පරිසරය රකින වාහන වායු පරීක්ෂාව ගැන දැනගත යුතුම දේවල්

 ඡායාරූපය:

පරිසරය රකින වාහන වායු පරීක්ෂාව ගැන දැනගත යුතුම දේවල්

සුවදායී හුස්මක් ගැනීමට නම් පිරිසුදු වාතය අත්‍යවශ්‍ය වේ. පරිසරයේ වාතය අපිරිසුදු කරන කරුණු අතර වාහනවලින් පිටවන වායු ප්‍රධාන වේ. එබැවින් පරිසරයේ වාතය පිරිසුදුව පවත්වාගෙන යෑම සඳහා වාහන වායු විමෝචන පරීක්ෂාවට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මේ, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකුට තිබෙන ප්‍රශ්න කිහිපයකට පිළිතුරුය.

 

වාහන වායු විමෝචන පරීක්ෂාව සිදු කර ගත හැකි ස්ථාන මොනවාද?

මේ සඳහා අවසරලත් පෞද්ගලික ආයතන දෙකක් පවතී. ඒවා නම් ලාෆ් ඉකෝ ශ්‍රී පෞද්ගලික සමාගම හා ක්ලින්කෝ පුද්ගලික සමාගමයි. මොවුන්ට අයත් වාහන වාහන වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථාන දිවයින පුරා ලාෆ්ස් ඉකෝ ශ්‍රී සහ ඩ්‍රයිව් ග්‍රීන් යන වාණිජ නාමයන් යටතේ පිහිටුවා ඇත. දිවයින පුරා මෙබඳු මධ්‍යස්ථාන 320ක් පිහිටුවා ඇත. ඔවුන්ගේ වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම මධ්‍යස්ථාන පිහිටුවා ඇති ස්ථාන හා ඒවාට අදාළ විස්තර ලබාගත හැකිය. ඉන්පසු ඔබට ආසන්නම හා පහසුම ස්ථානය තෝරාගෙන ඔබගේ වාහනය පරීක්ෂා කර ගත හැකිය.

වාහනය සඳහා විමෝචන පරීක්ෂාවක් සිදු කර ගත යුත්තේ කවර අවස්ථාවකදීද?

ඔබගේ වාහන බලපත්‍රය වාර්ෂිකව අලුත් කිරීමේදී වාහන වායු විමෝචන පරීක්ෂණයේදී සමත් වූ වායු විමෝචන සහතික පත්‍රය ඉදිරිපත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනිවාර්ය කරනු ලැබ ඇත. එබැවින් අවම වශයෙන් වසරකට එක් වතාවක් එනම්, වාහන බලපත්‍රය අලුත් කරන අවස්ථාවට පෙර මෙය සිදුකර ගත යුතුය. මීට අමතරව වෙනත් ඕනෑම අවස්ථාවකදී වාහනයේ දුම් නලයෙන් දුමක් පිටවන්නේ නම් මෙම පරීක්ෂාව සිදු කර ගැනීම සුදුසු වන අතර එම දෝෂය එන්ජින් සේවා මධ්‍යස්ථානයකින් සකස් කර ගත යුතුය.

වාහන විමෝචන පරීක්ෂාවක් සිදු කිරීම වැදගත් වන්නේ ඇයි?

ඉහළ වායු විමෝචන ප්‍රවණතාවක් ඇති මෝටර් සයිකල් සහ ත්‍රී රෝද රථ ඇතුළුව දිනෙන් දින ඉහළ යන වාහන ගහණය සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ නාගරික ප්‍රදේශයන්හි උග්‍ර වායු දූෂණ ගැටලු කෙරෙහි බලපා ඇත. විශේෂයෙන්ම මෙම වායු දූෂණය නිසා ශ්වසන පද්ධතිය හා රුධිර වාහිනී පද්ධතිය ආශ්‍රිත බොහොමයක් සෞඛ්‍ය ගැටලු එනම්, ඇදුම, පෙණහලු පිළිකා ආදිය ඇතිවිය හැකිය. විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනනය වන්නා වූ දූෂක විශාල සංඛ්‍යාවක් වාහනවලින් පිටවන දුමෙහි අඩංගුය. වාහනවලින් පිටවන දුම ඉතාමත් හානිදායක දූෂණ කාරකයක් වන අතර එය පොසිල ඉන්ධන දහන ක්‍රියාවලියේදී උත්පාදනය වී පසුව වාහනයේ පිටාර නලය (Tail tube) හරහා පිටවෙයි. වාහන විමෝචන මඟින් නිකුත්වන සෞඛ්‍යයට බලපෑම් ඇති කළ හැකි ප්‍රාථමික දූෂකාරක අතර කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රොකාබන්, නයිට්‍රජන් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වන අතර ක්ෂුද්‍ර අංශු, ඊයම් වැනි විෂ සහිත ද්‍රව්‍යද වේ. මීට අමතරව එකී ප්‍රාථමික විමෝචක හා ප්‍රතික්‍රියා කර ඕසෝන් වැනි අනෙකුත් වායූන් සහ සල්ෆේට්, නයිට්‍රේට් වැනි අංශූන් වායුගෝලය තුළ ද්විතීය දූෂක කාරක ලෙස නිර්මාණය වීම සිදුවිය හැකිය.

එබැවින් දැනට භාවිත වන වාහනවලින් සිදුවන විමෝචන පරීක්ෂා කිරීම හා වාහන නිසි ආකාරයට නඩත්තු කිරීම සම්බන්ධව රියදුරන් දැනුවත් කිරීම සඳහා රජය විසින් වාහන විමෝචන පරීක්ෂා වැඩසටහන ආරම්භ කරන ලදී.

වාහන දුම් පරීක්ෂාවෙන් සමත් වීමට කළ යුත්තේ කුමක්ද?

වාහනයක යහපත් ක්‍රියාකාරීත්වය සඳහා සහ ආර්ථිකයට යහපත් වන අයුරින් ඉන්ධන පරිභෝජනය කිරීම සඳහා නිසි නඩත්තුව අත්‍යවශ්‍ය කරුණකි. ඔබ ඔබගේ වාහනය නිසි පරිදි නඩත්තු කර එහි එන්ජිම නිවැරදිව සහ කාලීනව අලුත්වැඩියා කරන්නේ නම් එමඟින් ඔබගේ වාහනය පහසුවෙන්ම දුම් පරීක්ෂාවෙන් සමත් කරගත හැකිය.

වාහනය පරීක්ෂා කළ පසු වාහනයට හානියක් සිදු වී නොමැති බව දැනගත හැක්කේ කෙසේද?

වාහනය පරීක්ෂා මධ්‍යස්ථානයට ඇතුළු වූ පසු එය ඉන්ධන වර්ගය අනුව බෙදා අදාළ ධාවන තීරය වෙත යොමු කරයි. සෑම ධාවන තීරුවකදීම වාහනය දෘෂ්‍ය පරීක්ෂාවකට ලක් කරයි. එම අවස්ථාවේදී චැසි අංකය, එන්ජින් අංකය, සයිලන්සර් කාන්දු, තෙල් කාන්දු, ජල කාන්දු, වායු පෙරනය (හැකිනම්), තෙල් ටැංකියේ පියන, එන්ජින් තෙල් පරීක්ෂා කරන කූර, ප්ලග් ටොප් එක, ෆෑන් බෙල්ට් එක, අසාමාන්‍ය කම්පන හෝ ශබ්ද යන දෑ නිරීක්ෂණය කරනු ලැබේ.

මේවායින් කිසිදු ඒකකයක අසාමාන්‍යතාවක් නිරීක්ෂණය වේ නම් වාහනය දුම් පරීක්ෂාවට ලක් නොකරයි. වාහනය නිසි පරිදි සේවා හා නඩත්තු කර දුම් පරීක්ෂාවට රැගෙන එන ලෙස රියැදුරුට අවවාද කරයි. මෙම කාර්ය සඳහා විශේෂ පරීක්ෂණ පත්‍රිකාවක් යෙදා ගනී. එබැවින් මෙම දෘෂ්‍ය පරීක්ෂාව හේතුවෙන් ඔබගේ වාහනය පරීක්ෂා කරන අතරතුරදී කිසිදු හානියකට ලක් නොවන බවට වග කියයි.

වාහන විමෝචන පරීක්ෂාව සිදු කරන ක්‍රමවේදයන් මොනවාද?

ඉහතින් සඳහන් කළ පරිදි වාහනය පළමුව දෘෂ්‍ය පරීක්ෂාවකට ලක් කරනු ලැබේ. ඉන් පසුව එම දෘෂ්‍ය පරීක්ෂණයෙන් සමත් වූ වාහනයට අදාළ දත්ත පද්ධතියකට (VIN) ඇතුළු කිරීමෙන් අනතුරුව විමෝචන පරීක්ෂාව සිදු කරයි.

දෘෂ්‍ය පරීක්ෂාවෙන් පසු ඩීසල් ධාවන තීරුවේ ඇති ඩීසල් වාහන පරීක්ෂාවකට ලක් කරයි. තෙල්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 55ක් වන අගයක රඳවනු ලබයි. ඩීසල් වාහන සඳහා විමෝචන පරීක්ෂාව පූර්ව පරීක්ෂණ වාර 3ක්, පූර්ව පරීක්ෂණ වාර 03ක් සහ මිනීම සඳහා පරීක්ෂණ වාර 3ක් සහිතව සිදු කරයි.

පෙට්‍රල් වාහන සඳහා ගෑස් ඇනලයිසර් පරීක්ෂණය සිදු කරයි. එය නියමිත උෂ්ණත්වයක කාබන්මොනොක්සයිඩ් (CO) සහ හයිඩ්‍රොකාබන් (HC) ලැසි දිවුම (idle) තත්ත්වය යටතේ සහ මිනිත්තුවට භ්‍රමණ 2500ක වේගයට (2,500 +/- 300) සිදු කරයි. පරීක්ෂාව අතරතුර වාහනයේ අංක තහඩුව ස්වයංක්‍රියව ඡායාරූපගත කිරීම සඳහා උපකරණය තුළ සවි කළ කැමරාවක් ඇත. පරීක්ෂාව සමත් වූ හා අසමත් වූ වාහන කාණ්ඩයන් දෙක සඳහාම ඒවායේ විමෝචන අගයන් සඳහන් කළ අනුමත වර්ණ කේතයන්ගෙන් යුත් කලින් මුද්‍රණය කොට ඇති VET සහතික පත්‍ර ලබා දෙනු ඇත. මෙම සහතිකයෙන් පිටපතක් පළාත් පාලන ආයතනයටද ලබා දෙයි.

වාහන පරීක්ෂාව සඳහා වාහනයේ හිමිකරු සහභාගි වීම අත්‍යවශ්‍යයද?

මෙය අත්‍යවශ්‍ය නොවන නමුත් වාහනයට අදාළ ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

පරීක්ෂාව සඳහා පැමිණෙන විට රැගෙන ආ යුතු ලේඛන කවරේද?

වාහන ලියාපදිංචි කිරීමේ ලේඛනවල මුල්පිටපත් රැගෙන ආ යුතු අතර අදාළ වාහනය ලීසිං පදනම මත ලබා ගෙන ඇත්තේ නම් එම ලීසිං සමාගමෙන් ලබාගත් සහතික කළ වාහන ලියාපදිංචි ලේඛනය රැගෙන ඒම අත්‍යවශ්‍ය වේ.

වාහන පරීක්ෂාව සිදු කරනු ලබන සමාගම් දෙකෙන් එක් සමාගමකට අයත් මධ්‍යස්ථානයකින් එක් අවස්ථාවක දුම් පරීක්ෂාව සිදු කළහොත් යළි පරීක්ෂා කිරීමට එම සමාගමට අදාළ මධ්‍යස්ථානයකටම යා යුතුද?

එය අවශ්‍යම නැත. වාහන හිමිකරුට තම පහසුව හා කැමැත්ත අනුව ස්ථානයක් තෝරා ගත හැකිය. සියලුම දත්ත රාජ්‍ය දත්ත ගබඩාවක තැන්පත් කොට ඇති බැවින් එය ගැටලුවක් නොවේ. වාහන හිමිකරුට තම පූර්ව අත්දැකීම් හා පහසුව සලකා අදාළ ස්ථානයක් තෝරා ගැනීමට උනන්දු කරවයි.

දුම් පරීක්ෂාවෙන් වාහනය අසමත් වුවහොත් සිදු කළ යුත්තේ කුමක්ද?

කිසියම් වාහනයක් දුම් පරීක්ෂාවකින් අසමත් වුවහොත් අදාළ දෝෂය ඇති වීමට හේතු සඳහන් කළ අත්පත්‍රිකා ලබා දෙනු ඇත. එසේම අසමත් වූ වාහන සඳහා අදාළ පරීක්ෂණ මධ්‍යස්ථානය විසින් නොමිලේ යළි පරීක්ෂණයක් සිදු කරනු ලබන අතර දින 60ක් ඇතුළත නිසි පරිදි නඩත්තු කර යළි පැමිණෙන ලෙස උපදෙස් දෙනු ඇත.

වාහන දුම් පරීක්ෂාවෙන් අසමත් වුවහොත් එය අලුත්වැඩියා කළ හැක්කේ කවර ස්ථානයකින්ද? එසේ අලුත්වැඩියාව සඳහා නිර්දේශිත ස්ථාන තිබේද? නැතිනම් වාහන හිමිකරුගේ අභිමතය පරිදි ස්ථානයක් තෝරාගත හැකිද?

රජය විශේෂිත සේවා මධ්‍යස්ථාන නම් කොට නොමැත. වාහන හිමිකරුවන්ට තම අභිමතය පරිදි ස්ථානයක් තෝරාගත හැකි අතර හොඳ ගුණාත්මකභාවයකින් යුතු අවංක සේවයක් ලබා දෙන සේවා ස්ථානයක් කරා යොමු වීමට වාහන හිමිකරුවන් වගබලා ගත යුතුය.

අසමත් වූ වාහනය නැවත දුම් පරීක්ෂාවෙන් සමත් වූ පසු සිදුවන්නේ කුමක්ද?

වාහනය දුම් පරීක්ෂාවෙන් සමත් වුවහොත් වාහන හිමිකරුට වාහන විමෝචන පරීක්ෂා සහතික පත්‍රයක් නිකුත් කරනු ඇත. මෙම සහතිකය අනුමත වර්ණ කේතයන් සහිත, පූර්වයෙන් මුද්‍රණය කළ VET සහතික පතකි. මෙම සහතිකයෙන් පිටපතක් (half slip) අදාළ VET මධ්‍යස්ථාන විසින් පළාත් පාලන ආයතනයට ලැබීමට සලස්වනු ඇත. වාහන බලපත්‍රය අලුත්වැඩියා කරන අවස්ථාවේදී ඔබට ලැබෙන (VET) සහතික පත්‍රය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

වාහනය නිවැරදිව පරීක්ෂා කර ඇති බව සැක හැර දැනගන්නේ කෙසේද?

වාහන විමෝචන පරීක්ෂාවේ ක්‍රමවේදය මෙයයි. එය මෘදුකාංගයක් මඟින් සිදු කෙරෙන නිසා දෝෂ අවම වන අතර විද්‍යාත්මක වේ. කෙසේ වෙතත් වාහන හිමිකරුවන් තවදුරටත් ඒ සම්බන්ධව සෑහීමකට පත් නොවේ නම් ඔවුන්ට වාහනය යළි පරීක්ෂා කර ගත හැකිය. (දෝෂ සහිත බව අනාවරණය වුවහොත්) එසේ නැතිනම් Air MAC VET කුටිය වෙත පැමිණිලි කළ හැකිය.

වාහනය ලියාපදිංචිකොට ඇත්තේ එය භාවිත කරන ප්‍රදේශයට වඩා දුර බැහැර ප්‍රදේශයකදී නම් එය ලියාපදිංචි කළ ප්‍රදේශයේම දුම් පරීක්ෂාව සිදු කළ යුතුද?

අවශ්‍ය නැත. මෙම පරීක්ෂාව ඔබට පහසු අදාළ සමාගම් දෙකින් එකකට අයත් නිලලත් පරීක්ෂා මධ්‍යස්ථානයකින් සිදු කර ගත හැකිය.

කිසියම් VET මධ්‍යස්ථානයක වංචාවක් සිදුවූයේ යැයි හෝ ඔවුන්ගේ සේවාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි නම් පැමිණිලි කළ යුත්තේ කා හටද?

වායු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය (Air MAC), පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව.

මෙම වැඩසටහන සම්බන්ධව පුරෝගාමීව කටයුතු කරන රාජ්‍ය ආයතන මොනවාද?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, වායු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය (Air MAC) පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) , පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, පොලිස් රථ වාහන දෙපාර්තමේන්තුව, කිරුම් මිනුම් සහ ප්‍රමිති දෙපාර්තමේන්තුව යන ආයතන මේ සම්බන්ධව පුරෝගාමීව කටයුතු කරයි.

නවීන වාහනයක හිමිකරුවකුට එහි රක්ෂණය මඟින් වාහන විමෝචන පරීක්ෂා ගාස්තු හා සේවා ගාස්තු ආවරණය වේද?

නැත. දුම් පරීක්ෂාවෙන් අසමත් වුවහොත් ඒ සඳහා සිදු කළ යුතු අලුත්වැඩියාවන් සඳහා වන ගාස්තු රක්ෂණය මඟින් ආවරණය කළ හැකි නමුත් පරීක්ෂණ ගාස්තුව මෙමඟින් ආවරණය නොවේ. කෙසේ වෙතත් ඔබගේ වාහන රක්ෂණයට අදාළ ලේඛන පරීක්ෂා කර බලා හෝ රක්ෂණ ආයතනයට ඇමතීම මඟින් මේ සම්බන්ධ නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඔබට හැකිය.

(මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ නිල වෙඩ් අඩවියෙන් උපුටා ගන්නා ලද දැනුවත් කිරීමකි.)

මාතෘකා