Try නොකර කිසිම දෙයක් හරියන්නේ නෑ

 ඡායාරූපය:

Try නොකර කිසිම දෙයක් හරියන්නේ නෑ

නාරද බක්මීවැව

 

වත්මන් තාරුණ්‍යයේ ගමන් මඟ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ?

එක පැත්තකින් සෝෂල් මීඩියා සමඟ කටයුතු කරන ප්‍රගතශීලී පරපුරක් ඉන්නවා. ඒ වගේම ඒක ඇතුළෙ අනෙක් අයත් ඉන්නවා.

අනෙක් අය කිව්වේ?

සෝෂල් මීඩියා ඇතුළෙම මිථ්‍යාව වෙනුවෙන් පෙනී ඉන්න අය. ඔවුන් ජාති, ආගම් භේද වගේ දේවල් කරන්න සුදානම් වෙන්නේ අනුන්ගේ උවමනා එපාකම් මත. ඔවුන් මේ හැමදේම කරන්නේ විද්‍යාවේ දියුණුව තුළින් ගොඩනැඟුණු දේවල් මුල්කරගෙන. ඉතින් මේ කොට්ඨාස දෙක තුළින්ම පිළිබිඹු වෙන්නේ තාරුණ්‍ය.

මේ මොහොතේ තරුණ ජීවිත ගලාගෙන යන්නේ ඒකාකාරී විදියට. O/L,A/L, අවසානයේ කැම්පස්. ඉන්පස්සෙ රැකියා වියුක්තිකයන් පිරිසක්?

ඒක වෙලා තියෙන්නෙ මෙහෙමයි. කැම්පස් එකෙන් අවුට් වෙන හැමෝම බලාපොරොත්තු වෙන්නෙ රජයේ රැකියා. පෞද්ගලික ආයතනයකට යන්න කැමැත්තක් දක්වන්නෙත් නෑ. අන්න ඒ වගේ මානසික මට්ටම්වල ඉන්න අයත් ඉන්නවා. තියෙන ජොබ්වලට යන්නේ නැතිව ආණ්ඩුවේ ඒවාම ඉල්ලන අයත් ඉන්නවා. සමහරු දර්ශනය ඉගෙනගෙන ජොබ් හොයනවා. ඉතිං දර්ශනය වගේ විෂයක් ඉගෙනගෙන ජෝබ් හොයන එකත් ලේසි නෑ. මෙතන අධ්‍යාපනයේ අවුලක් තියෙනවා. කිසි දෙයක් ප්ලෑන් කරලා නෑ. ඉතිං එහෙම වුණාම තරුණ ජීවිත ඒකාකාරී වෙන එක අරුමයක් නෙමෙයි.

ඒත් මෙතනදි රැකියා වියුක්තිය දැඩිව බලපානවා?

ඔව් ඉතින් ඒක එහෙම වෙනවානේ ප්ලෑන් එක නැතුව වැඩ කරනතාක්කල්.

හරි එහෙමනම් ජීවිතය ගොඩනඟා ගන්න වෙනත් ක්‍රමවේදයන් තියෙනවද?

ඔව්, ඕන තරම් තියෙනවා. ‘අලි බබා’ ආයතනයේ 'ජැක් මා' අන්ත අසරණ තත්ත්වයක ඉඳලා අද වෙනකොට ලෝකයේ ඉහළම පෙළේ ධනවතෙකු වුණා. ඒ මොකද ඕනම කෙනෙක්ට තියෙනවා තමන්ට හරියන විෂය පථයක්. රාමුවෙන් පිටත හිතන්න ගත්තොත් ඕන තරම් වැඩ තියෙනවා. මම නිවේදකයෙක් වෙන්න හිතනකොට අපේ පවුලෙ කිසිම කෙනෙක් ඒ පැත්තට සම්බන්ධ වෙලා හිටියේ නෑ. ඒත් මම මට හරියන විෂය තෝරාගෙන ඒ ඔස්සේ ගියා. ට්‍රයි කරන්න ඕන. ට්‍රයි නොකර කිසිම දෙයක් හරියන්නේ නෑ.

මෙහෙම කතා කළොත් කාලාන්තරයක් තිස්සේ සෙක්ස් කියන දේ ලංකාවේ වහලා දාල තියෙන්නෙ. ඒක හරිම ආවෘත්තයි. මේ ගැන මොකද කියන්න තියෙන්නේ?

ජීව විද්‍යාත්මකව බැලුවොත් ඒක හරි අමුතු දෙයක් නෙවෙයි. මේකට දැන් අපේ මිනිස්සු වැරදි අර්ථකතනයක් දීලා තියෙන්නේ. ගුරුවරු පවා හිතෙන්නේ ඒ දේවල් උගන්වන එකත් හරි නරකයි කියලා. උගන්වන එක නෙවෙයි, අධ්‍යාපනය ලබා නොදෙන එකයි නරක. ‘sex education’ කියන එක නිවැරදිව ලබා දීම තුළ තමයි නිවැරදි අධ්‍යාපනය ලැබූ පිරිසක් බිහි වෙන්නෙ. නැත්නම් වැරදි මතිමතාන්තරවල එල්බගෙන තමයි මිනිසුන් ජීවත් වෙන්නේ. මේක අධ්‍යාපනික ප්‍රශ්නයක්. කොටින්ම කියනවා නම් දැන් ළමයි දන්නෙ හරි එක නෙවෙයි වැරදි එක.

එතකොට ලංකාවේ තියෙන සංස්කෘතියට මොකද වෙන්නේ?

හරිම නිරවුල්. සංස්කෘතිය කියන දේ ඉතාම වේගයෙන් වෙනස් වීමට භාජනය වන දෙයක්. සමහර අය හිතාගෙන ඉන්නේ සංස්කෘතිය කියලා කියන්නේ පරණ කාලයේ දේවල් ඒ විදියටම තියෙන එකයි කියලා. ඒ කාලේ හොඳ දේවල් තියාගෙන ඉදිරියට යන එකේ අවුලක් නෑ. දැන් බලන්න ඒ කාලේ බර කරත්ත සංස්කෘතියක් තිබ්බනේ. ඉතින් එහෙමයි කියලා මේ තරම් දියුණු ප්‍රවාහන ක්‍රමයක් තියෙන මොහොතක අපි බර කරත්තවලින් යා යුතු නෑ. අන්න ඒකයි මම කියන්නේ සංස්කෘතිය කියන දේ මොහොතින් මොහොත, දවසින් දවස වෙනස් වෙනවා කියලා. එක එක කාලෙට trend එනවා. කාලයක් සරමත් අපේ trend එකක් වෙලා තිබුණා. බොහෝ වෙලාවට මේ සියල්ල තීරණය කරන්නේ වෙළෙඳපොළ.

පාරම්පරික අදහස්, ගතානුගතික සිතිවිලි, සිරිත් විරිත් ඔළුවේ තියාගෙන අපට ගමනක් යන්න පුළුවන් වෙයිද?

හොඳ නම් කොහොමත් හොඳයි. නරක නම් නරකයි. අපි සමහර වෙලාවට බණිනවා බටහිර රටවල මිනිස්සු මිනිහෙක් පාරේ වැටිලා හිටියත් ඒ දිහා බලන්නෙවත් නෑ කියලා. නෑ, එහෙම දෙයක් නෑ. ඒ මිනිස්සු system එකකට පුරුදු වෙලා ඉන්නේ 911ට කතා කරලා හදිසි පණිවිඩයක් දෙන්න. අපේ මිනිසුන්ගේ කිසිම දෙයක system එකක් නෑ. මිථ්‍යා මත වැරදි නම් කොහොමත් වැරදියි. සමහර දේවල් නිවැරදියි කියනවා නම් ඒවා විද්‍යාත්මකව ඔප්පු කර ගත යුතුයි. ඉතින් ඒකයි මං කිව්වේ හොඳයි නම් හොඳයි. නරකයි නම් නරකයි. මේ දේවල් බැලන්ස් කරගෙන තමයි අපි ඉදිරියට යන්න ඕන.

මාතෘකා