පරණ අලුත් හොරු එක මිටට තබා පරද්දන්න ජනතාවට අවස්ථාව උදාවී තිබෙනවා

 ඡායාරූපය:

පරණ අලුත් හොරු එක මිටට තබා පරද්දන්න ජනතාවට අවස්ථාව උදාවී තිබෙනවා

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

මුළු රටම සොයමින් ඇති සැබෑ විකල්පය ජනතා විමුක්ති පෙරමුණ සතුව ඇති බවත් පරණ හොරු සහ අලුත් හොරු එක මිටට තබා පරාජය කිරීමේ අවස්ථාව ජනතාවට උදා වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (12) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද කීය.

“රටේ මූල්‍ය විනයත් පරිපාලන විනයත් බිඳ වැටිලා. වංචා, දූෂණ, නාස්තිවලට සම්බන්ධ හොරු, මංකොල්ලකාරයෝ දේශපාලන ඩීල්වලට ගිහින් බේරිලා ඉන්නවා. ඒ නිසාම රටේ ජනතාව මේ වෙනකොට වැඩපොළේ, බස් හෝල්ට් එකේ, මඟතොටේ හැම තැනම කතාබහ වෙනවා කොළ පාට පාලනයත් නිල් පාට පාලනයත් දෙකම එපා, විකල්පයක් ඕනෑ කියලා. පරණ හොරුත් එපා, අලුත් හොරුත් එපා කියලා කතාබහක් ඇතිවෙලා තිබෙනවා. රට ගොඩනඟන්න නම් විකල්ප බලවේගයක් ඕනෑ කියලා ජනතාව කතාබහ කරනවා.

“මහනායක හාමුදුරුවන් වහන්සේලා, අනෙකුත් ආගමික නායකතුමන්ලාගේ එකඟතාවයෙන් ශ්‍රී ලංකාවට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම උදෙසා සුදුසුකම් ඇති මැතිවරණ අපේක්ෂකයන් තෝරා පත්කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයන් හා මහජනතාව වෙත නිර්දේශ ප්‍රමාණයක් ඉදිරිපත් කළා. ඒ සඳහා මල්වතු, අස්ගිරි, අමරපුර, සහ රාමඤ්ඤ මහ නිකායන්වල මහනායක හාමුදුරුවන් වහන්සේලා, කොළඹ අගරදගුරු හිමිපාණන්, ලංකා සභාවේ රදගුරු හිමිපාණන්, සමස්ත ලංකා හින්දු සම්මේලනයේ කුරුක්කල්තුමා සහ ජමියතුල් උලමා සභාවේ සභාපතිතුමන් අත්සන් කොට තිබෙනවා. රටේ ඊළඟ දේශපාලන නායකත්වය සහ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් වන නියෝජිතයන්ට මෙම නිර්දේශ වලංගු වෙනවා. එම නිර්දේශවල පැහැදිලිව සඳහන් වෙනවා අපරාධ වැරදිවලට වරදකරු වී ඇති අපේක්ෂකයන් නඩු පවතින අපේක්ෂකයන් සඳහා නාමයෝජනා ලබා නොදිය යුතුයි කියලා. වර්තමානයේ අපේ රටේ මැතිවරණවලට

තරගවදින අපේක්ෂකයන්ගේ නුසුදුසුකම් නිසා ආගමික නායකයන් එක් වී මෙලෙස නිර්දේශ ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න කටයුතු කළා. සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධානවලට ආරාධනා කරලා ඔවුන් ඉදිරියේ තමයි මෙම නිර්දේශ ඉදිරිපත් කළේ. රට ඉල්ලා සිටින්නේ එවැනි අපේක්ෂකයන්. නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ ඊට හාත්පසින් පරස්පර දේවල්.

“ජනතා විමුක්ති පෙරමුණත් තවත් දේශපාලන කණ්ඩායම්, සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන්, වැඩකරන ජනතාව, ගොවි සමිති, ධීවර සමිති එක්ව ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ විකල්ප බලවේගයක් ගොඩනඟා තිබෙනවා. මෙතෙක් කල් රට පාලනය කළ කණ්ඩායම් දෙකට එරෙහිව නව බලවේගයක් ලෙස එය ගොඩනඟා තිබෙනවා. එම ජාතික ජන බලවේගයේ පාර්ශ්වකරුවන්ගේ අනුමැතියත් සහිතව මෙවර ජනාධිපතිවරණය සඳහා නව අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ රට විනාශ කළ, කැරකොප්පුවක් බවට පත්කළ පැරණි පාලකයන් පරාජයට පත්කොට නව ගමනක් ආරම්භ කිරීම සඳහා අපි කටයුතු කරනවා. අපේ රට ණය උගුලක හිරකරපු මේ පාලකයන්ට එරෙහිව ජන බලයක් ගොඩනඟනවා. ලබන 18 වැනිදා ගෝල්ෆේස් පිටියේ පවත්වන මහ රැලියේදී නව බලවේගයේ අපේක්ෂකයා රටට ප්‍රකාශයට පත් කරනවා.”

මාතෘකා