නිල්ල ගහන ජනපදයක ජීවන දාහය

 ඡායාරූපය:

නිල්ල ගහන ජනපදයක ජීවන දාහය

සශ්‍රීක ගොවිජනපද රාශියක් බිහිකළ රාජාංගණය ව්‍යාපාරය හැටේ දශකයේදී රාජාංගණ ජලාශය කේන්ද්‍ර කරගෙන ඇරඹිණි. වගාබිම් අක්කර 22,500ක් පමණ රාජාංගණ ව්‍යාපාරය සතුව පවතින අතර එහි ගොවි පවුල් 3500ක් පමණ වෙසෙන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

යල මහ කන්න දෙක ප්‍රධානව ඇතැම් වර්ෂවල කන්න තුනක් සඳහාද වාරි ජලය සැපයීමට රාජාංගණ ව්‍යාපාරය සමත්ව ඇත.

යාය 18ක් පුරා විහිදෙන මේ ව්‍යාපාර‍‍යේ යාය 8 ප්‍රදේශයට හිමිවනුයේ විශේෂ තැනකි. එයට හේතු වී ඇත්තේ මෙම ප්‍රදේශය සමස්ත රාජාංගණ ව්‍යාපාරයටම කේන්ද්‍රගතව පිහිටීමයි.

පසුගියදා යාය 8 ශ්‍රී රාහුල විද්‍යාලයේදී ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත විනිවිදින සුවිශේෂ වැඩසටහනක් පැවැත්විණි. “රැස ජනසභාව” ලෙස නම් කර තිබූ මෙම වැඩසටහනට අපද ගොඩවිය. එහිදී ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු රාශියක් හෙළිදරව් විණි. එම වැඩසටහනේ තිබූ විශේෂත්වය වූයේ තම ප්‍රදේශයේ ගැටලු මාධ්‍යවේදීන් හා බලධාරීන් ඉදිරියේ නොබියව පැවසීමට ගම්වාසීන්ට ඉඩහසර ලැබීමයි. රාජාංගණ ව්‍යාපාරය ඇරඹි මුල් යුගයේ ප්‍රධාන නගර ඉදිකිරීමට යෝජනා වී තිබුණේ ද මේ යාය-8 ප්‍රදේශයේ බව එහි දී හමු වූ වැඩිහිටියෝ අප සමඟ පැවසූහ. රාජාංගණ ව්‍යාපාරයේ මුල් සිතියම්වල මෙය සඳහන්ව තිබූ බව ඔවුහු අපට සනාථ කළහ. එසේ ඔවුන් අප සමඟ පැවසුවේ ජන සභාව ඇරඹීමට පෙර අප ගම්වාසීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේදීය.

සැදෑ අඳුරත් සමඟ ඇරඹි ජන සභාවේදී පළමුවෙන් හඬ අවදිකළ යාය - 8 ශ්‍රී රාහුල විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ඒ.ආර්.එම්. ජයන්ත බණ්ඩාර මහතා තම පාසලට බලපා ඇති ජල ගැටලුව පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය. ඒ අනුව ශ්‍රී රාහුල විදුහලේ ජල ප්‍රශ්නයට හේතුව ජලය එක්රැස් කර ගැනීමට ජල ටැංකියක් නොමැති වීම බව පැහැදිලි විය. එහිදී අදහස් දැක්වූ ජයන්ත බණ්ඩාර මහතා මෙසේ පැවසීය,

“පාසලේ ජල ගැටලුව විසඳන්න ප්‍රධාන ඇළ අයිනේ ළිඳක් කැපුවා, එයට වතුර මෝටරයක් සවි කළා. ජලනළත් එලුවා. ඒත් ජලය ගබඩා කරන්න ටැංකියක් නැති නිසා පාසල් දරුවන්ගේ ජල ගැටලුව විසඳන්න අපට තවම බැරි වෙලා”

එහිදී වැඩි දුරටත් කරුණු විමසීමේදී හෙළි වූයේ ලීටර් 5000ක ජල ටැංකියක් හා එය තබා ගැනීමට සුදුසු ආධාරකයක් ඉදි කිරීම තුළින් මෙම ජල ගැටලුවට විසඳුමක් ලබා ගත හැකි බවයි. නමුත් එයට විසඳුමක් පේන තෙක් මානයකවත් නොමැති බැවින් මෙම පාසලේ දරුවන් සේම ගුරුභවතුන් ද මහත් පීඩාවකට පත් ව සිටින බව එහිදී පැහැදිලි විය.

ජන සභාවට අදහස් දැක්වූ ශ්‍රී රාහුල විද්‍යාලයේ මලිදු ප්‍රමෝත් සිසුවා පැවසුවේ තමන්ගේ පාසලේ දක්ෂතා සපිරි දරුවන් රැසක් සිටියද ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් නොලැබීම කනගාටුවට කරුණක් බවයි. මලිදු සිසුවා පැවසූ එම කරුණ පිළිබඳ වැඩි දුරටත් සොයා බැලීමේදී අපට පහත කරුණු හෙළිදරව් විණි. මෙම පාසලේ උස පැනීම සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ නොමැතිය. ඔවුන්ට ඒ සඳහා සැතපුම් පහකට පමණ දුරින් පිහිටි යාය - 10 හරිස්චන්ද්‍ර විදුහලට යෑමට සිදුව තිබේ.

විද්‍යාලයේ නර්තනයට දක්ෂතා දක්වන දරුවන් සිටියද ඔවුන්ට ඒ සඳහා බලපාන බාධක කිහිපයක් ඇති බවද මලිදුගේ අදහස් දැක්වීමෙන් පැහැදිලි විය. “අපේ පාසලේ කුඩා ගොඩනැගිල්ලකයි නර්තන අංශයේ අය පුහුණුවීම් කරන්නේ. අඩුම තරමේ ගැහැනු ළමයින්ට ඇඳුම් මාරුකර ගන්නවත් පහසුකම් නැහැ”

කෙතරම් බාධක තිබුණද ශ්‍රී රාහුලයේ දරුවන්ගේ නර්තන දක්ෂතාව ජනසභා වේදිකාවේ වර්ණවත් කිරීමට සමත් වූ බව නම් නොරහසකි. ඒ ගුරු සිසු සැමගේ සාමූහික ප්‍රයත්නයක අමිල ප්‍රතිඵලයක් ලෙසයි.

මලිදු පවසන පරිදි පිහුනුම් තටාක, ගෘහස්ථ ක්‍රීඩාංගන අවශ්‍යයි ඔවුහු නොකියති. ඒ වෙනුවට ඔවුන්ගේ ඉල්ලීම් වනුයේ තිබහට වතුර ටිකක්, ක්‍රීඩා කිරීමට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ආදී අහිංසක ඉල්ලීම් කීපයකි.

දෑතේ වීරියෙන් ගොවිතැන් බත සරිකරන ගොවි රජවරුන්ගෙන් සපිරි යාය - 8 ප්‍රදේශයේ පොදු සමාජීය ගැටලුවක් බවට පත් වී ඇති මත් උවදුර ගැනද මෙහිදී තොරතුරු හෙළි විය. යාය - 8 බෞද්ධ බල මණ්ඩලයේ සභාපති සෙවිත් චාමර මහතා ජන සභාව අමතමින් ප්‍රකාශ කළේ ප්‍රදේශයේ මත් උවදුර තුරන් කිරීමට රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී මැදිහත් වීම අවශ්‍ය බවයි.

ජන සභාව ඇමතූ යාය - 8 පදිංචි ඇග්නස් පේමචන්ද්‍ර මහත්මියද නීතිවිරෝධී මත් ජාවාරමෙන් සිදු වී ඇති සමාජ දෙදරා යෑම තහවුරු කළේය. මත්ද්‍රව්‍ය සඳහා යොමු වන තරුණ පිරිස් පුනරුත්ථාපනය කිරීමටද බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බවද ඇය පැවසුවාය.

දිගු කලක් ප්‍රදේශයේ ජනතාවට නායකත්වය දෙමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ නිමල් ජයවීර මහතා ජන සභාව ඇමතීම ප්‍රදේශයේ ජනතාවයේ ගැටලු සනාථ කිරීමට ලබා දුන් සහතිකයක් බදු විය. ඔහුගේ කරුණු දැක්වීම තුළින් ප්‍රදේශයේ ජනතාවට පොදුවේ බලපාන යටිතල පහසුකම් ඇතුළු අඩුපාඩුකම් රැසක් අනාවරණය කෙරිණි. එහිදී යාය - 7 බෝගස් හන්දියේ සිට යාය - 12 දක්වා මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති බවද හෙළි විය. අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් ජයවීර මහතා ,

“මේ මාර්ගයේ පාසල් දෙකක්, සති පොළ, බෙහෙත් ශාලාව, සමෘද්ධි බැංකුව, පොලිසිය ආදී රාජ්‍ය ආයතන වගේම ‍පෞද්ගලික ආයතනත් පිහිටලා තියෙනවා. මෙම මාර්ගය දිගු කලකින් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. මේ නිසා එන්න එන්නම අබලන් වෙලා. ඒ වගේම යාය - 8 ශ්‍රී රාහුල විද්‍යාලයට යාබදව ඇති පොදු ක්‍රීඩා පිටිය මීටර් 400 ධාවන පථයක් ඉදිකරන්න ඉඩපහසුකම් තිබෙනවා. නමුත් එය ක්‍රමානුකූලව සංවර්ධනය වෙලා නැහැ . මේ ක්‍රිඩා පිටිය යාය - 13, යාය-14, යාය 10 යාය 15, යාය 05, යාය 04ට මැදිව පිහිටල තිබෙනවා. මේ අනුව සෑම පාසලකටම තියෙන්නේ කිලෝමීටර් 5ට අඩු දුරක් , ඒ නිසා අවට පාසල්වල දරුවන්ට පාපැදියෙන් වුණත් පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා මෙම ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම ඉතාමත් ඉක්මනින් ආරම්භ කළ යුතුයි”

නිමල් ජයවීර මහතාගේ හෙළිදරව්වලට අනුව ලුනු පිටියේ අක්කර 70ක වගා බිම් ප්‍රමාණයක් වැව්වල අපතේ යන ජලයෙන් අස්වැද්දීමට හැකි නමුත් ඒ සඳහා ජලය ගෙන යෑමට ඇළ වේලි පද්ධතියක් නොමැති වීමේන් එය කළ නොහැකිවී ඇත.

මෙම හෙළිදරව්වට අනුව අප රාජාංගණ ප්‍රාදේශීය සභාවේ සභාපති ජී.එච්. සරත් ගාමිණි මහතාගෙන් මෙහි ඇති මාර්ග පද්ධතියේ නඩත්තු නොකිරීම ගැන විමසූවිට ඔහු පැවසුවේ මෙතරම් දිගු මාර්ග පද්ධතියක් ප්‍රතිසංස්කරණය කිරීමට සභාවේ වත්කම නොමැති බවයි. පළාත් සභාව විසුරුවා හැරීම හේතුවෙන් මෙම ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට නොහැකි වී ඇති අතර සභාවට දරා ගැනීමට හැකි පරිදි මෙම මාර්ගයේ ඇතැම් කොටස් වරින් වර ප්‍රතිසංස්කරණය කළ බවද පැවසීය.

[පබුදු සපුතන්ත්‍රී]

ඡායා [කැළුම් ලියනගේ]

මාතෘකා