එදා රටටම මිරිස් අඹරන්න ගල් හැදූ මීමැඩුම ගම්වැසියෝ

 ඡායාරූපය:

එදා රටටම මිරිස් අඹරන්න ගල් හැදූ මීමැඩුම ගම්වැසියෝ

මිනිසාට ආහාරපාන අවශ්‍ය වන්නේ ජීවත් වීම නිසා වුවත් ආහාරපාන නිසාම විවිධාකාර ලෙඩරෝගවලට ගොදුරුවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වර්තමානයේදී බරපතළ ලෙස ඉහළ යමින් තිබේ. විශේෂයෙන් වත්මන් සමාජයේ බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුවක් වන්නේ සෞඛ්‍යයට හිතකර නොවන ආහාරපාන ගැනීම සහ අයහපත් ආහාර රටාවයි.

අතීතයේ විසූ ගැමියන්, විශේෂයෙන් ගැමි කාන්තාවන් බොහෝ විට සුන්දර සහ මනා හැඩැති සිරුරුවලින් යුක්ත විය. විවාහ දිවියට එළැඹුණු විට හා වයස්ගත වූ විටද ඔවුන්ගේ ශරීරය අනවශ්‍ය ලෙස තරබාරු වීමක් හෝ අකල් ලෙඩරෝගවලට ගොදුරු වීමක් සිදුවූයේද නැත. එකල තරබාරුකම ධනවත් පවුල්වල කාන්තාවන්ට ආවේණික වූ ලක්ෂණයක් විය. නමුත් වර්තමානය වන විට සමාජයේ බොහෝ කාන්තාවෝ අධික තරබාරුකම නමැති රෝගයට බිලි වී සිටිති.

අධික තරබාරු බවේ අතුරු ප්‍රතිඵල ලෙස දියවැඩියාව, අහිතකර කොලෙස්‌ටරෝල් මට්ටම ඉහළ යෑම, හෘදයාබාධ, අධික රුධිර පීඩනය ආදී රෝගවලට ගොදුරු විය හැකිය. තරබාරු බව යනුවෙන් අදහස්‌ කරන්නේ ශරීරයේ අනවශ්‍ය මේදය අධික ලෙස තැන්පත් වීමය. තරබාරු බව භයානක රෝගයක් වන අතර මෙය තවත් රෝග රාශියකට මඟපාදන්නකි. තරබාරු නොවන අය සමඟ සසඳන විට තරබාරු පුද්ගලයන්ට සියලුම රෝග සෑදීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. ඇතැමුන් තරබාරු ශරීරයක් තිබීම රෝගවලින් ආරක්ෂා වීමට උපකාර වේ යැයි සිතා සිටියද තරබාරු බව මිනිසාට බලපාන කිසිම රෝගයකට ආරක්‌ෂාවක්‌ සපයන්නේ නැත. එදා කාන්තාවන් ප්‍රමුඛ ගැමි ජනතාවට එවැනි අහිතකර සෞඛ්‍ය තත්ත්වයන්ට මුහුණ දීමට සිදුනොවූ ප්‍රධාන කරුණ ඔවුන් නිරන්තරයෙන්ම සිය සිරුර වෙහෙසා එදිනෙදා වැඩකටයුතුවල යෙදුණු නිසාය. පිරිමි දහදිය හෙළමින් ගොවිතැන් කටයුතුවල යෙදෙද්දී ගැහැනු නිවසේ සියලු කටයුතු සිදුකළේ තම දෑතේ වීර්යයෙනි.

වර්තමාන ගෘහණියන් ඇතුළු බොහෝදෙනකු පවසන්නේ තම තරබාරුකම අඩුකර ගැනීම සඳහා ව්‍යායාමවල නිරත වීමට ඔවුන්ට කාලයක් නොමැති බවය. නමුත් අතීතය දෙස හැරී බලන විට පැහැදිලිව පෙනෙන කාරණාවක් වන්නේ එකල ගෘහණියන් කිසිදා ව්‍යායාම කිරීම සඳහා කාලයක් අමුතුවෙන් වෙන්කර ගෙන නොසිටි බවයි. එහෙත් ඔවුන්ට ලෙඩ රෝගවලින් තොර නිරෝගී සිහින් සිරුරු උරුම වී තිබුණි.ඒ සඳහා ඔවුන් උපයෝගී කරගත්තේ නිවසේ තිබුණු සුවිශේෂී 'ව්‍යායාම උපකරණ'කිහිපයකි. අතීතයේ හැම නිවසකම මෙම සුවිශේෂී ව්‍යායාම උපකරණ තිබිණ. හැම ගෘහණියක්ම වාගේ නිරන්තරෙන් පාවිච්චි කළ එම අපූරු 'ව්‍යායාම උපකරණ'වූයේ කුස්සියේ තිබූ කුරහන්ගල, මිරිස්ගල, වංගෙඩිය, හිරමනය, කුල්ල ආදියයි. ඒවා මඟින් ඉබේම ඔවුන්ගේ සිරුරට අවශ්‍ය ව්‍යායාම ලැබුණු අතර දිනපතා කළ ඉවුම් පිහුම්වලදී ව්‍යායාම මධ්‍යස්ථානයකට යනවාට වඩා ඉතා පහසුවෙන් ඔවුන්ට සිරුර හැඩකර ගැනීමටද හැකි විය.

නමුත් වර්තමානයේ මෙම සියලු උපකරණ වෙනුවට විදුලියෙන් ක්‍රියා කරන පහසු ආදේශක හඳුන්වා දී ඇත. මේ නිසා කාන්තාවන් වෙහෙසෙන ප්‍රමාණය පෙරට වඩා බොහෝ අඩුය. වැරදි ආහාර රටා සහ සෞඛ්‍ය පුරුදු සමඟ නවීන යන්ත්‍ර සුත්‍රද එක්වූ විට කාන්තාව නිරන්තරයෙන් රෝගියකු බවට පත්වී තිබේ. ගෘහණිය රෝගියකු වීම යනු සැමියා, දරුවන් ඇතුළු පවුලම රෝගී වීමට අත වැනීමක් බව අමුතුවෙන් කිවයුතු නැත. එදා ගැමි ගෘහණිය නිරන්තරයෙන් භාවිතයට ගත් කුරහන් ගල වෙනුවට අද එයින් කළ සියලු දේවල් කිරීමට බ්ලෙන්ඩරයට හෝ ග්‍රයින්ඩරයට හැකිය. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙයට විනාඩි කිහිපයක් වැනි කෙටි කාලයක් තුළදී ධාන්‍ය ඇඹරීම සිදුකරයි. අතීතයේ සිරුරට මනා ව්‍යායාමයක් ලබාදුන් කුරහන් ගලේ ධාන්‍ය ඇඹරීමට අද ගෘහණියට අවශ්‍ය වන්නේ බොත්තමක් එබීමට යන ශක්තිය පමණි. එමෙන්ම එදා, එදිනෙදා ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය කරන මිරිස්, කහ, තුනපහ ආදිය අඹරා ගැනීමටත් රසවත් පොල් සම්බෝලයක්, ලුණු මිරිසක් සාදා ගැනීමටත් මිරිස්ගල යොදාගත් ගෘහණියන් අද ඒ සඳහා බොහෝ විට භාවිත කරන්නේ වෙළෙඳසැලේ ඇති පැකට් කළ තුනපහ හා මිරිස් කුඩුයි. නැතිනම් ඒ සියල්ලද නිවසේදී බ්ලෙන්ඩරය හෝ ග්‍රයින්ඩරය මඟින් අඹරා ගනී. අතීත ගෘහණියන් තම්බා වියළාගත් වී සහල් බවට පත්කර ගැනීමටත් විවිධ ධාන්‍ය වර්ග කොටා ගැනීමට මෙන්ම බෙහෙත් වර්ග කොටා ගැනීමට පවා වංගෙඩි භාවිත කළහ. නමුත් වත්මන් නිවෙස්වල මුළුතැන්ගෙයින් එකී සියලු ස්වාභාවික ව්‍යායාම් උපකරණ සමුගෙන යමින් තිබේ. ඒ සියලු උපකරණවලට ආදේශක ලෙස නව තාක්ෂණයෙන් බලගැන්වූ විද්‍යුත් ගෘහ උපකරණ ගෘහණියට සමීප වී ඇත. අනාගත දරු පරපුරට නම් පැරණි ගෘහ උපකරණ දැකබලා ගත හැක්කේ පැරණි පොතපත තුළින් පමණක් වනු ඇත.

එවැනි ස්වාභාවික ව්‍යායාම් උපකරණවලින් බැහැර වී නවීන තාක්ෂණික ගෘහ උපකරණවලට හුරු වීමෙන් ගෘහණියන් විවිධ ලෙඩරෝගවලට ගොදුරු වෙනවා මෙන්ම එම තත්ත්වය තුළ තවත් අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දී තිබෙන පිරිසක්ද සිටිති. අප මේ කියන්නට යන්නේ ඔවුන්ගේ දුක්ඛිත ඉරණම ගැන කතාවයි. ඒ අතීතයේ මිරිස් ගල්, ගල් වංගෙඩි ආදී කළු ගල්වලින් ගෘහ උපකරණ නිපදවූවන් අද මුහුණදී තිබෙන තත්ත්වයයි. ජනතාව නවීන තාක්ෂණික ගෘහ උපකරණවලට හුරු වීමත් සමඟ කළුගල් ගෘහ උපකරණ නිපදවන්නන්ගේ ආර්ථිකයටත් ජීවන තත්ත්වයටත් කණකොකා හැඬවී තිබේ.

එම ඛේදනීය තත්ත්වයට මුහුණ දී සිටින්නේ අතීතයේදී රටේ සෑම ප්‍රදේශයකටම කළුගල් ආශ්‍රිත ගෘහ උපකරණ නිපදවූ බද්දේගම මීමැඩුම ගම්මානයේ වැසියන්ය. මෙම ගම්මානයේ පවුල් සියයකට වඩා වැඩි සංඛ්‍යාවක් ජීවත්වන අතර ඔවුන් බොහෝ දෙනකුගේ ජීවනෝපාය වන්නේ මිරිස් ගල්, ගල් වංගෙඩි සෑදීමයි. මෙම ගම්මානයේ ජීවත් වන සියලු දෙනාම පාහේ ඥාතීන් වීමද විශේෂත්වයකි. කළුගලින් මිරිස් ගල්, වංගෙඩි සෑදීම ප්‍රධාන ජීවනෝපාය කරගත් ඔවුන් අතරින් ජනාධිපති සම්මානලාභී කලාකරුවන්ද බිහිවී ඇති බව ඔවුන් සඳහන් කරන්නේ නිහතමානී ආඩම්බරයකිනි. එහෙත් අද ඒ නිහතමානී සතුට විඳගන්නට ඔවුනට අවකාශ අහිමි වෙමින් තිබෙන බව මේ ගම්වැසියන්ගේ කතාබහවලින් සනාථ වේ.

මීමැඩුම ගම්මානයේ ජීවත්වන පැරණි ගල්වඩුවකු වන එම්.බී. රත්නසේන මහතා (73) ඒ පිළිබඳ අප හා පැවසුවේ මෙසේය.

"මගේ උපන් ගම අනුරාධපුර. 1987 පෙබරවාරි මාසයේදී මම රුපියල් හාරසියයක් අරගෙන තමයි බද්දේගමට ආවේ. හැබැයි ඒ හාරසීය අද ලක්ෂ හතරක් විතර වටිනවා. ඒ ඇවිල්ලා බිරිද ඩෙල්සිව විවාහ කරගත්තා. කුඩා පැල්පතක් තනාගෙන ජීවත්වීමට පටන් ගත්තා. මගේ බිරිඳ එයාගේ තාත්තා එක්ක මෙම කර්මාන්තයේ යෙදෙන්න පටන් අරගෙන තියෙන්නේ වයස අවුරුදු දාහතරේ සිටයි. මම ගෙනාපු මුදල්වලින් ඉතුරුවී තිබුණු මුදලින් වානේ කම්බි ගෙනල්ලා කටු හදලා බිරිඳ තමයි මටත් මේ කර්මාන්තය ඉගැන්නුවේ. මුලින් නම් මම ටිකක් අදිමදි කළා. කරන්න බැරුව අතෑරලා දාලා කිහිප වතාවක් කොළඹ කුලී වැඩටත් ගියා. නමුත් අපිට ළමයි පස්දෙනෙක් ලැබුණාට පසුව එයාලගේ අධ්‍යාපන වැඩත් නිසා බිරිඳ සමඟ මෙම කර්මාන්තය දිගටම කරන්න පටන්ගත්තා. මම දැන් වසර තිස් හයක කාලයක සිට ගල් වංගෙඩි, මිරිස් ගල් හදනවා. ඒ වගේම කුරහන් ගල්, ආටු ගල්, බෙහෙත් අඹරන ගල්, බේසම්, සින්ක් ඇතුළු සියලු දේවල් ගලින් නිර්මාණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෙහෙර විහාරස්ථානවල ගල් කැටයම්, සඳකඩපහන්, ගල්තොරන්, නාම පුවරු ඒවාත් හදනවා."

රත්නසේන ගල්වඩු මහතා තමා මේ කර්මාන්තයට එළැඹි සැටි සිහිකළේ එලෙසිනි. කර්මාන්තය තුළදී මුහුණ දෙන ගැටලු පිළිබඳවද ඔහු අප සමඟ කීවේය.

"අපිට මේ කර්මාන්තය කරන්නට හැම තැනම තියෙන ගල් හරියන්නේ නැහැ. ගමට උඩින් කන්දේ තියෙන ගල් තමා අපට මේ දේවල් හදන්න උවමනා විදියට පළාගන්න පුළුවන්. නමුණුකුළ වතු සමාගමට අයත් රබර් ඉඩමෙන් පසුගිය රජය අපට අක්කර පහමාරක් ලබාදුන්නා. ඒකේ මතුපිටතිබූ ගල් කඩා අවසන්. දැන් ඉඩම හාරල ගන්න ඕනේ. නමුත් වැස්සොත් අපිට වැඩ කරන්න බැහැ. දැන් ගලක් පාදාගන්න බැකෝ යන්ත්‍රයක් ඕනෑ වෙනවා. ඒකටත් ලොකු වියදමක් යනවා. වැඩ කරන ගමන් ගල පිපුරුවොත් අපේ සියලුම මහන්සියයි වියදමයි අපතේ යනවා. මේ රජය මඟින් අපගේ ගම්මානයට ජලය, වැසිකිළි කැසිකිළි පහසුකම් සහ අපට කර්මාන්තයට අවශ්‍ය කරන උපකරණ 'ශ්‍රමශක්ති' වැඩසටහන යටතේ ලබාදුන්නා. ඒක අපිට ලොකු පහසුවක්. නමුත් අපි හදන භාණ්ඩ කුණුකොල්ලයට අරන් යන තැරැව්කරුවන් නිසා අපි සමුපකාර සමිතියක් පිහිටුවා ගත්තා. අද මිරිස් ගලක් රුපියල් 2,500කටවත් දෙන්න බැහැ. අපෙන් අඩු මිලකට අරන් පිට ගෙනිහින් වැඩි මිලට විකුණනවා. ඒක අපි වගේ කර්මාන්තකරුවන්ට ලොකු ප්‍රශ්නයක්.

"මගේ ළමයි පස්දෙනාම මෙම කර්මාන්තයේ තමයි යෙදිලා ඉන්නේ. එයාල විවාහ වෙලා ඉන්නේ. ඒ සියලු දෙනාම මේ රැකියාව කරන්නේ. මේ උපකරණ හදන්න කටු සියල්ලත් අපිම තමයි හදාගන්නේ. ගමේ ජීවත්වන අපි සියලුදෙනාම එකමුතුව ඉන්න නිසා අපි අතර තරගයක් නැහැ. නමුත් එදිනෙදා ජීවත්වන්නට ඕනේ ආදායම හොයාගන්න ඕන නිසා අඩු මුදලට හරි අපි හදන භාණ්ඩ අලෙවි කරන්නත් සමහර වෙලාවට සිදුවෙනවා"

මෙම කර්මාන්තයේ පවතින ප්‍රමිතිය පිළිබඳවද අපි රත්නසේන මහතාගෙන් විමසුවෙමු.

"සාමාන්‍යයෙන් මිරිස් ගලක් හදන්න දින පහක පමණ කාලයක් ගතවුණත් මම කරන දේ හරියටම කරනවා. මම වැඩිපුර නිර්මාණය කරන්නේ විහාරස්ථානවලට අවශ්‍ය ගල් උළුවහු, සඳකඩපහන් වගේ දේවල්. ගල් උළුවස්සක් සාමාන්‍යයෙන් උස අඩි හයයි පළල අඩි හතරක් වගේ වෙනවා. එය සෑදීමට මාස දෙකක පමණ කලයක් ගතවෙනවා. රුපියල් ලක්ෂ දෙකක් විතර වෙනවා. ලොකු එකක් නම් රුපියල් ලක්ෂ හතරක් පමණ වෙනවා. සඳකඩපහනක් නිර්මාණය කරන්න සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ දෙකක් පමණ වියදම් වෙනවා. දිවයිනේ විහාරස්ථාන රාශියකට මම ඒවා සාදා තිබෙනවා."

රත්නසේන ගල්වඩු මහතාගෙන් පසුව අප සමඟ කතාබහට එක්වූයේ ඔහුගේ බිරිඳ එම්.ඒ. ඩෙල්සි (67) මහත්මියයි.

"මගේ සීයා සහ තාත්තා මේ ගමේ පරම්පරා ගාණක සිට ගල් වංගෙඩි කර්මාන්තයේ යෙදී සිටියා. දඔදිව සාංචි තොරනට අනුකූල වන සේ බද්දේගම හැඩිදෙමළාකන්ද දුටුගැමුණු රාජමහා විහාරයේ සාදා ඇති සාංචි තොරණ ගලින් නෙළා සාදන ලද්දේත් මගේ පියා විසින්. මට වයස අවුරුදු දාහතරේදි තමයි මමත් තාත්තට උදවු වෙලා මේ කර්මාන්තය ඉගෙන ගන්නේ. පස්සේ මම විවාහ වුණාට පසුව රත්නසේනටත් මම තමයි මේ කර්මාන්තය ඉගැන්නුවේ. නමුත් දැන් හොඳට වැඩකරන්න පුළුවන්. වැඩකරන විට කැඩෙන ගල්පතුරු අඟල් බාගේ, තුන්කාලට කොන්ක්‍රීට් ගල් තලා හොඳ ආදායමක් ලබා ගත්තා. නමුත් දැන් යන්ත්‍රෝපකරණවලින් එය කරන නිසා අපෙන් දැන් ඒවා ගන්න එන්නේ නැහැ. මෙම රජයෙන් අපට විශාල වැඩකොටසක් ඉටුකරදී තියෙනවා. අපට මෙම කර්මාන්තය කරගෙන යාමට ගල් ඉඩමක් ලබාදෙනවා නම් තවත් හොඳයි."

මෙම ගම්මානයේදී අපට හමුවූ තරුණ ගල් වඩුවකු වන දිල්ෂාන් තේනුවර පැවසුවේ මෙවැනි කතාවකි.

"මම බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විදුහලේ හයවැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තා. නමුත් මට වයස අවුරුදු දොළහේදී මගේ තාත්තා මියගියා. ඉන්පසු මගේ අම්මවයි මල්ලිලා දෙන්නවයි නංගිවයි ජීවත් කරවීමට තාත්තා කරපු මේ කර්මාන්තය පටන් ගත්තා. දැන් බිස්නස් අඩුයි. මේ ගල් වංගෙඩියක් අපෙන් ගන්නේ රුපියල් 1,500ක් වගේ මුදලකට. නමුත් ඒක හදන්න දින දෙක තුනක් ගතවෙනවා. ඒකත් කඩ මුදලාලිලා තුට්ටුවට දෙකට ඉල්ලන්නේ. පිටින් අපේ ගමට කවුරුහරි ආවොත් තමයි අපි කියන මුදලට ගෙනියන්නේ."

මෙම කර්මාන්තයේ නිරත ටී.ඒ. චන්ද්‍රිකා මහත්මියද ඔවුන් මුහුණදෙන තවත් ගැටලුවක් අප සමඟ කීවාය.

"කන්දෙන් ගල් පළාගෙන ඇවිත් මිරිස්ගල්, අත්ගල්, වංගෙඩි හදලා තමයි අපි එදිනෙදා ජීවත් වුණේ. කටු හදාගන්න මුදල් අවශ්‍ය නිසා කවුරු හරි ළඟ ගල් පළලා තමයි මුදලක් සොයාගෙන කටු හදාගන්නේ. මෙහේ දැන් ගල් කඩාගන්න ගල් නැති නිසා හරිම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ"

ගල් භාණ්ඩ සෑදීමෙන් මෙන්ම ඒ ආශ්‍රිත වෙනත් කටයුතුවලින් ජීවිකාව ගෙනයන්නෝද මෙම ගම්මානයේ විරල නොවෙති. එම්.ඒ.එන්. සුනිලාවතී මහත්මිය එවැන්නියකි.

"ගල් පළා ඉතුරුවන පොඩි ගල් කෑලි අඟල් තුන්කාලක ප්‍රමාණයට කඩලා දවසකට කූඩ පහක් හයක් පුරවලා රුපියල් විසිපහ ගාණේ විකුණ ගන්නවා. දැන් ඒවා ගොඩගැහිලා. මොකද ඒවා ගෙනියන්න කවුරුත් එන්නෙ නැති නිසා. ඒකෙන් වුණේ අපි අමතරව හොයාගත්ත ආදායම් මාර්ගයත් නැතිවුණ එකයි."

සටහන සහ ඡායාරූප- බද්දේගම මධ්‍යම විශේෂ [ජස්ටින් පතිරගේ]

මාතෘකා