නොපෙරුණු සඳ එළිය සමඟ එන මරණයේ පණිවුඩය

 ඡායාරූපය:

නොපෙරුණු සඳ එළිය සමඟ එන මරණයේ පණිවුඩය

මිනිසා දැන් භාවිත කරන බොහෝ දෑ සොයා ගත්තේ මානව ශිෂ්ටාචාරයේ මූලික අවදියේදීමය. සතුන්ගෙන් හෝ පරිසර උවදුරුවලින් සම ආරක්‍ෂා කර ගන්නට කොළ අතු අඳින්නේද ඉන් පසු සත්ත්‍ව සමින් කළ ඇඳුම් රෙදි පිළි දක්වා විකාශය වූයේද මිනිස් අවශ්‍යතා පරිපූර්ණ කර ගැනීමට දැරූ වෙහෙස නිසාමය. මිනිසාගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වූ පසු මානවයා අවතීර්ණ වූයේ ජීවිතය පහසු කරන දෑ සහ තමන්ගේ බලය - තේජවන්තභාවය තහවුරු කිරීම ප්‍රදර්ශනය කිරීම ආදී දේ සපයා ගැනීමේ ක්‍රියාවලියටයි. ඒ නිසාම කාර්මික විප්ලවය හරහා විවිධ යන්ත්‍ර සූත්‍ර නිපදවීම, ඛනිජ තෙල් සොයා ගැනීම සහ භාවිතය ඒ හරහා මෝටර් රථ, ගුවන් යානා ආදිය නිපදවීම සහ බලය තහවුරු කර ගැනීමට අවි ආයුධ නිෂ්පාදනය සිදු විය. හතරවන කාර්මික විප්ලවය සහ තාක්‍ෂණය දියුණු වීම හරහා දැන් දැන් සිදුවන්නේ මානව සබඳතාවලින් තොරවම සිය කටයුතු සිදු කර ගැනීම සියල්ල ඉතා ඉක්මනින් ඉටු කරමින් මානව කාර්යක්‍ෂමතාව ඵලදායීතාවය උපරිම කිරීම අඩු පිරිවැයකින් වැඩි ලාභ ඉපයීමේ ක්‍රම සොයා ගැනීමයි.

මේ හා සමගාමීව මිනිසා විනෝදාස්වාදය සඳහාද කළ නිපැයුම් කාලයෙන් කාලයට වෙනස් වූවා. වෙහෙස නිවා ගැනීමට ගසක කඳකට තට්ටු කරමින් තනුවක් මිමිණූ ආදි මිනිසා සංගීත භාණ්ඩ විවිධාකාරයෙන් නිපදවා එය සංධ්වනියක් බවට පත් කළා. ඉනුදු නොනැවතී දැන් ස්වයංක්‍රියව සංගීතය නිර්මාණය කරන කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ සංගීත අධ්‍යක්‍ෂකවරු පවා නිපදවී අවසන්.. සංගීතය හෝ වෙනයම් කලා නිර්මාණයක් විඳීමද කාලයත් සමඟ වෙනස් වෙමින් පවතිනවා.

මානව ශිෂ්ටාචාරය එසේ කෙතරම් ඉදිරියට ගියත් සමහර ප්‍රාථමික දෑ ඒ ආකාරයෙන්ම විකාශය නොවී තිබීමත් අපූරුයි. මිනිස් හැඟීම් සහ ඒවාට දක්වන ප්‍රතිචාර තවමත් ප්‍රාථමිකයි. එදා වූ ඒ ගෝත්‍රික සමාජමය ගති ලක්‍ෂණ තවමත් ඕනෑම සමාජයක දැකිය හැකි අතර, රටෙහි වූ අධ්‍යාපනික සහ අධ්‍යාත්මික නැඹුරුව අනුව එම ගෝත්‍රික ගති ලක්‍ෂණ වෙනස් වනවා. සමීක්‍ෂණ අනුව රටක සාමකාමීත්‍වය ආගමික නැඹුරුවට ප්‍රතිලෝමව සමානුපාතික වීම මේ ගෝත්‍රික මානසිකත්‍වයේ අරුමය හොඳින් කියාපානවා. අධ්‍යාපනය කෙතරම් දියුණු වුණත්, රටක සාමූහික සිතුම් පැතුම් නැමියාව අනුව රටක දියුණුව රඳා පවතිනවා. අපේ රට ඊට හොඳම උදාහරණයක්.

මේ ගෝත්‍රික සමාජමය ගති ලක්‍ෂණ හා සමගාමීව තවත් වෙනස් නොවූ දෙයක් නම් මිනිසා සිය මනස තාවකාලිකව ලිහිල් කර ගැනීමේ සරල ක්‍රමය වන මත්පැන් සහ මත්ද්‍රව්‍යවල විකාශයයි. සරලව කිවහොත් මත්පැන් යනු එතිල් මධ්‍යසාරය මිශ්‍ර වූ ජලයයි. නමුත්, කාලයාගේ ඇවෑමෙන් මේ සරල ද්‍රාවණය විවිධාකාර නවෝත්පාදන හරහා දියුණු වී විවිධාකාර වෙළඳ නාම, වටිනාකම් එකතු වෙමින් පරිණාමය වී තිබෙනවා.

එදා සතුන් පසුපස දඩයමේ ගිය මානවයා තිබහට ගසක වූ බෙනයකින් පානය කළ පළතුරු හෝ වෙනත් යමක් පැසුණ ජලයෙන් මත් වූ පසු, එම ආස්වාදය නැවත නැවතත් ලබා ගැනීමට කළ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මත්පැන් සොයාගන්නට ඇති නමුත්, එය ක්‍රමානුකූලව ආසවනය කර එහි වූ ඵලදායීතාවය වැඩි කිරීමේ මූලික කටයුත්ත සිදු වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව දෙවන ශතවර්ශයේ බැබිලෝනියාව සහ මෙසපොතේමියාව ආශ්‍රිතවයි. එසේ ඇරඹුණු මත්පැන් පෙරීම සහ භාවිතය දැන් දැන් රජයන්ගේ අනුග්‍රහය ලබමින්, රටකට බදු ආදායම වශයෙන් අපමණ අගයක් එකතු කරමින් සුවිසල් ව්‍යාපාරයන් සේ බැබලෙන අතර, මිනිසාද සිය වින්දනීය අවශ්‍යතා වෙනුවෙන් මද පමණට හෝ බිම වැටෙන තුරු පානයට තමන්ට දැරිය හැකි ප්‍රමාණයේ විවිධාකාර මට්ටම්වල මත්පැන් වර්ග පානයට පුරුදු වී සිටිනවා.

නමුත්, සෑම රටකම සෑම සමාජයකම පවතින ක්‍රමයට අභියෝග කරන විවිධාකාර නව නිර්මාණකරුවන් නිසාම, තම තමන් විසින්ම මේ වින්දනීය අවශ්‍යතා සපුරා ගැනීමටත්, සරල නිෂ්පාදන කටයුත්තකින් මහා පරිමාණව ලාබ ලැබිය හැකි ව්‍යාපාරයක් නිසාත්, නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනයට සහ වෙළඳාමට යොමු වී සිටින අතර, තත්ත්‍වයට වඩා මිල පිළිබඳ සැලකිලිමත් වන සමහරුන්, මේ නීතිවිරෝධී මත්පැන් භාවිතයට හුරු වී සිටිනවා. මේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයේදී තත්ත්‍ව පරීක්‍ෂණයක් හෝ නිසි නිෂ්පාදන යාමනයක් සිදු නොවීම නිසා එයට විවිධාකාර දෑ එක් වන අතර මත්පැන්වල ඇති එතනෝල්වලට අමතරව ද්‍රවණයේ ඇති මේ සමහර සංයෝග මිනිසාට මාරාන්තික වනවා. මෑතකදී මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ හය දෙනෙකුට මරු කැඳවූයේ මේ නීතිවිරෝධී මත්පැන්වල වූ මාරාන්තික බව නොසලකා නිෂ්පාදනය සහ භාවිතය නිසා.

අප රටේ පමණක් නොව, මුළු ලෝකය පුරාම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය වෙනවා. එය හුදෙක් ලාබ ලැබීමට සමහරු කළත්, තවත් සමහරු විනෝදාංශයක් ලෙසද කරන අවස්ථා නැතුවා නොවේ. බොහෝ රටවල නිවසේදීම වයින් සහ බියර් වැනි ස්ප්‍රීතු නොවන නොපෙරන මත්පැන් වර්ග සකසා ගැනීමේ හැකියාව සිය රටවැසියන්ට ලබා දී තිබෙන අතර ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා සුවිශේෂී බලපත්‍ර අවශ්‍ය වන අතර ඒ සඳහා අධිකව බදු ගෙවිය යුතුයි. නමුත් සමහර පුද්ගලයන් මේ නිසා කැලෑ මධ්‍යයේ හෝ සුවිශේෂීව සැකසූ නිවෙස්වල රහසිගතව විවිධාකාර පරිමාණයෙන් මේ ස්ප්‍රීතු නිෂ්පාදනය කරන අතර ඒ සඳහා සමහරවිට දේශපාලනික, නීතිමය අනුග්‍රහය පවා ලැබෙමින් පවතිනවා. දැන් දැන් සියල්ලම දේශපාලනීකරණය වී ඇති නිසා සරලව කැළයක් මධ්‍යයේ කුඩා පරිමාණව නිෂ්පාදනය වන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාර අභාවයට යමින් මහා පරිමාණ නිෂ්පාදනාගාර පැවැත්ම තහවුරු කර ගනිමින් පවතිනවා.

මේ නීතිවිරෝධී මත්පැන්වලට විවිධ රටවල විවිධාකාර නම් භාවිත කරන අතර වඩාත් ප්‍රචලිත ඉංග්‍රීසි භාවිතය වන්නේ Moonshine නොහොත් “සඳඑළිය”යන්නයි. එය එසේ වන්නට ඇත්තේ අමෙරිකාවේ නීතිවිරෝධී මත්පැන් පෙරීම රාත්‍රී කාලයේදී සිදුවීමත්, එයින් නිෂ්පාදන වන අවර්ණ ස්ප්‍රීතු ඉතා පැහැදිලි ද්‍රාවණයක් වීමත් නිසා විය හැකියි. නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනයකදී එය ක්‍රමානුකූලව නිසි තත්ත්‍ව පරීක්‍ෂණවලට භාජනය කරමින් සහ ප්‍රශස්ත අමුද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කරනු ලබන්නේ එය භාවිත කරන්නන්ට මෙන්ම සිය වෙළඳ නාමයද වෙළඳපොළ් ඉහළින් තබා ගැනීමේ අභිප්‍රාය මතයි. මේ ස්ප්‍රීතු නිෂ්පාදනය වෙනම කලාවක් මෙන්ම වෙනම රසායන විද්‍යාවක්ද වනවා. භාවිතයට ගන්නා අමුද්‍රව්‍ය මත මෙන්ම ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර මතද මේ ස්ප්‍රීතුවල රසය, සුවඳ ආදිය වෙනස් වන නිසා නිෂ්පාදකයින් සිය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් ඒ සියල්ලම ශතවර්ශ ගණනාවක් තිස්සේ නොවෙනස්ව පවත්වාගෙන යනවා. ස්කොට්ලන්තයේ නිපදවන සමහර විස්කි වර්ගවලට ජලය ලබා ගන්නේ පීට් නිධියක් අසළින් ගලා යන දිය පහරකින්. මේ නිසා එම විස්කි වර්ගය මස් පිලිස්සූ සුවඳකින් යුක්තයි. එසේ වුවත් එය රසෙහි කිසිදු වෙනසක් නොමැතිව සකසා තිබෙනවා. මේ එක් උදාහරණයක් පමණයි.

බොහෝවිට ස්ප්‍රීතු වර්ග නිෂ්පාදනය කරන්නේ පැසවන ලද ධාන්‍ය පැසවීමෙන් ලැබෙන මද්‍යසාර මුසු ජලය ආසවනය කිරීමෙන්. මේ ආසවනයෙන් ලැබෙන ඵලය වන්නේ සියයට අනූවට වැඩි ප්‍රතිශතයක් ඇති එතිල් මධ්‍යසාරය සහ ඒ හා සමාන තාපාංකයක් ඇති ඇල්ඩිහයිඩ් වර්ග, කීටෝන සහ ද්‍රාවණයේ මෙතිල් මධ්‍යසාරය ඇතිනම් එයද මේ හා එකතු වනවා. බොහෝ මත්පැන් වර්ගවල මෙතිල් මධ්‍යසාරය ඉතාමත් කුඩා ප්‍රමාණවලින් අඩංගු වනවා. මහා පරිමාණව නීත්‍යානුකූලව සිදුකරන නිෂ්පාදනයේදී මෙම එකතු වන මධ්‍යසාර සුවිසල් ලී ලේගර තුළ බහා වසර ගණන් පදම් කරනවා. මේවා වැට් යනුවෙන් හඳුන්වන අතර මේ වැට් වර්ග විවිධ ලීවලින් සකසා තිබෙනවා. වැඩි වශයෙන්ම ඕක් නොහොත් දේවදාර ලීවලින් සකසන මේවා තුළ වසර ගණනක් මධ්‍යසාර බහා තිබෙන විට එහි වූ අනවශ්‍ය සංයෝග මේ ලීවලට උරා ගන්නා අතර දේවදාර ලීයේ වූ සුවඳකාරක සහ රසකාරක සංයෝග මේ මධ්‍යසාරයට එකතු වනවා. නිසි වසර ගණන සම්පූර්ණ වූ පසු තවත් රසකාරක සහ සුවඳකාරක එකතු කර විවිධ වෙළඳ නාමවලින් පාරිභෝගිකයා වෙන ලැබෙන මේ මත්පැන් අධික මිල ගණන්වලට අලෙවි වන්නේ එහි වූ සුවිශේෂත්‍වය වසර සිය ගණනක් නොවෙනස්ව පවත්වාගෙන යන නිසා. එසේම ඒ ඒ මත්පැන් වර්ගවලට හුරු වූ පාරිභෝගිකයන් එහි වෙනස්කම් සියල්ල සියුම්ව හඳුනාගෙන සිටින නිසා ඒ ඒ වෙළඳ නාමයන්ට ඇති ඇල්ම නොවෙනස්ව පවතිනවා.

ලංකාවේ කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල මත්පැන් පානය කලාවක් සහ සංස්කෘතියක් වන අතර එය උත්සව අවස්ථාවක, මිතුරු මිතුරියන් හා සතුටු සාමීචියක යෙදීමේදී හෝ යමක් සැමරීමේදී භාවිත කරන අතර බොහෝ අවස්ථාවල සුළු ප්‍රමාණයකින් සෑහීමකට පත් වනවා. නමුත් අවාසනාවකට ලංකාවේ මත්පැන් පානය කිරීමට කිසිදු හේතුවක් අනවශ්‍ය අතර මරණයකදී, මගුලකදී, බණකදී, දානයකදී මෙන්ම අවශ්‍ය ඕනෑම විටෙක මත්පැන් පානය කිරීමට අවශ්‍ය හේතුවක් හදා ගැනීමටද ලාංකිකයා අති දක්‍ෂ වනවා. එපමණක් නොවෙයි සාදය අවසන බෝතලයේ පතුල දැකීමට අවශ්‍ය වන නිසා බොහෝ විට පදම වරදිනවා. මෙය ලාංකිකයා ලෝකයේ කුමන රටක ජීවත් වුවත් එක සේ සිදුවන දෙයක්.....

ලංකාවේ සුළු පරිමාණව මත්පැන් පෙරන්නේ කැළයක වැනි විවෘත ස්ථානයක වන අතර මෙහි අමුද්‍රව්‍ය වන්නේ බොහෝ විට සීනි සහ යීස්ට් වේ. තොග මිලට ලබා ගන්නා ඉතාම බාල තත්ත්‍වයේ සීනි වන අතර පැසවීමට ලබා ගන්නේ කර්මාන්තශාලාවකින් ඉවතලන බැරල් තුළ යීස්ට් පදමට දමා දින කිහිපයක් පැසවීම කරන අතර මේ පැසවීම සිදුවන විට නිකුත් වෙන ගෝඩා සුවඳ/ ගන්ධයට ඇදී එන කටුස්සන්, ලේනුන්, හූනන් ආදී මෙකි නොකී සියලුම සත්ත්‍වමය ප්‍රෝටීනද මේ ගෝඩා බැරලයට එකතු වීම සිදු වේ. මේ බැරල්වල සමහරවිට විවිධාකාර විෂ රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබිය හැකි අතර ඒවා නිසි පිරිසිදු කිරීමකින් තොරව කසිප්පු නිෂ්පාදනයට යොදාගත් විට ඒ රසායන ද්‍රව්‍ය මධ්‍යසාර හා මුසු වීම සිදු වේ. ඒ අතරම තත්ත්‍වය උසස් කර පදමට වැදීම සඳහා සමහරුන් යූරියා වැනි ද්‍රව්‍යද එකතු කරන බවටද මත පවතී. ඒ අතර කුණුවන පළතුරු, වරකා ආදී සීනි අඩංගු විය හැකි සෑම මල ජරාවක්ම මේ වෙතට එකතු කිරීමට කසිප්පු නිෂ්පාදකයා වග බලා ගන්නේ සිය ලාභය උපරිම කර ගැනීමටය.

මෙසේ පැසෙන ගෝඩා බැරලය, රසායන විද්‍යාවේ මූලික උපක්‍රම භාවිත කරමින් බැරලයට සවි කළ තඹ බටයක් කොයිල් එකක් සේ සකසා, ජල මාර්ගයක් හරහා යැවීමෙන් ආසවනයට අවශ්‍ය යටිතල පහසුකම් සපයාගෙන අවසන එකතු වන මෙතිල්, එතිල් මධ්‍යසාර, ඇසිටැල්ඩිහයිඩ්, ඇසිටෝන් වැනි මෙකී නොකී සියලුම දෑ භාජනයකට එකතු කර ගන්නා කසිප්පු රසායන‍ඥයා, සිය ලාභය අනුව ජලය මිශ්‍ර කර සිය පාරිභෝගිකයාට පොලිතීන් බෑග් එකකට සපයන්නේ එය ඉතාමත් ලාභදායී සහ පහසුම ක්‍රමය නිසාය.

මේ ක්‍රමයට ලබා ගන්නා මත්පැන් කිසිදු විටක පිරිසිදුකරණයකට හෝ පදම් වීමකට භාජනය නොකරන නිසා කිසිදු රසායනික සංයෝගයක් වෙන් නොවී සියල්ල පාරිභෝගිකයාට ලබා ගැනීම දෙපාර්ශ්වයටම සිදුවන වාසියකි. නමුත් මෙහි භයානක අතුරු ප්‍රතිඵල වන්නේ එතිල් මධ්‍යසාරය සමඟ මෙතිල් මද්‍යසාරය මිශ්‍රව පැවතීමයි. මේ මෙතිල් මධ්‍යසාරය අතිශයෙන්ම භයානක වන්නේ එය අක්මාවේදී ෆෝමික් අම්ලය බවට පරිවර්තනය වී එය දෘශ්‍ය ස්නායුව කෙරෙහි දැඩි බලපෑම් ක්‍ෂණයකින් ඇති කරන නිසායි. මේ නිසා මෙතිල් මධ්‍යසාරය විෂ වන බොහෝ දෙනාගේ මූලික රෝග ලක්‍ෂණයක් වන්නේ දෑස් නොපෙනී යාමයි. සාමාන්‍යයෙන් පිරිසිදු මෙතිල් මධ්‍යසාරය මිලි ලීටර දහයක් ශරීරගත වුවහොත් ඕනෑම පුද්ගලයකු සදාකාලික අන්ධභාවයට පත්වීමට පුළුවන්. මිලිලීටර 15ක් යනු කෙනකු මරණයට පත් කළ හැකි ප්‍රමාණයකි.

මෙතිල් මධ්‍යසාරය වැරදී හෝ කෙනෙකුට පෙවුණහොත් කළ යුතු එකම දෙය වන්නේ එතිල් මධ්‍යසාරය පෙවීමයි. නමුත් කිසියම් පුද්ගලයෙක් ඒ වනවිටත් මත්පැනින් මත් වී ඇතිනම් එය එසේ කළ යුතු නැහැ. මධ්‍යසාර නොගත් කෙනෙකුට මෙතිල් මධ්‍යසාර විෂවීමක් සිදු වූයේ නම් සාමාන්‍යයෙන් වොඩ්කා වැනි ස්ප්‍රීතු මිලි ලීටර 50ක් පමණ පෙවීමෙන් එහි ආචරණ පාලනය කරගත හැකියි. එහිදී සිදුවන්නේ අපේ අක්මාවේ මධ්‍යසාර කඩා බිඳ දමන ඇල්කොහොල් ඩිහයිඩ්‍රජනේස් නම් එන්සයිමය වෙත පැමිණෙන මෙතිල් මද්‍යසාර අණු වලකා, ඒ වෙනුවට එතිල් මද්‍යසාර අණු ආදේශවීමයි. මේ නිසා මෙතිල් මධ්‍යසාරය ෆෝමික් අම්ලය බවට පරිවර්තනය වීම වැළකී වෙනත් ආකාරයකින් මෙතිල් මධ්‍යසාරය බිඳ වැටෙනවා.

ඕනෑම කෙනෙකුට කළ හැකි හොඳම දෙය වන්නේ හැකි තරම් මත්පැනින් වැළකී සිටීමයි. එසේ කළ විට මුදලත්, තමන්ගේ සෞඛ්‍යයත් ඉතිරි වනවා පමණක් නොවෙයි අනවශ්‍ය කරදරවලටද පැටලීමෙන් වැළකෙනවා. කෙනෙකුට මත්පැන් බීමට අත්‍යවශ්‍ය නම් දන්නා තැනකින්, දන්නා වෙළෙඳ නාමයක් යටතේ ඇති යමක් පානය, නොදන්නා දෑ පානය කර සදාකාලික අන්ධභාවයට හෝ ක්‍ෂණික මරණය ළඟා ගර ගැනීමට වඩා යහපත් වෙනවා.

ආචාර්ය [පියල් ආරියනන්ද]

මාතෘකා