මහවැලිය උදුරාගත් ජීවිත බේරා ගත් කකුලක් අහිමි මිනිසා

 ඡායාරූපය:

මහවැලිය උදුරාගත් ජීවිත බේරා ගත් කකුලක් අහිමි මිනිසා

 

“සති දෙකකට කලින් අපේ කූඩාරම් ගිනි ගත්තා. බාගදා වැරදීමකින් ගිනි පත්තු වෙන්ට ඇති. ඒ ගින්නට අහුවෙලා සත්තු ටික මැරුණා. හිතේ කාන්සියෙන් හිටියේ. ඔහොම කල්පනා කරකර ඉන්නකොට මහා විලාපයක් ඇහුණා. බලනකොට ගඟ ගාව මහා සෙනඟක් හිටියා. මිනිස්සු කීපදෙනෙක්ම ගඟේ ගිලෙන්න යනවා. ආයේ දෙපාරක් හිතුවේ නෑ, කකුල ගලවලා විසිකරලා මම ගඟට පැන්නා.”

මෙහෙම කියන්නේ අවුනුත්තු නල්ලන්තාය. ඔහුට කියන්නට ලොකු කතාවක් තිබේ. එහෙත් ඒ කතාව හරිහැටි කියාගන්නට ඔහු සමත් නැත.

ඒ කතාවේ අග මුල මෙසේය.

මේ දිනවල මහවැලි ගඟ වියරු වැටී සිටී. ගං ඉහත්තාවට වැටෙන මොර සූරන වර්ෂාව එකතු කරන දිය කඳ දෑල ඉවුරු සීමා බිඳිමින් දෙගොඩතලා යන්නට වෙර දරයි. කලෙක සිට දිය අහේනියෙන් පීඩා විඳි මහවැලිය දැන් ගලන්නේ හිත්පිත් නැතිවය. ඊට බාධා කරන්නන් කෙරෙහි ඈ කිපෙන්නීය. දරදඬුව දඬුවම්ද කරන්නීය.

එහෙත් ඇතැමුන්ට එහි වගක් නැත. අනතුර දැක දැක ඒ අවදානම කරට ගැනීම ඇතැමුන්ගේ හැටිය. එවන් අනතුරක් කරට ගැනීමේ ඛේදවාචකය පසුගියදා මහියංගණයෙන් වාර්තා විය.

විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් එදින හවස මහියංගණය මහවැලි ගඟේ දියනෑමට ගියහ. ඒ වන විටත් මහවැලිය මහා ජල කඳක් දරාගෙන සිටියාය. අනතුර නොතැකූ පිරිස මහවැලියට බැස්සහ. දිය පහරේ වේගය කෙමෙන් වැඩි විය. මහා ජල කඳට හසුවූ සිවුදෙනා පඬරැල් සේ වේගයෙන් ඇදී ගියහ. ගොඩ සිටියවුන්ගේ විලාප හඬට මහවැලිය කීකරු වූයේ නැත. දෑල ඉවුරු සිසාරා ඇසුණු විලාපයන්ගෙන් කම්පා වූ පිරිස් ගඟ දෙපසට රොක් වූහ. එහෙත් කිසිවෙක් අර මහා ජල කඳට පනින්නට තරම් එඩිතර නොවීය.

මහා ජල ප්‍රවාහය මැද ජීවිත හතරක් ජීවිතය ඉල්ලා පිදුරු ගසක් සොයද්දී ගඟ දෙපස මිනිසුන් සිටියේ කරකියාගත හැක්කක් නැතිවය. සියලුදෙනාම ඉහළට ගත් හුස්ම හිරකරගෙන මේ දෙස බලා සිටියහ.

මොහොතකින් එක් මිනිසෙක් ගඟට පනින්නට ගියේය. පුදුමයකි, ඔහුගේ පාදයක් නැත. කෘත්‍රිම පාදය ගලවා පසෙකින් තැබූ මේ මිනිසා තනි කකුලෙන් ගොස් ගඟට පැන්නේය. ඒ එක්කම පොලිස් නිලධාරියෙක්ද නිල ඇඳුම් ගලවා ගඟට බැස්සේය. තවත් කිහිප දෙනෙක් ඉන් පසු ගඟේ ගිලුණු මිනිසුන් සොයන මෙහෙයුම පටන්ගත්හ.

අවසානයේදී 4දෙනාම ගොඩට ගැනීමට පිරිස සමත් වූහ. එහෙත් ඒ වන විටත් දෙදෙනකුගේ ජීවිත ගඟට බිලිවී තිබිණි. අනෙක් දෙදෙනා වහාම මහියංගණය රෝහලට යැවීමට පිරිස කටයුතු කළහ.

“ගඟේ හතරදෙනෙක් ගහගෙන යනවා. ඒ වෙලාවේ කල්පනා කරන්න දෙයක් තිබ්බේ නෑ. මට කකුලක් තියෙනවද නැද්ද කියලා මම හිත හිතා හිටියේ නෑ. බොරු කකුලත් වැඩේට බාධාවක් හින්දා ඒක ගලවලා දාලා මම ගඟට පැන්නා.”

අවුනුත්තු නල්ලන්තා එසේ කීවේය. තනි කකුලෙන් ගඟට පැන ජීවිත බේරා ගන්නට ඔහු වෙහෙසුණි.

නල්ලන්තා තෙලිඟු ජාතිකයෙකි. ඔහුගේ රැකියාව තැනින් තැනට ගොස් නයි, රිළවු නටවා මිනිසුන් සතුටුකොට කීයක් හෝ උපයා ගැනීමය. ජීවිතයම තාවකාලික නවාතැනක් බව දන්නා ඔවුන් ජීවිකාව ගෙවන්නේ තැනින් තැනට ඇවිදිමිනි.එහෙම ඇවිදිමින් ගෙවන ඔවුන්ගේ මෙවර නවාතැන වූයේ මෙතැනය.

“ඒ වෙලාවේ මම හිටියේ කූඩාරමේ. කකුල උකුල ළඟින් කපලා තියෙන්නේ. මනුස්සයෙක් උදවු ඉල්ලනකොට අපිට බලං ඉන්න බෑනේ.”

නල්ලන්තා වතුරෙහි ගැඹුර ගැන සිතුවේ නැත. එතැන ගැඹුර ඔහු තරම් දෙගුණයකි. ජල පහරේ වේගය ඉතා දැඩිය.

“හිටගෙන ඉන්න බෑ, ගහගෙන යනවා. පස්සේ කිමිදි කිමිදි හෙව්වා. ඒ එක්කම තව කිහිපදෙනෙක් බැස්සා. අන්තිමට හතර දෙනා වෙනම හම්බවුණා.” ඔහු කියයි.

මීට මාස කිහිපයක සිට මේ තෙළිඟු පිරිස ජීවත් වන්නේ මහවැලි ගං ඉවුරේය. දෙසතියකට පමණ පෙර ඔවුන්ගේ කූඩාරම් ගිනිගෙන ජීවිකාව කරගෙන ගිය පුහුණු සතුන්ද ඒ ගින්නට හසුව ඇත. දැන් නල්ලන්තලා ජීවත් වන්නේ ඉතිරිව සිටින සතුන් හුවමාරුවට නටවමින්ය.

“ජීවිත හතරම බේරගන්න තිබුණා නම් හොඳයි. එහෙම බැරි වෙච්ච එක ගැන දුකයි.”

ඒ අපූරු මිනිසා එසේ කියයි.

එම තරුණයන් දියේ ගිලී බේරාගන්නා ලෙස උදවු ඉල්ලා කෑ ගැසූ මොහොතේ ඒ ආසන්නයේ රාජකාරි කටයුත්තක් සඳහා පැමිණ සිටි මහියංගණය පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් භාරතී සේනාරත්න මහතාද ගඟට පැන අනතුරට ලක්වූවන් සෙවීමට එක් විය.

“මට සද්දේ ඇහුනම හිතුණා ලොකු විපතක් කියලා. දුවගෙන ඇවිත් ජීවිත බේරාගන්න ගඟට පැන්නා.” ඔහු කීය.

තවත් පොලිස් නිලධාරීන් පිරිසක්ද දිවි පරදුවට තබා ගඟට පැන තරුණයන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරා ඇත. මහියංගණය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඊ.එම්. සම්පත් ඒකනායක මහතාද ඒ වෙනුවෙන් වෙහෙසී ඇත.

සිදුවීමට මුහුණ පෑ තරුණයන් දිය නෑමට ගිය ස්ථානය බෙහෙවින්ම අනතුරුදායකය.මීට පෙරද දියේ ගිලීම් රැසක් මේ ස්ථානයේ සිදුව ඇත. සථානය අනතුරුදායක බවට වන දැන්වීම් පුවරුවක් මීට කලකට පෙර මෙම ස්ථානයේ සවිකර තිබූ නමුත් දැන් එය ඇත්තේ ගසක් උඩය. අනතුරේ පණිවිඩය ඈලියාවට දමා තිබේ.

“මෙතන තමයි හොර වැලි අහුවුණාම උසාවි නියෝගෙන් ගෙනත් බාන්නේ. ඒකට ඉඩ හදාගන්න දැන්වීම් පුවරුව ගලවලා ගහේ ගහලා.”

එතැන සිටි වෙළෙන්දෙක් එසේ කීය.

සිදුවීමෙන් දෙදෙනකු මියගිය අතර අනෙක් තරුණයන් දෙදෙනා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වත්තේගම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ ඥාති තරුණයන් දෙදෙනෙකි.

වත්තේගම, නුවරතැන්න පාර, අංක 67 නිවසේ පදිංචිව සිටි වයස 21ක් වූ ශාලිත විමුක්ති මැදගොඩ තරුණයා හා වත්තේගම, නුවරතැන්න පාර, අංක 97/ ඒ යන ලිපිනයේ පදිංචිව සිටි වයස 17ක් වූ මාධව රත්නායක යන තරුණයන් මෙලෙස දියේ ගිලීමෙන් මියගොස් ඇත. මියගිය තරුණයන්ගේ මරණ පරීක්ෂණය මහියංගණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවේ සිදුකිරීමට නියමිතව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ තරුණයන් බීමත්ව සිටියේද යන්න පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරන බව මහියංගණය පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතා යටතේ මහියංගණය සහකාර පොලිස් අධිකාරී ලක්දාස අබේගුණසේකර මහතාගේ උපදෙස් මත මහියංගණය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් වීරකෝන් මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රාජකාරියේ නිරතව සිටී.

 

මාපාකඩවැව සමූහ [එච්.එම්. රංජිත් කරුණාවීර]

මාතෘකා