සිත්තර දෑතින් හැඩ වන කැකිරාව රෝහලේ පහේ වාට්ටුව

 ඡායාරූපය:

සිත්තර දෑතින් හැඩ වන කැකිරාව රෝහලේ පහේ වාට්ටුව


පින්සලෙන් අපූරු විස්කම් පාන දහතුන් හැවිරිදි පුංචි සිත්තරකු ගැන 'රැස' තුළින් රටට හෙළි කළා මතක ඇතැයි සිතමු. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 8 වැනි වසරේ ඉගෙනුම ලබන රවිඳු දහම් නමැති ඒ පුංචි සිත්තරා සිය කලා හැකියාවෙන් සිදු කරන අපූරු ප්‍රජා සත්කාරයක් ගැනයි මේ සටහන.

කැකිරාව දිස්ත්‍රික් රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය පැවැත්වෙන වාට්ටු අංක 05; චිත්‍රවලින් අලංකාර කිරීම එම ප්‍රජා සත්කාරයයි. මානසික සුවය අපේක්ෂාවෙන් එම වාට්ටුවට පැමිණෙන සුවහසක් රෝගීන්ගේ සිතට සුවයක් සැලසීම එම ප්‍රජා සත්කාරයේ අරමුණ බව රවිඳු පුතු අප සමඟ පැවසීය.

"මීට පෙර අපි ගාල්ල කළු පාලමේ චිත්‍ර ඇන්දා. ඒ ගැන මුහුණුපොතෙන් දැකලා කැකිරාව රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය බාර වෛද්‍ය අසිත ඇහුවා ඒ වාට්ටුවෙත් චිත්‍ර අඳිමුද කියලා. ඩොක්ටර් ඒ ගැන කිව්වම මටත් හිතුණා ඒක ගොඩක් හොඳ වැඩක් කියලා. මගේ හැකියාවෙන් රෝගීන්ට ඒ වගේ සේවයක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා හිතුවා. ඊට පස්සේ මම අම්මත් එක්කත් කතාකරලා අපේ මුහුණුපොතේ 'පැන්සලයි පින්සලයි' පිටුව හරහා ඒකේ සාමාජිකයන්වත් දැනුවත් කරලා ඒ වැඩේ කරන්න හිතුවා. පාසල් නිවාඩු කාලය තුළ ඒ රෝහල් වාට්ටුවේ චිත්‍ර ඇඳලා අවසන් කරන එක තමයි අපේ බලාපොරොත්තුව වුණේ."

පසුගිය 17 වැනි සෙනසුරාදා රවිඳු පුතු ඒ කාර්ය අරඹන්නේ ඒ ආකාරයටය.

"ඇත්තටම එදා ඒ වැඩේ පටන් ගන්න හිතුවට ඒ වෙද්දි මගේ අතේ තිබුණේ පින්සල විතරයි. ඒත් ඊට කලින් දවසේ මම

මුහුණුපොතේ මේ ගැන දාපු පෝස්ට් එක දැකලා මගේ ගණිත ගුරුවරයකු වුණු අනුරාධ ලක්මාල් සර් කතාකරලා අපිට අවශ්‍ය වෙන තීන්ත මිලට අරන් දෙන්න පොරොන්දු වුණා. කිව්වා වගේම සර් සෙනසුරාදා උදේම අවශ්‍ය කරන සියලුම තීන්ත ටික ගෙනත් දුන්නා."

සියලු දෙනාගේ ආශීර්වාදය ඇතිව මානසික වෛද්‍ය ඒකකය සිතුවම්වලින් සැරසීමේ කාර්ය ආරම්භ කළද අපේක්ෂා කළ තරම් චිත්‍ර ශිල්පීන්ගේ පැමිණීමක් සිදු නොවූ බැවින් චිත්‍ර අඳින්නට සිටියේ කිහිප දෙනකු පමණි. එහෙත් රවිඳු පුතු සමඟ ඔහුගේ මව ලාලනී සමරරත්න මහත්මිය සහ 'පැන්සලයි පින්සලයි' ෆේස්බුක් පිටුවේ සාමාජිකාවක වන අෂී අනු සිසුවියද සිටි අතර ඔවුන් එම කාර්ය දින දෙකක් පුරාවට කරගෙන ගියේ තම සද් කාර්ය ගැන සුබවාදී හැඟීමෙනි.

ඊයේ (19දා) මෙම කාර්යට විරාම තැබුණේ එදින එම වාට්ටුවේ සායන පැවැත්වීම හේතුවෙනි. එහෙත් යළිත් අද (20දා) දිනයේ ඔවුන් චිත්‍ර ඇඳීමේ කාර්යයේ නිරත වීමට නියමිතය.

මෙම ප්‍රජා සත්කාරය පිළිබඳව කැකිරාව රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය බාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසිත කෝසල අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"කැකිරාව කියන්නේ දිස්ත්‍රික් රෝහලක්. එය මූලික රෝහලක් බවට පත්වෙමින් තිබෙනවා. මම මෙම ප්‍රදේශයේ සේවයට ඇවිත් වසර 12ක් පමණ වෙනවා. මෙම රෝහලේ කාන්තා වාට්ටුවට අලුත් වාට්ටුවක් ලැබුණු පසු මානසික වෛද්‍ය ඒකකය සඳහා එම වාට්ටුව අපිට ලැබුණා. මෙය නේවාසික වාට්ටුවක් නෙවෙයි. නමුත් මෙම වාට්ටුවෙන් විශාල සේවයක් ඉටුවෙනවා. මානසික වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යොමුවන පිරිසට උපදේශනය සලසනවා වගේම යොවුන් ප්‍රජාව වෙනුවෙන් ජීවන නිපුණතා පියසක්ද මෙහි ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් උපදේශනය ලබාගැනීමට මෙහි පැමිණෙන රෝගියකුට පැයක එකහමාරක පමණ කාලයක් ඒ වෙනුවෙන් මෙහි රැඳී සිටීමට සිදුවෙනවා. එවැනි අවස්ථාවල ඔවුන්ගේ මනසට සුවයක් සැහැල්ලුවක් ලැබෙන පරිසරයක් ඇතිකළ යුතු යැයි මට සිතුණා. ඒ සඳහා එක් ක්‍රමයක් ලෙස ජීවිතය ගැන සුබවාදී සහ සෞන්දර්යාත්මක චිත්‍රවලින් මෙම වාට්ටුව අලංකාර කිරීම සුදුසු යැයි මම අදහස් කළා. ඒ වගේම මෙහි පැමිණෙන රෝගීන් අතර විවිධාකාර කලා හැකියාවන් තිබෙන බවත් මම හඳුනාගෙන තියෙනවා. මෙම චිත්‍ර දැකීමෙන් ඔවුන්ගේ හැකියාවන්ද ඉස්මතු කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බව මගේ හැඟීමයි. ඒ අරමුණින් තමයි මම රවිඳු පුතාට මෙම වාට්ටුවේ චිත්‍ර අඳින්න ආරාධනා කළේ.

මෙම කාර්ය සඳහා අපේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ජයන්ත විමල් විජේසූරිය මහත්මයාගේ පූර්ණ සහයෝගය ලැබෙනවා. එය අපට විශාල ධෛර්යයක්. ඒ වගේම මේ සඳහා තීන්ත ලබාගැනීමට මූල්‍ය ශක්තිය ලබා දුන්නේ අනුරාධ ලක්මාල් නම් ගණිත ගුරුතුමා. ඔහු රුපියල් පහළොස්දහසක තීන්ත ලබාදුන්නා. ඒ වගේම කැකිරාව DFCC බැංකු ශාඛාවෙන් රුපියල් දසදහසක මූල්‍ය ආධාරයක් ලබාදුන්නා. වාට්ටුව මුළුමනින්ම චිත්‍රවලින් සැරසීමට චිත්‍ර 30-40ක් පමණ අවශ්‍ය වෙනවා. රවිඳු පුතා ගාල්ලේ සිට පැමිණ ඔහුගේ පාසල් නිවාඩු කාලයම මේ සඳහා වැය කරනවා. නමුත් ඔහුට පමණක් එය කිරීම අපහසුයි. එම නිසා මම මෙම ප්‍රදේශයේ සිටින චිත්‍ර ශිල්පීන්ට ආරාධනා කරන්න කැමැතියි මේ සඳහා එකතු වෙන්න කියලා."

වෛද්‍ය අසිත පවසන ආකාරයට මෙම මානසික වෛද්‍ය ඒකකය පැවැත්වෙන වාට්ටු අංක 5 පිහිටා ඇත්තේ පැරණි ගොඩනැඟිල්ලකය. කලකින් එහි බිත්ති පින්තාරු කිරීමක් පවා සිදුකර නැත. එම ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීමට දළ වශයෙන් රුපියල් ලක්ෂ 12ක් පමණ වැයවෙතැයි ගණන් බලා තිබේ. එය කැකිරාව වැනි ප්‍රදේශයක ජීවත්වන සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි මුදලකි. එබැවින් එම වාට්ටුව නවීකරණය කිරීම සඳහා කිසියම් අයකුට හෝ ආයතනයකට දායක විය හැකි නම් එය උතුම් සමාජ මෙහෙවරකි. ඒ සඳහා උදවු උපකාර කිරීමට කැමති අයට 0777752524 දුරකථන අංකයෙන් වෛද්‍ය අසිත ඇමතිය හැකිය.

 

“ඇත්තටම රවිඳු පුතා කරන්නේ ලොකු සමාජ සත්කාරයක්. විශාල රෝගීන් පිරිසකට මානසික සුවතාව ලබාදෙන මෙම රෝහලේ මානසික වෛද්‍ය ඒකකය එයින් ප්‍රතිකාර ලබන රෝගීන්ට සුවදායී ස්ථානයක් බවට පත්කිරීමට කුඩා දරුවකු ලෙස ඔහු ගන්නා වෙහෙස අපි කවුරුත් අගය කළ යුතුයි. ඒ වගේම හැකි පමණින් මෙවැනි සද්කාර්යන්ට දායක වීම තමයි අපි කාගේත් යුතුකම. ඒ නිසා හොඳ වැඩක් කරන මේ කුඩා දරුවා එක්ක එකතු වෙන්න කියලා මේ ප්‍රදේශයේ සිටින චිත්‍ර ශිල්පීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ සද්කාර්ය වෙනුවෙන් කුඩා හෝ උපකාරයක් කළ හැකි නම් එය මනුෂ්‍යත්වය වෙනුවෙන් සිදුකරන විශාල සේවයක්.”

අනුරාධ ලක්මාල් ගණිත ආචාර්යවරයාද කුඩා රවිඳුගේ ප්‍රජා සත්කාරය අගයමින් එසේ පැවසීය. ඉතින් ඔබත් චිත්‍ර ඇඳීමේ හැකියාවෙන් යුතු අයකු නම් අද සිට කැකිරාවේ රෝහලට ගොස් මෙම සද්කාර්යය සඳහා දායක විය හැකිය.

මාතෘකා