මරණයේ පණිවුඩය ලොවට ගෙන ආ පොඩි කොල්ලා

 ඡායාරූපය:

මරණයේ පණිවුඩය ලොවට ගෙන ආ පොඩි කොල්ලා

මරණය කාටත් පොදුය. නමුත් අපි නොකළ වරදකට අන් අයකුගේ ඕනෑ එපාකම් මත මිය යෑම ජීවිතයකට කරන බලවත් අසාධාරණයකි. රාජ්‍ය නායකයන්ගේ සහ ආණ්ඩුවල සාමූහික අවශ්‍යතා මත මිය යන අහිංසකයන්ගේ නම් ලැයිස්තුව ලෝකය පවතින තාක් කල් එකතුවෙමින් පවතීවි. නමුත් මේ කිසි කෙනකු මරණය තෝරා ගන්නේ ස්ව කැමැත්තෙන් නොවේ.

අගෝස්තුව අපට තවත් එක් මාසයක් වුවත් ලෝකයේ ප්‍රධාන පෙළේ බලවත් රාජ්‍යයක් වන ජපානයට නම් සුන්දර මතකයන් එක් කරන මාසයක් නොවෙයි. දෙවන ලෝක යුද සමයේ අවසානයේ ලොව බොහෝ රටවල් කොන්දේසි විරහිතව යටත් වූවත් ජපානය එසේ යටත්වීමට මැලිකමක් දැක්වූවා. එසේම ජපානය ඇමරිකාවේ හවායී දූපත්වල පිහිටි පර්ල් හාබර් නම් වූ මිලිටරි කඳවුරට දියත් කළ දැඩි ප්‍රහාරයද අමෙරිකාවේ අභිමානයට දැඩි කැලළක් වුණා. මේ නිසා ඇමෙරිකාව ප්‍රමුඛ කඳවුර ජපානය සමඟ සිටියේ බලවත් තරහකින්.

ජපානයේ ඔකිනාවා සහ ඉවො-ජීමාහි පාබල හමුදා යොදා සිදු කළ යුද මෙහෙයුම්වලින් ලැබුණු දරුණු පරාජයන් හා ජපානයට යටත්වන්නැයි සිදු කළ ඉල්ලීම් දිගින් දිගටම ඉවත ලූ නිසාත් යුධ විශේෂඥයන්ට අනුව ජපානය සිය අවසාන භටයා ජීවත්වනතුරු සටන් කරනු ඇතැයි යන සැකයත් නිසා ජපානයට දැනෙන දැඩි යමක් සිදු කර යටත් කර ගැනීමේ තීරණය ඇමරිකානු ජනාධිපති හැරී ටෘමන් විසින් සලකා බලමින් තිබුණා. දෙවන ලෝක යුද්ධය දිගු කලක් ගතවී වුවත් නිම නොවීමත් ඇමරිකානු යුධ ශක්තියේ ප්‍රබලතාවය මත යුද්ධය නිමා නොවීමත් යන කාරණාද යුද්ධය ඇමරිකානු රජයට දැඩි ආර්ථික පිරිවැයක් ගෙන දීමද ඇමෙරිකානු ජනතාව අතර මතුවෙමින් තිබීමද රජයට යුද්ධය ඉක්මනින් නිමා කිරීමේ අවශ්‍යතාවද මතු වී තිබුණා.

ජර්මනියේ නාසිවාදීන් යටත් වීමත් සමඟම ඔවුන් සතු වූ රසායනික සහ භෞතික විද්‍යාත්මක දැනුම සමඟින් සිදුකෙරුණු පරමාණු බෝම්බයක් නිපදවීමේ ක්‍රියාවලිය නම් කෙරුණේ මෑන්හැටන් ව්‍යාපෘතිය (Manhattan Project) ලෙසින්. පරමාණු බෝම්බයේ පියා ලෙස සැලකෙන්නේ ඇමරිකානු න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙකු වන රොබර්ට් ඔපන්හයිමර්. ඔහු න්‍යෂ්ඨික බෝම්බය සැකසීමේ මෑන්හැටන් ව්‍යාපෘතියේ පර්යේෂණ භාරව සිටි ලොස් ඇලමොස් පර්යේෂණාගාරයේ අධ්‍යක්‍ෂවරයායි. පරමාණු බෝම්බ පුපුරා යෑමෙන් සිදු වූ අති බිහිසුණු විනාශය දුටු ඔපන්හයිමර් මෙන්ම එය යුද ව්‍යාපෘතියකට ගැනීමට අවසර ලබා දීමට අත්සන් කළ ඇල්බර්ට් අයින්ස්ටයින්ද මේ සිදුවීම් පිළිබඳ මහත් කම්පනයට පත් වුණා. සිය අවසාන කාලයේදී ඔපන්හයිමර් පවසා තිබුණේ තමන් “දැන් මා මරණය සහ ලෝක විනාශය ගෙන දුන් පුද්ගලයා බවට පත් වී ඇත” යනුවෙන්. ඔපන්හයිමර් මිය ගියේද උගුරේ හටගත් පිළිකාවක් නිසා වීම තවත් දෛවෝපගත වුණා.

1945 ජූලි වන විට විද්‍යාඥයන් සාර්ථකව පරමාණු බෝම්බය නිෂ්පාදනය කර තිබීමත් එය නිසි ආකාරව ක්‍රියාවේ යොදවා සිය බල පරාක්‍රමය පෙන්වීමට ඇමෙරිකාවට අවශ්‍යව තිබීමත් එයට එක් හේතුවක් වුණා. ඒ අනුව හැරී ටෘමන් එවකට යුද්ධය සම්බන්ධ ලේකම්ව සිටි හෙන්රි ස්ටිමොන් ඇතුළු උපදේශකයන්ට නියෝග කර තිබුණේ පරමාණු බෝම්බය පුපුරවා හෝ ජපානය යටත් කර ගැනීමට ක්‍රමයක් යොදන ලෙසයි. ටෘමන්ට පාබල හමුදා යොදවා දිගු කලක් ජපානය හා යුද කර යටත් කර ගැනීමට හැකි වුවත් ඇමෙරිකානු ජනතාවට ඉක්මන් විසඳුමක් දීමට අවශ්‍යතාවද තිබූ නිසා අවසානයේ පරමාණු බෝම්බ දමා ජපානය යටත් කර ගැනීමේ තීරණයට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර යුද කඳවුර එකඟතාව පළ කළා.

පරමාණු බෝම්බයේ බලය දන්නා බොහෝ දෙනා එහි ඵලවිපාක පිළිබඳ බිය පළ කළ නිසාම ජපානයේ ජනශුන්‍ය පෙදෙසකට බෝම්බය දමා සිය බලය පෙන්වා ජපානය යටත් කර ගැනීමේ සැලස්මක්ද ක්‍රියාවට නැංවීමට කටයුතු යෙදුණා. එසේ වුවත් ටෘමන්ට අනුව හිරෝෂිමා යනු උපායමාර්ගිකව ඉතා වැදගත් නගරයක් වූ නිසා එය සිය එක් ඉලක්කයක් බවට පත් කිරීමට 1945 ජුලි 25 වැනි දින ඇමරිකාව තීරණය කළා. මෑන්හැටන් ව්‍යාපෘතියට සමගාමීව මේ සුවිසල් පරමාණු බෝම්බ දෙක ප්‍රවාහනයට සහ පතිත කිරීමට ඇමරිකානු ගුවන් හමුදාවේ සුවිශේෂී ගුවන් යානා දෙකක්ද ඒ වන විට වෙනස් කරමින් පැවතුණා. Boeing B-29 Superfortress නම් වූ ගුවන් යානා දෙකක් ඒ සඳහා යොදා ගත්තා. 1944 අගෝස්තු 01 වැනිදා මිත්‍ර හමුදා විසින් යටත් කරගත් ජපානයට කිලෝමීටර 1500ක් දකුණින් පිහිටා තිබූ ටිනියන් සහ මරියානා දූපත්වල වූ ගුවන්තොටුපොළවල සිට මේ ගුවන් යානා ගුවන්ගත කිරීමට තීරණය කළේ ජපානයට ඇති සමීපතාව නිසා.

කිව්බෙක් ගිවිසුම අනුව ඇමරිකාවට තනිවම ජපානයට බෝම්බ දැමීමේ තීරණය ගත නොහැකි නිසා එයට මහා බ්‍රිතාන්‍යයේද අනුමැතිය ලබාගෙන 1945 අගෝස්තු මස 6 වැනි දින ජපානයේ හිරෝෂිමා නගරයටත් අගෝස්තු 9 වැනි දින නාගසාකි නගරයටත් සිය නවතම අත්හදාබැලීම වූ පරමාණු බෝම්බ දෙකක් හෙළා ජපානයට දැනෙන පාඩමක් උගන්වා යටත් කර ගැනීමට ජුලි 25 වැනි දින තීරණය කෙරුණා. හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ඨික බෝම්බ හෙළීමට තීරණය කිරීමත් සමඟම ඒවා පැසිෆික් සාගරයේ ටිනියන් සහ මරියානා දූපත්වලට ප්‍රවාහනය කරනු ලැබුවා. එසේම විශේෂයෙන් වෙනස් කරන ලද B-29 බෝම්බ හෙලන යානාද සූදානම් කර තැබුවා.

මේ පරමාණු බෝම්බ දෙක නිසා හිරෝෂිමාවේ ජනතාව 90,000ත් 146,000ත් අතර ප්‍රමාණයක් ඒ අවස්ථාවේම මිය ගිය අතර නාගසාකිහි මිනිසුන් 39,000ත් 80,000ත් අතර ප්‍රමාණයක් මිය ගියා. ඊට අමතරව ඒ බෝම්බ ප්‍රහාරවල පසු ආචරණ වූ පිළිස්සුම් තුවාල, වැටීම්, කැපීම් වැනි තුවාල ආදිය මෙන්ම විකිරණවලට භාජනය වීම නිසා ඇති වූ විවිධ රෝගවලින් නගර දෙකෙහිම මුළු ජීවිත හානි සංඛ්‍යාව 1,29,000ත් 2,26,000ත් අතර බවට අවසානයේ නිගමනය කෙරුණා. හිරෝෂිමාවේ වූ යුද මධ්‍යස්ථානය විනාශ කිරීමට අරමුණු කරගෙන පරමාණු බෝම්බය පතිත කළද එහි හානිය වැඩිම වශයෙන් සිදු වූයේ සාමාන්‍ය ජනතාවට වීම මහත් අවාසනාවක් වුණා.

පරමාණු බෝම්බ හෙළීමෙන් පසු මුළු ලෝකයම කම්පාවට පත් වෙද්දී 1945 අගෝස්තු 15 වැනි දින ජපානය යටත් වුණා. සැප්තැම්බර් දෙවැනි දින යටත්වීමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟම දෙවැනි ලෝක යුද්ධය නිමා වුණා. සදාචාරාත්මක භාවයේ පහත්ම තත්ත්වය සනිටුහන් කරමින් සිදුවූ ඒ විනාශය ලොව පුරා අගෝස්තු මාසයේ සමරද්දී ජපානය අළු මතින් නැඟිට ලොව ප්‍රබලතම රාජ්‍යයක් වීමේ පියවර තැබූවා. රාජ්‍ය නායකයන්, සාමාන්‍ය ජනතාව එකාවන්ව, රට වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිදු කරමින් රට පෙරට ගෙන ඒමට දිවා රෑ නොබලා කටයුතු කළා. ඒ අනුව ජපානය ලොව ප්‍රබලතම රටවල් දහය අතරට පැමිණීමට සමත් වී තිබෙනවා.

පරමාණු බෝම්බ යනු සාමාන්‍ය පුපුරණ ද්‍රව්‍යවලින් සැකසූ බෝම්බ නොවෙයි. එයින් සිදුවන විනාශය ගණන් ගැනිය නොහැකි වන්නේ එය ක්‍ෂණිකව සිදුවන පිපිරුමට පසු විකිරණ මඟින් පසු ආචරණ පවා ඇතිකරන නිසයි. ජපානයේ වසර ගණන් යනතුරු මේ පසු ආචරණ දකින්නට ලැබුණා. ඒ අනුව ජපානයේ පිළිකා, ලියුකේමියා වැනි තත්ත්වයන් දශක ගණනාවක් තුළ විශාල වශයෙන් වැඩි වුණා.

පොඩි කොල්ලා - Little Boy

Little Boy බෝම්බය නිෂ්පාදනය කිරීම සඳහා මූලිකව කටයුතු කළේ ඇමරිකාවේ ලොස් ඇලමොස් පර්යේෂණාගාරයේ ලුතිනන් කමාන්ඩර් Francis Birch සහ කණ්ඩායමයි. මෙම බෝම්බයේ යාන්ත්‍රණය වන්නේ තුවක්කුවකින් වැනි පිපිරුමක් ඇති කර එහි මධ්‍යයේ වූ විකිරණශීලී මූලද්‍රව්‍ය න්‍යෂ්ඨීන් විඛණ්ඩනය වීමට සලස්වා ඉන් ඇතිවන අධික බලශක්ති පිපිරුම මඟින් මහා විනාශයක් වීමයි. මෙම පිපිරුම පාලනය නොකරන පිපිරුමක් නිසා ඉතා කෙටි කාලයක් තුළ සුවිසල් පිපිරුමක් ඇති වෙනවා.

Little Boy බෝම්බය සඳහා භාවිත කරන ලද්දේ යුරේනියම් 235 සමස්ථානිකයයි. මුළු බෝම්බයේ බර කිලෝග්‍රෑම් 4400ක් වන අතර දිග අඩි දහයකි; විෂ්කම්භය අඟල් 28කි. මෙම බෝම්බය මඟින් මුදාහරින ලද ශක්තිය TNT පුපුරන ද්‍රව්‍ය ටොන් 15,000 කට සමාන වනවා.

ඒ සඳහා යුරේනියම් කිලෝග්‍රෑම් 64ක් භාවිතා කළත් න්‍යෂ්ඨික විඛණ්ඩනය සඳහා භාවිත වී ඇත්තේ කිලෝග්‍රෑම් එකකටත් අඩු ප්‍රමාණයක්. කිලෝ ග්‍රෑම් 64ම භාවිත වුණා නම් සිදුවිය හැකි විනාශය ගණනය කිරීමටත් අපහසුයි. බෝම්බයේ යාන්ත්‍රණය සිදුවන්නේ නයිට්‍රොසෙලියුලෝස් නම් පුපුරණ ද්‍රව්‍යය ආධාරයෙන් න්‍යෂ්ඨික බෝම්බය තුළ වූ කුහරයක එක කෙළවරක වූ හිස් සිලින්ඩරයක් යුරේනියම් පිරවූ සිලින්ඩරය මත වේගයෙන් ගැටීමට සලස්වා ස්ඵෝඨනය ඇති කිරීමයි. එමඟින් න්‍යෂ්ඨික දාම ප්‍රතික්‍රියාව අරඹනු ලබනවා.

යුරේනියම් 253 සමස්ථානිකය විඛණ්ඩනශීලී සමස්ථානිකයක් නිසා පරමාණු බෝම්බය සෑදීම සඳහා එය ප්‍රධාන තේරීම වුණා. ස්වභාවයේ යුරේනියම් 253 සමස්ථානික ඇත්තේ 0.7%ක් පමණ සුළු ප්‍රමාණයක්. මේ නිසා යුරේනියම් 253 සමස්ථානිකයේ සාන්‍ද්‍රණය වැඩි කර ගැනීම සඳහා විශාල වැඩ කොටසක් කිරීමට සිදු වුණා. යුරේනියම් 253 සමස්ථානික වෙන් කිරීම භාරදූර කටයුත්තක් වුණු අතර එය ලොස් ඇලමොස් පර්යේෂණාගාරයෙහි සිදු කළ විද්‍යුත් චුම්භක වෙන් කිරීමක් මඟින් කරනු ලැබුවා. මේ සඳහා අවශ්‍ය යුරේනියම් ප්‍රමාණය වූ ටොන් 1200ක් සපයා ගනු ලැබුවේ කොංගෝහි සිදු වූ ලෙසින් සහ යුද සමයේ අත්අඩංගුවට ගනු ලැබූ ජර්මන් සබ්මැරීන සහ විවිධ අවස්ථාවලදී අත්අඩංගුවට ගනු ලැබූ යුරේනියම් තොග මඟිනි.

හිරෝෂිමා වෙත බෝම්බය හෙලීම භාරව සිටි ගුවන් නියමුවා වූයේ Enola Gay නමින් හැඳින්වූ B-29 ගුවන්යානය පැදවූ කර්නල් පෝල් W ටිබෙට්ස් නම් ඇමරිකානු නාවික භටයායි. විශ්‍රාම යන විට ඔහු බ්‍රිගේඩියර් ජෙනරාල් නිලයට උසස් වූවා.

යුරේනියම් 235 න්‍යෂ්ඨියට ස්ඵෝඨනයෙන් ඇති කළ නියුට්‍රෝනයකින් එල්ල කරන ලද උත්තේජනයකින් එය අස්ථායී යුරේනියම් 236 න්‍යෂ්ඨියක් බවට පත් වීමත් සමඟම එය දැඩි බලශක්තියක් පිට කරමින් ක්‍රිප්ටොන් 92, බේරියම් 141 සහ තවත් නියුට්‍රෝණ තුනක් බවට විඛණ්ඩනය වනවා. මෙම නියුට්‍රෝන තුන තවත් යුරේනියම් 235 න්‍යෂ්ඨි තුනක් සමඟ ක්‍රියා කරමින් දාම ප්‍රතික්‍රියාව ඉදිරියට ගමන් කරනවා. සෑම යුරේනියම් 235 න්‍යෂ්ඨියක් විඛණ්ඩනය වන අවස්ථාවකම අධික ශක්තියක් පිට කරන අතර ඉතා සුළු කාලයකදී විශාල යුරේනියම් 235 න්‍යෂ්ඨි සංඛ්‍යාවක් ප්‍රතික්‍රියාවට සහභාගි වන බැවින් මෙගාටොන් ගණනක බලශක්තියක් ක්‍ෂණිකව පරිසරයට මුදාහැරෙනවා. මේ නිසා පරිසරයේ වූ වාතය මිලි තත්පර ගණනකින් අධික ප්‍රසාරණයටත් ක්‍ෂණික සංකෝචනයටත් ලක්වන අතර මේ නිසා ඇතිවන දූවිලි වලාව සුවිසල් හත්තක් සේ ඈතට දිස්වෙනවා.

මහත මිනිහා – Fat Man

මහත මිනිහා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ දෙවන පරමාණු බෝම්බය පතිත කළේ අගෝස්තු 9 වැනි දින ජපානයේ නාගසාකි නුවරටයි. මෙහිදී භාවිත වුණු පරමාණුක ද්‍රව්‍යය වූයේ ප්ලුටෝනියම් 239 සමස්ථානිකයයි. පිරිසිදු කිරීමේදී වඩාත් ස්ඵෝඨනශීලී ප්ලුටෝනියම් 239 සමස්ථානිකයේ සුළු ප්‍රමාණයක් ඉවත් කිරීමට නොහැකි වූ නිසා Little Boy බෝම්බයේ යාන්ත්‍රණය යොදා ගතහොත් එය අවශ්‍ය වෙලාවට කලින් පිපිරවිය හැකි වුණා. මේ නිසා Fat Man බෝම්බය පිපිරවීමට යොදා ගත්තේ ප්ලුටෝනියම් 239 පුරවන ලද කුහරය තුළට පිපිරිවීමක් සිදු කිරීමෙන් බෝම්බය පිපිරවීමට අවශ්‍ය බලය ලබා ගැනීමයි. මෙම බෝම්බය කිලෝග්‍රෑම් 4670ක් බර වූ අතර දිගින් අඩි 10යි අඟල් හයක් සහ විශ්කම්භය අඟල් 60ක් වූවා. මෙම බෝම්බය නාගසාකි නුවරට පතිත කිරීමට B-29 Bockscar නමින් හැඳින්වූ ගුවන්යානය පැදවූයේ මේජර් චාර්ල්ස් ස්වීනි නම් ඇමරිකානු ගුවන් නැවියායි. ඔහු විශ්‍රාම යන විට මේජර් ජෙනරාල් පදවියට උසස්ව තිබුණා.

Fat Man බෝම්බය පතිත කිරීමට මුලින් ඉලක්කව තිබුණේ නාගසාකි නුවර නොව කොකුරා නුවරයි. කොකුරා නුවර ඉහළ අහසේ වූ වලාකුළු ස්ථරය නිසා දෙවතාවක්ම බෝම්බය පතිත කිරීමට නොහැකි වූ අතර ඒ වන විට ජපාන ගුවන් යානා නාශක ප්‍රහාරද ඇමරිකානු යානය වෙත දැඩිව එල්ල වීම නිසා සහ ඉන්ධන අවසන් වීමේ අවදානමක් ඇති වූ නිසා එය දෙවන ඉලක්කය වූ නාගසාකි නුවරට පතිත කරවීමට තීරණය කළා. නාගසාකි නුවර ඉහළ අහසේද ඒ වන විට ඝණ වලාකුළු ස්ථරයක් තිබූ අතර දෘශ්‍ය මානයේ තමන්ට ඉලක්කය ගත හැකි ආකාරයෙන් අවස්ථාවක් ලැබූ විට බෝම්බය පතිත කිරීමට ඔවුනට අණ ලැබුණා. නාගසාකි නුවරට පතිත වූ බෝම්බය TNT පුපුරන ද්‍රව්‍ය කිලෝ 21,000ක ප්‍රබලතාවයකින් යුක්ත වූ අතර ඒ මොහොතේ දීමට තිස් දහසත් හතළිස් දහසත් අතර දෙනා ජීවිතක්‍ෂයට පත් වූවා.

මේ පරමාණු බෝම්බ දෙක නිසා ක්‍ෂණයකින් සිදු වූ ජීවිත හානි මෙන්ම දීර්ඝකාලීනව සිදු වූ විනාශයන්ද අති මහත්. මේ නිසාම වසර ගණනාවක සාකච්ඡා සහ දේශපාලන කඹ ඇදීම්වලින් පසු 1970 පෙබරවාරියේදී ලෝකයේ න්‍යෂ්ඨික ආයුද තිබූ රටවල් නවයක් විසින් න්‍යෂ්ඨික ආයුද ප්‍රගුණනය නොකිරීමේ ගිවිසුමට අත්සන් තැබුවා.

යුදමය අතින් එසේ වුවත් තාක්‍ෂණිකව සහ න්‍යෂ්ඨික විද්‍යාත්මක වශයෙන් අපට හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ වැදගත් වන්නේ මෑන්හැටන් ව්‍යාපෘතිය මඟින් න්‍යෂ්ඨික විඛණ්ඩනය භාවිත කිරීම සහ පසුකාලීනව එය පාලනය කිරීමේ ක්‍රම සොයාගැනීම නිසා. මේ නිසා ලෝකයට ඉතාමත් ලාභදායීව න්‍යෂ්ඨික බලය මඟින් විදුලිය නිෂ්පාදනය කිරීමේ තාක්‍ෂණය ලැබුණා. විටෙක අතිමහත් විනාශයක් කළ න්‍යෂ්ඨික බලය ඵලදායී ලෙස යොදා ගැනීමට අවකාශ සැලසුණේ එලෙසයි.

කෙසේ වෙතත් හිරෝෂිමා නාගසාකි යනු ලෝක යුද ඉතිහාසයේ දරුණු කළු පැල්ලම් දෙකක්. ඉන් අනතුරුව පවා රුසියාව, ඉරානය, ඇමෙරිකාව සහ උතුරු කොරියාව වැනි රටවල් න්‍යෂ්ඨික අවි භාවිතය පිළිබඳ අනතුරු හඟවමින් එකිනෙකා වෙත සිය බලපරාක්‍රමය පෙන්වමින් සිටින අවදියක කිසියම් හෝ අවස්ථාවක න්‍යෂ්ඨික මිසයිලයක් පිපිරී යෑමේ අවදානමක් නැතුවාම නොවේ.

වාසනාවකට ශ්‍රී ලංකාවේ අප න්‍යෂ්ඨික බලය පාවිච්චි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් හෝ අවදානමක් ඇති කර ගත යුතු නොවන්නේ අපට දැනට ඇති සරල ප්‍රශ්න විසඳාගැනීමම සුවිසල් ප්‍රශ්නයක් වී ඇති නිසාත් මෙවැනි ව්‍යාපෘතියකට අවශ්‍ය වන ප්‍රාග්ධනය සහ යටිතල පහසුකම් අප වැනි කුඩා රටකට නොමැති නිසා සහ අප රටේ මීළඟ දශකය තුළ පත්වන කිසිදු පාලකයකුට එවැනි සුවිසල් සහ ඉතාමත් භාරදූර ව්‍යාපෘතියකට අතගැසීමට තරම් බුද්ධිමය ශක්‍යතාවක්ද නොමැති නිසාය.

ආචාර්ය [පියල් ආරියනන්ද]

මාතෘකා