හිනාවෙන්නැති බුම්මට්ටයෝ බිහිවෙන සංස්කෘතියක්

 ඡායාරූපය:

හිනාවෙන්නැති බුම්මට්ටයෝ බිහිවෙන සංස්කෘතියක්

සුරත් ද මැල්

සුරත් ද මැල් ලේඛනයට පැමිණෙන්නේ ජනමාධ්‍යවේදියකු වශයෙනි. ඉන් පසුව ජාතික රූපවාහිනියේ නිෂ්පාදකයකු ලෙස කටයුතු කළේය. අනතුරුව දැන්වීම් නිර්මාණය කිරීමේ ආයතනයක සේවය කළේය. එයින් ඉවත් වූ පසු වසර දහයක් තිස්සේ සුරත් ස්ථිර රැකියාවක නිරත වන්නේ නැත. එම කාලය අතරතුරු ලේඛකයා විසින් රචනා කරන නිර්මාණය වන්නේ ‘තී හා තා’ය. ‘තී හා තා’ සුරත්ගේ පළමු නිර්මාණ කෘතිය වේ.

 ඔබගේ සීයා, පියා සහ ඔබ නිර්මාණ රචකයන්. ඒ කියන්නේ ඔබ පරම්පරික ආභාසය නිසා ලේඛනයට යොමු වුණු කෙනෙක්ද?

නෑ. මම එහෙම හිතන්නේ නෑ. මම ලියන්නේ මට ඕන හින්දා. කොහොමටත් ලේඛනය කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට අයිති වන වැඩවසම් ක්‍රමයේ රස්සාවක් නෙවෙයි.

 ඔබ චරිතයකට ආවේශ වෙමින් නිර්මාණයක් බිහි කරන බව පේනවා. එක් අතකට ඔබගේ පියාගේ රචනා ශෛලිය අනුව යමින් චරිතයකට ආවේශ වෙමින් තමාව හාස්‍යයට ලක්කරගැනීමේ ශෛලියක් අනුගමනය කරනවද කියලත් හිතෙනවා. තමාට සිනාසෙන ගුණය පියාගෙන් ලබා ගත් ආභාසයක්ද?

මම විශේෂයෙන් එක්කෙනෙක්ගෙන් ආභාසය ලැබූ බව හිතන්නේ නෑ. සමහරවිට තාත්තා අනාගතයේ මගෙන් ආභාසය ලබාගනීවි.

ඔබගේ ප්‍රශ්නය තියෙන්නේ මෙතැනයි. ලාංකිකයෝ හිනාවෙන්න දන්නේ නැති බුම්මට්ටෝ ජාතියක්. මේ රටේ මහඑකාගේ ඉඳන් පොඩි එකා වෙනකම් කරන්නේ හාස්‍යජනක වැඩ. හැබැයි මිනිස්සු ඒවාට හිනාවෙන්නේ නෑ. එක්කෝ නොදැක්කා වගේ ඉන්නවා. නැත්නම් නහර පිපිරිලා මැරෙන්න තරම් තරහ ගන්නවා. ඒවාට විරුද්ධව සටන් කරන කට්ටිය හරිම අඩුයි. හිනාවෙන කට්ටිය ඊටත් අඩුයි. ඉතින් ලේඛකයෝ කියන්නෙත් මහා සංස්කෘතියේම උප කුලකයක්.

 ‘තී හා තා’ විත්ති කතා, ආත්ම කතා ආදී කතා අතරින් කුමන වර්ගයකට අයත්ද?

මම මේක නවකතාවක් විදියට විතරක් හඳුන්වා දෙන්න කැමතියි. එතනින් එහාට මෙය කියවීම සහ තමන්ට අවශ්‍ය තැනක ස්ථානගතකර ගැනීම පාඨකයාට අයිති වැඩක්.

 කෘතියෙන් අපූරු ලේඛණ ප්‍රතිභාවක් ඉස්මතු වෙනවා. ඒ ප්‍රතිභාවත් සමඟ අලුත් ප්‍රස්තුතයක් රැගත නවකතා නිර්මාණයට යොමු වෙන්න හිතුවේ නැද්ද?

ලෝකයේ තියෙන ලොකුම ප්‍රස්තුතය තමයි රිලේෂන්ෂිප්. මොන නිර්මාණයක් ඇතුළේ තියෙන්නේත් ඕක තමයි. මේ සම්බන්ධතාව විරුද්ධ ලිංගිකයන් අතර වෙන්න පුළුවන්. සමලිංගිකයන් අතර වෙන්න පුළුවන්. නැත්නම් අජීවී වස්තුවක් සමග වුණත් වෙන්න පුළුවන්. මේ කෘතියේ තියෙන්නේ එක්තරා සම්බන්ධතාවක් පිළිබඳ තමයි. සාම්ප්‍රදායික සම්බන්ධතාවක් දිහා අලුත් විදියට බලන්න උත්සාහ කිරීමෙන් තමයි නිර්මාණයක් බිහිවෙන්නේ.

 මේ කතාවේ ඉන්න ගීත්ගේ චරිතය සමාජයේ ජීවත් වෙන පිරිමින්ගෙන් වැඩි ප්‍රතිශතයකගේ සිතුවිලි/ ආශාව ප්‍රතිබිම්බනය කිරීමක් කියලා මම කීවොත්?

ඔව් කියලා සමහර පිරිමි කියාවි. නෑ කියලා සමහර පිරිමි කියාවි. නමුත් තමන්ගේ හිත ඇතුළේ සැබෑ උත්තරය කවුරුත් දන්නවා.

 මේ කතාව ලිවීමේ අරමුණ වුණේ කුමක්ද?

ජීවිතය පිළිබඳ වූ මගේ කියවීමක් අනෙකාට කියවන්න ඉඩ සලස්වලා ඉන් මිදෙන එක තමයි මගේ අරමුණ වුණේ.

 කෘතියේ පිටකවරයේ පින්තූරයේ ඉන්න ටොපිකොල නැට්ටුක්කාරි කතාවේ අතරමඟදී හමුවෙනවා. කතාවේ හමුවන සිදුවීම් අත්දැකීමකින් තොරව මේ තරම් දුරට තාත්විකව ලියන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව යනවා. ඇත්තටම මේක ආත්ම කථනයක්ද?

ඔබ කියන ‘තී හා තා’ නවකතාවේ තියන ලක්ෂණය අනෙක් නවකතාවල නැත්නම් ඔබ ප්‍රශ්න කළ යුත්තේ අනෙක් නවකතාවලින්.

කොහොමත් පිටකවරය නිර්මාණය වෙන්නේ කතාව ඇතුළෙ තියෙන දෙයකින් නේ. ටොපිකොලය කවරයට ආවෙත් එහෙමයි. ඒක පිටකවරය නිර්මාණය කරපු සංජය ඈපා සෙනෙවිරත්නගේ අදහසක්.

 කෘතියට මෙතෙක් ලැබුණු ප්‍රතිචාර මොන වගේද?

බලෙන් නිවල තිබුණු දෙයක් මම අවුළවලා වගේ දැනෙනවා.

 නූතන සිංහල සාහිත්‍ය පරිහානියට පත්වෙලා කියලා වැඩි දෙනෙක් කියනවා. මේ අදහසට ඔබ එකඟ වෙනවාද?

ඒ ගැන කතා කරන්න තරම් මම නූතන සිංහල සාහිත්‍යය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කරලා නෑ.

ඒත් ගොඩක් සිංහල නවකතා කියවන්න ගත්තම මට බඩේ අමාරුව හැදෙනවා.

 එතකොට සිංහල නවකතා කියවන්නෙම නැද්ද?

අනූව දශකය වනතෙක් ලියවුණු ප්‍රශස්ත යැයි කියන හැම නවකතාවක්ම වගේ මම කියවලා තියෙනවා. ජී.බී, සරත්චන්ද්‍ර ඒ අතරින් මගේ ප්‍රියතමයන්.

අනූව දශකයෙන් පසු සිංහල නවකතා මම කියවන්නේ බොහොම තෝරා බේරා ගෙන ඉතාම අඩුවෙන්. ඒ අතර සුමිත්‍රා, සුනේත්‍රා, අමරකීර්ති, සමන් සහ අලුත් ලේඛක ලේඛිකාවන්ගේ නවකතා මම අතරින් පතර කියවනවා.

 ලේඛන කලාවට පිවිසීමේදී ඔබ ආභාසය ලැබූ දෙස් විදෙස් ලේඛකයන්, කෘති මොනවාද?

මම ලංකාවෙන් පටන් අරගෙන රුසියාවට ගිහිල්ලා යුරෝපය හරහා ඇමෙරිකාවට ගිහින් ආපහු ඉන්දියාවට ආවා. මේ හැම තැනකින්ම ජීවිතයට යම් ආභාසයක් ලබන්න ඇති.

 අපේ රට තුළ ලේඛනය ජීවන වෘත්තියක් කර ගන්න පුළුවන් කියලා හිතනවාද?

අපි ලියන්නේ සිංහලෙන්. අපේ වෙළෙඳ පොළ ඉතාම කුඩායි. ඒත් දැන් තත්ත්වය මීට දශක කිහිපයකට පෙර පැවති තත්ත්වයට වඩා වෙනස් වෙලා, දියුණු වෙලා. ලේඛනයෙන්ම දියුණුවෙන කිහිප දෙනෙකුත් ඉන්න බව ආරංචියි.

සංවාදය [රසිකා හේමමාලි]

මාතෘකා