාපත් වූ පුද්ගලික ජීවිතයේ විපත්ති සමුදාය මා ඉතා අලස, අපිළිවෙළ හෙමිනකු බවට පත් කර ඇත. නිල මේසය මත ලිපිගොනුව තබා පුටුවේ හිඳගත් මා යළිත් අතීත ආවර්ජනයෙහිම ඇලුණි.

“පුතේ, මේ විදිහට අපිටත් බලන් ඉන්න අමාරුයි. අපි තීරණයක් ගත්තා. පුතාට හොඳ කෙනෙක් හම්බවෙයි. දැන් පුතා ඉන්න තත්ත්වෙ අනුව විවාහයක් ගැන තීන්දුවක් ගන්න බැහැනෙ. ඒ නිසා අපි තීරණය කළා මධූව වෙන කෙනෙකුට බන්දන්න. පුතා ආයේ මේ පැත්තෙ නෑවිදින් හිටියොත් තමයි හොඳ.”

නැන්දම්මා බවට පත් වීමට ගිය මධූගේ මවගෙන් ලැබුණු දුරකථන ඇමතුම හෙණගෙඩියක් පාත් වූවා වැන්න. එය මා තුළ තිගැස්මක් ඇති කළද ඉන් උපන් කම්පනය හෝරා කිහිපයකට වඩා පැවතියේ නැත. ජීවිතය යනු ප්‍රශ්න පත්තරයකි. ආර්ථිකය නමැති පළමුවැනි ප්‍රශ්නයේදීම පිළිතුරු ලිවීම පසෙක දමා විභාගයෙන් නැඟිට යන නැන්දම්මාවක හෝ ඇගේ දියණියක හෝ මට අබමල් රේණුවක අගය නැත. මකබෑවෙලා ගියදෙන්! උන්දැලාගේ අහවල් උලව්වේ මංගල දෝණි!

ප්‍රශ්නය ආරම්භ වූයේ පහර වැදුණු තැනට ගව්වක දුරකිනි. ජීවිතය මහා පුදුමාකාර හෙයියම්මාරුවකැයි මට සිතෙන්නේ මෙවැනි සිද්ධි නිසාවෙනි. ඇරුණු මංගල යෝජනාවෙන් මට නූපන් තාන්තුවාවක් මගේ මවගේ සන්තානය තුළ පත්තු වී තිබිණි. මගෙන් ඒ පිළිබඳ විස්තර දැනගත් මොහොතේම ඇගේ මුහුණු පොඩිය නිදිකුම්බා කොළ රොත්තක් සේ ඇකිළී ගියේය. ඈ එය එතරම් බරසාරෙට ගන්නා බවක් නිකමටවත් සිතුණා නම් උන්දෑට ඒ පිළිබඳ වගේ වගක් නොඅඟවා ඉන්නට තිබිණි.

අම්මා මා ඇති දැඩි කළේ නොවිඳිනා දහදුක් විඳගෙන යැයි මම හොඳාකාරවම දනිමි. එසේ නැතත් ගමේ කොතැනක හෝ කතා පොළක් මතු වූ විට එහි ප්‍රධාන මාතෘකාවට මාව ඈඳුණා නම් අම්මා මා ඇති දැඩි කරන්නට ගත් වෙහෙස මහන්සිය වෙස්සන්තර ජාතක පුවත කියනවාට වඩා ඇද පැද කියන්නට සමත් අම්මණ්ඩිලාගෙන්, මාමණ්ඩිලාගෙන් එතැන අඩුවක් නොවන්නේය.

ඔවුන් නිතර කියන පරිදි මගේ පියා දසමහා යෝධ කුලයට අයත් යෝධ කාය ශක්තියකින් හෙබි අයෙකි. ගමේ කාටත් නොමසුරුව ශ්‍රම දායකත්වය පරිත්‍යාග කළ අයෙකි. සුරා ධූර්තයකු ලෙස දවස පුරා කටගොන්නක් බීගෙන පවුල් සංස්ථාව කාබාසිනියා කර දමා මගේ මවගේ ඔළුගෙඩියට මිට මොළවා කුළුගෙඩියකින් පර්වත බිඳින්නාක් මෙන් තැළූ අයෙකි. අම්මා එය ස්ථිරව පවසන්නට මැළි වුවත් මෑතක් වන තුරුම ඈ දරුණු ලෙස පීඩා විඳි ස්නායු රෝගයට මුල ඔහු විය. එහෙත් අවසන ඔහු අපගේ සියලු වගකීම්වලින් නිදහස්ව ඉක්මන් ගමනින් එලොව බලා ගියේය.

එවක් පටන් කලෑ කපන පාටියේ, උළුමෝලේ මැටි අදින පාටියේ, ඇති හැකි උන් ගාව බැලමෙහෙවරෙහි යෙදෙන පාටියේ, නොවරදවාම මසකට වරක් මානසික බෙහෙත් අහන රෝගීන්ගේ ඉස්පිරිතාල පාටියේද සාමාජිකාවක වූ අම්මා මගේ කරදඬු උස් මහත් කරන්නට යොදා ඇති දහිරිය අහල ගං හතක උන්ට රහසක් නොවේ.

කරුමයක මහත පඩිසන් දීගෙන ආ අපූරුව! අම්මා එක්වරම ලෙඩ ඇඳට වැටිණි. නොතරම් සහකාරියක වුවද පූජනීයයි සිතූ ප්‍රේමයේ නාමයෙන් මා විවාහ කරගන්නට සූදානම් වූයේ අම්මාවත් බලා කියාගෙන ඇගේ සැඳෑ සමයට හෝ අස්වැසිල්ලක් වීමේ අපේක්ෂාවෙනි. අවසානයේ මට තීන්දුව පැමිණියේ - මධූලාගේ පැත්තෙන් තීන්දුව පැමිණියේ - අම්මා ගමේ තියා ප්‍රේමයේ නාමයෙන් මා නගරයේ පදිංචි වී විවාහ විය යුතු බවය. පසුව ආ අං ලොකු කර නොගෙන ගමට වී අම්මාත් සමඟ සන්තෝෂයෙන් ජීවත් වන්නට මා තීන්දු කළ විට මට මඟහැරුණු ප්‍රේමය මටත් වඩා අම්මාගේ පපුව රිදවූයේ කෙලෙසකදැයි අදටත් මට අවබෝධ කරගත නොහේ.

වෙන්ඩ නැන්දාම්මාගේ මුස්පේන්තු දුරකථන ඇමැතුමින් හරියටම දින හයක් ගෙවෙන තැනදී අම්මා පපුවට අත තියාගෙන නිදි ඇඳේම එලොව ගොස් තිබිණි. දෙයියනේ කියා රජයේ රැකියාවක් ලැබී උගත් දෙයින් හරිහමං ප්‍රයෝජනයක් නෙළා ගන්නට පටන් ගත්තා පමණි. ඒ අස්වැන්න ගෙට ගන්නටත් කලින් එහි හිමිකරුවෝ මා මඟහැර ගොසිනි. දැන් නම් ඒ අතීත කතාවට හයමාසයකුත් ඉක්මගොස් තිබේ. එහෙත් එතැන්පටන් කඩා වැටුණු උනන්දුව තවමත් නංවා ගත නොහැකි වීම මා ලද පරාජයකි.

කාර්යාල ප්‍රධානතුමිය ඇතුළු සියලු දෙනා මා හට ඉතාම හිතෛෂීවන්තයෝය. ඔවුන් කිසිවෙක් මා වෙත සිහිනෙනුදු අවැඩක් නොපතන බව මට ඉර හඳ මෙන් ප්‍රත්‍යක්ෂය. මැඩම් වුවද අද මා කැඳවා මඳක් සැර පෙන්වූයේ අහිතකට නොව මා මේ මායාවෙන් මුදවා ගැනීමට බව මම හොඳාකාරව දනිමි. එහෙත් මා හට උනන්දුවෙන් ජීවත් වීමට අරමුණක් සොයා ගත නොහැකිය. මෙපමණ කාලයක් තිස්සේ මගේ මනෝභාවයන් යථාවත් නොවන්නේද ගොඩනැඟෙන්නට සවි ඇති පදනමක් නොමැති නිසාවෙනි.

හොඳ අවබෝධයෙන් සියලු දේ දැන සිටියත් ලෝකයේ සිදු වන ඇතැම් සිද්ධි දාමයන් ඉදිරියේ ගල්පිළිම, මැටිපිළිම ලෙස අපට ඔහේ බලා සිටින්නට සිදු වන්නේ කුමන කරුමයක ආශ්චර්යයෙන්ද යන්න පුදුමය දනවනසුලුය. ඇතැම් විට මහා හැලහැප්පීම් කන්දරාවකින් පසු එළඹෙන ජීවිතයේ නිශ්චල කාලසීමාව පැනයා නොහැකි තරම්ය. ඒ මූසල ජීවිතය මා සිර කර දමන්නේය.

ඉකුත් කෙටි කාලවකවානුව තුළ ජීවන නෞකාව හැරවිය යුතු අනේක විධ මංමාවත් පිළිබඳ මම නොයෙක් නොයෙක් පැතිකඩ ඔස්සේ සිතින් විමසා බලන්නට වීමි. ලජ්ජාශීලීව වුවද ඇතැම් විට දිවි තොර කර ගැනීමේ විකල්පය ගැන පවා සිතූ බව පාපෝච්චාරණය කළ හැකිය. එහෙත් අච්චරක් දහදුක් විඳ මා තැනූ අම්මාට එතරම් බෙලහීනයකු තැනූ අපකීර්තිය අත්කරදීමට තරම් මා සිත ඉඩ නොදෙයි. දුම්වැටිය, මත්වතුර, මල්කතුර, ඊයම්කොළ වැනි විකල්ප තෝරාගෙන ප්‍රශ්නවලින් පැන දුවන්නට වෙර දරන උන් අනන්තවත් සිටියද උන්ගේ නපුංසක ගණයට එකතු වී බිව් කිරට, අම්මාගේ දහඩියෙන් කෑ බත්පතට ණය ලොන්ත පකිරිඤ්ඤයකු වීමට තරම් මාගේ මධ්‍ය ස්නායු පද්ධතියේ දෝෂයක් නැත.

උඩ ඇන්දේ දත් යට ඇන්දේ ගැටෙන පරිදි කිටි කිටියේ සපාගත් මම ගැඹුරු හුස්මක් ඉහළට ඇද පහළ හෙළූවෙමි. හාන්සි වී ඇදව තිබූ සුෂුම්නාව සෘජු කොට පුටුව මත කෙළින් වී මේසය දෙසට නෙත් යොමු කළෙමි.

“ආයුෂය, ශරීර උෂ්ණය, විඥානය සිරුරෙන් පිටව ගිය පසු අප කාගේත් සිරුරු වේ පස් බැඳ දිරාගිය දරකැබැල්ලක් සේ නිෂ්ප්‍රයෝජනයි.”

අම්මාගේ පාංශුකූල දිනයේ හාමුදුරුවන් කියූ බණපදයක දෝංකාරය මනසේ රාව ප්‍රතිරාව දෙයි.

“හැබැයි අපි කාටත් පුළුවන් ඒ ධර්මතාවට පත් වෙන්නට කලින් සතාසිවුපාවාට, මේ මහපොළොවට, මේ සමාජයට විපුල ප්‍රයෝජන අත්කර දෙන මිනිසකු ලෙස කටයුතු කරන්ට.”

කාර්යාල කවුළුවෙන් ඇදී ආ සුළං දහරාවක් සමඟින් කවුළුවෙන් එපිට කොළ ලෙළවමින් ඵල දරා සිටින අඹ ගස මාගේ නෙත ගැටිණි. කවුරුන් විසින් මේ අඹ ගස මෙතන රෝපණය කරන්නට ඇද්ද? එහෙත් ඔහුට හෝ ඇයට මේ ගසේ ඵල බුක්ති විඳින්නට කාලය ඉඩ නොතැබුවා විය යුතුය. අඹ ගසේ හටගත් ඵල අඹ ගස බුක්ති විඳින්නේද නැත. තමාට බුක්ති විඳින්නට නැහැ කියා ඒ අඹ ගස ඵල වරන්නේද නැත. සිටුවූ අය නැහැ කියා හටගත් ඵල කාට හෝ නොදී සිටින්නේද නැත.

මගේ මුහුණ පුරා ඇති සියුම් නහරවැල් නැවුම් රුධිර දහරාවන්ගෙන් පිම්බෙනු මට දැනිණි. කඩිමුඩියේ මේසය මත එකිනෙක පැටලැවී තිබූ ලිපි ගොනු නිසි පිළිවෙළකට අසුරන්නටද වීමි. කිසියම් කාර්යාල කටයුත්තක් සඳහා බැහැර යනු පිණිස පිටත්ව යන මැඩම් ප්‍රසන්න සිනහවකින් මගේ මේසය පසුකර ගෙන යයි. පියවර කිහිපයක් ඉදිරියට ඇදුණු ඇය උපැස් යුවළ ගලවා අත්ලෙන්සුවකින් දෑස් පිස දමා පසුපස නොහැරීම “අනුර, මං එනකන් මෙතන වැඩ ටික බලාගන්න!” යැයි කියමින් ඇවිද යයි. එයට ප්‍රතිචාරයක් දක්වන්නට පුටුවෙන් නැඟී සිටියද ඇය බොහෝ දුර ඇවිද ගොස්ය. සිටගත් වනම සිට මම ලිපිගොනු පිරික්සන්නට වීමි.

--------------

ජීවිතයේ නොයෙක් හැලහැප්පීම්වලට, පරාජයන්ට මුහුණ දුන් කෙනෙකු ආපසු හැරී සිය ජීවිතය පිළිබඳ මතකාවලෝකනය කෙරෙන කෙටිකතාවකි, මෙය. මෙය එක් පසෙකින් කතා කලා ආකෘතියක් තුළට අනුභූතියක් බැස්සීම බඳුය. ආකෘතිය නම් මතකාවර්ජනයයි. අනුභූතිය නම් පුද්ගලයා ලැබූ ජීවිත කලබැගෑනිය. මෙවැනි කතාන්දරයක් සාර්ථක වන්නේ කතානායකයාගේ කතාව ඔහුගේ පුද්ගලික කතාවට සීමා නොවී පුළුල් වින්දන තලයකට පැතිර ගියහොත්ය. මෙම කතාවේ ගැටලුවත් එය කතානායකයාගේ කතාවටම ලඝු වීමය. එසේ වූ විට ඉන් පාඨකයාට ලැබෙන්නේ පුවත්පත් විශේෂාංගයක සුළු වින්දනයකි. ප්‍රබන්ධයට ඇතුළත් විය යුත්තේ යථාර්ථයම නොවේ. අමතර යථාර්ථයත් ඊට ඇතුළත් විය යුතුය. පුළුල් ජීවිතාවලෝකනයක් සිදු වන්නේ එවිටය. කෙසේ වුව මෙය කෙටිකතාවක් වශයෙන් ප්‍රශස්ථ වෑයමකි.

- සංස්කාරක

මාතෘකා