ප්‍රිය සාදයට රසවත් ස්ටෝබෙරි චීස් කේක් එකක්

 ඡායාරූපය:

ප්‍රිය සාදයට රසවත් ස්ටෝබෙරි චීස් කේක් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

මාරි බිස්කට් ග්‍රෑම් 150

බටර් ග්‍රෑම් 60

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 600

යෝගට්, ක්‍රීම් චීස් හෝ මී කිරි ග්‍රෑම් 400

විපින් ක්‍රීම් මිලිලීටර් 250

සීනි ග්‍රෑම් 100

ජෙලටින් ග්‍රෑම් 12

වැනිලා තේ හැදි 2ක්

සෙ.මී 18 හෝ 20 ප්‍රමාණයේ රවුම් කේක් තැටියක්

 

සාදන ක්‍රමය

පළමුව ඔබ භාවිතයට ගන්නා ක්‍රීම් චීස් හෝ යෝගට් ශීතකරණයෙන් පිටතට ගෙන අයිස් ඉවත්වන තුරු තබන්න.

දැන් රවුම් කේක් තැටිය ගෙන එහි පතුලේ සහ වටේට හොඳින් බටර් තවරා ගන්න. එවිට තෙල් කඩදාසියක් දමාගැනීම අවශ්‍ය නොවේ.

ඉන්පසු බටර් ටික ටිකක් රත්කර දිය කරගන්න. දැන් බිස්කට් ටික බ්ලෙන්ඩරය ආධාරයෙන් හොඳින් කුඩු කරගන්න.

අනතුරුව එම බිස්කට් ටික භාජනයකට දමා දිය කරගත් බටර් ටිකද එයට එක්කර හොඳින් කලවම් කරන්න.

ඉන්පසු කේක් තැටිය ගෙන එයට බිස්කට් සහ බටර් මිශ්‍රණය දමා යට කොටසට දමා වීදුරුවකින් තලමින් හොඳින් සමතලා කරගන්න. පසුව එය ශීතකරණයට දමන්න.

දැන් ජෙලටින් අයිස් වතුර තේ හැදි

3/4කට දමා පෙඟෙන්නට හරින්න.

ඉන්පසු සට්‍රෝබෙරි ටික සෝදා තෙත මාත්තු කර ගෙඩි කිහිපයක කොළ තියෙන කොටස අයින් කර ගෙඩිය මැදින් පලන්න.

දැන් ශීතකරණයේ තැබූ කේක් තැටිය ගෙන පලාගත් සට්‍රෝබෙරි ගෙඩි භාග කේක් තැටිය මත රවුමට එකින් එක පිළිවෙළින් තබන්න.

ඉන්පසු ඉතුරු සට්‍රෝබෙරි ගෙඩි කේක් තැටියේ රවුම ඇතුළේ තැනින් තැන තබන්න.

දැන් විපින් ක්‍රීම් එක ගෙන එය හිම මෙන් බීට් කරන්න.

ඉන්පසු භාජනයකට යෝගට් හෝ ක්‍රීම් චීස් දමා එයට සීනි එක්කර බීට් කරන්න. එයට වැනිලාද එක්කර බීට් කරන්න. පැණි රස මදි නම් තවත් සීනි ටිකක් එක් කරන්න. ඔබ ගත්තේ පැණි රසැති යෝගට් නම් නම් මෙහිදී තිබෙන සීනි ප්‍රමාණය අවශ්‍ය නොවනු ඇත. පැණි රස මදි නම් පමණක් තවත් සීනි එක්කර ගන්න.

දැන් මෙම මිශ්‍රණයට විපින් ක්‍රීම් ටික ටික එක් කරමින් බීට් කරන්න.

ඉන්පසු වතුර ටිකක් නටවාගන්න. උණු වතුර කෝප භාගයකට කලින් පොඟවා ගත් ජෙලටින් ටික දමා හොඳින් හැඳි ගාන්න. කැට කිසිවක් නොසිටින ලෙස මෙය හොඳින් දියවිය යුතුය.

දැන් ඉහත සාදාගත් විපින් ක්‍රීම් සහිත සුදු පැහැති ක්‍රීම් එකෙන් මේස හැඳි 2ක් පමණ වෙනත් භාජනයකට දමා එයට දිය කරගත් ජෙලටින් ටිකක්ද දමා බීට් කරන්න. නැවතත් එයට සුදු ක්‍රීම් ටිකක් ජෙලටින් ටිකක් ආකාරයට ජෙලටින් ටික ටික එක් කරමින් බීට් කරන්න.

එසේ සාදාගත් සුදු ක්‍රීම් එක මතට දිය කරගත් ජෙලි එක පාරට දැමීමෙන් වළකින්න. ඊට හේතුව ඇතැම් විට වෙලාවට සුදු ක්‍රීම් එක සිසිල් නම් ඒ මොහොතේම සවි විය හැකි නිසයි. ඒ නිසා ටික ටික එක් කරමින් බීට් කරන විට ජෙලටින් ටික සවි නොවේ. මෙය හොදින් මතක තබාගෙන ඉතා සැලකිල්ලෙන් කළ යුතුය.

දැන් ඒ ආකාරයට මිශ්‍රණ දෙකෙන්ම ටික ටික දමා හොඳින් බීට් කර අවසානයේදී ස්ට්‍රෝබෙරි ගෙඩි දමාගත් කේක් රවුමට දමා ශීතකරණයේ පැය දෙකක් පමණ තබා හොඳින් සවි වීමට හරින්න.

ඔබට මෙම චීස් කේක් එකට උඩින් රතු පාට ලේයර් එකක් අවශ්‍ය නම් ස්ට්‍රෝබෙරි ජෙලි එකක් සාදා එය හොඳින් නිවා කේක් එක මත සවි වී ඇති සුදු පැහැති ක්‍රීම් එක මතට දමාගන්න. ඔබට හැකි නම් ජෙලි වෙනුවට නැවුම් ස්ට්‍රෝබෙරිවලින්ම ජෙලි එක සාදාගත හැකිය.

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි කීපයක් (ග්‍රෑම් 100ක් පමණ)

අයිසින් සීනි ග්‍රෑම් 50

දෙහි යුෂ බිංදු කීපයක්

ජෙලටින් ග්‍රෑම් 6

 

සාදන ක්‍රමය

පෙර පරිදි ජෙලටින් ටික සීතල වතුර තේ හැදි 1කට දමා පෙඟෙන්නට හරින්න.

දැන් ස්ට්‍රෝබෙරි ගෙඩි ටිකට අයිසින් සීනි එක්කර බ්ලෙන්ඩර් කරන්න.

පසුව එයට දෙහි යුෂද එක්කර කලවම් කරන්න.

දැන් උණු වතුර මේස හැදි 2-3ක් ගෙන එයට ජෙලටින් ටික දමා හොඳින් දිය කර ගන්න.

එසේ සාදාගත් සට්‍රෝබෙරි මිශ්‍රණයට ජෙලටින් ටික ටික දමා හොඳින් හැඳි ගාමින් ස්ට්‍රෝබෙරි ජෙලි එක සාදා ගන්න.

ඉන්පසු ශීතකරණයෙන් කේක් තැටිය ගෙන සවි වූ ක්‍රීම් එක මතට ස්ට්‍රෝබෙරි ජෙලි ටික දමා ගන්න. දැන් නැවතත් එය ශීතකරණයේ පැය 2ක් පමණ තැබූ විට ස්ට්‍රෝබෙරි ජෙලි එකත් සමඟ කේක් එක හොඳින් සවි වී තිබෙනු ඇත.

දැන් එය පිටතට ගෙන කේක් රවුම ප්‍රවේශමෙන් ගලවා වටේ ඇති තෙල් කඩදාසියද ඉවත් කර කැබලි කපාගන්න. සාදයකට වගේම විශේෂ අවස්ථාවන්ට කදිමට ගැළපෙන ඉතා රසවත් කේක් එකක් වන මෙය ඔබත් අත්හදා රසවිඳ බලන්න.

සූපවේදිනී [චාමලී මදනායක]

මාතෘකා