ම්ලේච්ඡත්ව‍යෙන් ගොඩනැගුණු ලෝක පිළිලය ISIS

 ඡායාරූපය:

ම්ලේච්ඡත්ව‍යෙන් ගොඩනැගුණු ලෝක පිළිලය ISIS

බොහෝ වචනවලට අරුත් සෙවීම අපහසුය. එමෙන්ම බොහෝ වචනවලට සමාන පද සෙවීමද අපහසුය. නමුත් නොයෙකුත් පදවලට සමාන පද සෙවීම පහසුය. ඒ අතුරින් එක් පදයක් වන්නේ ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදයට සමාන පදයක් වන්නේ ම්ලේච්ඡත්වයයි. කුරිරු ම්ලේච්ඡත්වයේ ක්‍රියාදාම නිසා මේ මොහොත වනවිටත් ලෝකය පුරා ලේ සොයමින් යන ISIS සංවිධානය ශ්‍රී ලංකාවට පා තබා හමාරය. 1999 ආරම්භ වූවා යැයි සැලකෙන මෙම සංවිධානය මේ මොහොත වනවිටත් තම සංවිධාන ශක්තිය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරන්නට සමත්ව තිබේ .

හිංසාකාරී ත්‍රස්තවාදය කවදා කොතැනකදී ආරම්භ වූවාද යන්න දැනගැනීමට තොරතුරු, සංඛ්‍යා ලේඛන, ජනමූලාශ්‍ර සිදුවීම් සොයා ගන්නට අපහසු වුවද එවන් වූ හිංසාකාරී ත්‍රස්ත කණ්ඩායම් කවරේද යන්න මේ මොහොත වනවිට ප්‍රචලිතව අවසන්ය.

ත්‍රස්තවාදී කණ්ඩායම් අතුරින් ලෝකයේ භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස එල්ටීටීඊ සංවිධානය කාලයක් පුරා නම් දරා සිටියද මේ වනවිටත් ලෝකයේ බහුතරයක් රටවල්වලට අභියෝගයක් වී ඇත්තේ ISIS සංවිධානයයි. ලෝකය පුරා ආර්ථික මර්මස්ථානයන් පවා තම ඉලක්කවලට හසුකරගනිමින් ප්‍රහාර දියත් කර ඇති ISIS සංවිධානය වඩාත් දැඩි ලෙස ප්‍රහාර දියත් කිරීමට සූදානමින් සිටින්නේ තම ආගමිකයන් වෙනුවෙන් වඩා වැඩි ඉඩකඩක් නොදෙන රටවල් තුළයි. මෑතකදී ඔවුනට ඉලක්කගත වූ නවතම රටවල් දෙක වූයේ නවසිලන්තය හා ශ්‍රී ලංකාවයි. පසුගියදා ශ්‍රී ලංකාවේ ක්‍රිස්තු දේවස්ථාන තුළ කළ පිපිරීම්වලින්ම ඔවුන්ගේ අභිමතය මනාව පැහැදිලි වේ. එය කෙසේ වෙතත් 2020 වනවිට ලෝකය පුරා පවතින රටවල් ප්‍රබල ලෙස තම ග්‍රහණයට ගැනීමට පිඹුරුපත් සකසා ඇති ඔවුන් ඒ වෙනුවෙන් තමන් අයත් කරගත් භූමිවලට සංවිධානය විසින් දෙනු ලැබූ නම් තබා සිතියමක්ද අන්තර්ජාලයට මුදාහරින්නට මීට වසර කිහිපයකට පෙර සමත් විය. ඒ අනුව ගත්කළ ශ්‍රී ලංකාවද ඔවුන්ගේ සිතියමට අයත් ඔවුන්ගේම භූමියේ කොටසකි.

සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කරමින් ලේ සුවඳට ඉව අල්ලන මෙම කුරිරු ත්‍රස්තවාදී සංවිධානය හැඳින්වීමට ISIS යන නාමය යොදා ගත්තද මීට අමතරව විවිධ නාමයන්ගෙන් ඔවුන් හැඳින්වීමට භාවිතා කරන නාමයන්ද දක්නට ලැබේ.

ISIS

Islamic state of Iraq and syria

මෙම සංවිධානය මුල් වරට ඉරාකයේදී මෙකී නම භාවිත කළ අතර වර්තමානයේදී පවා ඔවුන් ප්‍රචලිතව සිටින්නේ මෙම නමිනි. සිරියාවේ නම තම සංවිධානයට යොදා ගැනීමෙන් ඔවුන් අදහස් කළේ සිරියාව තුළ තමන්ට පවතින බලය ලෝක ප්‍රජාව වෙත ඒත්තු ගැන්වීමයි.

ISIS

islamic state of iraq and Levant

මුල්වරට ඉරාකයේ සහ සිරියාවේ නම යොදා ගනිමින් තම සංවිධානය හඳුන්වා දුන් ඔවුන් විසින් පසුව Levant යොදා ගැනීමෙන් පෙන්නුම් කරනු ලැබූවේ නැඟෙනහිර මධ්‍යධරණී කලාපයේ ප්‍රදේශයි.

IS

Islamic state

ISIS සංවිධානයේ අභිප්‍රාය වූයේ තමන්ට ආවේණික ඉස්ලාමීය පුරවරයක් ගොඩනැංවීමයි. නමුත් පසුකාලීනව එය තමන්ට අවාසිදායක වේ යැයි සිතූ ඔවුන් සංවිධානයට අවැසි වන්නේ සමස්තය වෙනුවෙන්ම සුපිරිසිදු වූ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීම බව අදහස් කිරීමට මේ නම යොදන්නට විය.

Daesh

දෙදහස් පහළොවේදී ප්‍රංශයේ පැරිස් නුවරට ISIS සංවිධානය විස්න් එල්ල කරන ලද ප්‍රහාර හේතු කර ගනිමින් Daesh යනුවෙන් ඔවුන් හැදින්වීමට බහුතරයක් ලෝක නායකයන් කටයුතු කරන්නට විය. Daesh යන්න අරාබි භාෂාවෙන් භාවිත කිරීමේදී එය පහත් කොට සැලකීමක් ලෙස හැඟෙන අර්ථයක් දක්වන නිසාවෙන් ISIS සංවිධානය මෙකී නම භාවිතා කිරීම සම්බන්ධයෙන් කැමැත්තක් නොදක්වන බව විදෙස් මාධ්‍ය විචාරකයන්ගේ අදහසයි.

කෙසේ වෙතත් තම පාලන ප්‍රදේශවල සිටින අන්‍ය ආගමිකයන්ට මෙන්ම ඔවුන්ගේ මතවාදයන්ට අනුව එකඟතාවයක් නොදක්වන්නට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරමින්, පළවා හරිමින්, ජනතාව ඝාතනය කරමින්, ලෝකයක් භීතියට පත් කරමින් පැමිණි ISIS සංවිධානයේ ඉතිහාසය විමසීමේදී ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කරන ලද 2003 වසර දක්වා අතීතයකට ගමන් කිරීමට සිදුවේ.

මේ අතර අල්කයිඩා සංවිධානය ඔවුන්ට අවස්ථාවක් ලද සැනින්ම තම කඳවුරු ශක්තිමත් කළ අතර සීමාවට ඔබ්බෙන් තිබූ ජෝර්දානයටද ප්‍රහාර එල්ල කරන්නට කටයුතු කළේය. මේ වනවිට ඇමරිකාව විසින් අල්කයිඩා දඩයම ආරම්භ කරනු ලැබ තිබුණු අතර අත්අඩංගුවට පත් අල්කයිඩා භටයන් විශාල ප්‍රමාණයක් තම හාරයට ගෙන ඇමරිකානුවන් විසින් පවත්වාගෙන යනු ලබන සිර කඳවුරුවලට යැවීය. මෙකී සිර කඳවුරු නම් කර තිබුණේ "බුකා" නමිනි.

කෙසේ වුවත් 2011 අරාබි වසන්තයක් සමඟින් ඇති වූ සිරියානු කැරැලිකරුවන්ගේ ප්‍රචණ්ඩකාරී බව තුරුම්පුවක් කර ගත් අල්කයිඩා සටන්කරුවන් තම අදහස්වලට ගරු කරන්නන් සමඟ එක් වී ඔවුන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ආරම්භ කිරීමට උත්සාහ ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස සංවිධානයේ නම මූලිකවම වෙනස් කරන්නට උත්සාහ ගත්තේය. මේ හේතූන් නිසා අල්කයිඩා මූලස්ථානය සිරියාව සමඟ උරණව ISIS සංවිධානය බිහි කරන්නට විය. මෙහි ප්‍රතිඵලය වූයේ අල්කයිඩා සංවිධානය ISIS සංවිධානයෙන් බිඳී වෙන් වීමයි .

මේ අතර සිරියානු ගැටුම් උග්‍ර වෙමින් පැවතියදී තමන් යටතේ පැවැති ඉරාක ප්‍රදේශවලට අමතරව සිරියාවේද නගර ගණනාවක් අත්පත් කර ගැනීමට ISIS සංවිධානය සමත් විය. එමෙන්ම තම සංවිධානයට ලොව පුරා සිටින සාමාජිකයන් එක්රැස් කර ගැනීමට ඔවුන් භාවිත කළ ආකර්ෂණීයම ක්‍රමය වූයේ සමාජ ජාල භාවිතයයි. ඒ තුළින් ඔවුන් බලාපොරොත්තු වූයේ ලොව පුරා සිටින මුස්ලිම් ජාතිකයන්ගේ සිත් සතන් තුළ ඉස්ලාම් අධිරාජ්‍යක සිහිනය ජනිත කරවීමයි. මේ සමාජ ජාල තුළින් ISIS සංවිධානය මඟින් බෙදා හරිනු ලැබූ ඡායාරූප, වීඩියෝ හා අලංකාර වූ ඉදිරිපත් කිරීම්වලින් විශාල පිරිස් දිනා ගන්නට ISIS සංවිධානය සමත් විය. ඒ නිසා සෘජුවම ඔවුන් හා එක්ව සටන් වදින්නට මෙන්ම විදෙස් රටක සිටිමින් සංවිධානයට සහයෝගය දීමටද විශාල සංඛ්‍යාවක් එක්ව තිබිණ.

ISIS සංවිධානය අතීතයේදී කවරාකාර ලෙසින් ව්‍යාප්තව භීෂණකාරී ලෙසින් කටයුතු කළද යුදමය තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටි ඇමරිකාව මෙන්ම රුසියාව ඔවුන්ගේ ගමන් මඟ අහුරා සිටින්නට සමත් විය. කෙසේ වුවද මේ මොහොත වන වනවිට ලෝකයේ රටවල් දහයකට වැඩි ප්‍රමාණයක් ISIS සංවිධානය හා සටන්වදින අතර මැදපෙරදිග කලාපයේ යුද කටයුතු සිදුවන තාක්කල් එහි රැඳී සිටින ISIS ත්‍රස්තවාදීන් ආසියාවට සංක්‍රමණය වන බව යුද විශ්ලේෂකයන්ගේ මතයයි. එමෙන්ම එය මර්දනය නොකළහොත් මේ ක්‍රියාවලිය මුළුමහත් ආසියානු කලාපයටම ඉමහත් තර්ජනයක් වන බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කර සිටියි.

[රජිත බස්නායක]


[මංජුල සමරසේකර]

ISIS යනු සුන්නි ඉස්ලාමයේ සලාෆි ජිහාදීය සටන්කාමී කණ්ඩායමකි. 1999 වසරේ එය ආරම්භ වූ බව පැවසේ. එය මුලදී අල්කයිඩා සංවිධානය සමඟ සබඳකම් පවත්වා ඇති අතර පසුව ස්වාධීන විය. ඔවුන්ගේ ක්‍රියාන්විතවල කූඨප්‍රාප්තිය සනිටුහන් වන්නේ 2014 ජුනි මස මුල ඉරාකයේ මොසුල් නගරය අල්ලා ගැනීමත් සමඟය. ඒ අවස්ථාවේ ඉරාක හමුදාව තමන් සතු අවි සහ වාහනද අනෙකුත් මෙවලම්ද ඔවුන්ට ගන්නට ඉඩ හැර පලා ගිය හෙයින් ඔවුන්ගේ පාලනය එහි ස්ථාපිත විය. ඉරාක මහ බැංකුවේ මොසුල් ශාඛාව බිඳ ඔවුන් විසින් පැහැර ගන්නා ලද මුදල ඇ.ඩො. මිලියන 500ක පමණ වටිනාකමකින් යුක්ත බව පැවසේ.

ඔවුහු එසමයේ බටහිර සිරියාවේ සිට නැඟෙනහිර ඉරාකය දක්වා භූමියේ

වර්ග කි.මී. 88,000ක් පමණ නතු කරගෙන සිටියහ. ඉරාකයේ ඛනිජ තෙල් කර්මාන්තය මුළුමනින්ම පාහේ ඔවුන් විසින් අල්ලා ගන්නා ලද අතර එමඟින්ද පැහැරගෙන යෑම්, වහල් බවට විකිණීම්, කප්පම් ගැනීම්, මං පැහැරීම් යනාදියෙන්ද ඩොලර් බිලියන හත අටක් උපයා ගන්නට ඇති බව විශ්වාස කෙරේ.

පසුගිය වසරේ නො‍බෙල් සාම ත්‍යාගය සමව දිනූ ඉරාක ජාතික නාදියා මුරාද්ගේ නොබල් දේශනයේ ඔවුන් පිළිබඳ බොහෝ විස්තර ඇතුළත්ය.

ISIS විසින් සිය මතවලට එරෙහි වූවන් ඝාතනය කරන ලද්දේ දහස් ගණනිනි. මේ ඝාතන ගෙල සිඳීමෙන්ද කර ඇත. එසේ කිරීමෙන් අනතුරුව ඔවුහු ඒවායේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරියහ.

කැලිප් (Caliph) පාලනයක් හෙවත් කැලිපේටයක් (Caliphate) ගැන සිහින මවමින් සිටි ඔවුන් එය අතහැර පළා ගිය බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඔවුන් විසින් අන්තර්ජාලයේ ඉංග්‍රීසියෙන් පළ කරන ලද ඩබික් (Dabiq) සඟරාවෙන් සිය මතවාදය ප්‍රචලිත කෙරේ. ඒවා කියවූ බටහිර තරුණියන් ISISහි නායකයන්ට දාව ගැබ් ගෙන පසුව සිය රටවලට පැමිණ දරුවන් බිහිකොට යුරෝපයේ සහ ඇමරිකාවේ ඊළඟ ISIS පරපුර ඇති කිරීමේ ප්‍රයත්නයක නිරතව සිටි බවද ඇතැම් තැනෙක සඳහන්ය. ISIS පැරදීගෙන යනවිට එබඳු කාන්තාවන් බ්‍රිතාන්‍යයට සහ ඇමරිකාවට පෙරළා පැමිණි බවත් දෙරටම ඔවුන් ආපසු බාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් මීට මසකට පමණ පෙර මාධ්‍ය වාර්තාවල දැක්විණි.

මාතෘකා