ලොවට අහිමි වූ අසම්මත ප්‍රාඥයා ඇලන් ටියුරින්

 ඡායාරූපය:

ලොවට අහිමි වූ අසම්මත ප්‍රාඥයා ඇලන් ටියුරින්

ඔබ මේ ලිපිය පරිගණකයක හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික තිරයක්, ආධාරයෙන් කියවනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මේ ලිපිය ලිවීමට, පිටු සැකසීමට මෙන්ම මුද්‍රණය කිරීමටත් උපකාරී වූ පරිගණකයට ස්තුතිවන්ත වනවා ඇති. මේ ලිපිය අතින් හෝ යතුරු ලියනයකින් ලියා, “රැස” කතෘ මණ්ඩලයට බාර දුන් පසු ඔවුන් එහි අකුරු අමුණා, අදාළ පින්තූර අතින් ඇඳ හෝ වෙනත් ආකාරයකින් පිටුව තුළට ඔබ්බවා කරන මුද්‍රණ කටයුත්ත කෙතරම් අපහසුදැයි දැන ගැනීමට ඒ කටයුත්තෙහි මීට වසර හතළිහකට පමණ පෙර යෙදුන කෙනකුගෙන්ම අසා දැන ගත යුතුය. නමුත් මා පරිගණකයෙන් ලිපිය ටයිප් කර අදාළ පින්තූර ද සමග කතෘ මණ්ඩලයට ඊමේල් පණිවුඩයක අමුණා යැවූ පසු, සරල සංස්කරණයකින් සහ පිටු සැකසුමකින් පසුව ඉතා පහසුවෙන් මුද්‍රණය කර ඔබ අතට පත්වීමත් අතර වෙනස කෙතරම් දැයි ඔබටම අවබෝධ කරගත හැකිවනු ඇත. ඒ දැනටමත් ඔබ පරිගණක හා නිතර ගණුදෙනු කර එහි ඇති වාසි වටහාගෙන ඇති නිසාය. අද ලෝකයේ පරිගණක තාක්‍ෂණය නොමැතිව කළ හැකි දෑ මොනවාද? එය එසේ නොවුණා නම් ලෝකය කිනම් ආකාරයක් ගන්නට ඇතිද? නමුත් මේ පරිගණක මේ තරම් දියුණු වීමටත් ඒ සඳහා සිද්ධාන්තයේ මූලික තර්කානුකූල අඩිතාලම දැමීමටත් මුල්වූ ඒ මහා ප්‍රාඥයා නිසි ගෞරවය නොදී මුල්ලකට දමා තැබීම දෛවයේ සරදමක්ද ?

1912 ජුනි මස 23 වැනි දින උපත ලැබූ බ්‍රිතාන්‍ය ජාතික ඇලන් ටියුරින් වෘත්තීයව ප්‍රසිද්ධියට පත් වූයේ එක් අංශයකින් පමණක් නොවේ. ඔහු ගණිතඥයකු, පරිගණක විද්‍යාඥයකු, තාර්කිකයකු, රහස් කේත විශ්ලේෂකයකු, දාර්ශනිකයකු මෙන්ම සිද්ධාන්තමය ජෛව විද්‍යාඥයකු වශයෙන් සැලකෙනවා. නමුත් ඔහු වඩාත්ම ප්‍රසිද්ධ සිද්ධාන්තමය පරිගණක විද්‍යාවෙහි ප්‍රගමනය වෙනුවෙන් ඇල්ගොරිදම සහ ගණනය කිරීම් ටියුරින් යන්ත්‍රය භාවිත කර සිදු කිරීම නිසා. භෞතිකව යන්ත්‍රයක් නොවන ටියුරින් යන්ත්‍රය යනු සාමාන්‍ය පරිගණකයක් ලෙසින් හැඳින්වීමටත් පුළුවන්. ටියුරින් ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වූයේ සිද්ධාන්තමය පරිගණක විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය යන අංශ දෙක වෙනුවෙන්.

ටියුරින් සිය හැකියාවන් ඉතා කුඩා අවධියේදී සිටම මනාව ප්‍රදර්ශනය කළ අයෙක්. පසුව එය වැඩිදියුණු වීමත් සමගම ටියුරින් බුද්ධිමතකු ලෙස ප්‍රසිද්ධ වුණා. එසේ නමුත් ඔහු ගණිතයට සහ විද්‍යාවට එකසේ දැක්වූ ඇල්ම ගුරුවරුන්ගේ පැසසුමට ලක් වූයේ නැහැ. ඔහු දාර්ශනිකයකු වීමට අවශ්‍ය නම් ඔහු එක් විෂයක් තෝරාගත යුතු බවට ගුරුවරුන්ගේ අදහස වුණා. එසේ වුවත් මූලික ගණිත අධ්‍යාපනය නිසි අයුරින් ලබා නොගත්තත් ටියුරින් ඉතා කෙටි කලකින්ම සංකීර්ණ ගණිත ගැටලු විසඳන්නට පටන් ගත්තා. ඔහු අවුරුදු 16දී අයින්ස්ටයින්ගේ සොයාගැනීම් අධ්‍යයනය කරන්නට පටන් ගත්තා. ඔහු ඒවා හොඳින් ග්‍රහණය කර ගත්තා පමණක් නොවෙයි, නිව්ටන්ගේ චලිත නියමයන්වල වූ අයින්ස්ටයින් විසින් ප්‍රශ්න කරනු ලැබූ දෑ ගණනය කර පෙන්වීමටද සමත් වුණා, නමුත් ඔහු ඒවා ප්‍රකාශයට පත් කළේ නැහැ.

ඇලන් ටියුරින් පාසල් ගියේ ශෝර්බෝන් පාසල නම් ඉතා පැරණි පාසලකට. පාසල් යන සමයේ ඔහුගේ මිතුරකු වූ ක්‍රිස්ටෝපර් මෝක්‍රොම් සමග ඉතා සමීප සම්බන්ධතාවක් තිබුණා. දෙදෙනාම සමාන අදහස් සහ විද්‍යාවට ඉහළ නැඹුරුවක් තිබූ නිසා ඔවුන් අතර සමීප බව ඉතා ඉක්මනින්ම දලුලා වැඩුනා. ටියුරින් සිය සගයා සිය ප්‍රථම ප්‍රේමය ලෙස හඳුන්වා දුන්නත් ඒ සබඳතාව ඉතා ඉක්මනින් නතර වූයේ මෝක්‍රොම්ගේ හදිසි අභාවයත් සමගම, මේ නිසා ටියුරින් අතිශය දුක් වූවා පමණක් නොවෙයි ඒ නිසාම විද්‍යාව වෙත තව තවත් නැඹුරු වුණා. එමෙන්ම ඔහු නිරාගමික බවට පත්වූවා මෙන්ම භෞතිකවාදය අධ්‍යයනය කිරීමට ද පටන් ගත්තා..

සරසවි අධ්‍යාපනය සඳහා කේම්බ්‍රිජ් හි King’s College වෙත ඇතුළු වූ ටියුරින් 1934දී ගණිතය විෂයට ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් සහිතව සමත් වූවා. ඒ සමඟම ඔහු King’s Collegeහි ඉහළ සභාවේ සාමාජිකයෙක් ලෙස පිදුම් ලැබුවේ ටියුරින් සිය නිබන්ධනය සඳහා ඉදිරිපත් කළ Central Limit Theorum නම් ව්‍යාප්ති සංඛ්‍යානය අලළා කළ සොයාගැනීම නිසා. ටියුරින් සිය සොයා ගැනීම් ලන්ඩනයේ ගණිත සංගමය විසින් පළ කරන විද්‍යාත්මක සඟරාවක පළ කිරීමත් සමගම ඔහුගේ වටිනාකම වැඩි වන්නට සහ ඔහුගේ සොයාගැනීම්වලට අනෙක් විද්‍යාඥයන් දක්වන අවධානය වැඩි වන්නට පටන් ගත්තා.

1931දී ටියුරින් විසින් එතෙක් කල් Karl Godel විසින් ඉදිරිපත් කළ සීමාවන් පිළිබඳ ගණිතමය සිද්ධාන්ත සහ ගණනය කිරීම් වෙනුවට ඔහුගේම සංකල්පයක් මත ටියුරින් යන්ත්‍රය නම් සංකල්පය ඉදිරිපත් කිරීමත් සමගම පරිගණක විද්‍යාව පිළිබඳ පර්යේෂණ නවතම අංශයකට ගෙන යෑමට සමත් වුණා. ඔහු විසින් නිසි ක්‍රමවේදයන්ට අනුව ලබා දෙන නියත විධාන අනුව සිදු කරන ගණනය කිරීම්, දත්ත සැකසීම් හෝ ස්වයංක්‍රිය හේතුදැක්වීම් වැනි දෑ ( Algorithm – ඇල්ගොරිදම්) භාවිත කර සර්වත්‍ර ගණිත යන්ත්‍රයකට (Universal Computing Machine) සැලකියයුතු ගණනය කිරීම් මිනිසාගේ මැදිහත්වීමකින් තොරව ස්වයංක්‍රියව කළ හැකි බව ඔප්පු කළා. එසේම තීරණය ලබා දෙන ප්‍රශ්න (Yes/No) වැනි ප්‍රශ්න ස්වයංක්‍රිය ගණන යන්ත්‍රයකට ලබා දුන් පසු එය නතර කිරීමට හෝ අවසානයක් දැකීමට නොහැකි බවට ඔහු ඔප්පු කළා. උදාහරණයක් ලෙස එක් ටියුරින් යන්ත්‍රයක් වර්ගමූල ගණනය කළ හැකි අතර තවත් එකක් සුඩෝකු ප්‍රහේලිකාවක් විසඳීම කළ හැකි වනවා. ඔහු ඉදිරිපත් කළේ ලෝකයේ සියලුම ගණිතමය හෝ වෙනත් තාර්කික ප්‍රශ්න විසඳීමට එක යන්ත්‍රයක් නිපදවිය හැකි බවයි. ඔහුගේ එම සිහිනය පළ දරමින් අද පරිගණකය ලෝකය වෙනස් කරමින් තිබෙනවා. අද වනතෙක් පවා ගණනය කිරීම්වලදී ප්‍රධාන ස්ථානයක් ගන්නේ ටියුරින්ගේ ගණිතමය සිද්ධාන්තයන් වීම ඔහුගේ ඉදිරිපත් කිරීම්වල වටිනාකම මොනවට කියා පාන්නක්.

1936 සැප්තැම්බර් සිට 1938 ජූලි කාලවකවානුවේදී ටියුරින් සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු තව දුරටත් ඉදිරියට ගෙන යමින් ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඇලොන්සෝ චර්ච් (Alonzo Church) යටතේ පර්යේෂණ කළා. සිය සොයාගැනීම් ඇසුරින් ඔහු ඉදිරිපත් කළ On Computable Numbers, with an application to the Entscheidungsproblem, නම් පර්යේෂණ පත්‍රිකාව ලොව පරිගණක විද්‍යාවේ මූලික සිද්ධාන්තය ලෙස සැලකෙනවා. ප්‍රින්ස්ටන්හිදී ඔහු 1938 වසරේ Jane Eliza Procter Visiting Fellow නම් විශේෂී නාමය සහිත ශිෂ්‍යත්වයක් දරමින් රහස්‍යලේඛණය (Cryptology) පිළිබඳ හදාරමින් විද්‍යුත් යාන්ත්‍රමය ද්විඅංගී ගුණාකාර ගණනයේ (Electro-mechanical Binary Multiplier) අවධි කිහිපයක් ලෝකයට දායාද කළා. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ඇලන් ටියුරින් ආචාර්ය උපාධිය ලබා ගත්තේ Systems of Logic Based on Ordinals නම් නිබන්ධනය ඉදිරිපත් කරමින් 1938දී. එමඟින් ඔහු සාපේක්‍ෂ ගණනය කිරීම් සහ ක්‍රමාංකිත තර්කය යන සංකල්ප ඉදිරිපත් කළ අතර සිය ටියුරින් යන්ත්‍රවල වැඩිදියුණු කිරීමක්ද සිදු කළා. පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකයකු වශයෙන් ටියුරින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඔහුව තබා ගැනීමට උත්සාහ කළත් ඔහු සිය ආචාර්ය උපාධියෙන් පසු නැවත සිය රට බලා පිටත් වුණා.

දෙවන ලෝක යුද සමයේදී ඇලන් ටියුරින්ද යුද්ධය සඳහා දායකත්වයක් දැක්වූවා... ඔහු රජයේ කේත සහ රහස් අංකන පාසල (Government Code and Cypher School) නම් Bletchley Parkහි රහස් පණිවුඩ විශ්ලේෂණය කරන මධ්‍යස්ථානයේ ජර්මානු රහස් පණිවුඩ අනාවරණය කර ගන්නා ඒකකය මෙහෙයවමින් යුදයට දායක වුණා. ඒ වනවිට කේත විශ්ලේෂණය මහා පරිමාණ කර්මාන්තයක් සේ මිනිසුන් 12000එක ශ්‍රම බලකායක් සහිතව ක්‍රියාත්මක වුණත්, එහිදී විශේෂයෙන්ම ජර්මානු හමුදාව විසින් පමණක්ම භාවිත කළ විශේෂ අංක සහිත කේත යන්ත්‍රයක් වන Enigma Machineහි කේත නිරාවරණය කිරීම අපහසු වුණා. පෝලන්තය මේ යන්ත්‍රයේ කේත විශ්ලේෂණය සිදු කළත් ජර්මනිය සිය යන්ත්‍රය වැඩිදියුණු කිරීම නිසා එයද අපහසුව තිබුණා.

එයට පිළියමක් වශයෙන් ටියුරින් විසින් විද්‍යුත් යාන්ත්‍රික කේත විශ්ලේෂකයක් වන “Bombe” - බොම්බෙ නම් යන්ත්‍රය නිර්මාණය කළා. මේ නිසා දෙවන ලෝක යුද්ධයේ අවසානය වන විට ජර්මානු නාවික හමුදාව විසින් යවනු ලැබූ කේත සහිත පණිවුඩ සියල්ලම සජීවීව විශ්ලේෂණය කිරීමේ හැකියාව බ්‍රිතාන්‍ය හමුදාවන්ට ලැබුණ අතර එය යුද ජයග්‍රහණයට මහත් පිටුබලයක් වුණා පමණක් නොවෙයි ජීවිත මිලියනයකට වඩා ආරක්‍ෂා කර ගැනීමට හැකි වූ බව ඇමෙරිකානු ජනාධිපති අයිසන්හවර් විසින් සනාථ කර තිබුණා..

පශ්චාත් යුද සමය පරිගණක භාවිතයේ සුවිසල් පිම්මක් පනිමින් නව කර්මාන්තයක් සේ වැඩිදියුණු වුණා. මේ සියල්ලේම භාවිත වුණේ ටියුරින්ගේ සිද්ධාන්තවලින් සැකසුණු තාර්කික ගණනය කිරීම්.

ඔහුගේම වචනවලින් පරිගණකය පිළිබඳ ඔහු පවසා තිබුණේ මේ ආකාරයට.

There will positively be no internal alteration [of the computer] to be made even if we wish suddenly to switch from calculating the energy levels of the neon atom to the enumeration of groups of order 720. It may appear somewhat puzzling that this can be done. How can one expect a machine to do all this multitudinous variety of things? The answer is that we should consider the machine to be doing something quite simple, namely carrying out orders given to it in a standard form which it is able to understand.”

1970 ගණන්වල පරම්පරාව පරිගණක සිය නිවෙස්වල භාවිත කළ හැකි උපකරණයක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින අතරතුර Steve Wozniak විසින් කුඩා මයික්‍රො චිපයක් භාවිත කරමින් යතුරු පුවරුවක් සහ රූපවාහිනී තිරයක් සම්බන්ධ කරගෙන කුඩා පරිගණකයක් නිර්මාණය කළා. ඔහුගේ මිතුරු Steve Jobs විසින් එය APPLE I ලෙසින් නම් කළ අතර සිලිකෝන් නිම්නයේ වෙළෙඳසලක් එයින් සියයක් ඩොලර් 500 ගණනේ ගැනීමට කැමැත්ත පළ කළා. ඇපල් සමාගම සිය ප්‍රථම වෙළෙඳාම කිරීමත් සමග සිලිකෝන් නිම්නයේ ප්‍රථම කුඩා සමාගම් පටන්ගැනීමේ සංකල්පය (Start-up) බිහි වුණා. පරිගණකය මිනිසාට අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වන බව ඉවෙන් මෙන් දැනගත් තවත් පුද්ගලයකු වූ බිල් ගේට්ස් විසින් පරිගණක මෘදුකාංග සකසා ඔවුන්ට විකිණීමට පටන් ගත්තා.

 

කාලය එසේ ගෙවුණත් ටියුරින් දිගටම නව සිතිවිලි උපද්දවමින් සිටියා. 1950 දී ඔහු “Computing machinery and intelligence.”පළ කරමින් පරිගණකවලට සිතීමේ හැකියාව ඇතැයි අනාවැකි පළ කළා. 1950 තරම් කාලයකදී ඔහු කෘත්‍රිම බුද්ධිය ගැන අනාවැකි පළකළේ එසේයි. එසේම, පරිගණකවලට එසේ කළ හැකි දැයි සොයා බැලීමට ඔහු “ටියුරින් පරීක්‍ෂණය” ඉදිරිපත් කළා. එය සිදු කරන්නේ විනිසුරුවකු පරිගණකයක් ඉදිරිපිට සිට පරිගණකයකට සහ මිනිසකුට යන වස්තූන් දෙකකට ප්‍රශ්න යොමු කරයි. එම විනිසුරුවරයා විසින් පරිගණකය කුමක්ද මිනිසා කුමක්ද යන්න තීරණය කරයි. විනිසුරුවරයා වැරදි නම්, පරිගණකය ටියුරින් පරීක්‍ෂණ සමත් වන අතර එය කෘත්‍රිම බුද්ධිය සහිත වේ.

ටියුරින්ගේ මෙම පරීක්‍ෂණය හරිහැටි සනාථ නොවුණත් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ දෑ විශාල වශයෙන් අපගේ ජීවිතවලට බලපාමින් පවතිනවා. ගූගල් සිතියම්, වාහන සහ GPS පද්ධති අනුසාරයෙන් ස්වයංක්‍රියව වාහන ගමනාගමනය, ඇපල් පරිගණක සහ iPhoneවල වූ Siri නම් ස්වයංක්‍රිය සහායක පද්ධතිය ආදිය මේ කෘත්‍රිම බුද්ධියේ ඉහළ තාක්‍ෂණයන් භාවිත කරන අවස්ථා කිහිපයක්. මේ ආකාරයෙන් බලන විට ටියුරින්ගේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සිහිනය සැබෑ වන දිනය වැඩි ඈතක නොවේ.

ටියුරින් කෙතරම් අනාගතය දුටු දාර්ශනිකයකු වුවත් එදා බ්‍රිතාන්‍ය සමාජයේ තිබූ මතිමතාන්තර නිසා ඔහුව දුටුවේ අපරාධකරුවකු වශයෙන්. ටියුරින් සමලිංගිකයකු වූ නිසා කොතරම් බුද්ධිමතකු වුවත් දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණයට කෙතරම් දායක වුවත් ඔහු අපරාධකරුවකු ලෙස හංවඩු ගැසුනා... මේ නිසාම 1952දී ඔහුව ඊස්ට්‍රජන් හෝර්මෝනය අධිකව භාවිතයට ගැනීමට නියම කිරීමෙන් ලිංගිකව අප්‍රාණිකත්වයට පත් කිරීමට බ්‍රිතාන්‍ය අධිකරණය කටයුතු කළා. මේ නිසා ඔහු බරපතළ ලෙස විෂාදයට සහ අසහනයට පත් වීම නිසා 1954 ජුනි මස 07 වැනි දින සයනයිඩ් දැමූ ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් සියදිවි නසා ගත්තා.

පරිගණක තාක්‍ෂණය, ගණිතය, විද්‍යාව ආදී අධ්‍යාපනිකව වැඩිදියුණු වූ අංශවල සිටින අප හැරෙන්නට ලෝකය ප්‍රගමනයට ටියුරින්ගේ දායකත්වය පිළිබඳ දන්නා පුද්ගලයන් ප්‍රමාණය අල්ප මාත්‍ර වන්නේ දෙවන ලෝක යුද්ධයට අප්‍රමාණ මෙහෙයක් ඉටු කළද ඒ සියල්ල අතිශය රහසිගත කරුණු නිසායි. කෘත්‍රිම බුද්ධිය කරළියට පැමිණීමත් සමග ටියුරින් පිළිබඳ දන්නා සහ නොදන්නා දේ ක්‍රමයෙන් ලෝකයට විවර වුණා. 2009 දී සිදුකළ පෙත්සම් ව්‍යාපාරයකට අනතුරුව එවකට බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් විසින් ප්‍රසිද්ධ සමාවක් ඉල්ලීමත් සමග ටියුරින්ගේ ජීවිතයට සාධාරණයක් ඉටු වුණා යැයි සිතන්නට පුළුවන්. එසේම මහ රැජින විසින් ඔහුට රාජකීය සමාවක් ප්‍රදානය කළා.

“…on behalf of the British government, and all those who live freely thanks to Alan’s work, I am very proud to say: we’re sorry. You deserved so much better.”

2012 ජුනි මස 23 වැනිදා ඇලන් ටියුරින්ගේ සියවැනි උපන්දිනය සැමරුවා.. මරණයෙන් පසුව වුවද අවසානයේ ඔහුව පිළිගැනීම ටියුරින් අනුගාමිකයන්ට සහනයක් වූවා පමණක් නොව ලෝකය වෙනස් කරන පරිගණකය නිර්මාණය කිරීම වෙනුවෙන් අනාගත ලෝකයම ඔහුට සදා ණයගැති වනු නොඅනුමානයි.

ආචාර්ය
[පියල් ආරියනන්ද]

මාතෘකා