දයා රාජ්‍ය සේවයට ආයුබොවන් කියයි

 ඡායාරූපය:

දයා රාජ්‍ය සේවයට ආයුබොවන් කියයි

 

විරිදු මිහිරෙහි කෝකිල හඬ  දයා නෙල්ලම්පිටිය

 

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ජන ගී සහ විරිදු ගායන ශිල්පිනියක ලෙස දශක දෙකකට අධික කාලයක්ද රජයේ ගුරු පත්වීම ලද පළමු නර්තන ආචාර්යවරිය ලෙස දශක පහකට ආසන්න කාලයක්ද කලාවට කීර්තිමත් සේවයක් කළ දයා නෙල්ලම්පිටියගේ ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියැවෙන ලිපි පෙෙළ් පහලොස්වැන්න මෙය වේ.

කතාවක් පටන් ගත්තා නම් එහි කොතැනක හෝ නිමාවක් තිබිය යුතුය. එසේ නොවුණහොත් වන්නේ පාඨකයා හෝ ශ්‍රාවකයා වෙහෙසට පත් වීමයි. ජීවිතයත් ඒ වගේය. ආරම්භ කළ තැන සිට ගව් ගණනක් දුර ගොස් කොතැනකින් හෝ නිමා කළ යුතුය. එසේ නොමැති නම් ජීවන ගමනේ අතරමඟ හමුවන තැනකින් නැවතී ඉසිඹු ලැබිය යුතුය. ඉන්පසු නැවත නවමු ලෙස ජීවිතය ඇරඹිය යුතුය. මේ ඇඹෙන්නේ අප කතා නායිකාව වන දයා නෙල්ලම්පිටියගේ ජීවිතයේ එක්තරා නවාතැන්පොළකින් සමුගැනීමේ කතාන්දරයයි.

ඒ 1983 වර්ෂයයි. ඒ වන විට දයා හතළිස් අට වියැති කාන්තාවකි. තිදරු මවකි. රජයේ ලලිත කලායතනයේ පළමු කණ්ඩායමේ සාමාජිකාවක් වන ඈ රජයේ පත්වීම ලද නර්තන ආචාර්යවරිය ලෙස අනුලා විද්‍යාලයට ගොඩවදින්නේ 1957 වර්ෂයේය. ඒ වන විට ගත වෙමින් පැවතුණේ දයාගේ විසිහත් වෙනි සේවා කාලයයි. 1983 වර්ෂයේදී දයා නෙල්ලම්පිටිය තම ජීවිතයෙහි එක් පරිච්ඡේදයකට සමු දීමට තීරණය කළාය. එනම් අනුලා විද්‍යාලයට සමුදීමට ඈ තීරණය කළාය. ඒ කතාව ඈ ආරම්භ කළේ මෙසේය.

"මම අනුලා එකට යනකොට නිෂ්චිත නැටුම් ගුරුවරයෙක් නැති නිසා ස්වේච්ඡා ගුරුවරයෙක් හිටියේ. මම තමයි අනුලා විද්‍යාලයේ පළවෙනි නැටුම් ගුරුවරිය. ඒ වෙද්දී මම අවුරුදු විසිහතක් අනුලා එකේ වැඩ කළා. මට ඕනේ වුණා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන්න. මොකද ඒ වෙනකොට අපේ ජීවිත එක එක වගකීම්වලින් ටිකක් සංකීර්ණ වෙලා තිබුණේ. ගුවන් විදුලියේ වැඩ, පෞද්ගලික පංති වගේ දේවල් ඒකට හේතු වුණා. ඒ නිසා මම 1983 පෙබරවාරි මාසේ අනුලා විද්‍යාලයෙන් සමුගන්න තීරණය කළා."

එකල අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය වූයේ එන්. මීගොඩ මහත්මියයි. ඊට පෙර විදුහල්පතිනියන් රැසක් සමඟ කටයුතු කළ දයා මීගොඩ මහත්මියගේ සමයෙහිද පාසලට නර්තන හා ජන ගායනා අංශයන්ගෙන් ජයග්‍රහණ රැසක් අත්පත් කරදී ඇත. තම අස්වීමේ ලිපියද රැගෙන දයා අනුලා විද්‍යාලයේ මුල්පුටුව හොබවන්නිය වෙත ගියාය. එවිට දයාට විදුහල්පතිනියගෙන් ලැබුණේ නොසිතූ ප්‍රතිචාරයකි.

"මම අස්වීමේ ලිපිය අරගෙන මිසිස් මීගොඩ හම්බෙන්න ගිහින් අනුලා විද්‍යාලයෙන් සමුගන්න තීරණය කළා කියලා අස්වීමේ ලිපිය දුන්නාම මිසිස් මීගොඩ ලිපිය අරගෙන පැත්තකට වීසි කළා. ඊටපස්සේ හේතුව අහලා අස්වීම දෙන්න බැහැ යන්න එපා කිව්වා. තුන් සැරයක්ම කියලා කියලා බැරිම තැන තමයි ලියුමට අත්සන් කළේ."

දයා නෙල්ලම්පිටිය වසර විසිහතක් අනුලා විද්‍යාලයේ නර්තන ආචාර්යවරිය ලෙස කටයුතු කළාය. එම කාලය අනුලා විද්‍යාලයේ නර්තන අංශයේ ස්වර්ණමය පරිච්චේදයක් සනිටුහන් කරන්නට ඈ සමත් වූවාය. එතෙක් තිබුණු උඩරට නර්තන සම්ප්‍රදාය සේම ඉන් අමතරව නිදහස් නර්තන ශෛලිය ආදී නව නර්තන ශෛලීන් අනුලාවිය වෙත සමීප කරන්නට ඈ සමත් වූවාය. ඒ පිළිබඳව ඈ පැවසුවේ මෙසේය.

"අනුලා එකට ඇවිත් මාස තුනකින් මම කළා ටිකිරි ලියා ප්‍රසංගය. එතනින් පස්සේ පාසලේ තියෙන සෑම ප්‍රසංගයක් සඳහාම නර්තන නිර්මාණය වුණේ මගේ අතින්. ඒ වගේම සමස්ත ලංකා නර්තන තරගවලින් හැම වසරකම පාහේ අනුලා විද්‍යාලයේ නර්තන කණ්ඩායම ජයග්‍රහණය කරවන්න මට පුළුවන් වුණා."

ඈ අනුලාවියන්ගේ ආදරණීය නර්තන ගුරුවරිය වූවාය. වසර ගණන අනුලා විද්‍යාලයේ නර්තන විෂයේ ඉහළ සමාර්ථ සනිටුහන් කරන්නට ඈ සමත් වූවාය. අනුලාවියන් සිය දහස් ගණනක් ඇයගෙන් තාලයට අඩි තියා නර්තනයේ යෙදෙන්න ඉගෙන ගන්නට ඇත්ද? ඒ මතක කෙසේ නම් කියා නිම කරන්නද?

වසර විසිහතක් යනු මේසා යැයි කිව නොහැකි කාලයකි. ගුරුවරියකට තම සේවා කාලය තුළ ගෙවෙන හැම තත්පරයක්ම, මිනිත්තුවක්ම නවමු අත්දැකීමකි. දරුවන් සමඟ ගත කරන කාලය ඒ තරම්ම සුන්දරය. දයාටද එසේය. තම අනෙක් සගයන් රජයේ ලලිත කලායතනයේ ආචාර්ය තනතුරු බලාපොරොත්තු වෙද්දි දයා අධ්‍යාපන සේවයට බැඳුණේ දරුවන්ට ශිල්ප හැදෑරීමට ඇති කැමැත්ත නිසාය. එහෙයින් වසර විසිහතක ගුරු ජීවිතයේ මතක ඇයට අපමණය. ඒ ගැන මතක ගැන අප විමසූ විට ඈ පැවසුවේ මෙබන්ඳකි.

"මට ඉස්කෝලේ ගත කරපු හැම මොහොතක්ම හොඳ මතකයක්. මොකද පංති කාමරයක ඉගැන්වීම් කටයුතු කරනවාට වඩා ප්‍රාසාංගික කලාවක් දරුවන්ට උගන්වන එක වෙනස් අත්දැකීමක්. ඒක හරි ප්‍රායෝගිකයි. පාසල් අතර තියෙන නර්තන තරගවලය යද්දි නම් ඒ වගේ අමතක නොවෙන සිදුවීම් කීපයක්ම වෙලා තියෙනවා."

"ඒ අත්දැකීමක් විස්තර කරමුද?" යැයි ඇසූ විට දයාගේ දෑස් දිලිසෙන්නට පටන් ගත්තාය. ඈ සැරසෙන්නේ ඒ අමතක නොවන මතක අතර සැරිසරන්නටය. අළු පැහැති තම දිලිසෙන නෙත් යුගලය එක් කක්ෂයක රඳවාගෙන ඈ කතාව ඇරඹුවාය.

"නැටුම් තරගවලට අපි ඉස්කෝලෙන් යනවානේ. ඒ ගිහින් එද්දි කොහොමත් රෑ වෙනවා. එහෙම රෑ වුණාම අපි ළමයි තියාගෙන ඉන්නවා දෙමව්පියෝ ඇවිත් අරගෙන යනකන්. එක නැටුම් තරගයක් තිබ්බා. මට හරියටම ඒ අවුරුද්ද මතක නෑ. ඒ තරගේ තිබුණේ මිරිහාන පොලිස් ග්‍රවුන්ඩ් එකේ. නැටුම් තරගේ පටන් ගත්තේ හවස හයට විතර. ඒක ඉවර වෙද්දි රෑ වුණා. එතකොට හිටියා තවත් ගුරුවරියක් හිටියා ක්‍රිස්ටලීන් දිසානායක කියලා. එදා රෑ ක්‍රිස්ටලීනුයි මමයි ළමයි දෙමවුපියෝ ඇවිත් යනකං ඉඳලා යන්න වාහනත් නැති නිසා පයින්ම නුගෝගොඩ ඉඳන් කොහුවලට යනවා. එතකොට රෑ නවය පහුවෙලා ඇති. දැන් වගේ රෑ පාරේ සෙනඟ නෑ එතකොට. පාරේ බල්ලෙක්වත් නැහැ. අපි දෙන්නා විතරයි ඉන්නේ. කොහුවල කනත්ත ළං වෙනකොට අපි දෙන්නටම බයයි. ඒ ළඟින් යද්දි මොකද්ද සද්දෙකුත් ආවා එතකොටම. අපි දෙන්නා සාරි පිටින් අත් දෙකට සෙරෙප්පු අරගෙන ඉස්පිරිතාල හන්දියට යනකං දුවගෙන ගියා එදා. ඒක මට අමතක නොවෙන මතකයක්. මොකද අපි දෙන්නා නිතරම අපේ ආරක්ෂාවට වඩා බැලුවේ දරුවන්ගේ ආරක්ෂාව."

දයා නෙල්ලම්පිටියගේ අනුලාවේ අමතක නොවන මතක අපට පැවසුවේ ඒසේය. අනුලා විද්‍යාලයේදී ඇගෙන් නර්තනය ඉගෙන ගත් දීප්තිමත් ශිෂ්‍යාවන් රැසකි. ඇගෙන් නර්තනය ඉගෙන ගෙන කලා ලොව බැබලෙන්නට ඔවුන් සමත් වුවාය. තමාගෙන් නර්තන ඉගෙන ගත් ප්‍රසිද්ධ ගෝලයන් පිළිබඳව අප විමසූ විට ඒ පිළිබඳව ඈ පැවසුවේ මෙසේය

"මගෙන් නැටුම් ඉගෙන ගත්ත ගෝලයෝ ගොඩක් ඉන්නවා. ඒ අය අද රටේ ඉහළම තැන්වල ඉන්නවා. රසාදරී පීරිස්, දීපිකා ප්‍රියදර්ශනී, දේවිකා මිහිරානි, වීනා ජයකොඩි, රාණි ඊරියගොල්ල, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්නදේවි වන්නිආරච්චි, චරිතා ප්‍රියදර්ශනි පීරිස්, ඉන්ද්‍රානි වීරසිංහ මේ හැමෝම මගෙන් නැටුම් ඉගෙන් ගත්ත ගෝලයෝ. මේ අයට අමතරව අද ලංකාවේ රාජ්‍ය සේවයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම නිලතලවල ඉන්න අනුලාවියන් මගෙන් ඉගෙනගත්ත අය. මේ හැමෝම අද ඉන්න තැන ගැන මට හරිම සතුටුයි. තමන්ගෙන් ඉගෙන ගත්ත දරුවෙක් ඉහළටම යනවා දකින එක ඇරෙන්න ගුරුවරයෙක්ට වෙන මොන සතුටක්ද? අදටත් මේ අය මාව බලන්න එනවා. නිතරම මගේ සැප දුක අහනවා."

ගුරුවරුන් එසේය. පහන් කන්ද පාමුල සිටින අය වැනිය. තමන් අඳුරේ සිටියද තම ආලෝකයෙන් දරුවන් ජීවිතය දිනනවා දකින්නට කැමතිය.

තම දීප්තිමත් ශිෂ්‍යාවන් ගැන නිහතමානී ආඩම්බරයකින් එසේ තතු පවසන දයා නෙල්ලම්පිටියගෙන් අනුලා විද්‍යාලයේ ගත කළ අවසන් දිනය ගැන අප විමසුවෙමු.

"ඒක හරිම දුකෙන් ගත කරපු දවසක්. ළමයි මං ළඟට ඇවිත් කකුල් දෙක අල්ලලා වැඳලා "යන එපා දයා මිස්" කියලා ඇඬුවා. මාත් එක්ක එකට වැඩ කරපු ගුරුවරුත් කිව්වේ යන්න එපා කියලා. මම යනකොට ළමයි ගේට්ටුව ළඟටත් ඇවිත් ඇඬුවා මට මතකයි. ඒ දරුවෝ අදටත් පවුල් පිටින් මාව බලලා යන්න එනවා."

සෑම පටන් ගැන්මකම අවසානයක් තිබිය යුතුය. සෑම හමුවීමකම වෙන් වීමක් තිබිය යුතුය. සෑම පරිච්ඡේදයකම අවසානයක් තිබිය යුතුය. මේ අවසන් වන්නේ දයා නෙල්ලම්පිටියගේ රාජ්‍ය සේවයේ අවසානයයි. නමුදු ඈ නර්තනය අත්නොහැරියාය. ඒ සඳහා වෙනත් මාර්ගයක් හෙළි පෙහෙළි කරගන්නට ඈ සමත් වූවාය.

"කොළඹ මියුසියස් විද්‍යාලයට ගිය "විරිඳු කියන නැටුම් ටීචර්"ගේ කතාව ලබන සතියෙන් බලාපොරොත්තු වන්න.

[නිර්මාණි බණ්ඩාරනායක]

ඡායා [‍දුෂ්මන්ත මායාදුන්න]

මාතෘකා