මිරැන්ඩාගේ ළමා ගීත සඳහා ජපානයේ සම්මාන

 ඡායාරූපය:

මිරැන්ඩාගේ ළමා ගීත සඳහා ජපානයේ සම්මාන

මේ රට ම‍ගෙ රට ගීතය මාලනී බුලත්සිංහල විසින් ගායනා කළ අතර එය අදටත් ජනප්‍රිය ගීතයක් ලෙස විවිධ අවස්ථාවලදී වාදනය වේ. එහි සංගීතය ඔස්ටින් මුණසිංහ විසින් සපයන ලදි. මිරැන්ඩා හේමලතා විසින් ලංකා දේසේ ගීතය ලියන ලද්දේ ළමා පරපුරට ලාංකේය ඉතිහාසය මතක් කර දීම හා දේශනුරාගය ඇතිකිරීමටය.

සරු පස ඇත්තේ කොයි කොයි දේසේ

සරු පස ඇත්තේ ලංකා දේසේ

කලට වහින්නේ කොයි කොයි දෙසේ

කලට වහින්නේ ලංකා දේසේ

විහාර දේවී කොයිද උපන්නේ

කැලණි රටෙයි ඒ ඔවුන් උපන්නේ

මද්දුම බණ්ඩා කොයිද උපන්නේ

මලය රටෙයි ඒ පුතුන් උපන්නේ

ගැමුණු කුමරුවා කොයිද උපන්නේ

රුහුණු පුරේ රජ මැදුරෙ උපන්නේ

වීර පුතුන් ලොව කොයිද උපන්නේ

ලංකා මවගේ තුරුලෙ උපන්නේ

රට වෙනුවෙන් වැඩ කරන ගොවිරාල හා වෙනත් ශ්‍රමිකයන් පිළිබඳව රසවත් ගීතයක් ලිවීමට මිරැන්ඩා සමත් විය.

උදැල්ල ගෙන මම කුඹුරට යනවා

කුඹුරු කොටාලා වී වපුරනවා

ගොවිරාලයි දැන් මට කියනා නම

කදේ මාළු මම බරට ගෙනෙනවා

තෝර මෝර බල කදෙන් ගෙනෙනවා

කත්කාරය දැන් මට කියනා නම

පේර ජම්බු අඹ වෙරළු ගෙනෙනවා

වට්ටි පුරා ලොවි හිඹුටු ගෙනෙනවා

වට්ටි අම්මා දැන් මට කියනා නම

ජනප්‍රිය ජන කවියක් වූ ටිකිරි ටිකිරි ටිකිරි ලියා වචන ගෙන ඇය ළමා සිත් සතන් සනසාලන ගීතයක් නිම කළාය. එෆ් එම් නාලිකා වැඩිවීමත් සමඟ මෙම ගීත ඇසීම වැඩි වූවා නොව ඇසීම ඉතා කලාතුරකින් ඇසෙන තත්ත්වයට පත්විය.

ටිකිරි ටිකිරි ටිකිරි ලියා

පුංචි කලය උකුලෙ තියා

තාලයකට පාද තියා

හෙමින් සැරේ ළිඳට ගියා

කඹය අතට ගත්ත ටිකිරි

කළයේ කට තදින් බැඳපි

කළය රැගෙන පරිස්සමින්

හෙමින් සැරේ ළිඳට දමයි

කළය ළිඳට දාලා වතුර අරන් නෑවා

හරි සතුටක් පාලා ගහක් මුලට ආවා

මල් ගවුමක් ඇන්දා කොණ්ඩෙ පීර ගත්තා

හිසේ මලක් රන්දා කළය අතට ගත්තා

ටිකිරි ටිකිරි ටිකිරි ලියා

පිරුණු කළය හිසේ තියා

තාලයකට පාද තියා

සිනා සිසී ගෙදර ගියා

එම ගීත හා කළුම කළුයි හරිම හැඩයි මගේ පුංචි හඳයා වැනි ළමා ගීත රාශියක් ගීත සාහිත්‍යයට එක් කිරීමට මිරැන්ඩාට හැකි විය. ඒ සඳහා ඇයට අමතර කාලයක් නොතිබුණද වුවමනාව විසින් ඇය එයට කාලය සොරා ගත්තේ ගමන් බිමන් යන අතරතුරේදීය. මේ ඉදිරිපත් කළ නිර්මාණ හරහා ඇයට ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාථමික වැඩසටහන් සඳහා යෑමට හැකි විය. ඒ 1974 වසරේ අග භාගයේදී පමණය. ඇගේ ප්‍රථම ළමා ගීතය ඇය ජාත්‍යන්තර පිළිගැනීමක් දක්වා ඔසවා තැබීය. එමෙන්ම ඊට සහභාගි වූ මිරැන්ඩාටත් මාලනී බුලත්සිංහලට හා ඔස්ටින් මුණසිංහට ජපානයෙන් සම්මාන 3ක් හිමි විය. ඇගේ ගුවන්විදුලි ගීත රචනා වූයේ ළමා ගීත සාහිත්‍යය පෝෂණය කිරීම උදෙසාය. මිරැන්ඩා ලංකාව දුටුවේ ඉතා චමත්කාර පරිසරයකින් හෙබි රටක් ලෙසය. ඇත්තෙන්ම මේ රට කොතරම් පියකරුද? ලස්සනද? ඇය සිතුවාය. ඇය මේ රටේ ඉපදෙන්න ඇත්තේ යම්කිසි දෛවෝපගත හේතුවක් නිසා යැයි ඇය සිතුවාය. ඇගෙන් මේ රටට විශාල සේවාවක් ඉටු කළ යුතු යැයිද ඇය සිතුවාය.

රට ලස්සන වන්නට දැකුම්කළු පරිසරයක් පමණක් ප්‍රමාණවත් නොවේ. රටේ මිනිසුන්ගේ චර්යාවන් සිතුම් පැතුම් ආකල්පයන්ද පොහොසත් විය යුතුය. ආත්මාර්ථය පමණක්ම පෙරදැරිව තමාගේ අවයව පමණක් සතුටු කිරීමට මාන බලන තත්ත්වය වෙනස් කළ යුතුය. රටේ මීළඟ පරපුරට රට ගැන හා මිනිසත් ගුණ වගාව ගැන හැඟීමක් දැනීමක් ඇති කළ යුතුය. මේ උත්සාහය ඇයගේ එම කටයුත්තටය. රටක් යහමඟට ගැනීමට නම් කුඩා දරුවන්ගේ සිට නිවැරදි මාර්ගයකට යොමු කළ යුතුය. දරුවන්ට රසාස්වාදය ඉගැන්විය යුතුය. ඔවුන්ට හොඳ මිහිරි දේශානුරාගී ගීත අසන්නට ගයන්නට පුරුදු පුහුණු කළ යුතුය. එහෙත් ඒවා විරලය.

මිරැන්ඩා හේමලතාට තමා ලියන ගීත පමණක් ප්‍රමාණවත් නොවීය. ඇය වහා ක්‍රියාත්මක වී තම මිතුරු හමුදාවේ ගීත රචනා ලිවීමේ දක්ෂයන්ගෙන් උදවු උපකාර ලබා ගැනීමේ ක්‍රියාවලියේද නිරත විය. ඒ වෙනුවෙන් මහගමසේකර, හෙන්රි ජයසේන, ජයලත් මනෝරත්න, එච්. ඩී. ජයතිලක, ඩබ්ලිව්. සිරිල් පෙරේරා ශිල්පීන් සහ ගිරාගම ප්‍රායෝගික පාසලේ සිසු පිරිසද සහභාගි කරවාගෙන රචනා කළ ගීතයක් ඇය ලබා ගත්තාය. ඒවා ළමා ගී වැඩසටහන්වලින් ප්‍රචාරය විය. පසුව එම ගීත රචනාවලට 1977 වසරේදී ස්වර ප්‍රස්තාර, ජී. ඩබ්ලිව් ජයන්ත, ඩබ්ලිව්. ඩී. අමරදේව, ඩබ්ලිව්. සිරිල් පෙරේරා, ඩන්ස්ටන් ද සිල්වා යන ශිල්පීන් ලවා රචනා කර “ගී සීපද” නමින් පොතක් සංස්කරණය කොට මුද්‍රණය කළාය. ඊට මිරැන්ඩා හේමලතා, මහගමසේකර, ජී. ඩබ්ලිව් ජයන්ත සංස්කරණයෙන්ද එක්විය. මේ ගීත ඇතුළත් ළමා වැඩසටහන් පහක් ඇය නිෂ්පාදනය කළාය. ඇයට ගුවන් විදුලියේ කළ ළමා වැඩසටහන් සියල්ල සඳහා ජපානයෙන් ජාත්‍යන්තර සම්මාන 5ක් ලැබිණි. ජපානය විසින් ඇගේ දක්ෂතාවන් සම්මානයට පාත්‍ර කළද ඇගේ වෘත්තිය තුළ හෝ ගුවන් විදුලිය තුළ හෝ කිසි තැනක එය කතා නොකෙරිණි. ඇයට නිසි ගෞරවය ඒ සඳහා ලැබුණි නම් තවත් ළමා ගීත රාශියක් බිහිවන්නට තිබිණි. පසු කලෙක මිරැන්ඩාගේ ළමා ගී, නර්තන ගී සහ භක්ති ගී එකතු කොට ගී අසිරිය නමින් සූර්ය ප්‍රකාශනයක් ලෙස පොතක් එළි දැක්වීය. ඇය රාජකාරියේ කොටසක් ලෙස මීපේ සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ වැඩසටහන් ගණනාවක් සඳහා රචිත ගී එම ග්‍රන්ථයට එක් කෙරිණි. එහිදී භක්ති ගීත, පොසොන් උදාව හා නර්තනාංග ගණනාවක් අලුතින් බිහිවිය.

ඇගේ වෘත්තිය ජීවිතයේ රාජකාරියක් ලෙස පැවරුණු ප්‍රාථමික අංශයේ සේවා සැසි රට පුරා පැවැත්වීම ඇය ඉමහත් තෘප්තියක් ලැබූ කටයුත්තකි. එය රටේම ප්‍රාථමික අංශයේ ගුරුවරුන් හමුවී කරුණු විමසා අත්දැකීම් හුවමාරු කරන නැවුම් අත්දැකීමකි. ඇගේ හැකියාවෙන් කමලා පීරිස් මැතිනිය උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට දක්ෂ වීම රටට භාග්‍යයකි. ඇය එය ස්මරණය කරනුයේ ඉමහත් සතුටිනි. එමෙන්ම ඈ වැඩ කිරීමෙන් ලද අත්දැකීම් බහුලය. කළ යුතු කාර්යයන් කෙසේ හෝ ඉටුකරලීමට ලද අත්දැකීම් ජීවිතය පුරාවට මිරැන්ඩාට ශක්තියක් විය. එමෙන්ම ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වූ බර්ට්‍රන් රසල්ගේ අධ්‍යාපන විධික්‍රම පිළිබඳව මිරැන්ඩාට තිබූ මනා අවබෝධය හේතු කරගෙන ඇය සකස් කළ අධ්‍යාපනයේ පැතිකඩ ගණනාවක් දේශීය සෞන්දර්ය හා ළමා අධ්‍යාපනය ඉහළ නැංවීමට හේතු කාරණා වූ බව රටේ විද්වත් සමාජයේ පිළිගැනීමකි.

මිරැන්ඩා වැඩ කළ හැකි දක්ෂයන් සොයා ගැනීමට දක්‍ෂ බව ඉහළ නිලධාරීන්ගේ මතය විය. එහෙයින් එයට ගැළපෙන සම්මුඛ පරීක්ෂණ ප්‍රධානියකු ලෙස ඇයට අවස්ථා ගණනාවක කටයුතු කිරීමට සිදුවිය. එහිදී ඇය සුදුස්සන් හා දක්ෂයන් පමණක් තෝරා ගැනීමට කදිම උපක්‍රම යෙදවූයේ නුසුදුස්සන් දේශපාලකයන්ගේ ලිපි රැගෙන පැමිණීම වැඩිවීමත් සමඟය. නර්තනය, සංගීත චිත්‍ර හා නාට්‍ය වැනි විෂයයන් ගණනාවක් සඳහා දක්ෂයන් ප්‍රවීණයන් රැකියා විරහිතව සිටින අවස්ථාවලදී ඔවුන්ගේ ජීවිතය ආලෝකමත් කරලීමට කටයුතු කළාය. ගුරු වෘත්තියට අනුබද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීන් වෙනුවෙන් එම දක්ෂයන්ගේ සේවයක් ලබා ගැනීම වෙනුවෙන් රැකියා අවස්ථා ඔවුන්ට ලබා දුන්නාය. එම කිසිම අවස්ථාවක ඇය පුද්ගලිකව ලාභ ප්‍රයෝජන අපේක්ෂා නොකළ බව ඔවුන් සියලු දෙනාම ස්මරණය කරන්නේ ඇය පිළිබඳ ඉමහත් බැතියෙන් හා ගෞරවයෙනි.

මිරැන්ඩාගේ වෘත්තීය නිපුණත්වය හා සෞන්දර්ය ක්ෂේත්‍රයේ අධ්‍යාපනික ව්‍යුහය විඳීමත් කිරීමට කළා වූ කැපවීම ඔවුහු හා එවැනි අනෙක් ගුරුවරුද ඉමහත් භක්ත්‍යාදරයෙන් අනුස්මරණය කරන්නෝය. ඇයට ඔවුන් සම්මුඛ පරීක්ෂණවලදී තෝරාගත් වගවත් ඇය කිසිවිටෙක මතකයේ තබාගෙන නොතිබිණි. සෞන්දර්ය ඒකකයේ උසස්වීම් ලබාදෙන නිලධාරිනිය ලෙස අවස්ථා ගණනාකදී ඇය පත් විය.

එහිදී උසස්වීම් ගැසට් කළ විට අධ්‍යාපන ඇමතිවරයාගේ ලිපි රැගෙන නුසුදුස්සන් පැමිණීම සිරිතකි. මැතිඇමතිවරුද මේ එන අයට විශේෂත්වයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා ලිපි එවති. එය ඇමතිවරයා ළඟට එන සැමට ලියා දෙන බව ඇය දැන සිටියාය. එහෙයින් ඇය ඒ සඳහා සුදුසුකම් ඇති එම ප්‍රදේශවල සියල්ලන් දැනුවත් කරයි. සමහරු ගැසට් පත්‍රය නොදැක ඇගේ මතක්කිරීම මත ක්‍රියාත්මක වූවන්ය. පසුව ඔවුන් කැඳවා කලින් ලිපි එවූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදාළ ඇමතිවරයා ලවා උසස් වීම් ප්‍රමාණය සම්පූර්ණ වන තෙක් එම ඇමතිවරයාගෙන්ම ලිපි ගෙන්වා ගනී.

පසුව ඇය ඇමතිවරයාට දුරකථනයෙන් “ඔබතුමා මෙපමණ ලිපි ප්‍රමාණයක් එවා තියෙනවා. මෙච්චරයි ගන්න තියෙන්නේ. දැන් මොකද කරන්නේ” ලෙස අසයි. එවිට ඇමතිතුමා “ඔය එවූ අයගෙන් හොඳම ටික ගන්න” යැයි පවසන්නේ ඇඟ බේරා ගැනීමටය. දැන් මිරැන්ඩා නිදහස්ය. මෙම සූක්ෂ්ම බුද්ධිය ඇයට ලැබුණේ වෘත්තියට ඇති ලබැඳියාව හා භක්තිය නිසාය. ඇගේ සේවා කාලයේදී එවැනි සේවාවන් ඉටු කරමින් දක්ෂයන්ට පමණක් තැන දීමේදී අදක්ෂයන්ගේ ගල් මුල් ප්‍රහාර එල්ලවීම වැඩිවිය. ඒ කිසිදු ගල් මුල් ප්‍රහාරයකින් ඇය සැලුණේ නැත. ඇය තව තවත් ශක්තිමත් වූවා පමණි. ඇය තව තවත් එයට ඔරොත්තු දෙන යකඩ ගැහැනියක් වූවා පමණි.

පාසල් අතර සංගීතයට හා නර්තනයට අවශ්‍ය භාණ්ඩ නිකුත් කිරීමට ඇය පැහැදිලි වැඩපිළිවෙළක් දියත් කළේය. එක් ප්‍රදේශයක පාසල් සඳහා පළමුව තාලම්පටයක් බෙරයක් දුන්නාට පසුව දෙවැනි වර එම භාණ්ඩ දෙක ගානෙන් ක්‍රමයෙන් වැඩි කරමින් රට පුරා බෙදීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසුමක් සහිතව යැව්වාය. මේ අයුරින් වසර 10ක් පමණ වන විට රටේ සියලුම පාසල් සඳහා අවශ්‍ය උපකරණ දිය හැකි බවට ඇගේ විශ්වාසය වී තිබිණි. එමෙන්ම ළමුන් වැඩි පාසල් සඳහා ළමුන් සිටින ප්‍රමාණය අනුව භාණ්ඩ වැඩි කිරීමටත් එම සැලසුමේ තිබිණි. එහෙත් මේ වන විටත් පාසල්වලින් යවන භාණ්ඩවලින් ගසා කෑමට හුරු වූ කොටසක්ද සිටි අතර මෙයට සම්බන්ධ ලොකු කණ්ඩායමක් ගුරු වෘත්තිය ඇතුළේ සංගීත භාණ්ඩ ව්‍යාපාරයක යෙදී සිට ඇත. වර්තමානයේ මෙන්ම එකලද භාණ්ඩ ගෙන්වන්නේත් ඇණවුම් කරන්නේත් බෙදා දෙන්නේත් එකම කණ්ඩායමකි. ඒ නිසාම ඔවුහු ඇය ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධ වූහ. ඉහළ නිලධාරීන්ට වැඩි පිරිස කියනා දෙය පිළිගැනීමට සිදුවේ. එහෙත් ඔවුන් නොදන්නා දෙය වන්නේ වැඩි පිරිසක් ගසාකෑමට හුරු වී ඇති බවය. එමෙන්ම පසුකාලීනව එවන් කටයුතුවලට දේශපාලනඥයන්ගේ බලපෑමද එකතු විය.

[අනුර දහනායක]

 

ලබන සතියට

අධ්‍යාපන ධවල පත්‍රිකාව හකුළා ගැනීමට

මිරැන්ඩා හේමලතාගේ මැදිහත්වීම

මාතෘකා