‘සැමට සෙවණ’ රණවිරු උපහාර පුදමින් ‘රණවිරු නීරෝ’ ගම්මානය ජනතා අයිතියට

 ඡායාරූපය:

‘සැමට සෙවණ’ රණවිරු උපහාර පුදමින් ‘රණවිරු නීරෝ’ ගම්මානය ජනතා අයිතියට

දශක හතරක කාලපරිච්ඡේදය තුළ උතුරු නැඟෙනහිර ප්‍රදේශ මුල්කොටගත් ශ්‍රී ලාංකික ජන සමාජය වෙළාගත් ත්‍රස්තවාදී යුද ගැටුම් හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත අහිමි වීමත් සමඟ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සිය දේපළ සමඟින් උන්හිටිතැන් අහිමි විය. රටට ස්වෛරීත්වය හා ස්වාධීනත්වය හිමිකර දීමට පුරෝගාමී වූයේ වීරෝදාර රණවිරු ප්‍රජාවයි. පාලන අධිකාරිය විසින් නිරන්තරයෙන්ම මෙම වීරෝදාර රණවිරුවන්ගේ අනාගත දිවිපෙවෙත යහපත් කරගැනීම උදෙසා විවිධ සමාජ ආර්ථික හා සංස්කෘතික මෙහෙවරක් ඉටුකරනු ලබයි. මේ සියල්ල පාලකයන් සතු සැබෑ යුතුකමකි. සටන් පෙරමුණේ දිවි පිදූ සහ සටන් වැද විවිධ ආපදාවන්ට ලක්වූ බොහෝ රණවිරුවන් තම අනාගත දිවිපෙවෙත පිළිබඳ විවිධ වූ ප්‍රශ්නවලට මුහුණපා සිටියි. එයින් වඩාත් කැපීපෙනෙන ගැටලුවක් වූයේ ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ජීවත්වන නිවහනයි. යුද පෙරමුණේ වීරෝදාර සටනක යෙදුණු මේ බොහෝ රණවිරුවන්ට තම පවුලේ සාමාජිකයන් සමඟ ජීවත්වීම සඳහා වූ තිරසර නිවහනක හිමිකම ගැටලුවක් විය.

වත්මන් රජය විසින් ක්‍රියාත්මක ‘සැමට සෙවණ’ ජාතික නිවාස වැඩපිළිවෙළ තුළින් එම වීරෝදාර රණවිරුවන්ගේ නිවාස ගැටලුව සඳහා තිරසර වූ විසඳුමක් ලබාදීමට කටයුතු කර තිබේ. නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම ව්‍යාපෘතිය ආරම්භයේදීම ප්‍රකාශ කළේ රණවිරුවකු වෙනුවෙන් නිර්මාණය වන්නාවූ නිවහනේ බිම් කොටස, රාජ්‍ය මූල්‍ය දායකත්වයකින් එම රණවිරුවාට නොමිලේ හිමිකර දියයුතු බවයි. එමෙන්ම ඔවුන්ගේ නිවාසකරණය සඳහා රජයෙන් ලබාදිය හැකි උපරිම මූල්‍ය දායකත්වය, තාක්ෂණ සහාය සහ සෙසු මැදිහත්වීම සිදුකෙරේ.

මෙම ක්‍රියාදාමය පසුගිය වසර කිහිපය තුළ දිවයින පුරා නොඅඩුව ක්‍රියාත්මක කර තිබේ. සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන විවිධ වූ සංවර්ධන වැඩපිළිවෙළවල් රැසක ඒකරාශී වීමකි. රණවිරුවන් සඳහා නිවාසකරණය එහි එක් මූලික වැඩසටහනක් පමණි. ආදර්ශ ගම්මාන ක්‍රියාදාමය මෙම වැඩපිළිවෙළේ ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහනක් විය. එම ක්‍රියාවලිය තුළද රණවිරුවන් සඳහාම වූ නව ආදර්ශ ගම්මාන නිර්මාණය කිරීමටත් ඉපැරණි රණවිරු ජනාවාස ඔවුන්ගේ අවශ්‍යතාවට අනුකූල වන අයුරින් සංවර්ධනය කිරීමටත් සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ දායක වේ.

එයටත් වඩා පෙරගමනක් යමින් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන, සිය ජාතික සංවර්ධන ක්‍රියාවලිය තුළ මෙම වීරෝදාර රණවිරුවන් සඳහා ලබාදිය හැකි උපරිම ගෞරවය හිමිකර දී තිබේ. සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන නව ආදර්ශ ගම්මාන ලෙසින් නිර්මාණය වීමේදී එකී ගම්මාන නාමකරණය තුළ විශේෂ සැලකිල්ලක් දක්වයි. මෙලෙස සංවර්ධනය වන ආදර්ශ ගම්මාන අප රටේ ඉපැරණි රජ දරුවන්, රාජ්‍ය නායකයන්, විද්වතුන්, ප්‍රමුඛ පෙළේ සමාජ සේවකයන්, ගෞරවාන්විත දේශපාලන නායකයන්, ජගත් කීර්තිධර කලාකරුවන් සහ ක්‍රීඩකයන් නමින් නම්කිරීම සිදුකෙරේ. ඒ අනුව යමින් එදා උතුරු නැඟෙනහිර යුද්ධයේ වීරෝදාර රණවිරුවකු ලෙසින් සටන්වැද, සියදිවි පිදූ ස්නයිෆර් ආයුධය මෙහෙයවීමේ අති දක්ෂයකු වූ ‘නීරෝ’ නමින් වූ වීරෝදාර රණවිරු රංජිත් ප්‍රේමසිරි නමින් නම් කෙරුණු පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශිකයේ තම්මැන්නාගම ඉදිවූ ‘රණවිරු නීරෝගම’ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් අගෝස්තු මස 17 වැනි දින එම නිවාසලාභීන්ගේ අයිතියට පත්කෙරේ.

සැබෑ යුද ජයග්‍රහණයක් හිමිකර දීමට පුරෝගාමී වූ අයකු ලෙසින් රණවිරු නීරෝ හඳුන්වා දියහැකි වේ. 1991 වසරේ වයස අවුරුදු 22 සපුරන විටම යුද හමුදාවට බැඳුණු රංජිත් ප්‍රේමසිරි නම් වූ මෙම තරුණ රණවිරුවා ආරම්භක යුගයේ සිටම දක්ෂ වෙඩික්කරුවකු හා යුද ආම්පන්න මෙහෙයවීමේ ප්‍රවීණයකුගේ ගතිලක්ෂණ පෙන්නුම් කළේය. ඔහු ලැබූ පරිණත ඇත්දැකීම් සහ සුවිශේෂි දක්ෂතාවන් තුළින් සිය හැකියාවන් වඩාත් පෙන්නුම් කළේ ස්නයිෆර් ආයුධ භාවිතා කිරීමයි. ශ්‍රී ලාංකික යුද හමුදාව තුළ ස්නයිෆර් ආයුධය භාවිත කිරීමට අති දක්ෂයකු වූ රංජිත් ප්‍රේමසිරි රණවිරුවා බොහෝ දෙනා හැඳින්වූයේ ස්නයිෆර් හීරෝ නමිනි. 1991 වසරේ සිට 2009 වසර දක්වා පුරා වසර 18ක යුද මෙහෙවරේ නිරත වූ මෙම වීරෝදාර රණවිරුවා යුද්ධය සම්පූර්ණයෙන් නිමා වීමට දෙසතියක් තිබියදී 2009 අප්‍රේල් 28 වැනි දින ජීවිතක්ෂයට පත්විය. එදා පුදුමාතලන් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සමඟ පැවැති අවසන් සටන් අවස්ථාවේදී මරාගෙන මැරෙන මෙහෙයුමකට සහභාගී වී ස්නයිෆර් නීරෝ යුද භටයා සැබෑ රණවිරුවකු ලෙසින් සිය ජීවිතය පුදකළේය.

සංඛ්‍යාත්මකව ගත්කල එම ප්‍රහාරයන් තුළින් එවකට සිටි ප්‍රමුඛ පෙළේ ත්‍රස්තවාදීන් 270 දෙනකු ජීවිතක්ෂයට පත්කිරීමට රණවිරු නීරෝ සමත්ව තිබේ. එමෙන්ම රණවිරු නීරෝ මියයන විට ලෝකයේ ස්නයිෆර් ප්‍රහාරක ලේඛනයේ 05 වැනි ස්ථානයද හිමිකර ගෙන සිටියේය.

රණවිරු නීරෝ නොහොත් රංජිත් ප්‍රේමසිරි උපත ලැබුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රදේශයේය. ඔහුට උපහාරයක් ලෙසින් ආණමඩුව ප්‍රදේශයේ තම්මැන්නා ග්‍රාමයේ උදාවූ මෙම නව ආදර්ශ ගම්මානය ‘රණවිරු නීරෝගම’ නමින් නම්කෙරිණ. නීරෝ ගම නව නිවාස 36කින් සමන්විත වේ. අංගසම්පූර්ණ නිවාස සමූහයකින් සමන්විත රණවිරු නීරෝගම පුත්තලම දිස්ත්‍රික්කයේ මෙන්ම ශ්‍රී ලංකාවේද සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන තුළින් නිර්මාණය වූ වඩාත් අංගසම්පූර්ණ ගම්පියසකි. මාර්ග, ජලය, විදුලිය ඇතුළු පොදු පහසුකම් සියල්ල මෙම ගම්මානය වෙත නොඅඩුව හිමිවී තිබේ.

රණවිරු නීරෝ සෙසු රණවිරුවන් මෙන් යුද්ධය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළද සිය පෞද්ගලික දිවිපෙවෙත සඳහා කිසිදු විශේෂිත දායකත්වයක් හිමිකරගත් අයකු නොවේ. ඔහු මියයන තෙක්ම පවුලේ සාමාජිකයන් සමඟ ජීවත්වූයේ අස්ථාවර නිවහනකය. නීරෝගේ මියයෑමත් සමඟ මෙයින් වඩාත් අසරණ භාවයට පත්වූයේ ඔහුගේ මෑණියන්ය. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මීට කලකට පෙර රණවිරු නීරෝ මාතාව වෙනුවෙන් සෙවණ අරමුදලේ දායකත්වයෙන් නව නිවසක් ඉදිකිරීමේ කාර්යදාමය ආරම්භ කළේය. අද එම ක්‍රියාදාමය ප්‍රතිඵල ගැන්වී තිබේ. එළැඹෙන අගෝස්තු 17 වැනි දින රණවිරු නීරෝ ගම්මානය මෙසේ නිවාසලාභීන්ගේ අයිතියට පත්කිරීමට සමගාමීව රණවිරු නීරෝ මාතාව වෙනුවෙන් නව නිවහනක හිමිකමද ඇයට ලබා දීම සිදුකෙරේ.

 

[ලක්විජය සාගර පලන්සූරිය]

මාතෘකා