පළිඳුනුවර වන රේඛාවේ ඇඳි ජීවන රේඛා

 ඡායාරූපය:

පළිඳුනුවර වන රේඛාවේ ඇඳි ජීවන රේඛා

පාලින්දනුවර කළුතර දිස්ත්‍රික්කයේ ඇති දුෂ්කර බවින් වැඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකි. සිංහරාජයට මායිම් වන වන රේඛාවෙනුත්, ගංගා, ඇළ දොළ, කඳු වැටිවලිනුත් වට වී ඇති මේ බිම් කඩෙහි අතීත ගැමි ජීවිතවල හැඩහුරුකම් අල්පමාත්‍ර වශයෙන් හෝ අදටද ඉතිරිව ඇත. එබැවින් එදිනෙදා කටයුතුවලින් ඉසඹුවක් ලබන සෑම මොහොතකදීම පාලින්දනුවර ජන ජීවිතය පිළිබඳව; වියපත් ගැමියන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමට මම හුරු පුරුදු වූයෙමි. අතීත ගැමි සමාජයේ කියුම් කෙරුම්, සිරිත් විරිත් අදටද මේ ගැමියන් අතර ශේෂව පවතී. ඔවුන්ගේ අත්දැකීම් වරෙක මිහිරිය. වරෙක කටුකය. ඇතැම් විටෙක හාස්‍ය උපදවයි. නමුත් ඒ සියල්ලේ එකතුව ආනන්දනීයය. ආස්වාදජනකය. පරිගණකයෙන් සිතන, රසායනික ද්‍රව්‍ය කන බොන විශ්ව ගම්මානයේ අපි ඒ ආස්වාදයත්, ආනන්දයත් කෙලෙස අත්විඳිමුද?

ගැමි උරුමය

ලන්ද, දෙණිය, ඕවිට, කමත පාලින්දනුවර ඈත ගම්මානයකින් හඳුනා ගැනීම අදටත් දුෂ්කර නොවේ. කුඹුරේ බඩවැටියේ සිය ළමා කාලය ගෙවූ පිරිස අද වියපත්ය. ගැමි ජීවිතයේ සරල බව අත්විඳීමට හෝ ගැමි සුවඳ උරා බීමට ඔවුන්ගේම වත්මන් පරපුරට නො හැකිවීම අභාග්‍යයකි. මුදල, තාක්ෂණය හා සංවර්ධනය මගින් පාලින්දනුවර ගැමි සුන්දරත්වයෙහි හා සංස්කෘතියෙහි අවසන් පරිච්ඡේද කිහිපය සනිටුහන් කරමින් සිටී. අතීත ගැමි උරුමයන් අද සිටින මේ වියපත් ගැමියන්ගේ අභාවයත් සමග වියැකී යනු ඇත. එබැවින් ඔවුන් පරපුරක උරුමය සුරැකි අවසන් පුරුක්ය. මේ උරුමකරුවන් සමග අල්ලාප සල්ලාපයේ යෙදමින්, ආගිය විත්ති විපරම් කරමින් ඒ දැනුමෙන් බිඳක් උකහා ගැනීමටත්, ඔවුන්ගේ අත්දැකීම් සිතින් හෝ විඳ ගැනීමටත් මම වෑයම් කළෙමි.

ගොවිතැන ඔවුන්ගේ රැකියාවයි. වී ගොවිතැනත්, හේන් ගොවිතැනත් මේ ගොවිකමින් අරුත් ගැන්වෙයි. කරත්ත රස්සාව, පතල් කැපීම, පාරු රස්සාව, කම්හල් කටයුතු, කිතුල් මැදීම අතීතයේ පාලින්දනුවර වැසියන්ගේ වේල සරි කරගත් වෘත්තීන්ය. අතීතයේදී තමා දිවි සරිකර ගත් ජීවනෝපාය පිළිබඳව ඔවුන් තුළ ඇත්තේ සියුම් ආඩම්බරයකි. බෙර වාදකයා බෙර වාදනයෙහි සමතෙකි. කම්හල්කරුවා ඊට සූරයෙකි. මල් මදින්නා ඊට හපනෙකි. ඔවුහු සිය කටයුතුවලට සැබෑ සූරයෝය. යන්ත්‍ර මන්ත්‍ර විධි, බලි තොවිල් ශාන්තිකර්ම ඔවුන්ට දේව ආරක්ෂාවත්, හිතේ හයියත් ලැබ දුන්නේය. සිංහල වෙදකම අට අනූවක් රෝග ව්‍යාධිවලින් රැකවරණය සැලසීය. තෙරුවන් කෙරෙහි තැබූ ගෞරවනීය විශ්වාසය සසර ගමනේ දුරත්, විඩාවත් සංසිඳවීය.

අතීත තතු

පාලින්දනුවර ග්‍රාම නාම නිර්මාණය වීමට මුල් වූ ජනප්‍රවාද, අතීත සිදුවීම් කතා රසයෙන් පොහොසත්ය. ඇතැම් සිදුවීම් වීදියබණ්ඩාර යුගය හා සබැඳෙයි. රාජකීයයන්ට පලඳනා හෝ ආභරණ සෑදූ පිරිස් වාසය කළ මේ පෙදෙස එදා "පිලන්ද ග්‍රාම" ලෙස හඳුන්වා ඇත."පාලින්ද" යන නම පිලන්ද යන්නෙන් බිඳී ආවකි. පිලන්ද නාමය මුල් කර ගනිමින් අද මෙම පරිපාලන ඒකකය "පාලින්දනුවර" ලෙස හැඳින්වෙයි. පාලින්දනුවර ඉතිහාසය වීදීයබණ්ඩාර යුගයෙන් ඔබ්බට දිවෙතත් පාලින්දනුවර වීදිය බණ්ඩාරගේ රාජධානිය ලෙස මෙහි වැසියෝ සලකති. එදා ඒ රාජකීයයන් සමග කටයුතු කළ තම පරපුරේ ආදිතමයන් පිළිබඳව වියපත් ගැමියෙක් අදටත් පවසන්නේ ආඩම්බරයෙනි.

පැරණි සිරිත් සහ ගැමියන්ගේ ආහාර භෝජන මගේ සිතත්, දිවත් පිනවීය. සිංහල ජන සමාජයෙන් වියැකී ඇති සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර පැරණි ගැමියන් අතර ශේෂව පවතී. සිංහල අවුරුදු සමය මෙකී චාරිත්‍රයන්ට මුල් තැන ලැබෙන සමයකි. නොනගතයට වැඩ නැවතීම, නැකතට ආහාර පිසීම සහ අනුභවය වැනි සිරිත් වත්මන් නාගරික සමාජයේ වුව දක්නට ලැබෙයි. ජන සමාජයෙන් වියැකී ගිය ඇතැම් චාරිත්‍ර අදද පාලින්ද නුවර ගම්මානවලින් හමුවෙයි. වසර පුරා සා පිපාසය සංසිඳවූ "ළිඳ සමග ගනු දෙනු කිරීම" මේ ගම්මානයන්හි අදටද සිදුවෙයි. මෙය "ළිඳ අලවි කිරීම" ලෙස හැඳින්වෙයි. අඟුරු, සහල්, මිරිස්, කහ හා කාසියක් එක් කර තැනූ කුඩා පොට්ටනියක් ළිඳට දමා නැවුම් කලයකට දිය රැගෙන ඒම ගෙවිලියන් අතින් සිදු වේ. කැත්තට උදැල්ලට දෑත් හුරු කළ ගොවියෙක් කෘෂිකාර්මික කටයුත්තකට මුල් තැන දී වැඩ ඇල්ලීම සිදු කරයි.

ඉඳුම් හිටුම්

වරිච්චි බිත්ති බැඳ සුදු හුණු පිරියම් කළ ගැමි නිවසක් පාලින්දනුවර වනගත ගම් පියසකින් සොයා ගැනීම අදටත් දුෂ්කර නැත. කළුකන්දාව, අටහවුල්හේන, ගුරුළුබැද්ද වැනි ගම් පියසක තවමත් මෙබඳු නිවාස ඉඳහිට හමුවෙයි. ඒවා කලාගාර බඳුය. දිනක් අටහවුල්හේනේ රාජකාරියකට ගිය මා මේ ගැමි සිරිය වින්දෙමි. සදු හුණු පිරියම් කළ වරිච්චි බිත්ති ඇති නිවසක පියස්සට හේත්තු කළ කළු පැහැති ඉනිමගකි. ඉනිමග පාමුලම බිඳුණු කළයක් මුනින් අතට නමා ඇත. මේ සියල්ල පසුබිම් වූ සුදු වැලි සහිත ගෙමිදුලෙහි උඩුකය නිරුවතින් යම් කටයුත්තක යෙදෙන ගැමියෙකි. ඔහුගේ මුව රැඳි බුලත්විටෙහි සාරය ගෙමිදුලෙහි වැලිතලය මත රටා මවා ඇත. මේ සියල්ල එක් වූ විට මැවෙන සිතුවම මිහිමත කිසිදු චිත්‍ර ශිල්පියෙකුට නෙත නොගැටී නිර්මාණය කළ හැකි යැයි මම නොසිතමි. මෙවන් නිවසක පසෙකින් සිමෙන්ති ගලෙන් ඉදිවන ස්ථාවර නිවසකි. ගෙහිමියන් එහි පදිංචි වූ දා සිට ඔවුන් වටා වූ මේ ආනන්දනීය සෞන්දර්යයත් ගැමි සිරියත් කාලයේ වැලිතලාවෙන් වැසී යනු ඇත.

රස මසවුළු

ගැමි නිවසක ඉදෙන බතක මාළුවක රස බැලිය හැකි නම් ඒ රසය ජීවිත කාලය පුරා යළි යළි සිහි කළ හැකි අමා රසයකි. හල්, වල් දෙල්, මියන කොකු, වෙල්මාළු, කිතුල් පැණි, හකුරු ගැමියන්ගේ ගතට සවි වඩයි. දිනක් වනසිරි විඳින්නට ගිය අපි වනගත කුඩා නිවසකට ගොඩවුණෙමු. ආගන්තුක සත්කාරය ලෙස අපට ලැබුණේ කහට වීදුරුවකුත් සමග කිතුල් පැණි වීදුරුවකි. අපි එකිනෙකාගේ මුහුණට මුහුණ බැලුවෙමු. ඒ කහට වීදුරුව නිසා නොව පැණි වීදුරුව පිළිබඳව කුතුහලයෙනි. "බය නැතිව බොන්න. කහට එක්ක පැණි බිව්වට මත් වෙන්නෙ නෑ" අපේ කුතුහලය සංසිඳුවමින් ගෙහිමියා පැවසීය. අපි ගෙහිමියාගේ උපදෙස් පරිදි පළමුව පැණි උගුරක් හා දෙවනුව උණුසුම් කහට උගුරක් ගෙන එය මුව තුළදීම කලවම් කරගෙන එකිනෙකාගේ මුහුණු බලමින් බීවෙමු. මුලදී අපට ඇතැම් විට විදුරු දෙක පටලැවිණි. එහෙත් ඉතා ඉක්මනින් අපි අපගේ රිද්මයට පැමිණියෙමු. ගැමි ගෙදරින් ලද පැණි කහට අපට එකවර අපූරු රසයකුත්, විනෝදයකුත් ගෙන දුන්නේය. ගෙමිදුලෙහි වනා තිබූ ගොරකා පිරවූ අතුල්පතත් ගම්මිරිස් පැදුරත් පැවසුවේ තවත් තොරතුරකි.

ගමන බිමන

පාලින්දනුවර ගැමියෝ ගමනට රුසියෝය. දිගන්න, අටහවුල්හේන, සුදුවැලිපොත, ඉඟූරුදළුව වැනි ගමක සිටින වියපත් ගැමියෙකුට සැතපුම් දහයක් දොළහක් වුවද පා ගමනින් යෑම උගහට නොවේ. ඔවුන්ගේ නිරුවත් දෙපා සවිමත්ය. කඩිනමින් තබන කෙටි පියවර ගමනාන්තය වෙත වෙලාසනින්ම ඔවුන් රැගෙන යයි. තේ දළු, රබර් කිරි, කුරුඳු, දර ආදී නොයෙකුත් දෑ රැගෙන කඳු මුදුන්වල සිට දුෂ්කර අඩි පාරක පහළට බසින ඔවුන්ගේ ගමන ඉක්මන්ය. ඒ ඉක්මන් බවට අලගු තබන්නේ මුව රැඳි බුලත් හපයයි. එකක් හැරෙන්නට එකක් ලෙස බුලත් විට සැපීම ඇතැම් ගැමියෙකුගේ සිරිතයි. බුලත්විටක් හපමින් එවන් ගැමියෙකු සමග අල්ලාප සල්ලාපයේ යෙදිය හැකි නම් එය විඩාවෙහි අවසානයත් රස ගඟුලක ඇරඹුමත් සනිටුහන් කරන්නක් බව මම අත්දැකීමෙන් දනිමි.

මතක ගබඩාව

අටහවුල්හේනේ පියසේන මාමා මෙවන් ගැමියෙකි. මැදිවිය ද ගෙවා දමා ඇති ඔහුට ඇත්තේ කඩියෙකු වැනි කඩිසර ගමනකි. දිනක් අටහවුල්හේනේ නිවෙස්වල තොරතුරු ලබා ගැනීම පිණිස මමත්, පියසේන මාමාත් ගෙන් ගෙට යමින් සිටියෙමු. කඳු, බඩ වැටි, දෙණි, ඕවිටි යන කොතැනත් ඔහුට හුරුපුරුදුය. මේ නුපුරුදු ගමනට එකවරම හුරු වීම අපහසු ය. "අපි ටිකක් මහන්සි ඇරල යමු"යි කියමින් මම අසල වූ ගල් කුලක් මත වාඩි වුණෙමි. "මහත්තයා මේක දිව බිම ගෑවෙන වැඩක්. මුළු ගම වටේ කරක් ගහන්න අද දවසම මදිවෙයි." යනුවෙන් කී පියසේන මාමා අපූරු යෝජනාවක් රැගෙන ආවේය. මට අටහවුල්හේනේ පදිංචිකරුවන්ගේ තොරතුරු හා වගා කටයුතු පිළිබඳව තොරතුරු වුවමනා වී තිබිණි. "මහත්තයා ඡන්ද කොළේ බලන්න. ඒ මේ ගැමි ජනයා ඡන්ද නාම ලේඛනය හඳුන්වන සැටිය. ගෘහ මූලිකයයි, වතුපිටි ගැනයි මම කියන්නම්. මෙතනම ඉඳං මහත්තයා ලියා ගන්න.’’ ඒ පියසේන මාමාගේ යෝජනාවයි. දියට දැමූ ඉබ්බෙකු පරිද්දෙන් මම ද එකඟ වීමි. අටහවුල්හේනේ ඉඩම් බෙදා වෙන් කර නොතිබීම මගේ කටයුත්තට පහසුවක් විය. ගෙවත්තේ වපසරිය පිළිබඳව අනුමාන වශයෙන් පියසේන මාමා සඳහන් කරන්නේ එහි වන වැවිලි බෝග පිළිබඳවද මතක් කර දෙමිනි. මහත් වෑයමකින් කළ යුතු කටයුත්ත එදා අහවර වූයේ එලෙසිනි. පසු කාලයේදී රාජකාරි කටයුතු සඳහා අටහවුල්හේනේ තොරතුරු සොයා බැලූ මට පියසේන මාමා කියූ තතු නිවැරදි බව වැටහිණ. දිගු කලක් පුරා ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ලෙස කටයුතු කළ ඔහු මතකයෙන් අටහවුල්හේනේ ගහක් ගලක් ගානේ වුව තොරතුරු පැවසීමට රුසියෙකි. අටහවුල්හේනට යන ඕනෑම රජයේ නිලධාරියෙක් පියසේන මාමාගේ සහයෝගය නොලබා නොපැමිණේ. අදාළ කටයුත්තට තමන්ට හැකි පරිදි සහාය දීම පියසේන මාමාගේ සිරිතයි.

යම් දිනෙක මේ ගම් බිම් ද සංවර්ධනය විය යුතුය. මෙහි වෙසෙනවුන්ද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රූපවාහිනිය නැරඹිය යුතුය. නමුත් ඒ සියල්ල මේ ගම් බිම්වලට පැමිණිය යුත්තේ මේවායෙහි වන හර පද්ධතීන්ගේ අක් මුල් නොසිඳෙනා පරිදිය. නමුත් එවැන්නක සේයාවකුදු වර්තමානයේදී දක්නට නොලැබෙයි. එ නිසාම තව නොබෝ දිනකින් අතීතයේ සිට පැවත ආ මේ සුන්දර ගැමිකමත්, ඒ හා බැඳි ළෙගතු බවත් අල්ප මාත්‍රයකුදු ශේෂ නොකර කාලයේ වැලිතලාවට යටව සැඟව යනු ඇත.

සටහන හා ඡායාරූප

[දුමින්ද ජයවර්ධන]

මාතෘකා