රට වෙනුවෙන් පෙරටු කරගත් ‘යුතුකම’

 ඡායාරූපය:

රට වෙනුවෙන් පෙරටු කරගත් ‘යුතුකම’

ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ

ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සේවේච්ඡා සේවය ක්‍රියාත්මක කිරීමට ඉකුත්දා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමත් සමඟම ශ්‍රී ලාංකේය ස්වේච්ඡා සේවයේ නව ප්‍රවේශයක් සනිටුහන් කරමින් ජාතික තරුණ සේවා සභාව විසින් ‘යුතුකම’ නමින් තරුණ ස්වේච්ඡා සේවා වැඩසටහනක් පසුගියදා (17) ආරම්භ කෙරුණි. ඒ තුළින් ජාතික ඒකාබද්ධතාව හා සමාජ සංහිඳියාව, සමාජ සත්කාරක හා සමථකරණ, සෞඛ්‍ය, පෝෂණය හා සෞඛ්‍යාරක්ෂාව, කෘෂිකාර්මික, පාරිසරික, තාක්ෂණික, අධ්‍යාපනය හා සංස්කෘතික, ප්‍රජා පාදක යටිතල පහසුකම් හා ප්‍රජා සමායෝජක ක්‍රියාකාරකම් ආදී නොයෙක් ක්ෂේත්‍ර ආවරණය කරමින් ස්වේච්ඡා සේවයට රොඳබැඳ ගන්නට ශ්‍රී ලාංකේය තරුණ පරම්පරාවට අවකාශ සැලසේ. මේ පිළිබඳව තොරතුරු කතිකාවතකට අපි ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ‘Y වාරණ’ සඳහා එකතු කර ගත්තෙමු.

මොකක්ද මේ ‘යුතුකම’ කියන්නේ?

මේ රටේ සුවහසක් තරුණ තරුණියන් ඉතිහාසය පුරාවට ස්වේච්ඡා සේවයේ නිරත වුණා. හොඳ වැඩ, සමාජයට වැඩදායී වැඩ කළා. හැබැයි අපි දැක්කා ඒ සඳහා නිසි වටිනාකමක්, ඇගයීමක් හෝ ඒ වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ජාතික තරුණ සේවා සභාව විදිහට අපේ යුතුකම තමයි ඒ තරුණයන්ට වටිනාකමක් ලබාදෙන එක. ඒ ‘යුතුකම’ තමයි අපි මේ ඉටු කරන්නේ. ඒ කියන්නේ ස්වේච්ඡා සේවය ජාතික ප්‍රතිපත්තියක් ලෙස පිළිගැනීමට ජාතික තරුණ සේවා ස්වේච්ඡා සේවය ආරම්භ කළා. මම හිතන්නේ තරුණයන්ට තවදුරටත් යුතුකමක් තියෙනවා රටට ස්වේච්ඡාවෙන් තම වැඩකටයුතුවල නිරත වෙන්න. ඒ නිසා එක් පැත්තකින් අපි අපේ යුතුකම ඉටු කරද්දි අනෙක් පැත්තෙන් තරුණයන්ට මේක හොඳ අවස්ථාවක් තමන්ගෙ යුතුකම ඉටුකරන්න. ඒ වෙනුවෙන් අපි ‘යුතුකම’ තේමා පාඨය ඔස්සේ ස්වේච්ඡා සේවය නීතිගත කිරීම "යුතුකම - තරුණ රටකට" ලෙස අර්ථකථනය කළා. අපේ රට හැමදෙයකින්ම තරුණ විය යුතුයි කියන තැන අපි ඉන්නවා. දේශපාලනය, රාජ්‍ය සේවය, ව්‍යාපාර ක්ෂේත්‍රය මේ සෑම තැනකදීම තරුණයන් පෙරට ආ යුතුයි. තරුණ අදහස් ක්‍රියාත්මක කළ යුතුයි. මේ රටේ ධීරක බලවේගය බවට තරුණයන් පත්විය යුතුයි. එසේ වන්න නම් තරුණයන් ඒ සඳහා සූදානම් විය යුතුයි. එහිදී මූලාරම්භය හැටියට අපි දකින්නේ ස්වේච්ඡා සේවය. ඒ තුළින් තමයි ඔවුන්ට රට ගැන හැඟීමක් ඇති වෙන්නේ. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ රටට ගැළපෙන තරුණ පරපුරක් නිර්මාණය කරන්න යම් ආකාරයක හැකියාවක් ලැබෙයි කියලා.

තරුණ සේවා සභාව හරහා මේ ‘යුතුකම’ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය ගැන විස්තර කළොත්?

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව අගොස්තු මස 17 වැනිදා මේ වැඩසටහන එළිදැක්වූවා. ඉන් අනතුරුව ස්වේච්ඡා සේවා ලේකම් කාර්යාලයක් තරුණ සේවා සභාව තුළ පිහිටෙව්වා. ඒ සමඟම රට පුරා සියලු තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් මාධ්‍ය ඔස්සේ අපි අඛණ්ඩව සිදුකරමින් පවතිනවා. ඒත් එක්කම අපි වෙනම වෙබ් පිටුවක් නිර්මාණය කරනවා ‘යුතුකම’ කියන සංකල්පය ගැන, ස්වේච්ඡා සේවයට සම්බන්ධයෙන් වෙන්න ඕනේ කොහොමද මොනාද එහි තොරතුරු ආදී වශයෙන්. විශේෂයෙන් මේ සඳහා පැතිකඩ 12කට අධික ප්‍රමාණයකින් තරුණ තරුණියන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස පරිසර ආරක්ෂණයට, සෞඛ්‍ය සේවයට, දහම් පාසල් අධ්‍යාපනය ලබා දීමට ආදී වශයෙන් සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි තමයි අපි මේ ස්වේච්ඡා සේවය ආරම්භ කරලා තියෙන්නේ. අවුරුදු 15 - 29 අතර තරුණ තරුණියන්ට මේ සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. එහිදී අපි ලෝකඩ, රිදී, රන් කියන සම්මාන වාර්ෂිකව ලබා දෙනවා. මාස 6ක කාලයක් පැය 36ක් කටයුතු කරන්න පුළුවන්. මාස 6ක කාලයක් පැය 48ක් කටයුතු කරන්න පුළුවන්. අවුරුද්දක කාලයක් පැය 120ක් කටයුතු කරන්න පුළුවන්. මේ තමයි අනිවාර්යයෙන්ම ස්වේච්ඡා සේවයේ යෙදිය යුතු පැය ගණන. තමන්ගේ ගම වෙනුවෙන්, තමන්ගේ රට වෙනුවෙන් කුමන හෝ පැතිකඩකින්, කුමන හෝ ක්ෂේත්‍රයකින් ස්වේච්ඡා සේවයේ නිරත වෙන්න ඕනේ.

මේ වැඩසටහනේ අරමුණ මොකක්ද?

මෙහි අරමුණ තමයි මේ දේවල්වලට තරුණයාව සම්බන්ධ කර ගැනීමෙන් ඔවුන්ගේ විනය හැදීම, නායකත්වය, පෞරුෂය, කණ්ඩායම් හැඟීම, සම්පත් කළමනාකරණය, ජාතික සංහිඳියාව ආදී ගුණාංග ඔවුන් තුළ වර්ධනය කිරීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ.

මේ වැඩසටහනේ සුවිශේෂත්වය මොකක්ද?

මෙහි තියෙන සුවිශේෂත්වය තමයි ප්‍රාදේශීය වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන්, ජාතික වශයෙන් ඇගයීම සිදුකරන්නේ ඉතාමත් ස්වාධීනව. ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, ගුරුවරයෙක්, නීතිඥවරයෙක් ආදී මණ්ඩලයකින් ඉතා ස්වාධීනව මේ තරුණ තරුණියන් කරන වැඩසටහන් ඇගයීමට ලක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව ලබාදෙන සහතිකයට සුවිශේෂී වටිනාකමක් ලබා දෙන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ප්‍රධාන වශයෙන් විශ්වවිද්‍යාල සඳහා යෑමේදී ලකුණු ලබා දීමට, රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා ලබා දීමේදී මින් ඉදිරියට එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කිරීමට, පොදුරාජ්‍ය මණ්ඩලීය සංවිධාන ඇතුළු වෙනත් විදේශීය රටවල තියෙන සියලුම වැඩසටහන්වලට සම්බන්ධ වීමේ පූර්ණ හැකියාව තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ආංශික කමිටුවේ විශේෂ ඉල්ලීමක් තිබුණා මේ සඳහා වටිනාකමක් ලබා දෙන්න කියලා. මේ ස්වේච්ඡා සේවයේ නිරත වන තරුණ තරුණියන් සඳහා ඉදිරියේදී අපි රක්ෂණයක් හඳුන්වා දෙන්නත් බලාපොරොත්තු වෙනවා.

වැඩිහිටි පරපුරෙන් චෝදනාවක් එනවා තරුණයන් සමාජ ජාලා ඔස්සේ නිකරුණේ කාලය නාස්ති කරනවා කියලා. සමාජ ජාලාවලට කාලය වැය කරන තරුණ පරපුර කොහොමද මේ වගේ වැඩකට එකතු කරගන්නේ?

අපිටත් තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඒක. මුහුණුපොත ඇතුළු වෙබ් අඩවි අන්තර්ජාලය සමඟ සියලු දෙනා සමීප සම්බන්ධතා පැවැත්වීම නිසා සමාජයේ වැඩක් කරන තත්ත්වයට තරුණයන් පත් වෙන්නේ නැහැ. ඒකට පිලියමක් විදිහට තමයි අපි මේ වැඩපිළිවෙළ ආරම්භ කළේ. අද වන විට මවුපියන් දරුවන්ව එළියට යවන්නේ දරුවන්ට කුමක් හෝ ප්‍රයෝජනයක් ලැබෙනවා නම් විතරයි. මේ ස්වේච්ඡා සේවා සඳහා ලබා දෙන සහතිකයට වැඩි වටිනාකමක් ලබා දෙන නිසා ඒ තුළින් අපිට තරුණ තරුණියන් මේ සඳහා සම්බන්ධ කරගන්න පුළුවන්.

මීට පෙර ලංකාවේ පැවතුණු තරුණ ස්වේච්ඡා සේවා සංවිධාන ගැනත් කතා කරමු?

ස්වේච්ඡා සේවයට හැමදාම තරුණ තරුණියෝ ඉදිරිපත් වුණා. ලංකාවේ ලොකුම ස්වේච්ඡා සේවා සංවිධානය තමයි යෞවන සමාජ සම්මේලනය. හැබැයි මේ සඳහා නිසි වටිනාකමක්, ඇගයීමක් නොලැබීම නිසා ඒ තුළින් දිනෙන් දින් තරුණ තරුණියන් ඈත් වුණා. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ. මේ ආරම්භය පමණයි. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ තරුණ තරුණියන්ට මේක අනිවාර්ය කරන්න. එය අතිශය වැදගත් වෙයි. මේ තුළින් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා අපි දැඩි ලෙස විශ්වාස කරනවා.

තරුණ පරපුර චෝදනා කරනවා වැඩිහිටියන් තමන්ට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ කියලා. ඒ ගැන ඔබේ මතය මොකක්ද?

ඒ අදහස සම්බන්ධයෙන් මම යම් එකඟතාවක් තියෙනවා. අපිත් කැමති තරුණයන්ට අවස්ථා ලබා දෙන්න. දේශපාලනයේදී රාජ්‍ය ආයතනවලදී වුණත් බොහෝ වෙලාවට තරුණයන්ට අවස්ථා ලබා දෙනවා අඩුයි. මේ රට තරුණ කරන්න ඕනේ. තරුණයන්ට බාරදෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. තරුණ අදහස් අරගෙන මේ රට සංවර්ධනයට තරුණ දායකත්වයත් සෘජුවම ලබාගෙන තරුණයන්ට අවස්ථා ලබා දිය යුතුයි කියන තැන තමයි මමත් ඉන්නේ.

තරුණයන් දේශපාලනයෙන් ඈත් වෙලාද ඉන්නේ?

පැහැදිලිවම. අද පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාවම ඔවුන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය නිසා තරුණ තරුණියන්ට එපා වෙලා ඉන්නේ. දේශපාලන පක්ෂ සම්බන්ධයෙනුත් කලකිරිලා ඉන්නේ. ඒ සෑම දෙනාටම තියෙන්නේ රට ගැන හැඟීමකට වඩා තමන් ගැන හැඟීමක්. එවැනි තත්ත්වයක් තුළ දේශපාලනය තරුණයන්ට එපා වීම සාධාරණයි. මේ සිස්ටම් එක මාරු කරන වැඩපිළිවෙළක් ආවොත් එදාට තරුණ පරපුර දේශපාලනයට එයි.

මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කොතැනින්ද?

මේ ක්‍රමය වෙනස් වෙන්න නම් රටේ සියලු පුරවැසි ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි. අපේ රටේ ජනතාව බොහෝමයක් වෙලාවට තාමත් ඉන්නේ අතීතයේ රාජාණ්ඩු පාලන මානසිකත්වයෙන්. ජනතාව බුද්ධිමත් වන තාක්කල්, ජනතාවගේ ආකල්ප හා චින්තනය බුද්ධිමත් වන තාක්කල් මෙය වෙනස් කළ නොහැකියි. අපිට පුළුවන් විදියට අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

අවසාන වශයෙන් ඔබ මෙරට තරුණ පරපුරට දෙන පණිවිඩය මොකක්ද?

මම මේ රටේ සමස්ත තාරුණ්‍යයට කියන්නේ ඔබ ඔබව විශ්වාස කරන්න. අන් අය ගැන විශ්වාස කරලා වැඩක් නැහැ. අපි අපිව විශ්වාස කරලා සමාජයේ ඕනෑම හොඳ දෙයකට පෙනී සිටින්න. තමන්ගේ තියෙන දක්ෂතා, හැකියා අනුව ඉදිරියට යන්න පුළුවන් පරිසරයක්, තත්ත්වයක් තමා තුළින්ම නිර්මාණය කරගත යුතුයි. තමන් තමන්ට දෙපයින් නැඟී සිටින්න පුළුවන් තරුණයන් බවට පරිවර්තනය විය යුතුයි.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා