වර්තමාන තාරුණ්‍යයට ඕනේ අවස්ථාවන් පිරි රටක් - තරිඳු ලියනගේ

 ඡායාරූපය:

වර්තමාන තාරුණ්‍යයට ඕනේ අවස්ථාවන් පිරි රටක් - තරිඳු ලියනගේ

ඡායා - සුදම් ගුණසිංහ

තරුණ්‍යයේ අදහස් විවිධය. විචිත්‍රය. අරමුණු විවිධාකාරය. ඔවුන් සියල්ලෝම පාහේ දායක වන්නේ, උත්සාහ කරන්නේ සමාජය පවතිනවාට වඩා යහපත් තැනක් බවට පත්කරන්නටය. විවිධ අදහස් ඇති තාරුණ්‍යය අතරින් මෙවර දේශපාලන අදහස් ඇති තාරුණ්‍යයට Y වාරණ වෙන් කරන්නට තීරණය කළෙමු. හෙතෙම තරිඳු ලියනගේ නම් වේ. එක්සත් ජාතික පක්ෂයේ ස්වේච්ඡා ක්‍රියාකාරීන්ගේ සංවිධානයේ සභාපති වන ඔහු තරුණ සමාජ ක්‍රියාකාරිකයකු වේ. තාරුණ්‍යයේ මත අදහස් පිළිබඳව, ගැටලු පිළිබඳව කතාබහකට අප තරිඳු ලියනගේට ආරාධනා කළෙමු.


තාරුණ්‍යය ගැන ඔබේ අදහස මොකක්ද?

තාරුණ්‍යය කියලා කියන්නේ නැවුම් බවට. ඒ අය විශාල ජවයකින් ශක්තීන් ප්‍රමාණයක් නිදහස් කරන්න බලාගෙන ඉන්නවා. ඒ සඳහා අවස්ථා හොයනවා. සංගීතය නර්තනය වගේ සෞන්දර්ය කලාවලින්, ක්‍රීඩාවෙන්,දේශපාලනයෙන් තාරුණ්‍යය ඒ ජවය පිට කරනවා. තවත් කණ්ඩාමක් ඉන්නවා ඒ ඒ අයගේ වෘත්තීය ජීවිතය තුළ ඒ ජවය පිටකරන. තරුණ්‍යය තමන්ගේ ජවය එළියට දාන්න අවස්ථාවක් හොය හොයා ඉන්නේ. ඒ අවස්ථාව නැති තැනදී තමයි තාරුණ්‍යය වැරදි පැත්තට යොමු වෙන්නේ.

තාරුණ්‍යයට ඉදිරියට යන්න අරමුණක් අත්‍යවශ්‍යයිද?

තාරුණ්‍යයට ඉදිරියට යන්න අරමුණක් අවශ්‍යයි. අරමුණු හැදෙන්නේ තමා ජීවිතය දකින ආකාරයෙන්. තාරුණ්‍යය ජීවිතය දකින ආකාරය හා අරමුණු හැඩගැසෙන මූලික කාරණයක් තමයි ආර්ථිකය කියන්නේ. අපි තරුණයාට හදලා දෙන්න ඕනේ අවස්ථා ලබාදෙනවා සමඟම ආර්ථිකය ශක්තිමත් කරන තැනට පත්කරන්න ඕනේ. තාරුණ්‍යයේ ආර්ථිකය ශක්තිමත් කරන්න සහ තරුණ ජවය රටේ අරමුණුවලට පෙළගස්වන්න කියන තැනට යන්න ඕනේ. තාරුණ්‍යයේ අරමුණු රටේ සංවර්ධන අරමුණු හා ඈඳාගන්න ඕනේ.

ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක තාරුණ්‍යයේ අරමුණු පෙළගස්වන්නේ කෙසේද?

තාරුණ්‍යයේ අරමුණුවලට රට යනවා වෙනුවට රටේ අරමුණුවලට තාරුණ්‍යය පෙළගස්වන්න ඕනේ. අපේ රටේ වෙළඳපොළට නිෂ්පාදනය කිරීමෙන් හෝ අපේ රටේ වෙළඳපොළට සේවා සැපයීමෙන් නෙමෙයි රටක් ලෙස දියුණු වෙන්න පුළුවන්. ඒ සඳහා අපේ නිෂ්පාදනයන් ආසියානු කලාපය තුළ හා ඉන් ඔබ්බට ප්‍රචලිත කරන්න ඕනේ. අපනයනය මත පදනම් වුණු රටක් ලෙස ලංකාවේ ආර්ථිකය ගෙන යන්න ඕනේ. තාරුණ්‍යයේ දායකත්වය එතනට ගෙන යන්න ඕනේ. ලංකාවේ ශ්‍රමය ගත්තොත් වැඩිහිටි ප්‍රමාණය වැඩියි. ඔවුන් සතුව තමයි දැනුම තියෙන්නේ. නමුත් ඔවුන් එන්න එන්න හීන වන විට ඒ තැන සඳහා තරුණයන් හදන්න ඕනේ. තරුණයන් අපනයනය මත පදනම් වුණු ආර්ථිකයක් හදන්න යොමු කරන්න ඕනේ.

වත්මන් තාරුණ්‍යය පවතින ප්‍රධාන ගැටලුවක් රැකියා වියුක්තිය. මේ ගැනත් කතා කරමු?

රැකියා වියුක්තිය කියන එක ගැටලුවක් කරගන්නවා කියන්නෙම වැරදි දෙයක්. ලෝකේ පිළිගත්ත හොඳම විශ්වවිද්‍යාල උගන්වන්නේ රැකියාවක් ලබාගන්න උපාධිධාරියෙක් නිර්මාණය කරන්න නෙමෙයි. ඔවුන් බිහි කරන්න බලාපොරොත්තු වෙන්නේ රැකියා නිර්මාණය කරන උපාධිධාරියෙක්ව. අපේ සාම්ප්‍රදායික චින්තනය හැදිලා ඉගෙනගෙන හොඳ රැකියාවක් කරන්න. එතන වෙනස් කරන්න ඕනේ ඉගෙන ගෙන කොහොමද රැකියා නිර්මාණය කරන්නේ කියලා. එවැනි තරුණ පරම්පරාවක් හැදුවොත් ඒ ඔවුන් රැකියා නිර්මාණය කරනකොට ඒ තුළින්ම රැකියා වියුක්තියට විසඳුම ලැබෙනවා. ඒ වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න වත්මන් රජය එන්‍ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ උගත් තරුණයන්ට "ඇරඹුම" නමින් පොලී රහිත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීලා තරුණ පරම්පරාවට ඔවුන්ගේ දැනුම භාවිතා කරලා රැකියා නිර්මාණකරණයට මේ අවස්ථා හදලා තියෙනවා. ඒ වගේම රැකියා වෙළඳපොළේ රැකියා ඕනේ තරම් තියෙනවා. නමුත් ගැටලුව ඒ රැකියාවලට තරුණ පරම්පරාව කැමති නැහැ සහ ඔවුන්ට ඒ සඳහා සුදුසුකම් නැහැ. මේ රැකියා ප්‍රශ්නේදී තරුණ පරම්පරාවට ඒ අයගේ නිදහස සම්බන්ධයෙන් ගැටලුවකුත් තියෙනවා. ඒ අයගේ පෞද්ගලික ජීවිතය විඳින්න අවශ්‍ය කාලසීමාව රැකියාව නිසා සීමිත වෙන නිසා ඒ අය රැකියාවලට යෑමේ පසුගාමීත්වයක් මම දකිනවා. මේ ගැටලු ටික විසඳගත්තොත් රැකියා වියුක්තිය කියන සමාජ අර්බුදය අපිට විසඳගන්න පුළුවන් වෙයි.

උපාධියක් ගත් පමණින් රජය බැඳිලා ඉන්නවද උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න?

මගේ පෞද්ගලික මතය තමයි රජය කියන එක කුඩා වෙන්න ඕනේ. රජයක් ඉන්නේ රාජ්‍ය පාලනයට සහ මිනිස්සුන්ට සේවා සපයන්න. සමාජයක හැමෝටම මේ රේස් එකේ යන්න බැහැ. මේ රේස් එකේ යන්න බැරි අය කඩාගෙන වැටෙනවා. විවිධ හේතු මත ඒ අය මඟහැරෙනවා. ඒ පිරිස අල්ල ගන්න, ආරක්ෂා කරන්න කුමක් හෝ සමාජ ජාලාවක් තියෙන්න ඕනේ. එතනදී රජය ඉන්න ඕනේ. නමුත් ඉන් ඔබ්බට ගිහින් රජය විසින් පුළුල් ලෙස රැකියා දෙන්න බැඳිලා නැහැ. නමුත් මම විශ්වාස කරනවා රජයේ තියෙන රැකියා උගත් දක්ෂ පිරිසකට යා යුතුයි කියලා. මම එතනදී යෝජනා කරනවා රජයේ රැකියාවකට එන්න කලින් පෞද්ගලික අංශයේ රැකියාවක් කරලා අත්දැකීම් අරගෙන එන්න ඕනේ කියලා. දේශපාලනයේදී එන චෝදනාවක් තමයි දක්ෂයාට තැන හම්බෙන්නේ නැහැ හැඳුනුම්කම්වලට තැන හම්බෙනවා කියලා. නමුත් ඒ අයම අනිත් පැත්තට කියනවා උපාධියක් තියන පළියට රස්සා දෙන්න ඕනේ. දක්ෂතාව මත නෙමෙයි. ලංකාවේ විතරක් නෙමෙයි විදේශ විශ්වවිද්‍යාලවල පවා එළියට එන හැම උපාධිධාරියෙක්ම දක්ෂ නැහැ. එතකොට ඒ දක්ෂතාව මත රැකියා වෙළඳපොළට යනකොට ලකුණු අඩුවෙන් අරගෙන උපාධිය සමත් වුණු අයට ඉක්මණින් රැකියා ලැබෙනවා. එයට හේතුව වැඩ කිරීමේ ශක්‍යතාවය, විනය ආදී කාරණා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වරෙක ප්‍රකාශ කරනවා තාරුණ්‍ය දැන් දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්නේ කියලා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

තාරුණ්‍යය දේශපාලනයේ ඉන්නවා කියන එක සමාජ ජාලාවකට ගියාම පේනවා. ඒ අය දේශපාලනයට සෘජුව සම්බන්ධ වෙන්නේ නැහැ රැකියා හෝ විවිධ පෞද්ගලික හේතු මත. නමුත් මැතිවරණ කාලසීමාවක් ආවාම ඒ අය සෘජුව දේශපාලනයට සම්බන්ධ වෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන්න ඇත්තේ සෘජුව දේශපාලනයට සම්බන්ධ වෙලා ඡන්දේ ඉල්ලන්න එන තරුණ පිරිස අඩුයි කියන එක. ඒකට හේතු කීපයක් තියෙනවා. පක්ෂ දේශපාලනය ඇතුළේ නාමයෝජනා ලබාදෙන ගැටලුව තියෙනවා. අපිට යෝජනා කරන්න පුළුවන් තරුණයන්ට නාමයෝජනා ලබාදෙන්න වැඩපිළිවෙළක් හදන්න කියලා. නමුත් මෙතන තරුණයන් දේශපාලනයට ආවත් දේශපාලනය කරගෙන යෑමේ ශක්ති ප්‍රමාණය ඒ අයට තියෙනවාද කියන එක ගැටලුවක්.

වර්තමාන තාරුණ්‍යය සමාජ මාධ්‍ය තුළින් පාලනය වනවා යැයි චෝදනාවක් තියෙනවා. ඒක ඇත්තද?

වර්තමාන සමාජයේ මිනිස්සු හැසිරෙන්නේ තනි තනිව. ඔවුන් එක්කාසු වෙන තැන් බොහොම අඩුයි. ඉතින් තමන්ගේ දේවල් පෙන්වන්න, තමන්ගේ මතය අන් අයට ප්‍රකාශ කරන්න තරුණයන්ට තියෙන එකම වේදිකාව සමාජ මාධ්‍යය. නමුත් ඒක ඇබ්බැහි වීමකට ලක් වුණු පිරිසකුත් ඉන්නවා. ඔවුන් එසේ ඇබ්බැහි වෙලා තියෙන්නේ ඒ අයට වෙන ක්‍රියාකාරකම්වල යෙදෙන්න තියෙන අවස්ථාව නැති නිසා. ඒකට ප්‍රධාන හේතුව ආර්ථිකය. තාරුණ්‍යයේ ආර්ථිකය ශක්තිමත් නම් ඔවුන් යථාර්තය තුළ ජීවිතය විඳිනවා.

මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කොතැනින්ද?

මම හිතන්නේ ඒක වෙනස් වෙන්න ඕනේ සිතුම් පැතුම්වලින්. ඒකට මවුපියන්ට විශාල වගකීමක් තියෙනවා. තමන්ගේ දරුවා ලොකු මහත් වෙන කාලසීමාවෙදි මවුපියන්ට පෙන්වලා දෙන්න පුළුවන් නම්, දක්ෂතාව සහ උනන්දුව තියෙනවා නම් අපි හොයන මුදල මොන රැකියාව කළත් හොයාගන්න පුළුවන්. නමුත් මුදලට එහා ගිය තෘප්තිමත්භාවය ගැන, තමන් කරන දේ තුළ රටට යමක් ඉතිරි කරනවාද කියන දෙය වැදගත් කියලා ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ලෝකයේ සුවිශේෂී ලෙස සාර්ථක මිනිසුන් බිහි වෙලා තියෙන්නේ සමාජයේ මිනිස්සු ඉල්ලන නමුත් සමාජයේ එතෙක් නොවූ සේවා සපයලා. තරුණ පරම්පරාව හිතන්න ඕනේ සමාජයට නැති සමාජය ඉල්ලන දේවල් මොනවාද කියලා. ඒ දෙය දෙන්න පුළුවන් නම් ඒ තුළින් ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්.

ඔබට අවසන් වශයෙන් තරුණයන්ට කියන්න දෙයක් ඇති?

වැඩිහිටි පරම්පරාවෙන් අපි ඉල්ලන්න ඕනේ අවස්ථාවන් පිරි රටක් හදලා දෙන්න කියලා. ඒ වගේම ජීවිතයට අරමුණක් තියාගන්න. ඒ අරමුණට කැපවීමෙන් වැඩ කරන්න. ගැටලු එනවා කියන්නේ ඔබ යන්නේ හරි මාර්ගයේ. ගැටලු එන්නේ නැහැ කියන්නේ ඔබ යන්නේ වැරදි මාර්ගයේ. ගැටලුවලට මූණදෙන්න. අරමුණට යන්න. එක අරමුණකට වැඩ කරන්න. අනිවාර්යෙන්ම ජීවිතය ජයගන්න පුළුවන්.





මාතෘකා