නිර්මාණශීලිත්වය  හඳුනා ගැනීම සාර්ථකත්වයේ රහසයි

 ඡායාරූපය:

නිර්මාණශීලිත්වය  හඳුනා ගැනීම සාර්ථකත්වයේ රහසයි

වෛද්‍ය හේෂානි කරුණාතිලක

අපි කෙතරම් වෙහෙසකාරී දිවිපෙවෙතක් ගත කළත් යම් මොහොතකදී ජීවිතය දෙස ආපස්සට හැරී බලනවා. ඒ සිතා බැලීම් අතර ජයග්‍රහණ, දුක් කම්කටොලු, සිනහවන්, රෝග පීඩාවන් සියල්ලක්ම ගැබ්ව තිබෙන්නට පුළුවන්. නමුත් අපි ආපස්සට සිතා බැලූ ඒ කාරණාවල සතුටු විය හැකි බොහෝ කරුණු අප සිත්හි සුරක්ෂිතව තබා ගන්නවා. ඒවා අපේ ඉදිරි ජීවිතයට අත්වැලක් කරගන්න අවස්ථාද බොහෝ තිබෙනවා.

කාන්තාව හැඳින්වීමට බොහෝ නිර්වචන තිබුණත් ඇය ස්වභාවධර්මය විසින් නිර්මාණය කරන ලද අපූර්වතම නිර්මාණය යැයි කීම නිවැරදියි. පවුල් ඒකකයක් තුළ බහුවිධ කාර්යයන් සියල්ලක්ම කරන්නේ කාන්තාව අතින්. ඒ ඇයට වැඩ කටයුතු සියල්ලම සමබරව කරගෙන යාමේ විස්මිත හැකියාව පවතින නිසායි. කාන්තාවක් තවත් සුවිශේෂ වන්නේ එවිටයි. මේ, එම සුවිශේෂ වූ කාන්තාවන් අතරිනුත් සුවිශේෂී චරිතයක්.

මේ කියන්නට යන්නේ වෛද්‍යවරියක් ලෙසට තම වෘත්තීය ජීවිතය තෝරා ගත් කාන්තාවක් වන වෛද්‍ය හේෂානි කරුණාතිලක මහත්මිය ගැනයි. ඇය වෛද්‍යවරියක්, බිරිඳක්, මවක්, යෙහෙළියක් වගේම හොඳ මැහුම් ගෙතුම් නිර්මාණ ශිල්පිනියක්. ඇය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ යොවුන් පියස, මිතුරු පියස උපදේශන මධ්‍යස්ථානය බාර වෛද්‍ය නිලධාරීනිය ලෙස කටයුතු කරනවා. වෛද්‍ය වෘත්තීයේද වසර 20ක පමණ පළපුරුද්දක්ද ඇය සතුයි. මේ විදියට ඇය කෙතරම් කාර්යබහුල වුණත් තමන් අතින් සමාජයට මෙන්ම පවුලේ සියලුදෙනාටද ඉටු විය යුතු යුතුකම් වගකීම්ද පැහැර නොහරින කාන්තාවක්. ඇය අත්කම් නිර්මාණ කිරීමට දක්වන්නේ විශේෂ හැකියාවක්. තම සිතට නැඟෙන්නාවූ සිතුවිලි අත්කම් බවට පත්කරමින් ඉතා අලංකාර නිර්මාණ ඇය අතින් නිර්මාණය කරනවා.

සමාජයේ ඇතැම් කාන්තාවන් තමන් නියැළී සිටින වෘත්තියට අමතරව තම පවුලේ ආර්ථිකමය දියුණුවක් උදෙසා ස්වයං රැකියාවක යෙදීම දැකගන්නට පුළුවන්. නමුත් වෛද්‍ය හේෂානිට නම් මෙය ස්වයං රැකියාවක් නොවෙයි. ඒ පිළිබඳ ඇය මෙවන් අදහසක් පැවසුවා.

“මම කුඩා කාලයේ ඉඳන්ම අත්කම් නිර්මාණවලට දක්ෂයි. මගේ අම්මත් මැහුම් ගෙතුම්වලට දක්ෂ කෙනෙක්. මේ අත්කම් නිර්මාණ සියල්ලම කරන්නේ විශේෂ හැදෑරීමක් නොකරයි. මේ හැකියාව සහ මේ කලාව මගේ අම්මාගෙන් ලැබුණු දයාදයක් වෙන්නට පුළුවන්. මේ සියල්ල මාගේ ස්වයං නිර්මාණයි.”

ඇයගේ දක්ෂතා පිළිබඳව ඇය නිහතමානීව සතුටක් ලබනවා වගේම වෛද්‍යවරියක් ලෙසට තම කාරුණික සේවය අඩු නැතිව මහජනතාවට ලබාදෙන්නත් අත්කම් නිර්මාණවලට කෙසේ හෝ වේලාව වෙන්කර ගන්නත් ඇය සමත් වෙලා තියෙනවා. ඇය ඒ ගැනත් කියන්නේ ඉතා ආඩම්බරයකින්.

“‘Handy creations’ මගේ නිර්මාණ ශක්තියයි.” ඇය යළිත් කතාව ඇරඹුවා.

“මම 2006 සිට 2012 දක්වා අවුරුදු හයක් වැනි කාලය තුළ ප්‍රදර්ශන ‘Handy creations’ 12ක් පැවැත්වුවා. ඉන්පසුව මේ අවුරුද්ද මුලදී ‘Handy fruits’නමින් තවත් නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්වුවා. Handy Christmas, Handy Rainbow, Handy Harvest, Handy Woman, Handy Kitchen මේ වගේ විවිධ තේමාවලින් තමයි මම අත්කම් නිර්මාණය කළේ. මගේ අත්කම් නිර්මාණවලට හැමොගේම හොඳ ප්‍රතිචාර මුල සිටම ලැබුණා. ඒ අගයකිරීම් මට තව තවත් අත්කම් නිර්මාණ කිරීමට පෙළඹීම් ඇති කළා. ඒ ලැබුණ ශක්තිය නිසාම අද වන විට මට ප්‍රදර්ශන 13ක් පවත්වන්නට හැකියාවද ලැබුණා. ඉදිරියේදිත් තවත් නිර්මාණ වගේම ප්‍රදර්ශන බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒවාට මම දැන් ඉඳලාම ලෑස්ති වෙනවා.”

ඇය නිපදවන අත්කම් නිර්මාණයන් අතර අලංකාරවත් අත්පිස්නා, මේස ඇතිරිලි, බෑග් වර්ග, රෙදිවලින් නිම කරන ලද විසිතුරු බිත්ති සැරසිලි, කුර්තා ඇඳුම් මොස්තර ආදිය වෙනවා. ඒ සියල්ලක්ම එකකට එකක් පරයන අලංකාර නිර්මාණ. ඒ සියල්ලකින්ම පෙන්නුම් කරන්නේත් ඇයගේ දක්ෂතාවයි.

මේ රට තුළ දිරිය කතුන් හිඟ නමුත් වෛද්‍ය හේෂානි සමස්ත කාන්තාවන්ට ඉතාමත් හොඳ ආදර්ශයක්. ඇයට මඟතොටේදී හමුවන අයකුට, ඇයගේ මිතුරු හවුලේ සියල්ලන්ටම මෙන්ම ඇයගේ කාරුණික සේවය සොයා එන සියල්ලන්ටම ඇය ඉතාමත් විශිෂ්ට මඟ පෙන්වන්නියක් බවට නිතැතින්ම පත්වෙනවා. ඇයගේ මෙම සොඳුරු කතාබහේදී මතුවුණු කාරණා අතර හඳුනා ගන්නට ලැබුණේ ඇය වචනයෙන් පවා තමා අවට සිටින සියල්ලන්ගේම ජීවිත අලෝකමත් කිරීමට උපන් හපන්කමක් දක්වන බවයි. ජීවිතය දිනන්නට උත්සාහය, කැපවීම,ධෛර්යය, අධිෂ්ඨානය සහ නිර්භීතකම හැම මෙහොතේම උපකාරී වන බව ඇය කිහිප විටකදීම මෙම කතාබහේදී සිහිපත් කළා.

කාන්තාවක් හෝ පිරිමියෙක් වේවා කාර්යබහුලත්වය කාටත් පොදුයි. කාර්යබහුල වුවත් ලැබෙන කුඩා වේලාව අර්ථවත්ව යොදා ගැනීමට ඇය අමතක කළේ නැහැ. විවේකය ඵලදායී ලෙස ගත කිරීම ඇයගේ ආශාව වුණා. වාසනාවකට රැකියාව, ගෙදරදොර වැඩකටයුතු සියල්ලම නිසි ලෙස කළමනාකාරීත්වයෙන් යුතුව කරගැනීමේ හැකියාවද ඇයට අඩු නැතිව පිහිටා තිබුණා. ඇය ඒ පිළිබඳව කිව්වෙ මෙහෙම කතාවක්.

“මට ලැබෙන කුඩා වේලාවක් හෝ ප්‍රයෝජනවත් දෙයකට යොදාගන්න මම කැමතියි. ගෙදරදොර සියලුම වැඩකටයුතු නිම කරන්නේත් මගේ අතින්. පවුලේ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. පුතාලා දෙන්නත් ස්වාමිපුරුෂයාත් කාර්යබහුල වුණත් ඔවුනුත් මගේ අත්කම් නිර්මාණ කරගන්න නිදහස දීලා තියෙනවා. අත්කම් නිර්මාණවලට මගේ ස්වාමිපුරුෂයාත් පුළුවන් හැමවෙලේම සහයෝගය ලබා දෙනවා. ඔහුත් වෛද්‍යවරයෙක්. ඔහු මට නිතැතින්ම ශක්තිය ලබාදෙමින් මා සමඟ යහළුවෙක් වගේ සිටිනවා. මගේ අම්මාත් ස්වමිපුරුෂයාගේ අම්මාත් දෙන්නම මහන්න කැමතියි. අම්මලා දෙන්නත් මේ වැඩවලට මට ගොඩාක් උදව් වෙනවා.”

අත්කම් නිර්මාණ කරගෙන යාමේදී ඇතැම් වෙලාවන්ට කාර්යබහුලත්වය බාධාවක් වුණත් ඇය එයද බාධාවක් කර ගත්තේ නැහැ. ඇයට පැමිණි සියලු බාධක, අභියෝග පිළිබඳවත් ඇය දැක්වූවේ මෙවන් අදහසක්.

“මම ගොඩාක් වෙලාවට කාර්ය‍බහුලයි. මම කලින් සේවය කළේ පානදුර රෝහලේ සුවදිවි සායනය සහ යොවුන් පියස වෛද්‍ය සායනය බාර වෛද්‍ය නිලධාරිනිය ලෙසටයි. එතකොට මම වැඩට යන අතරතුරත් මැහුම් ගෙතුම් කළා. මම වැඩට යන්නේ බස් එකේ. ඒ පොඩි වෙලාවෙත් මං මැහුම්වල යෙදුණා. මම කාර්යබහුල නිසාම ගොඩාක් වැඩ කටයුතු ඉක්මනට කරන්නත් පුරුදු වෙලා හිටියා. අත්කම් නිර්මාණවලට අදාළ රූප එහෙම පිටපත් කිරීම්වලින් තොරව අතේ මිම්මටම මට කරන්න හැකියාව තිබෙනවා.”

සියලුම ශ්‍රී ලාංකික කාන්තාවන්ට ආදර්ශයක් වීමට වගේම ඔවුන්ට අවසානයේදී උපදේශයක් දීමටද මේ අපූරු වෛද්‍යවරිය අමතක කළේ නැහැ.

“ස්වභාවයෙන්ම කාන්තාව නිර්මාණය කරලා තියෙන්නේ නිර්මාණශීලී දෑතක් ඇතිවයි. නිර්මාණ ශක්තිය කියන්නේ කාන්තාවන්ටම පොදු ගුණයක්. පිරිමි පාර්ශ්වයටත් ඒ හැකියාව නැතුවාම නොවෙයි. නමුත් මම හිතනවා කාන්තාවන් වන අපි හැමෝටම යම් යම් මට්ටම්වලින් නිර්මාණශීලීත්වය තිබෙනවා කියලා. තමන් තුළ ඇති නිර්මාණශීලීත්වය පළමුව හඳුනාගෙන වැඩිදියුණු කරගන්න උත්සාහ කරන්න ඕනෑ. තවත් එක් වැදගත් දෙයක් වෙන්නේ යම් දෙයක් කරනවාමයි කියලා අපි අධිෂ්ඨාන කරගන්න ඕනෑ. මොන බාධකය ආවත් අප තුළ අධිෂ්ඨානය තියෙනවා නම් ඒ දේ කරන්න හරිම ලේසියි. එය අපේ ජීවිතයේ සාර්ථකත්වයේ පළමු පියවර කිව්වොත් නිවැරදියි.”

ඇය දුන් ආදර්ශය සමස්ත කාන්තාවන්ම ආදර්ශයක් කරගන්නවා නම් නෑ, බෑ කියන්නට කිසිම කාන්තාවකට අවශ්‍ය වෙන්නේ නෑ. එය ස්වාධීනව නැඟී සිටින්නටත් කාන්තාවන්ට ශක්තියක් වේවි.

සටහන [තියේෂා ද සිල්වා]

මාතෘකා