ලණු වගේ ඇඹරෙන ලණු අඹරන්නන්ගේ ජීවිත ඉරණම

 ඡායාරූපය:

ලණු වගේ ඇඹරෙන ලණු අඹරන්නන්ගේ ජීවිත ඉරණම

‘‘එක තප්පරයක්වත් නිකන් ඉන්න ඕනි නැති තරමට අපට වැඩ තියෙනවා. ඒ වගේමයි වෙළෙඳපොළ හොඳ ඉල්ලුමකුත් තියෙනවා. ඒත් ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න තරම් අමුද්‍රව්‍ය හොයාගන්න විදියක් නැහැ. ඒවා හොයාගන්න විදියක් අපට හිතාගන්නත් බැහැ.’’

මුන්දලම, මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශයේ කොහු අඹරන්නන් සොයා අප ගිය ගමනෙහි කන වැකුණකි ඒ. ස්වයං රැකියාවක් ලෙසින් ඔවුන් විසින් කරගෙන යන මේ ජීවන වෘත්තිය සිතන තරම් සුන්දර නොවේ.

‘‘මේ රස්සාවට වෙලාවක් කලාවක් නැහැ. ඒ දවස්වල හිතිච්ච වෙලාවට වැඩ කරලත් ලොකු ආදායමක් ගත්තා. අද ඒ තත්ත්වය අපිට සම්පූර්ණයෙන්ම අහිමිවෙලා.’’

සුළු හා මධ්‍ය පරිමාණ වශයෙන් පවත්වාගෙන යනු ලබන කොහු ආශ්‍රිත නිෂ්පාදන මේ වන විට වැසී යෑමේ තර්ජනයට ලක්ව ඇති බවට ඔවුහු මැසිවිලි නගති.

පාසල් අධ්‍යාපනය හමාරකරන කරිකට්ටිය ප්‍රදේශයේ බොහෝ පිරිසක් මෙම ස්වයං රැකියාව තෝරා ගන්නේ එයට තමාගේ අතෙහි හුරුවක්ද ඇති නිසාය. එකල ලාභ ලබන ව්‍යාපාරයක් වූ මේ කර්මාන්තය අද වන විට

ඇදවැටී ඇත්තේ සිතා ගත නොහැකි අන්දමින්ය. කර්මාන්තය කරගෙන යෑම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟ වීම මෙන්ම එම අමුද්‍රව්‍ය ලබා ගැනීමට ක්‍රමයක් සොයා ගත නොහැකි වීමෙන් මෙම පිරිස පීඩා විඳිති.

මෙම කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදනය වන නිපැයුම් බොහොමයකි. ලණු, කඹ, කොසු, ඉදල්, පාපිසි, බුමුතුරුණු ඇතුළු තවත් විසිතුරු නිෂ්පාදන බොහොමයක් මොවුන්ගේ අතින් නිපදවෙයි. ඔවුන් මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ ඔවුන් විසින් සකස් කර ගනු ලබන සරල යන්ත්‍රෝපකරණ යොදා ගනිමින්ය. ‍එමෙන්ම පාරම්පරික කර්මාන්තකරුවන් නික්ම යෑමත් අලුත් පරපුර මේ සඳහා යොමු නොවීමත් හේතුවෙන් කොහු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ මෙම ග්‍රාමයෙන් එම නිෂ්පාදන, ක්‍රමයෙන් නැතිවී යෑමට ඉඩ ඇති බවද ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී වීරපුර, මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි පාරම්පරික කර්මාන්තකරුවකු වන එස්. පී. ගුණසිරි මහතා පවසා සිටියේ මෙවැන්නකි.

‘‘අපි මේ කර්මාන්තය කරගෙන ගියේ ඒ කාලේ කාටවත් අත නොපා. මොකද මේ රස්සාවට ඒ තරම් වැදගත්කමක් ඒ දවස්වල තිබුණා. අද ඒ තත්ත්වය පහළ වැටිලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. නවීන උපකරණ වෙළෙඳපොළට හඳුන්වා දීලා තියෙනවා. තව දෙයක් තමයි ඉදලක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය ඉරටු අපි ලබා ගත්තේ ඉස්සර පොල් වත්තකට ගිහින්. ඒවා අපි ගත්තෙත් සල්ලිවලට නෙවෙයි. ඒ ඉඩම්වල අයිතිකාරයෝ පවා අපට ඒවා අරන් යන්න ඉඩ දීලා තිබුණා. අද ඉරටු රත්තරන් ගාණට වැටිලා. ඉරටු කිලෝ එකක් රුපියල් 40ක් 50ක් වෙනවා. පොල් අත්තක් දැන් අපිට දෙන්නෙ රුපියල් 35කට විතර. ඒ නිසා එයාලට ලාභයි පොල්අතු දෙන එක. මොකද පොල් අත්තකින් ඉරටු කිලෝ එකක් ගන්න බැහැනේ. ඔන්න ඔතනදී ඉදල් නිෂ්පාදනයට සම්පූර්ණයෙන්ම බාධා ඇති වෙනවා.

“කොසු, ඉදල්වලට මිටවල් හොයන්න බැරිවෙලා තියෙනවා. මොකද වන සංරක්ෂණ එකෙන් අපිට කැලේට යන්න දෙන්නෙ නැහැ. කොහු හිඟයි. අපිට මෝල්වලින් ලැබෙන්නෙ බාල කොහු. එව්වා ගෙනැල්ලා ලණු අඹරන්න බැහැ. මේ කර්මාන්තේ තව වැඩි කලක් තියෙන එකක් නැහැ.’’

මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. රමණි සේපාලිකා මහත්මිය පවසා සිටියේ රජයට හෝ වගකිව යුතු නිලධාරියකුට ඔවුන්ගේ මෙම ගැටලුවට විසඳුමක් ලබා දිය හැකි නම්

‘‘ඉස්සර අපිට නිදහසක් තිබුණෙ නැහැ. රෑ දවල් දෙකේම වැඩ කෙරුවා. මොකද ඒ තරමට අපේ භාණ්ඩවලට හොඳ ඉල්ලුමක් තිබුණා. අද එහෙම නැහැ. ලණු මඩුවල මැස්සෝ ඇහිරෙන්න පටන් අරන්. සමහර ඒවා පාළුවෙලා ගිහින්. එකක් තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන බාස්වරු හොයා ගන්න බැහැ; හොයාගත්තත් එයාලට ලොකු පඩියක් ගෙවන්න විදියක් නැහැ. භාණ්ඩ හදන්න අමුද්‍රව්‍ය හොයාගන්නෙ හරියට කළුනික හොයාගන්නවා වගේ. අපට අතදෙන්න කවුරුහරි ඉදිරිපත්වෙනවනම් ලොකු දෙයක්. මොකද අපිට ජීවත්වෙන්න, දරුවන්ව ජීවත්කරවන්න තියන එකම ආදායම් මාර්ගය මේක විතරයි.’’

සටහන සේයා රූ වනාතවිල්ලුව සමූහ

[කේ.ප්‍රියංකර කළුපහන]

මාතෘකා