හොරකමට හැදූ උපකරණයකින් පටන් ගත් පැලඳිය හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ

 ඡායාරූපය:

හොරකමට හැදූ උපකරණයකින් පටන් ගත් පැලඳිය හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ

Wearable Electronic Devices

ඔබ කාර්යබහුලයි. ඒ නිසාම ජීවිතයේ අතපසු වන බොහෝ දේවල් අතරේ ඔබේ සෞඛ්‍යයත් ප්‍රධානයි. ඒ නිසාම අපට සමහර වෙලාවට නියපොත්තෙන් කඩන්න තියෙන ලෙඩ රෝග විදුලි කියතකින් වත් කපලා අයින් කරන්න බැරි වෙන අන්දමට සුවිසල් වෙනවා. තවත් සමහර වෙලාවට නැවත හරවන්න බැරි වන තරමටම ඔඩු දුවලා... සමහරු ඒ නිසාම මරණය එනතුරු පවා බලාගෙන ඉන්නවා. මේ අතපසු කිරීම් නිසා බොහෝවිට ඔබට අනේකවිධ පරීක්‍ෂණවලටත් මුහුණ දෙන්න සිදු වනවා. සමහර පරීක්‍ෂණ දිනපතා, තවත් සමහර පරීක්‍ෂණ දිනකට දෙතුන් වතාවක්... රුධිර පීඩනය, හෘදස්පන්දන වේගය, රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ආදිය මැන බැලීම එවැනි දේවල්. මෙවැනි අවස්ථාවල ඔබට සිතෙන්නට පුළුවන් මේ සියළුම පරීක්‍ෂණ ස්වයංක්‍රීයව සිදු වෙලා ප්‍රතිඵල ලේඛනය අතට ලැබෙනව නම් කොපමණ හොඳද කියලා.

නමුත් ලෝකය කෙතරම් තාක්‍ෂණිකව ඉදිරියට ගියත් සමහර පරීක්‍ෂණ රසායනාගාර තුළ සිදු කෙරෙන නිරවද්‍යතාවයෙන්ම ස්වයංක්‍රියව කිරීමේ අපහසුතා තිබෙනවා. අපි හැමෝම එකිනෙකාගෙන් වෙනස් සමහරවිට ජාතීන් අතර පවා විවිධ වෙනස්කම් දකින්නට පුළුවන්. ඇමරිකානු ජාතිකයන්ට වඩා යුරෝපීයයන් වෙනස්, ශරීර ප්‍රමාණ වලින්, ශරීරයේ මිමි වලින් පවා වෙනස්. ඒ නිසයි යුරෝපීයයන්ගේ ඇඳුම් පරිමාණය සහ ඇ‍ෙමරිකානු පරිමාණය වෙනස් වන්නෙ. යුරෝපීයයන් මද්‍යසාර වලට දක්වන ඔරොත්තු දීම නැ‍ෙඟනහිර ආසියාතික චීන ජපන් ජාතිකයන්ට දක්වන්නට බැහැ. ඔවුන්ගේ ශරීරවල ඇල්කොහොල් ඩිහයිඩ්‍රජනේස් නම් අක්මාවේදී මද්‍යසාර කඩා බිඳ දමන එන්සයිම පවා අඩුයි. මේ ආකාරයෙන් ලෝකයේ මිනිසුන් විවිධාකාර අන්දමින් එකිනෙකාගෙන් වෙනස් වනවා. එවිට එක් ප්‍රමිතියකින් යුත් පරීක්‍ෂණයක් සැකසීමේ හැකියාව අඩුයි. නමුත් දශක ගණනාවක පරීක්‍ෂණවලින් සහ මිනිසුන් මිලියන ගණනක පර්යේෂණ දත්තවලින් සමහර පිරිවිතරයන් සකසාගෙන තිබෙනවා. එසේම සමහර පිරිවිතරයන් එසේ සකසා ගැනීමත් පහසුයි. උදාහරණයක් ලෙස ගතහොත් රුධිර පීඩනය, හෘදස්පන්දන වේගය වැනි දෑ ලොව සෑමදෙනාගේම එක හා සමාන අගයක තිබෙනවා.

මේ අතරම තවත් පිරිසක් මෙවැනි පරීක්‍ෂණ ඩිජිටල්කරණය කර අප අඳින පලඳින ඇඟලුම්වල, එසේත් නැතිනම් ඔරලෝසු, අත් පලඳනා වැනි දේවල සවිකර ජංගම දුරකථන හරහා පාලනය සහ දත්ත ලබා ගැනීම වැනි තාක්‍ෂණයෙන් ඉදිරියට පිනූ උපකරණ සැකසීමේ මෙහෙයුම්වල නිරතව සිටිනවා. පැලඳිය හැකි තාක්‍ෂණය (Wearable Technology) ලෙසින් මෙය හැඳින්වුවත්, මෙසේ පැලඳිය හැකි තාක්‍ෂණය ලෝකයට ඉදිරිපත් වූයේ අද ඊයේ නොවේ. මිනිසාගේ සාමාන්‍ය හැකියාවන් ඉක්මවා යෑමට යමක් පිටතින් ඇඳීමට-පැළඳීමට භාවිතා වේද, එය පැලඳිය හැකි තාක්‍ෂණය වනවා. එසේ ගත්කළ ඇස්කන්ණාඩි පවා එයට අයත් වනවා. දහතුන්වන ශතවර්ශයේ නිපදවූ ඇස්කණ්නාඩි ලොකයේ පළමු පැලඳිය හැකි තාක්‍ෂණික මෙවලම වනවා. දහසයවන ශතවර්ෂයේදී යුරොපයේ නිපදවූ පැලඳිය හැකි අත්ඔරලෝසුව වන නියුරම්බර්ග් බිත්තරය (Nuremberg Egg) නම් ගෙළ වටා පැලඳිය හැකි ඔරලෝසුව ලොව මූලිකම පැලඳිය හැකි තාක්‍ෂණික උපකරණය ලෙස ඉතිහාසගත වනවා. නමුත්, ඉලෙක්ට්‍රොනික උපාංගයක් හා සම්බන්ධව තාක්‍ෂණයෙන් ඉහළ තත්ත්‍වයක උපකරණයක් ව පැලඳිය හැකි තාක්‍ෂණික උපකරණයක් ලෙස යමක් ලොවට එළිදැක්වූවා නම් එසේ යමක් නිෂ්පාදනය වූයේ 1960 ගණන්වල ගණිත මහාචාර්යවරයකු වන එඩ්වර්ඩ් තෝර්ප් විසින් රූලෙට් නම් ක්‍රීඩාව කිරීමේදී එය සිදුකරන තැනැත්තා (Dealer) පරදවා තමන් දිනීමට නිපදවූ ඉතාම කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණයක්. එය සරළව කිවහොත් රූලෙට් මේසයේ කුමන කොටුවේ බෝලය පතිත වේදැයි ගණන් බැලීමට සැකසූ කාල නිර්ණය කිරීමේ උපකරණයක්. මේ නිසා ක්‍රීඩකයාට 44%ක වාසියක් ලැබේ යැයි ගණන් බලා තිබෙනවා.

පළඳින තාක්‍ෂණික උපකරණවල දියුණුව කෙමෙන් කෙමෙන් වැඩිවෙද්දී, පළමු කැල්කියුලේටර් අත්ඔරලෝසුව නිපදවූයේ 1975දී වන අතර සංගීතය සවන්දීමේ වෝක්මන් යන්ත්‍ර තවත් වසර හතරකින් පමණ කරළියට පැමිණියා. ලොව පළමු ඩිජිටල් ශ්‍රවණ ආධාරක 1980 දී වෙළඳපළ ආක්‍රමණය කළා.

ඉන්පසු දැනෙනසුලු යමක් සිදු නොවූ මේ ක්‍ෂෙත්‍රය සුවිසල් පිම්මක් පැන්නේ 2002 වසරේ එළිදුටු Bluetooth Headset නම් ජංගම දුරකථනය සහ රැහැන් රහිතව කනට සවිකෙරුණු ශ්‍රවණ සහ කථන කට්ටලය එළිදැක්වීමත් සමගයි. ඒ සමගම බොහෝ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සමාගම් පැළඳ යා හැකි තාක්‍ෂණික මෙවලම් එළිදැක්වීමට පටන් ගත් අතර 2006 – 2013 අතර වෙ‍ෙළඳපළ ආක්‍රමණය කළ Nike+, Fitbit, Google Glass තාක්‍ෂණික පිස්සන් අතර යම් කැළඹීමක් ඇති කරන්නට සමත් වුණා. නයිට් රයිඩර් වැනි කථා මාලාවල දුටු සන්නිවේදනය කළ හැකි ඔරලෝසු යතාර්ථයක් බවට පත් කරන්නට ඇපල් watch සහ එයට තරඟයට තැනුනු Android watch වැනි ඉහළ තාක්‍ෂණයක් ඇති උපකරණද දැන් දැන් තාක්‍ෂණික ලෝකයේ ඉහලින්ම වැජඹෙනවා.

තාක්‍ෂණික උපකරණ මෙසේ පැළඳීමට හැකි ලෙස සැකසෙද්දී ඒ හා උනන්දුවන අයගේ ඊලඟ ඉලක්කය වී තිබුණේ මෙම තාක්‍ෂණික උපකරණ මිනිසාගේ නිරෝගීභාවය වැඩිදියුණු කිරීමට යොදාගන්නේ කෙලෙසද යන්නයි. ඒ අනුව මුලින්ම Fitbit වැනි උපකරණ හරහා හෘද ස්පන්දන වේගය, පුද්ගලයෙකු ඇවිදින පියවර ගණන සහ ඒ අනුව දහනය කරනු ලබන කැලරි ප්‍රමාණය වැනි මානයන් ඒ අවස්ථාවේදීම ඒ පුද්ගලයාට දැනගැනීමට සැලැස්වීමේ නිෂ්පාදනයන් එලිදැක්වුනා. ඊට අමතරව තවත් වැඩි දියුණු වෙමින්, නින්ද යාමේ රටාව,පානය කරන සහ පානය කළ යුතු ජලය ලීටර ගණන වැනි දෑ ද මේ Smart watch එක හරහා දැන ගැනීමේ හැකියාව මිනිසුන්ට ලැබුණා. එපමණක් නොවෙයි, GPS තාක්‍ෂණය එකතු කළ විට කෙනෙකු සිටින තැන ඉතාමත් නිවැරදිව බලා ගැනීමේ හැකියාව මෙන්ම එයටම එකතු කළ කෘත්‍රිම බුද්ධිය සමග කළහැකි දෑ බොහොමයි.

අනාගතයේදී පැලඳිය හැකි ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය ලොව ප්‍රධාන වෙළඳභාණ්ඩ වන බවට දැනටමත් ඉඟි පළවී අවසානයි. ඒ අනුව වසර 2020 වනවිට එහි වෙළඳපළ තුළ පැලඳිය හැකි ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රමාණය බිලියන 1.6 ක් තිබිය හැකි බවට ගණන් බලා තිබෙනවා.

සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ පැලඳිය හැකි ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය යොදා ගතහැකි අංශ කිහිපයක් තිබෙනවා. Personalized Medicine නමින් හැඳින්වෙන ඒ ඒ පුද්ගලයා වෙනුවෙන්ම පෞද්ගලිකකරණය කරන ලද සෞඛ්‍යය - එසේත් නැතිනම් අදාල පුද්ගලයාගේ ජානමය ලක්‍ෂණ සහ ස්වභාවය අනුව සිදු කරන රෝග විනිශ්චයන් සහ ඖෂධ භාවිතයට මෙයින් ලැබෙන පිටිවහල අප්‍රමාණයි. පුද්ගලයාට ආවේණික හෘද ස්ඵන්දන රටාව, රුධිර සංයුතිය, නින්ද යාමේ රටාව, ආහාර රටාව, ව්‍යායාම රටාව ආදී සියල්ල එකට කැටිකර ගත් විට ලැබෙන දත්ත සමූහය ආධාරයෙන් පුද්ගලයාගේ ජීවිතයම සිතියම්ගත කිරීමට මෙවැනි උපාංගයකට පුළුවන්. එය පවුලේ වෛද්‍යවරයා වෙත ලබාදීම මගින්, සහ කිසියම් හෝ වෙනසක් ඇතිවූ වහාම වෛද්‍යවරයා වෙත ස්වයංක්‍රීයව දැන්වීමට ඉඩ සැලසීම මගින්, ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්‍වය නිරීක්‍ෂණය, පාලනය සහ අනතුරු වැලැක්වීම පවා සිදුකිරීමට හැකියි. මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ වයෝවෘධ සහ බරපතල රෝගවලින් ඔත්පල පිරිසටයි. ඔවුන්ගේ දත්ත සිය සේවා සපයන්නන් සහ වෛද්‍යවරුන් හා සජීවීව බෙදාහදා ගැනීමෙන් මනා සුවතාවයක් පවත්වා ගැනීමට හැකි වනවා. එසේම කෙනෙකුට සිය ඖෂධ මාත්‍රාව අමතක වුවත්, එය පවා මතක් කර දීමේ ක්‍රම මේ පැලඳිය හැකි ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය මගින් සිදු කළ හැකියි. ඊට අමතරව මේ සියළු දත්ත පවුලේ දත්ත ගබඩාවකට එක් කිරීම මගින් පවුලේ සියළුම දෙනාගේ රෝග ඉතිහාසයන් සහ ජානමය ඉතිහාසයන් සුරැකිව තබා ගැනීම මගින් අනාගතයේ එම පවුලේ උපදින දරුවන්ගේ සෞඛ්‍යය පුරෝකථනයට පවා ඉඩ සැලසෙනවා. මේ සියල්ලම මගින් කෙනෙකු රෝගී වීම වැලැක්වීමෙන්

අවසානයේ එම පුද්ගලයාගේ හෝ පවුලේ අයගේ සෞඛ්‍යමය කටයුතු සඳහා වැයවන මුදලෙන් සෑහෙන ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකියි.

සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ පැලඳිය හැකි ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය දියුණු වීමත් සමගම, එය හුදෙක් නිරීක්‍ෂණය සඳහා පමණක් සීමා නොවී, අනාගත පුරෝකථනයන් සඳහාද භාවිත වීම සුවිශේෂී තත්ත්‍වයක්. විශේෂයෙන්ම මවකගේ කුස තුළ වැඩෙන දරුවාගේ සෞඛ්‍ය තත්ත්‍වය නිරීක්‍ෂණය සහ පුරෝකථනය පහසුවෙන් කළ හැක්කක් නොවන අතර, එය ඉතාමත් තීරණාත්මක සාධකයක්ද වනවා. මක්නිසාද යත්, දරුවාගේ චලනයන්, හෘද ස්ඵන්දනය, ආදිය පිටතට නොපෙනීමත්, කිසියම් හෝ වෙනසක් ඇති වුවහොත් එය දරුවාගේ ජීවිතයට බලපෑමත් නිසා. මේ හේතුවෙන් දරුවාගේ චලනයන් සහ හෘද ස්ඵන්දනය ECG ප්‍රස්ථාර හරහා පිළිසිඳ ගැනීමේ සිට මාස හතරක් වැනි කාලයක පටන්ම පැලඳිය හැකි ඉලෙක්ට්‍රොනික උපකරණයක් හරහා ජංගම දුරකථනය මගින් කියවා ගැනීම මවගේත් පවුලේ අන් අයගේත් සැනසීමට හේතු වනවා. දැන් මෙවැනි උපාංග වෙළඳපලේ මිලදී ගත හැකියි.

මීට අමතරව දැන් දැන් ශරීරයේ විවිධ ස්ථානවල පැලඳිය හැකි සංවේදක මගින් සිරුරෙන් පිටවන දහඩියෙහි සංයුතිය ගණනය කර, රුධිරගත සීනි ප්‍රමාණය, සිරුරෙහි ජල ප්‍රමාණය, ආදිය මැන ගැනීමේ ක්‍රම ද භාවිත වීමට පටන්ගෙන තිබෙනවා. මේ නිසා දියවැඩියා රෝගීන් නිතර නිතර රුධිර සාම්පල ලබාගෙන එම පරීක්‍ෂණ කිරීම අනවශ්‍ය වී තිබෙනවා.

මෑතකදී ඇමරිකානු සහ කොරියානු සහයෝගීතාවයෙන් කෙරුණු පර්යේෂණයකට අනුව පාකින්සන්ස්, ඇල්ශයිමර්ස් වැනි මොළය සහ නියුරෝන ආශ්‍රිත රෝගවලටත්, ඇබ්බැහිවීම්, විශාදය වැනි මානසික තත්ත්‍ව වලටත් පිළියමක් ලෙස මොළයේ තැන්පත් කෙරුණු කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණයක් ජංගම දුරකථනය හරහා පාලනය කිරීම මගින්, එහි තත්ත්‍වයන් අධ්‍යයනය කිරීමට සහ පාලනයට හැකියාව ලබාගෙන තිබුණා.

මේ පර්යේෂණ මෙසේ වන විට අප රටේ ද පර්යේෂණ ක්‍ෂෙත්‍රයේ නව පිම්මක් පනිමින් අප රටේම සමාගමක් පැලඳිය හැකි ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිෂ්පාදනය කිරීම නිසා ලෝකයේ අවධානය දිනාගැනීමට සමත් වූවා. SPRYNG නමින් හැඳින්වෙන එයින් සිදු වන්නේ පාදයේ කෙණ්ඩ ප්‍රදේශයේ සිදුවන මාංශපේශී වේදනාවට සහ හානිවීම් වැලකීම සහ ඉක්මන් සුවය ලබාදීමයි. ක්‍රීඩකයන්ට, දිගු වේලාවක් සිටගෙන සිටින අයට නිරන්තරයෙන්ම පාදයේ පහල කොටසේ මස්පිඩු විඩාවකට පත් වනවා. මෙය නැවත ඉක්මනින් ප්‍රතිස්ථාපනය කිරීමට විවිධාකාර ක්‍රම තිබුණත්, මසාජ් කිරීම වැනි ක්‍රමයකින් කාර්යක්‍ෂම ප්‍රතිඵල ලැබෙන බව සොයාගෙන තිබෙනවා. දැනට වෙළඳපලේ තිබූ මසාජ් කිරීමේ උපකරණ ප්‍රමාණයෙන් විශාල සහ වයර් සම්බන්ධ වූ භාවිතයට සුහුරු නොවු උපකරණ වනවා. මේ සමාගම මගින් පැලඳිය හැකි, චලනය විය හැකි භාවිතයට පහසු මසාජ් උපකරණයක් හඳුන්වාදී ඇති අතර එය ඉතා සාර්ථකව වෙළඳපල ආක්‍රමණය කර තිබෙනවා. මීට අමතරව ශීත කාලයේදී උණුසුම ලබාදීමට සහ එය අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඇඟළුම් වලටම සවි කළ උණුසුම් කිරීමේ උපාංග, හෘද නින්ද පාලනයට හිස පළඳනා, ව්‍යායාම කිරීමේදී ශරීරයේ නියමිත හැඩය පවත්වාගැනීමට, එය නිසි පරිදි යාමනයට අවශ්‍ය දත්ත සැපයීම සහ නිවැරදි කිරීමට ද උපාංග වෙළඳපොලේ මිලදී ගැනීමට ද හැකියි.

අනාගතයේ අප කාර්යබහුල වන තරමටම අපට බොහෝ දේවල් අතපසු විය හැකි වුවත්, දැන් දැන් තාක්‍ෂණයම ඒ සියල්ලටම විසඳුම් ලබාදෙමින් පවතිනවා. අප කළ යුත්තේ හොඳින් විමසා බලා අප ජීවිතය පහසු කරවන, එසේම වෙනත් ආචරණ අවම තාක්‍ෂණයන් භාවිත කරගෙන අපගේ තේරීම් කිරීමයි. සියල්ල අන්තර්ජාලය සමඟ ජාලගතව සම්බන්ධ මේ යුගයේ තාක්‍ෂණය පසෙක ලා ගල්යුගයට ගොස් විඳවීම අපට කළ හැකි ලොකුම මෝඩකම විය හැකියි.

ආචාර්ය [පියල් ආරියනන්ද]

මාතෘකා