අපේක්ෂිකාවක් නැති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ

 ඡායාරූපය:

අපේක්ෂිකාවක් නැති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ

මේ වසර අවසන් භාගයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල අවධානය යොමු වී තිබේ.

සිය අපේක්ෂකයා කවුරුන් විය හැකි දැයි ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම විවිධ අදහස් ඉදිරිපත් කරන අතරවාරයේ මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයන් රැසක්ද ඉදිරිපත් වන බව මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.

එහෙත් කිසිදු අපේක්ෂිකාවක සම්බන්ධයෙන් මෙතෙක් අදහස් පළ නොවීම මේ මැතිවරණයේ විශේෂත්වයකි. කාන්තාවන් බහුතරයක් වාසය කරන රටක ස්වාධීන අපේක්ෂකයකු ලෙසින් හෝ කාන්තාවක් ඉදිරිපත් නොවීමට හේතුව කවරේද?

වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 225 දෙනා අතරින් කාන්තාවන් සිටින්නේ 13 දෙනකු පමණි. ඒ අනුව ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වුවද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා ප්‍රතිශතය 5.8%ක් පමණි. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන් ප්‍රමාණය දැඩි ලෙස ඉහළ දමමින් පළාත් පාලන ආයතනවලට කාන්තාවන් 25%ක් පත්කිරීමේ කෝටාවක් ඇති කෙරිණ.

කාන්තාවක ඉදිරිපත් නොවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ දෙසට 2019 ජනාධිපතිවරණයේ යම් තරමක අවධානයක් යොමුවී තිබිණ. මෙවර තමන්ට තරග කිරීමට නොහැකි බැවින් ඒ බලය තමන් වෙත ලබාගැනීම පිණිස හිටපු ජනාධිපතිවරයා සිය බිරිඳ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පෙළඹෙනු ඇතැයි ඇතැම් විචාරකයෝද පැවසූහ.

කෙසේ වෙතත් ලංකා ඉතිහාසය ගත් විට කාන්තා ජනාධිපති අපේක්ෂිකාවන් ජනාධිපතිවරණයන්ට ඉදිරිපත්ව ඇත්තේ තෙවතාවක් පමණි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණවල අපේක්ෂකයන්ට සාපේක්ෂව අපේක්ෂිකාවන් ඉදිරිපත්ව ඇත්තේ මේ අයුරිනි.

1982 - අපේක්ෂකයන් 5යි. අපේක්ෂිකාවන් නොමැත.

1988 - අපේක්ෂකයන් 3යි. එක් අපේක්ෂිකාවක් පමණයි. (සිරිමාවෝ බණ්ඩාරනායක)

1994 - අපේක්ෂකයන් 6යි. අපේක්ෂිකාවන් 2යි. (චන්ද්‍රිකා කුමාරතුංග, ශ්‍රීමා දිසානායක)

1999 - අපේක්ෂකයන් 13යි. අපේක්ෂිකාවන් 1යි. (චන්ද්‍රිකා කුමාරතුංග)

2005 - අපේක්ෂකයන් 13යි. අපේක්ෂිකාවන් නොමැත

2010 - අපේක්ෂකයන් 22යි. අපේක්ෂිකාවන් නොමැත

2015 - අපේක්ෂකයන් 19යි. අපේක්ෂිකාවන් නොමැත.

1994දී ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයන් කාන්තාවන් වීමේ සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දෙවරක් ජනාධිපති වී 2005 වසර දක්වා ශ්‍රී ලංකා දේශපාලනයේ හා රටේ මුල් පුටුව කාන්තාවක විසින් උසුලනු ලැබීම දක්වා කෙටිකාලීන පරිවර්තනයක් සිදුවිය. එසේ පැවැති තත්ත්වය මොහොතකට වෙනස් වුවද 2005 වසරේ සිට එම තත්ත්වය යළිත් වතාවක් සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. අවසන් ජනාධිපතිවරණ තුනේදීම කිසිදු අපේක්ෂිකාවක් ජනාධිපතිවරණයට තරග කිරීමට ඉදිරිපත් නොවීම සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකිය.

"ඇත්තටම මේක කනගාටුදායක තත්ත්වයක්. වර්තමානයේ දේශපාලනයේ යෙදිල ඉන්න අතලොස්සක් වූ කාන්තාවන්ට එල්ලවෙන ප්‍රශ්න දැක්කම කිසිම කාන්තාවක් ජනාධිපතිවරණ අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් නොවීම පුදුමයක් නොවේ."

සිවිල් ක්‍රියාකාරිනියක් වන වසන්ති සේනාරත්න මේ තත්ත්වය ගැන එසේ කියා සිටියාය.

වසන්ති සේනාරත්න, 2015 ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගත් සාධරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නියෝජිතවරියකි. මෙවර ජනාධිපතිවරණයටද අපේක්ෂිකාවක් ඉදිරිපත් වන ආකාරයක් දක්නට නොලැබීම ගැන ඇගෙන් විමසූ විට ඇය පැවසුවේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වැනි කාන්තාවක මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුය යන්න සිය පෞද්ගලික මතය බවයි.

වර්තමාන දේශපාලන සංස්කෘතිය වෙනස් නොවන තත්වයක් තුළ අපේක්ෂිකාවන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම සිදුනොවනු ඇතැයිද ඇය පවසයි.

"මේ දේශපාලනයේ ඉන්න කාන්තාවන් ටික දෙනාටත් සමාජ මාධ්‍යවල ලිංගිකත්වය මුල්කරගෙන කියන කතා ඇහුවම අනෙක් කාන්තාවන් ඉදිරිපත් වෙයි කියලා හිතන්න පුළුවන්ද?" වසන්ති සේනාරත්න ප්‍රශ්න කළාය.

52%ක් මේ රටේ ඉන්නේ කාන්තාවන් නම් ඔවුන්ට කාන්තාවක් දේශපාලනය කිරීමට ඉදිරිපත් කරගත නොහැක්කේ ඇයි? ඡන්ද දායක සාමාන්‍ය පුරවැසි කාන්තාවන් කාන්තාවකට ජන්දය ලබාදෙන්නේ නැද්ද? මේ සාමාන්‍යයෙන් මේ ගැන කතාබහ කරන විට මතුවන ගැටලුය.

"ඉදිරිපත් වෙන්න එපැයි කාන්තාවන්ට ඡන්දේ දෙන්න. අපි කැමතියි කාන්තාවන් ඉදිරියට එනවට. මොකද කාන්තාවෝ හොරකම් සහ මැර වැඩ කරන්නේ නැහැ." වෙළෙන්දියක වන මිලානි සිල්වා කියා සිටියාය.

"පිරිමින්ට තියෙන නිදහස අපිට තියෙනවද. අපිට ගෙදර දොර වැඩ, ළමයින්ගෙ වැඩ තියෙනවා. ඉතින් කොහෙද දේශපාලනය කරන්න වෙලාවක්?" කාන්තාවන් දේශපාලනයට ඉදිරිපත් නොවීම ගැන ඇය හේතු කීවේ එලෙසය.

"මෙහෙමයි, වැඩකරන කෙනාට තමයි දෙන්නේ. අපිත් චන්ද්‍රිකා නෝනා ජනාධිපති කරන්න ඡන්දේ දැම්මා. හැබැයි කාන්තාවක් ජනාධිපති කළා කියල විශේෂත්වයක් වුණේ නැහැ. ඔක්කොම එකයි. අපි හැමදාම පොළේ බඩු විකුණනවා." තවත් වෙළෙන්දියක් වන චන්ද්‍රලතා තම අදහස ඉදිරිපත් කරමින් කියා සිටියාය.

රටේ පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂිකාවක් වන සමන්ති ජයසේකර පැවසුවේ පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂිකාවන් බහුතරයක් දේශපාලන පවුල්වලින් පැවත එන්නන් නිසා ඔවුන්ගෙන් යහපත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කාන්තාවන්ට බයද?

"මේ පාරත් කාන්තාවක් දැම්මොත් එක්කෝ එයා කවුරු හරි දේශපාලකයකුගේ බිරිඳක් නැත්නම් දුවක්. එහෙමත් නැත්නම් සහෝදරියක්. ඒවගේ අයගෙන් යහපත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද ඔවුන් එන්නේ තම පවුලේ දේශපාලන මතවාදය ඉදිරියට ගෙනියන්න. කාන්තාවන් කාන්තාවන්ට ජන්දේ දෙන්නේ නැත්තේ ඒක තමයි. ඔවුන් දන්නවා මේ ඉදිරිපත් කරන කෙනා එන්නේ සුදුසුකම් මත නොවෙයි කියලා." ඇය පැවසුවාය.

කෙසේ නමුත් වෙරිටේ පර්යේෂණ ආයතනයේ ක්‍රියාකාරිනියක වන දීපාන්ජලී අබේවර්ධන දේශපාලන පවුල්වලින් කාන්තාවන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් එල්ලවන විවේචන ගැන අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ පුරුෂයන්ද බහුතරයක් දේශපාලනයට පිවිසෙන්නේ දේශපාලන පවුල්වලින් බවයි. එම තත්ත්වය දෙපාර්ශ්වයටම පොදු තත්ත්වයක් බවත් ඇය පෙන්වාදෙයි.

මෙවර ජනාධිපතිවරණයට කාන්තාවන් ඉදිරිපත් වීමට නම් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙන් අපේක්ෂිකාවන් ඉලක්ක කරගනිමින් සිදුවූ චරිත ඝාතනයන්, ලිංගිකත්වය මුල් කරගනිමින් සිදුවූ විවේචන සිදුනොවන පරිසරයක් ඇති කළ යුතු බවද ඇය පැවසුවාය.

ලියාපදිංචි දේශපාලන පක්ෂ අපේක්ෂිකාවන් ඉදිරිපත් නොකිරීම අවසන් වරට පැවැති ජනාධිපතිවරණ තුන සඳහා අපේක්ෂිකාවන් නොමැති වීමට හේතු වී ඇති බව මේ ගැන බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ හිටපු මැතිවරණ කොමිෂන් ජනරාල් එම්.එම්. මොහොමඩ් කියා සිටියේය.

"ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්න පුළුවන් හිටපු හෝ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට විතරයි. අපේ පාර්ලිමේන්තුවල මන්ත්‍රීවරියන් ඉඳල තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ නිසා ස්වාධීනව ඉදිරිපත් වෙන එක වෙන්නෙත් නැහැ." ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

(බී.බී.සී. සිංහල සේවය ඇසුරිනි.)

මාතෘකා