කලාකරුවන්ට මුදල් නැත්තෙ කළමනාකරණයක් නැති නිසයි

 ඡායාරූපය:

කලාකරුවන්ට මුදල් නැත්තෙ කළමනාකරණයක් නැති නිසයි

අරුණ තමෙල්

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම කියන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. නවකයන්ට ඉතා හොඳ අවස්ථාවන් ලැබුණු වගේම ප්‍රවීණයන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට රැගෙන ගිය මේ සංගීත කණ්ඩායමේ නිත්‍ය කී බෝඩ් වාදන ශිල්පියාත් මේ විදියට සංගීත කණ්ඩායම නිසාම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු චරිතයක්. ඔහු නමින් අරුණ තමෙල්. මේ කෙටි පිළිසඳර ඔහුත් එක්කයි.

සංගීත කණ්ඩායම්වලට පහුගිය කාලෙ නම් එතරම් සුබදායක වුණේ නෑ. කොහොමද මේ දවස්වල තමෙල්ගෙ වැඩ කටයුතු?

ඒක ඇත්ත. මේ දවස්වල නම් වැඩ ටිකක් අඩුයි. අපිට ලැබුණු ෂෝ පවා නැවතුණා. රටේ අනාරක්ෂිත වතාවරණයත් බලපෑවනේ මේ තත්ත්වයට. හැබැයි විදෙස් සංචාරවල නම් අඩුවක් නෑ. ඒවාට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා.

අපි ඔබව හඳුනා ගන්නේ ෆ්ලෑෂ් බෑක් හරහා. කොහොමද ඊට සම්බන්ධ වුණේ?

1990දී තමයි බෑන්ඩ් එක පටන් අරන් තියෙන්නේ. මම එකතු වෙන්නේ 1991දී. ඒ වෙද්දිත් අවුරුද්දක් ගතවෙලා තිබුණේ. දැනට අවුරුදු 28ක් වෙනවා මම බෑන්ඩ් එකට ඇවිල්ලා. මුලින්ම මම පල්ලියේදී තමයි key board ගහන්න පටන් ගත්තේ. හැබැයි පල්ලියටත් එන්න කලින් මගේ දක්ෂතාවන් හඳුනාගත්තේ මගේ පාසල වුණු වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයෙනුයි. ඒ දක්ෂතාව හරහා මට බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

බෑන්ඩ් එකේ හිටිය මේ අවුරුදු 28 ගැන මොකද හිතෙන්නේ?

ගොඩාක්ම සතුටින් ගෙවපු කාලයක්. මට මේ ලැබිලා තියෙන හැමදේම ලැබිලා තියෙන්නේ band එක නිසා. ඒ වගේම දැනට මම රෙකෝඩින් ස්ටුඩියෝ එකක් කරගෙන යනවා නිවසේම. තවත් ඉදිරියට ඒකත් දියුණු කරගෙන අලුත් බිල්ඩින් එකකට ගෙනියන්න බලාපොරොත්තුවක් තියෙනවා.

ගොඩක් අය කාලෙකදී තමන් මුලින් හිටපු සංගීත කණ්ඩායමෙන් ඉවත්වෙලා අලුතිත් තමන්ගෙම ඒවා බිහිකරනවා. ඒ ගැන මොකක්ද ඔබගේ අදහස?

එහෙම කණ්ඩායම්වලින් මාරුවෙන ඒකේ හොඳක් නම් මම දකින්නේ නෑ. ඔය වෙලාවෙදී සමහරු හැළෙනවා. ඒ කියන්නේ තමන්ගේම කණ්ඩායම් හදාගන්න යන සමහරු නැත්තටම නැතිවෙලා යනවා. ඒ වගේම තමයි කවුරු හරි වෙන වෙන කණ්ඩායම්වලට එකතු වුණාම වෙන්නේ කොච්චර සීනියර් වුණාත් හැමදාම ජූනියර් තත්ත්වෙම ඉන්න තමයි.

මතයක් තියෙනවා කලාකරුවන් ආර්ථික අතින් පිරිහිණු අය කියලා. ඒ මතය වර්තමානයටත් අදාළද?

ඒ සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක්. සමහරු නම් අයුතු විදිහට එය පාවිච්චි කරලා තමයි පිරිහීමට පත්වෙලා තියෙන්නේ. ඒ අයට මුදල් කළමනාකරණය පිළිබඳ අවබෝධයක් නොමැතිකම තමයි පිරිහෙන්න හේතුව කියලා මම හිතන්නේ. අපි වුණත් මේ රැකියාවෙන් තමයි ඔක්කොම කර ගන්නේ. මම හිතන්නේ කළමනාකරණයම තමයි මූලික ප්‍රශ්නය.

මේ ආපු ගමන් මඟේදි සිහිපත් කළ යුතුම පුද්ගලයන් කවුද?

ඇත්තෙන්ම ඔව්. මම පළමුවෙන්ම මාව ක්ෂත්‍රයට ගේන්න මගේ හැකියාවන් මුලින්ම අඳුර ගත්ත පල්ලියේ සුදීපා ගුරුතුමිය මතක් කරන්න ඕනෑ. මට ඒ කාලේ ඕගන් එකක් තිබුණේ නෑ. ඒ දවස්වල කමල් උදාන කියලා මගේ යාළුවකුගේ ඕගන් එකෙන් තමයි මම පුරුදු වුණේ. රාජ් මහතා, ක්‍රිස්ටි මහතාවත් මේ වෙලාවේදී මම ආදරයෙන් මතක් කරනවා. විශේෂ ස්තූතියක් තියෙනවා පිරිනමන්න ඒ රොෂාන් ප්‍රනාන්දූ මහතාගේ පියා ඩොනල් ප්‍රනාන්දු සහ ශම්මි ෆොන්සේකා යන මහත්වරුන්ට. ඔවුන් තමයි මට මුලින්ම band එකට ආරාධනා කළේ.

පෞද්ගලික තොරතුරුත් මතක් කරමු.

මම විවාහකයි. පුතාලා දෙදෙනකු සහ එක් දියණියක් ඉන්නවා. බිරිඳ තමයි මගේ පිටුපස යෝධ සෙවනැල්ල වගේ ඉන්නේ. ඇයවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.

[දිනූෂි මනතුංග]

මාතෘකා