සාතන්ගේ පුත්තු යක්ෂාවේශ වූ කාත්තන්කුඩිය

 ඡායාරූපය:

සාතන්ගේ පුත්තු යක්ෂාවේශ වූ කාත්තන්කුඩිය

පාස්කු ඉරිදා රටම ලේ විලක් කළ අන්තවාදී සහරන් ඇතුළු පිරිසේ ඉතිරි සහචරයෝ දෙවැනි ප්‍රහාරයටද සැලසුම් සකස් කරන්නට වුහ. ඔවුන් මේ සඳහා තෝරාගත්තේ අම්පාර සමන්තුරය සහ නින්දවුර් ආදී ප්‍රදේශ කිහිපයකි. ඒ සඳහා ඔවුහු නිවාස 04ක් කුලියට සහ මුදලට මිලදී ගත්හ. ඔවුන් ප්‍රහාරයට සැලසුම් සකස් කළේ මිලදී ගත් ස්ථාන ආරක්ෂක නිවාස වශයෙන් තබා ගෙනය. පාස්කු 21 වැනිදා ප්‍රහාරයෙන් මෙම ජාතික ජව්හිද් ජමාත් නායක හෂිම් සහරාන් මියගිය නිසා මේ වන විට දෙවන ප්‍රහාරයේ වගකීම පැවරි තිබුණේ සහරාන්ගේ සොහොයුරන් දෙදෙනා වූ මොහමඩ් කාසි රිල්වාන් සහ මොහමඩ් කාසි මොහමඩ් ෂයිනි නැමති අයටය.

ඒ වන විටත් සහරාන්ගෙන් පසු නායකත්වයට පත්වූ නව්පුර මවුලවි බුද්ධි අංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඒ නිසා මෙම පිරිස අම්පාර ආරක්ෂක නිවාසවල සිට දෙවැනි ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බ සකස් කරන්නට වූහ. ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම කෙසේ හෝ මෙම අන්තවාදී පිරිස ලබාගෙන තිබුණු අතර ඒ සඳහා අදාළ පොත්ද භාවිතා කරන්නට වූහ.

ආරක්ෂක අංශ ඒ වන විටත් පරික්ෂණ කටයුතු නිසි ලෙස කරමින් අන්තවාදීන් සොයා මෙහයුම් දියත් කරන්නට විය. මෙම පිරිස ගැන ඉව අල්ලමින් සිටි රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට ඉතා විශ්වාසදායක ආකාරයෙන් තොරතුරක් ලැබෙන්නට විය. ඉන් කියවුණේ අන්තවාදීන්ගේ ආරක්ෂිත නිවාස 04ක් පිළිබඳවය.

ඒ අනුව 26 වැනිදා උදෑසන රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුර මත පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව එක්ව මේ වෙනුවෙන් පරීක්ෂණ ආරම්භ කරන්නට වූහ. 26 වැනිදා උදෑසන අඩ්ඩාලච්න ප්‍රදේශයේ තිබූ අන්තවාදී තිප්පොළ වටලන්නට ආරක්ෂක අංශ කටයුතු කළේය. බෝම්බ සෑදීමේදී රත්වීම වැළැක්වීම සඳහා යොදා ගන්නා අධි ශීතකරණ සහ ෂයිනිගේ තොරතුරු සහිත ලිපි ලේඛන රැසක් සොයා ගන්නට ඒ අනුව ඔවුන්ට හැකි විය.

තොරතුරට අනුව රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් දෙවැනි නිවාසය පරික්ෂා කිරීමට තීරණය කරන ලදි. සමන්තුරේ සෙන්ගල් ගම්මානයේ මිලිනි අඩි පවුස් මාවතේ අංක 170/ 01 නිවසට ඔවුන් පැමිණියේ ලද තොරතුරට අනුවය. දෙමහල් නිවසක් වු එහි කඩකාමරයක මීට දින කිහිපයකට ඉහතදී මසකට රුපියල් පන්දහස බැගින් මාස දෙකකට රුපියල් දස දහසක් මෙම නිවැසියන්ට දී කඩකාමර කුලියට ගෙන තිබුණේ අදාළ ත්‍රස්තයන් විසිනි.

කඩ කාමරය පරික්ෂා කරන්නට වූ ආරක්ෂක අංශ නිලධාරීහු දුටු දෙයින් විමතියට පත්වූහ. අන්තවාදී සහරන්ගේ කල්ලිය සිය දෙවැනි ප්‍රහාරය සඳහා කළ සැලසුම් එහි විය. බෝම්බ නිෂ්පාදනාගාරයක් ඒ නිවසෙහි විය. බුද්ධි අංශ දුර්වල යැයි සමහරු කරන වගාලාප සහමුලින් පුස්සක් බව තේරෙන්නේ මෙම තොරතුරු ඔස්සේ කාරණා සොයාගෙන යෑමේදීය.

ඒ වන විටත් රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගේ මෙම විමර්ෂණ නිසා විශේෂ කාර්ය බළකායේ කලාප භාර අණදෙන නිලධාරී අතුල රත්නායකගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකා භට පිරිස්ද, යුද හමුදාවේ නැඟෙනහිර ආඥාපති අරුණ ජයසේකරගේ මඟ පෙන්වීමෙන් 24 සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද මුදලිගලේද පැමිණෙන්නට වූහ.

අම්පාර සහ මඩකළපුව භාර නියෝජ්‍ය පොලිස්පති අයේෂ කරුණාසිංහගේ මෙහයවීමෙන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර සහ කල්මුණ භාර පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරින්ද මෙම මෙහයුමට එක්ව සිටියහ.

එම ස්ථානයේ තිබී බයිසිකල් බෝල ලක්ෂයක්, ඩෙටනේටර් 30ක්, ජෙල්ට්නයිට් කුරු 180ක්, වෝටර් ජේල් 180ක්, ඇමෝනියා කිලෝ 250ක්, සල්පියුරික් ඇසිඩ් ලීටර් 20 කෑන් 04ක්, නයිට්‍රික් ඇසිඩ් ලීටර් 20 කෑන් 04ක්, සී 4 පුපුරන ද්‍රව්‍ය කිලෝ 02ක්, හඳුනා නොගත් පුපුරන ද්‍රව්‍ය කිලො 5ක්ද හමුවිය.

එයට අමතරව බෝම්බ පිපිරීමට ගන්නා ටයිමර් කිහිපයක්, බෝම්බ පිපිරීමට ගන්නා ස්විච 11ක්, ඩ්‍රෝන කැමරා, ලැප්ටොප්, මුහුණ ආවරණය කරන උපකරණ, බීකර ඇතුළු බොහෝ උපකරණ රැසක් සොයා ගන්නා ලදි. මේවා සියල්ලම බෝම්බ නිෂ්පාදනය සඳහා යොදාගන්නා උපකරණ වන අතර මෙම පිරිස 21 වැනිදා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට පෙර මාධ්‍යයට එක්කළ වීඩියෝ දර්ශනයේ ඇඳ සිටි ඇඳුමක් සහ ඒ අවස්ථාවේ පිටුපස තිබුණු බැනරයට සමාන බැනරයක්ද සොයා ගැනිණි.

ඉන් පසු නැවතත් ආරක්ෂක අංශ මෙම අන්තවාදීන්ගේ 3 වැනි ආරක්ෂක නිවාසය සොයා මෙහයුම දියත් කරන්නට විය. ඊට මොහොතකට පෙර එහි සිටි පිරිස එම නිවෙසෙන් ගිය එහි දක්නට ලැබුණු අතර ඒ වන විට වේලාව සවස 4ට පමණ විය. පරික්ෂා කිරීමේදී එම නිවසද බෝම්බ නිෂ්පාදනාගාරයක් ලෙස සකස් කර බෝම්බ නිෂ්පාදනය වෙමින් තිබිණි. තවද බෝම්බ සෑදීමේදී රත් වූ විට එම කොටස් සීතල කිරීම සඳහා යොදා ගන්නා අධි ශීතකරණද එහි තිබිණි.

04 වැනි නිවාසය ඇත්තේ සමන්තුරයේ බව රාජ්‍ය බුද්ධි නිලධාරින්ට ඒ වන විටත් ලැබුණු තොරතුරු අනුව සමන්තුරය වොල්වොල් ප්‍රදේශයේ එම නිවාසය සොයා යෑම බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ නිලධාරින්ගේ අදහස විය.

මේ සියල්ල සිදුවන අතරවාරයේ මෙම නින්දවුර් නිවෙසින් පිටත්ව ගිය ත්‍රස්තවාදීහු සයින්දමරුදු වොලිවෝර් නිවසට ගොස් තිබුණේ වාහනයකිනි. මෙම නිවස ඔවුන් දින කිහිපයකට පෙර මිලදී ගෙන තිබූවකි.

ඒ අවස්ථාවේ මෙම පිරිස වාහනයෙන් බසිද්දී ඒ අවට සිටි ජනතාව මොවුන් පිළිබඳ විමසිලිමත් වී තිබේ.

'ඔයාලා කවුද?' කියා ඒ ජනතාව අසද්දි එකවරම ටී 56 අවියක් පෙන්වූ අයෙක් 'උඹලාට මොකටද ඒක? උඹලත් අපිට උදව් කරපල්ලා' යැයි බැන වැදී තිබේ.

මෙම සැකකාර පිරිස පිළිබඳව ඒ ආසන්නයේ රාජකාරියේ නිරතවුණු පොලිස් නිලධාරියකුට අසල්වාසි පිරිස පවසා තිබේ. ඒ සැනින් එම පොලිස් නිලධාරිවරයා අදාළ ස්ථානයට යතුරු පැදියකින් එන විට සැකකාර පිරිස ඔහුට වෙඩි තබා තිබේ. එම ස්ථානයෙන් පිටත්ව ගිය පොලිස් නිලධාරිවරයා පොලිස් විශේෂ කාර්ය බළකායට සහ ආරක්ෂක අංශවලට සහ ඉහළ පොලිස් නිළධාරීන්ට මේ පිළිබඳව දැනුම් දී ඇත.

මේ වන විටත් සයින්දමරුදු වොලිවොල් ප්‍රදේශයේ නිවස සොයා බුද්ධි අංශ නිලධාරීහු සහ ආරක්ෂක අංශ පැමිණීමට සූදානම් වෙමින් සිටියහ. ඒ වන විටත් මෙම සැකකාර පිරිස පිළිබඳව ඔවුහු දැනුවත් වී සිටියහ. ඒ පිරිස මොහොතකට පෙර පිටත්ව ගොස් ඇති අන්තවාදි පිරිස බව අනුමාන කිරීමට තරම් එම නිලධාරීහු දක්ෂ වූහ.

යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් සහ රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් එම ප්‍රදේශයට ගියේ ඒ අනුවය. සවස 7ට පමණ යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකාය වෙඩි තැබූ නිවස දෙසට යද්දී එක්වරම එම නිවස දෙසින් විශාල පිපිරීමක් ඇති විය. ඉන්පසු ආරක්ෂක අංශ නිලධාරීන් සිටි දෙසට වෙඩි පහරවල් එල්ල විය.

ආරක්ෂක අංශ නිලධාරීහුද ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට වූහ. නැවත 7. 15ට පමණ එම නිවස දෙසින් තවත් පිපිරීමක් හා වෙඩි පහරවල් එල්ල විය. නැවතත් රාත්‍රි 8ට ආසන්න වන විට තවත් පිපිරීමක් එම නිවස දෙසින් ඇසෙන්නට විය. ඒ අතරවාරයේ විටින් විට ආරක්ෂක අංශ දෙසට වෙඩි පහරවල් එල්ලවෙද්දී ආරක්ෂක අංශද එයට ප්‍රතිප්‍රහාර එල්ල කරනන්ට විය. රාත්‍රී 12ට ආසන්න වනතෙක්ම මෙම වෙඩි හුවමාරුව පැවතිණි. පසුව ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර නතර විය.

අන්ධකාරයේ සැඟව සිටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර අවසන් බව ආරක්ෂක අංශවලට අවබෝධ වූ අතර මෙම වෙඩි තැබීම නිසා තිදෙනකු මියගොස් ඇති බව දැනගන්ට ලැබිණි. බෝම්බ පුපුරුවා ගැනීමෙන් එම ස්ථානයේ මියගිය 13 දෙනකුගේ සිරුරු සුන් බවට පත්ව තිබිණි.

මෙම පිරිස බෝම්බ පුපුරුවා ගැනීමට මොහොතකට පෙර වීඩියෝ දර්ශනයක් නිකුත් කර තිබේ. ඒ අනුව තව මොහොතකින් තමා ඇතුළු සියලුදෙනා මියයන බවත් දෙවියන් වෙනුවෙන් ස්වර්ගයට යෑමට සූදානම් බවත් එම ස්ථානයේ සිටි පිරිස ගැනද තොරතුරු දක්වමින් කියා තිබේ.

මෙම පිපිරීම හේතුවෙන් සහරන්ගේ මව, පියා සහ සහරන්ගේ සහෝදරයා වූ රිල්වාන්, බිරිඳ, ෂයිනි සහ ඔහුගේ බිරිඳ සහ දරුවන්ද 21 වැනිදා මරාගෙන මැරෙන ප්‍රහාරයට එක්වූ මඩකලපුව බෝම්බකරු වූ මොහමඩ් නසාර් මොහමඩ් අසාර්ගේ බිරිඳත්, මිගමුව පිපිරීමේ බෝම්බකරු කස්තුන්ගේ බිරිඳ සහ තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ බිරිඳත් සමඟින් මොහමඩ් නියාස් නැමැත්තකුද මිය ගොස් ඇති බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.

මොහමඩ් නියාස් නමැත්තා මෙම නිවස මිලදී ගැනීම් සහ කුලියට ගැනීම්ද අවශ්‍ය වාහන මිලදී ගැනීමද සිදු කර තිබේ. ඒ සඳහා මැදපෙරදිග අන්තවාදී සංවිධානවල පිරිස අවශ්‍ය මුදල් ලබාදී ඇත.

"මේ අතරින් හය දෙනකු මරාගෙන මැරෙන ප්‍රහාරකයන් බව සැක කරනවා. දෙමටගොඩ සිද්ධියේදී වුණා වගේ මේ අවස්ථාවෙත් ආරක්ෂක අංශ අදාළ නිවසට ඇතුළු වෙන්න උත්සාහ කරනකොට පිපිරීම් සිදු වුණා" පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කීවේය.

27 උදෑසන ආරක්ෂක අංශ එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීම් කරද්දී බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවක සහ කුඩා දැරියක හමුව තිබේ. ආරක්ෂක අංශවල නිලධාරීන් හැකි ඉක්මනින් තුවාලකරුවන් අම්පාර රෝහලට යවා අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ඇත. මෙසේ මෙම බෝම්බයෙන් දිවි ගලවා ගෙන ඇත්තේ ජාතික තව්හිද් සංවිධානයේ නායක සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් පාතිමා කාදල් පාතිමා සහ ඇයගේ සිව් හැවිරිදි දියණිය බවත් මේ වන විට බුද්ධි අංශ හඳුනාගෙන ඇත.

මෙම බෝම්බ පිපිරීම සහ වෙඩි ප්‍රහාර නිසා පිරිමි 04ක් කාන්තාවන් 06ක් සහ දරුවන් 06 දෙනකු සමඟින් 16 දෙනකු මිය ගොස් තිබේ.

[එස්. අමරබන්දු]

 

මාතෘකා