අපරාධකරුවන් 1,266ක් සිරගෙට යැවූ ලොයිස් ගිබ්සන්

 ඡායාරූපය:

අපරාධකරුවන් 1,266ක් සිරගෙට යැවූ ලොයිස් ගිබ්සන්

Lois Gibson

අපරාධකරුවා හඳුනාගත නොහැකිව වැළලී යෑමට නියමිතව තිබූ නඩු නැවත සක්‍රිය කළේ ඇගේ දෑතිනි. ඇය හඳුනාගත් අපරාධකරුවන්ගෙන් 1266ක් සිර දඬුවම් ලබා තවමත් එය ගෙවා දමනවා විය හැක. එය ගිනස් වාර්තාවකි. තනි සිත්තරකු විසින් මෙතරම් අපරාධකරුවන් ප්‍රමාණයක් හඳුනාගත් බිමිකඩක් ඇමෙරිකා එක්සත් ජනපදයේ හැර ලෝකයේ වෙන කොහේ හෝ නැත. ලොයිස් ගිබ්සන් යනු අපරාධ විද්‍යාව ඉගෙන ඒ ඇසුරෙන් අපරාධකරුවන් හඳුනාගන්නා අධිකරණ සිත්තරාවියකි. ඇය එක්සත් ජනපදයේ සිටින එවැනි වෘත්තිකයන් 26 දෙනාගෙන් එක් අයෙකි.

ඇගේ අතීතය ශෝකාන්තයකි.

ගිබ්සන් අපරාධකරුවන්ට එරෙහි සටන පැමිණියේ ඇයම අතවරයට ලක් වූ පසුය. වයස අවුරුදු 21දී ඇය නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් වූ අතර ලොස් ඇන්ජලීස්හි ජීවත් වූවාය. එහෙත් බිහිසුණු ස්ත්‍රී දූෂණයක් ඇගේ ජීවිතය වෙනස් කරමින් ඇයට අධිකරණ සිත්තරාවියක වීමට මඟපෙන්වීය.

“ඒකෙන් මම දැඩි කම්පනයට පත්වුණා; යුක්තිය ඉල්ලා සිටියා ඒත් මට එය ලබා ගත නොහැකි වුණා.” ඇය පවසා තිබිණි.

“මම හිතුවේ පොලිසිය හිතන්නේ ඒක මගේ වැරැද්දක් විදියට කියලා. ටික කාලෙකට මම හැමෝටම බය වුණා.”

එහෙත් ඇය ජීවිතය අත්හළේ නැත. ඇය රංගනයට හා නර්තනයට ප්‍රිය කළ නිසා ඇය ටෙක්සාස් වෙත ගොස් ලලිත කලාව පිළිබඳ උපාධියක් හැදෑරීය. දිනක් ඇය සිය 12 හැවිරිදි සිසු සිසුවියන් ඉදිරිපිට නර්තන උපදේශකවරියක දූෂණය කිරීම පිළිබඳ ප්‍රවෘත්තියක් දුටුවාය. ඇයට මහා වෛරීසහගත කෝපයක් දැනුණි. ඇගේ අතීතය නැවතත් ඇයට ඇස් ඉදිරිපිට මැවුණාක් මෙන් විය.

“ඔව්, මුන්ට නිදැල්ලෙ ඉන්න දෙන්න නරකයි. වින්දිතයා එක්ක කතා කළොත් සමහරවිට දූෂකයාව ඇඳල දෙන්න මට පුළුවන් වේවි. ඒ අනුව වින්දිතයා කළු හිසකෙස්, අඳුරු ඇස් සහ දීප්තිමත් සුදු දත් ඇති මිනිසකු විස්තර කළ අතර ලොයිස් ඉක්මනින් සිතුවම් කරද්දී විචිත්‍රවත් චිත්‍රයක් මතු විය.”

“හරියටම හරි ඌ තමයි” යැයි ඇය කියද්දී ලොයිස් ගිබ්සන් ක්ලාන්ත විය.

ඒ ඇගේ අපරාධකරුවා හඳුනාගත් ප්‍රථම සිතුවමයි.

හිස් කබලේ ස්වරූපයෙන් පමණක් වුවද ගිබ්සන්ට ඔහු හෝ ඇය ජීවමානව සිටි ස්වරූපය නිවැරදිව ඇඳීමට හැකිය. 2007දී නාඳුනන ගැහැනු ළමයකු ඇගේ ඇඟ මස් දියවී ඇට සැකිල්ලට ඇළුණු ගවුමක් පමණක් ඇතිව වෙරළ තීරයකට ගොඩගසා තිබිණි. ගිබ්සන් කුඩා දැරිවිය සිත්තම් කර තිබුණේ නිල් දෑසක් සහ දුඹුරු පැහැ හිසකේවලිනි. දින 3ක රූපවාහිනී දැන්වීමකට පසු, “මේ ඉන්නේ මගේ දුවගේ බාල දුව රයිලී ඈන් සෝයර් (Riley Ann Sawyers) බව ඇගේ මිත්තනිය කීවාය. රයිලිව මරා දමා තිබුණේ ඇගේ මව සහ ඇගේ දෙවැනි සැමියාය. ඔවුන් දෙදෙනාම චෝදනාවට වරදකරුවන් වූ අතර අදටත් සිර දඬුවම් ලබමින් සිටිති.

“1990දී අට හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අතවරයට ලක් කර තිබුණා. ඇය වේදනාවෙන් සහ ශෝකයෙන් සිටි රෝහල් ඇඳ අසල මම වාඩි වුණා. ‘අපි මේ ජරා සතාව අල්ලන්නයි යන්නේ වස්තුවේ’ මම ඇයට මෘදු ලෙස පැවසුවා. ඇගේ කුඩා මුහුණේ නැඟුණු සිනහව මට මැරෙනකම් අමතක වෙන්නේ නැහැ.

“මට දැන් 70යි. එත් මම විශ්‍රාම යන්නෙ නෑ. මොකද මිනීමරුවකු, ස්ත්‍රී දූෂකයකු හෝ අපයෝජකයකු පිළිබඳ ප්‍රවෘත්තියක් ඇසෙන සෑම අවස්ථාවකම මම උදවු කරන්න ඕන කියලා මට හිතෙනවා. ඒකෙන් මිදෙන්න මට අමාරුයි. අපරාධවලට ගොදුරු වුණු අයට සාධාරණයක් කරන එක මම මැරෙනකම් නවත්වන්නේ නැහැ. මට අත අහිමිවුණොත් මම කොක්කක් අරගෙන දිගටම චිත්‍ර අඳිනවා.” ලොයිස් ගිබ්සන් වැඩිදුරටත් පැවසුවාය.

 

[උපාලි ජයසිංහ]

මාතෘකා