ලලිත් ඇතුලත්මුදලිගේ හදවත පණ ගැන්වීමට දැරූ වෙහෙස

විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ බිරිද තමලි සමග ඡායාරූපය:
.විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ බිරිද තමලි සමග

ලලිත් ඇතුලත්මුදලිගේ හදවත පණ ගැන්වීමට දැරූ වෙහෙස

විස්මිත හෘද සැත්කම් දොළොස්දහසකට අධික ගණනක් සිදු කරමින් රෝගී ජීවිත රැක ගන්නට කැප වූ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ චරිතයකි. අගනුවරින් බැහැරව හෘද සැත්කම් කළ නොහැකි බවට වෛද්‍ය ක්ෂේත්‍රයේ පැවති බමුණු මතයට ඔහු අභියෝග කළේය. ඔහුගේ ජීවන තොරතුරු ඇසුරින් සෑම සිකුරාදා දිනකම රැස පුවත්පත මතක සිත ඔස්සේ ගෙන එන “හදවත්වලට පණ දෙන හදවත හොඳ වෙදැදුරු” විශේෂාංග මාලාවේ මේ දහවැනි දිග හැරුමයි.

කොළඹට මහ රෝහලේ රාජකාරියට පැමිණි මුල් කාලයේදීම නාමල් පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ වෛද්‍ය නිලධාරිවරයා ලෙසද කටයුතු කළේය. නාමල්ට පෙර එහි කටයුතු කරනු ලැබුවේ බානගල නම් වෛද්‍යවරයෙකි. ඔහු විදෙස්ගතවන විට ඒ සඳහා නාමල්ට අවස්ථාව හිමි විය. එහි වැඩ බිම්වල සෞඛ්‍ය කටයුතු පිළිබඳ සොයා බැලීමද ඔහුට පැවරිණි.

කොළඹ රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරයා ලෙස මෙන්ම නේවාසික විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කළ නාමල්ට නිල නිවසක් හිමි විය යුතුව තිබුණද ඔහුට එය හිමි නොවුණි. පාලන අධිකාරිය ගත් මේ තීරණයට එරෙහිව සාධාරණයක් පතා නාමල් එවකට නීති විශාරදයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා හමුවිය. ඒ සඳහා නාමල්ගේ බෝඩින් මිත්‍රයකු වූ හදකුඹුරගේ සහාය ලැබිණි. හදකුඹුර හා ලලිත් ඇතුලත්මුදලි මහතා අතර පැවති සමීප ඇසුර ඒසඳහා පිටිවහලක් විය. නාමල්ට සිදුවී ඇති අසාධාරණයට එරෙහිව නඩු මඟට බැසිය යුතු බව ලලිත් ඇතුලත්මුදලි මහතාගේ නිගමනය විය. ඒ සඳහා ඔහුගෙන් ප්‍රබල සහායක් නාමල්ට හිමිවිය.

ඒ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදු වෙමින් පැවතිණි. බලයේ සිටි ප්‍රේමදාස රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු වූ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක එජාපයෙන් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීමට කටයුතු කළේය. නාමල් දේශපාලනයට සෘජුව සම්බන්ධ නොවූවද ලලිත් ඇතුලත්මුදලි මහතා සතුව තිබූ හැකියාව හා උගත්කම පිළිබඳ ඔහු තුළ ගෞරවයක් පැවතිණි. මේ නිසාම ලලිත් ඇතුලත්මුදලි මහතාගේ නව දේශපාලන ව්‍යාපාරය පිළිබද නාමල් තුළද ඇල්මක් ඇති විය.

මේ අතර දිනක් නාමල් නේවාසික ශල්‍ය වෛද්‍ය විශේෂඥයා ලෙස කොළඹ මහ රෝහලේ සේවය කරමින් සිටින විට වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ ලලිත්ඇතුලත්මුදලි මහතා රෝහලට ඇතුළු කෙරෙණි. ඒ වන විටත් ලලිත් ඇතුලත්මුදලි මහතා දැඩි සේ අසාධ්‍යව සිටි අතර ඔහුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන්ට කළ හැකිව තිබුණේ ඉතා සීමිත කාර්යයකි. වහා ක්‍රියාත්මක වූ නාමල් ඇතුළු වෛද්‍ය කණ්ඩායම ඇතුලත්මුදලි මහතාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ක්ෂණිකව ශල්‍යකර්මයක් සිදුකළේය. තමා කිසි දිනක බලාපොරොත්තු නොවූ ලෙස ඇතුලත්මුදලි මහතාගේ හදවත තම අත්ල මත නතර වූ අයුරු ඔහු මෙසේ අප සමඟ පැවසීය.

" තියටර් එකට ගේනකොටත් අසාධ්‍ය තත්ත්වයකයි සිටියේ. කෙසේ හෝ ඒ වටිනා ජීවිතය බේරාගන්න අපට කළ හැකි සියල්ල සිදු කළා. වම් ඇලයට හරවල උරස්කුහරය විවෘත කළා. හෘදයේ රුධිරය බිඳක්වත් තිබුණේ නැහැ, පපුකුහරයේ රුධිරය පිරිලා. වෙඩි උණ්ඩයට පුප්ඵුසීය මහා ධමනිය කීතු කීතුවලට ඉරිලා. ඒත් මම මගේ අතින් හෘදය තෙරපමින් නැවත පණ ගන්වන්න උත්සාහ කළා. ඒත් සිදුකළ සියලු උත්සාහයන් මොහොතකින් නිෂ්ඵල වුණා."

ලක්මවට අහිමි වූ ඒ උදාර යුගපුරුෂයා ගැන අදත් නාමල් තුළ ඇත්තේ අසීමිත ගෞරවයකි. එය කෙතරම්ද යන්න ඔහු පැවසූ මේ වදන් තුළින් මනාසේ පැහැදිලි වේ.

"මගේ විශ්වාසයේ අනුව ලංකා ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් පුද්ගලයන් දෙන්නෙක් හිටියා. ඉන් එක්කෙනෙක් පළමුවැනි විමලධර්මසූරිය රජතුමා. අපි අහල තියෙන විදියට එතුමා අවුරුදු තිස්නවයේදී අකාලයේ ජීවිතයෙන් සමුගන්නවා. අපේ සියැසින් දැක්ක අනිත් කෙනා තමයි ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා. එතුමාටත් රටේ අවාසනාවට අකාලයේ ජීවිතයෙන් සමුගන්න වුණා. එතුමා තව අවුරුදු කිහිපයක් ජීවත්වන්නට හැකි වූවා නම් අපට උරුමවන්නේ මීට හාත්පසින් වෙනස් රටක් කියන එකයි මගේ විශ්වාසය. "

1992 වර්ෂය වන විට නාමල්ගේ සොහොයුරියන් දෙදෙනාම විවාහ වී සිටියහ. නාමල්ද මෙතෙක් කලක් ගෙවූ තනිකඩ දිවිය හමාර කරමින් යුගදිවියට පිවිසිණ. දැන හඳුනාගැනීම මත සිදු වූ මෙම විවාහය ඉතා චාම්ව හා සරලව පැවති බව නාමල් අප සමඟ පැවසීය. ඔහුගේ අතගත් මනාලිය වූයේ දිවුලපිටියේ පදිංචි තමලි මෙනවියයි.

1994 වර්ෂයේ සිට 1996 වර්ෂය දක්වා නාමල් ජයවර්ධනපුර රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ සේවය කළේය. සතියකට දවස් දෙකක් ඔහු කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ නේවාසික ශල්‍ය වෛද්‍යවරයා ලෙස සේවය කළේය. 1995 ඔක්තෝබර් මස දහවැනි දින නාමල් හා තමලිගේ කැදැල්ලට කුලුඳුලේ ආ අමුත්තා පුතෙක් විය. ඔහුට “සෙනෙත්” යැයි නම් තැබිණි.

කලින් සැලසුම්කරගෙන සිටි පරිදි නාමල් 1996 වර්ෂයේ ජනවාරි මස එංගලන්තයේ වේල්ස් විශ්වවිද්‍යාල රෝහල වෙත ගියේ ය. තමලි හා කිරිකැටි වියේ පසු වූ සෙනෙත් දිවුලපිටියේ නිවසේ නතර විය. මෙම පුහුණුව සඳහා එංගලන්ත රාජකීය වෛද්‍ය සංගමය පිළිගන්නා ද්විත්ව අනුග්‍රහයක් අවශ්‍ය විය. එංගලන්තයේ පුරවැසිභාවය ලබා සිටි විශේෂඥ වෛද්‍ය නිහාල් කුලතිලක මහතා එංගලන්තය වෙනුවෙන්ද විශේෂඥ වෛද්‍ය රත්නතුංග මහතා මෙරට වෙනුවෙන්ද නාමල්ට අනුග්‍රහය දැක්වූහ.

නාමල් පුරා වසර එකහමාරක් වේල්ස්හි හෘද ශල්‍ය වෛද්‍ය විද්‍යාව හා උරස් ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරීය. එහිදී ඔහුට ශල්‍ය වෛද්‍ය විද්‍යාව සම්බන්ධ එවකට පැවති අති නවීන දැනුම් සම්භාරයක් ලබාගැනීමට හැකියාව ලැබිණි. විශේෂඥ වෛද්‍ය නිහාල් කුලතිලක ඊ.ජී. බූචාර්ට් හා ඉයන් බ්‍රැකන්රිට් හා ඉතාලි ජාතික ෆ්‍රැන්සිස්කෝ මුතුමිෂි යන ලෝකප්‍රකට හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගුරුහරුකම් ලබන්නට නාමල්ට හැකි විය. විදෙස්ගත වී මාස නවයකට පසු තම ආදර බිරිය හා එකම පුතු සෙනෙත්ද එංගලන්තයට ගෙන්වා ගැනීමට ඔහු සමත් විය. ඒ වන විට සෙනෙත්ගේ වයස අවුරුදු එකකි. නාමල්ට රෝහලෙන් ලැබුණු නවාතැන වෙනුවට තමලි හා දරුවා සමඟ වාසය සඳහා කුලී පදනම මත නිවසක් සොයාගැනීමට ඔහු සමත්විය. තමන්ට එංගලන්ත රෝහලෙන් ලැබුණු පවුම් දහසක වැටුපෙන් පවුම් හාරසීයක්ම නිවසේ කුලිය සඳහා වැය කිරීමට ඔහුට සිදුවිය. වසර එකහමාරක් වේල්ස් විශ්වවිද්‍යාල රෝහලේ පුහුණුව ලැබූ නාමල් තවත් මාස හයක් පමණ ලෙෂර් ප්‍රාන්තයේ රෝහලක ළමා හෘද සැත්කම් පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කිරීමේ අවස්ථාව හිමිවිය.

මේ සියලු කාර්යයන් නිම කළ නාමල් 1996දී නැවත තම මවුරට බලා පැමිණෙන්නේ හෘද හා උරස්කුහර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසය. ලංකාවේ වෛද්‍යවරුන් විදේශගත වීමට පළමුව අත්සන් තැබිය යුතු කොළඹ මහ රෝහලේ ඇති විශේෂ පුස්තකයේ තම පැමිණීම සටහන් කරන නාමල් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් තම පැමිණීම නිල වශයෙන් තහවුරු කළේය. ඒ වන විට කොළඹ මහ රෝහලේ හෘද ශල්‍යාගාර තුනක් හා ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාර දෙකක් පමණ ක්‍රියාත්මකව පැවතිණි. කොළඹින් පිට කිසිදු තැනක ඒ වන විට හෘද සැත්කම් සිදු නොකෙරිණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවූ නාමල්ට කොළඹ පුරප්පාඩු නොමැති බැවින් ඉදිරියේදී හෘද සැත්කම් ආරම්භ කිරීමට යෝජිත පේරාදෙණියට හෝ කරාපිටියට පත්වීම ලබාගන්නා ලෙස දැනුම් දෙනු ලැබුණි. ඒ අනුව නාමල් එතෙක් තම ජීවිතයේ වඩාත් සිත්ගත් පේරාදෙණිය රෝහල වෙත පත්වීම් ලබාගැනීමේ අරමුණ ඇතිව එහි තොරතුරු සොයා බැලීය. හෘද සැත්කම් ක්ෂේත්‍රය කෙරෙහි යොමුවීමට නාමල් උනන්දු කළ විශේෂඥ වෛද්‍ය ගාමිණි බුත්පිටිය විදේශගත වීමට ප්‍රථම නාමල්ට දී තිබු පොරොන්දුවද එහිදී ඔහු ඔහුගේ මතකයට නැගුණි.

"ඔයා කොහොම හරි ඔය අවුරුදු දෙක පුහුණුව ඉවරකරල එනකොට පේරාදෙණියේ හෘද සැත්කම් ඒකකයේ අපි වැඩ ඉවර කරල තියෙනවා, එතකොට ඔයාට පේරාදෙණියේම වැඩ පටන්ගන්න පුළුවන්" ගාමිණි බුත්පිටිය එසේ පැවසුවද 1992දී වැඩ ආරම්භකර තිබූ පේරාදෙණිය හෘද ශල්‍ය ඒකකයේ වැඩ ඒ වන විටද අවසන්කර නොතිබිණි. නාමල් එවකට එම රෝහලේ අධ්‍යක්ෂවරයා වූ ඒ.එම්.එල්. බෙලිගස්වත්ත මහතා හමු විය. එහිදී අධ්‍යක්ෂවරයා මෙහි සම්පූර්ණ වැඩ අවසන් කිරීමට තවත් වසර දෙකක්වත් ගත් වන බව එහිදී ඔහුට පැවසීය. එතෙක් හෘද ශල්‍ය ඒකකය ආරම්භ කිරීමට විකල්ප ස්ථානයක්ද ලබා දීමට හැකියාවක් නොමැති බවද එහිදී ඔහු පවසා තිබිණි. පසුව මේ සියලු කාරණා අනුව කරාපිටියේ හෘද ශල්‍ය ඒකකයක් ආරම්භ කිරීමට නාමල් සිතින් අදිටන් කර ගත්තේය. ඒ අනුව ඔහු තම අලුත් පත්වීම කරාපිටිය රෝහලට ලබා දීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

කරාපිටියේ හෘද සැත්කම් පටන් ගත් අයුරු ලබන සතියේ....

[පබුදු සපුතන්ත්‍රී]
ඡායා [චේනක වික්‍රමාරච්චි] 
[සමන් ශ්‍රී වෙදගේ]

මාතෘකා