කවි දමා පැදුරු වියූ කලාකාරිය බටපොළ බේබිනෝනා

 ඡායාරූපය:

කවි දමා පැදුරු වියූ කලාකාරිය බටපොළ බේබිනෝනා

 

4 වයස අවුරුදු 102යි

4 රබන් සුරල් වයන්න හපනියක්

4 දරුවන් තිදෙනෙක්ම විදුහල්පතිවරු

4 කවදාවත් දුකක් වින්දෙ නෑ

 

"අවුරුදු අසූවක් විතර යනකම් මම එළකිරි තමයි බිව්වේ. ඊට අමතරව ගෙදර හදපු මුදවපු කිරි කෑවා. තෙල් පොහොර නැති එළවළු පලතුරු ගෙදර වත්තෙන්ම ආහාරයට ගත්තා. මට මෙච්චර ආයුෂ ලැබෙන්න ප්‍රධාන හේතුව මේවා තමයි." තම ආයුෂ පිළිබදව ආඩම්බරයෙන් කතා කළ ඇය කාරියවසන් මරිතිඤ්ඤ ගමගෙයි බේබිනෝනා මාතාවයි.

1917 වර්ෂයේ ජනවාරි මස විසි එක්වැනි දින මෙලොව එලිය දුටු බේබි නෝනා මාතාවගේ උපන් ගම ගාල්ල, බටපොළයි. එහෙත් ඇය මේ වන විට ජීවත් වන්නේ කුරුණෑගල, පඬුවස්නුවර කනොගමයි. ඒ තම එකම පුතුගේ රැකවරණය යටතේය.

කුඩා කල 'බේබි' යන ආදරණිය නාමයෙනුත් වැඩිවියට පත් වී ක්‍රමක්‍රමයෙන් වියපත් වෙද්දී බේබි අක්කා ලෙසත්, ඥාතීන් මෙන්ම ගම්වැසියන්ද ඇය හදුන්වා තිබේ. කාරියවසන් මරිතිඤ්ඤ ගමගෙයි ලයිරිස් හා රාජපක්ෂ තුසෙව් නම්බි නෝනා හාමි, බේබිනෝනා මාතාවගේ මව්පිය දෙපළයි. දරුවන් නවදෙනෙකුගෙන් යුත් පවුලක පස්වෙනියා වූ බේබිනෝනා කුඩා කල සිටම ගත කර ඇත්තේ නිදහස් විනෝදකාමී ජීවිතයකි.

හතරේ පන්තිය

'' මම ගියේ හතරට විතරයි. ඒ දවස්වල ඉස්කෝලේ ගමන අනිවාර්ය නැහැනේ. මට හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තිබුණා. නමුත් මගේ දෙමාපියන් ඒ ගැන උනන්දු කළේ නැහැ. මම ගියේ බටපොළ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට. අපේ ඉස්කෝලේ ලොකු මහත්තයාගේ ගම හෝමාගම. එයාගේ නම වෙත්තසිංහ." ඇගේ මතකය එතරම් නිරවුල්ය.

"ඒ දවස්වල ඉගෙනීමට වැඩි උනන්දුවක් තිබුණේ නැත්තේ ඇයි කියලා මට අද තමයි තේරෙන්නේ. එදා අපේ දෙමාපියන් කළේ පොළොවත් එක්ක හැප්පෙන එකයි. ඒ්කට අකුරු සාස්තරේ ඕනෑ නැහැ. උදැල්ල අතට ගත්තම ඉතින් වැඩ තමයි. ඔක්කොම කළේ අතින් පයින්නේ. අද එහෙමද? හැම දේම යන්ත්‍රවලට බාර දීලා. අද මනුස්සයෙකුට අඩියක් පයින් යන්න බැහැ. පේන දුරින් තියන කුඹුරට යන්නෙත් බයිසිකලෙන්."

හතරට පමණක් උගත් බේබිනෝනා සිය මවගෙන් සියලු දෑතේ වැඩ ඉගෙන ගෙන තිබේ. ඉවුම් පිහුම්ද ඊට ඇතුළත්ය.

අවුරුදු ක්‍රීඩා

රබන් ගැසීම බේබිනෝනා මාතාවගේ ප්‍රියතම ක්‍රීඩාවයි. අද වන විට සමාජයෙන් ඈත් වෙමින් පවතින මේ ක්‍රීඩාව එදා අලුත් අවුරුදු උත්සවවලදී හා වෙනත් උත්සවවලදී නැතුවම බැරි අංගයක් වී තිබිණි. රබාන කෙතරම් බේබිනෝනා නෝනාගේ සිත් දිනාගෙන සිටියේද කිවහොත් මෑත කාලයේත් රබානක හඩ ඇසුණු විට ඒ දෙසට බේබිනෝනා මාතාව නිරායාසයෙන් ඇදීගිය බව ඇගේ දරුවෝ පැවසූහ.

"රන් තැඹිලි ගස් දෙකයි- ගොන් තැඹිලි ගස් දෙකයි

ගස් දෙකට මල් දෙකයි- මල් දෙකට ගෙඩි දෙකයි"

"ඒ මම කිව්වේ රබන් කවියක්. මේ කවිය මුලින් කියලා පස්සේ ඒ තාලයට රබාන ගැහුවා." බේබිනෝනා ඇගේ මතකයේ ඇති රබන් පදයක් කීවාය. ඇගේ මුවින් එය පිටවෙද්දී ඇගේ ශරීරයද තාලයට නැළවිණි.

"එදා තිබුණු අවුරුදු ක්‍රීඩා අද නැහැ. ඔළිද කෙළිය, කල්ලි කෙළිය, මේවර කෙළිය, බුහු කෙළිය, මේ කෙළි ඔක්කොම ක්‍රම ක්‍රමයෙන් නැතිවෙලා ගිහින්. ඒ වගේම තමයි කජු ක්‍රීඩාව, පනා හැංගීම, ඉනිවැට පෙරළීම මේ වගේ ක්‍රීඩාත් නැහැ. දැන් කාලේ ළමයි මේවා අහලත් නැහැ. දන්නෙත් නැහැ." රබානක් තිබුණේ නම් ගසා පෙන්වන උවමනාවක් ඇයට තිබිණි. රබන් සුරල් වැයීම, අත් මාරු කිරීම හා තාලන් ලෙස රබන් වාදනයේ පියවර තුනක් ඇති බව ප්‍රකාශ කළ බේබිනෝනා මාතාව මේ පියවරයන් පිළිබද කෙටි විස්තරයක්ද කළාය.

"රබන් සුරල් වයද්දී රබාන වටා හයදෙනෙක් වාඩි වෙනවා. තුන් දෙනෙක් රබාන ගහනවා, අනෙක් තුන්දෙනා රබන් තාලයට නටනවා. අත්මාරු කිරීම කියන්නේ රබානට වගේම එකිනෙකාගේ අත්වලට ගසමින් සංවාද ස්වරූපයෙන් රබන් ක්‍රීඩාවේ නිරත වීමයි. තාලන් වලදී මුලින් ගීතයක් ගායනා කරලා පසුව එය රබානෙන් වාදනය කරනවා."

පැදුරු විවීම

අතීතයේ ඕනෑම ගැමි ලියකට පන් පැදුරක් වියා ගැනීමට, ඇතුල්පොතක් වියා ගැනීමට හැකියාව තිබුණා සේම එකල වගුරු බිම්වල මෙන්ම පාළුවට ඇරුණ වෙල් යායවලද ඕනෑ තරම් පන් වර්ග තිබිණි. රබන් ගැසීමට ප්‍රිය කළා සේම මේ කතාවේ කතා නායිකාවගේ ප්‍රධානතම විනෝදාංශය වී ඇත්තේ පැදුරු විවීමයි. කුඩා කල දෙමාපියනට මෙන්ම දරුවන් සිටියදී සිය ස්වාමියාටද හොරෙන් ගොස් පන් නෙළාගෙන පැමිණෙන බේබිනෝනා මාතාව රටා දමමින් පැදුරු වියා තිබේ. රටා දමා පැදුරු වියන බව දැන සිටියත් කවි දමා පැදුරු වියූ බව මා දැනගත්තේද බේබිනෝනා මාතාවගෙනි.

සුසිරිත දැන ඉගෙන ගෙන රැක ගෙනම පතිවත

සිරිකත ලෙසින සැදුවත් හිමිට යහපත

හිමි සිත නිතර රිදවන බස් කියන කැත

එම කත වසන විමනට කිසි සෙතක් නැත

ඈ කියූ මේ කවිය පටිගත කරගැනීමේ හැකියාවද මට ලැබිණි. මෙවැනි කවි දමා පැදුරු වියා සිය පියාගෙන් ප්‍රශංසා ලැබූ අයුරුද ඇය සිහිපත් කළාය. "මේ කවිය දාලා මම පැදුරක් විව්වා. මේක තාත්තා දැක්කා. තාත්තට ගොඩක් සතුටුයි. ඒ දවස්වල වුණත් කවියක් දාලා පැදුරක් වියන්න පුළුවන් කීප දෙනෙකුට විතරයි. ඒකට හොඳ හැකියාවක් තියෙන්න ඕනෑ. මේකට කියනවා වංගගිරියේ රටා දාලා පැදුරු වියනවා කියලා. මේකෙත් කුඩා රටාව මහා රටාව කියලා දෙකක් තියනවා."

එදා පන් කර්මාන්තය පිළිබඳ දැනුම කැටි කර තිබුණේද කවියෙනි. "ගල්ලැහැ නං පන් මැදලා වියාපන්, බොරු පන් නං පන් තළලා වියාපන්" ඒ ඇයගේ මතකයේ ඇති එවැනි කවි දෙපදයකි. පන් වර්ග කීපයක් පිළිබඳවද ඇගේ මතකය අවදි කළාය. "තුන් හිරියා, ගැටපන්, පොතුකොළ, මේවා තමයි ඉතින් පැදුරු වියන්න ගත්තේ." ඈ කීවාය.

විවාහය

බේබිනෝනා මාතාව විවාහ වී ඇත්තේ වී ඇත්තේ 1948 වර්ෂයේදීය. ඒ ඇයට වයස අවුරුදු තිස් එක පිරෙද්දීය. ඇය විවාහ වන්නේද සිය මව් පාර්ශ්වයේ ඥාතියෙකු සමගයි. සහකරු වූ රාජපක්ෂ තුසෙව් නම්බි මාටින් සිල්වා අක්කර දහයක් පමණ ගොඩ මඩ ඉඩම් වගා කළ ගොවි මහතෙකි. මේ විවාහයෙන් පසු බේබිනෝනා මාතාව දරුවන් සිව් දෙනෙකු ලැබුවාය. 1949දී උපන් පළමු දරුවා ප්‍රේමා රාජපක්ෂය. බටපොළ මාධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කටයුතු කළ ඇය මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවෙයි. දෙවැන්නා වූ පද්මසිරි රාජපක්ෂ මහතා කුලියාපිටිය මගුලාගම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටී. තෙවැන්නිය වන ලලිතා රාජපක්ෂ මහත්මිය රැකියාවක් කර නොමැත. මේ පවුලේ බාල දියණිය වූ නන්දනී රාජපක්ෂ මහත්මිය අහුන්ගල්ල රාජපක්ෂ මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කටයුතු කරයි.

"මගේ මහත්තය මේ වෙන කොට ජීවතුන් අතර නැහැ. නමුත් මට තියෙන ලොකුම සතුට මගේ දරුවෝ ඔක්කොම හොඳ තැන්වල ඉන්න එක ගැනයි. මම මගේ දරුවෝ තුන්දෙනෙක් විශ්වවිද්‍යාලයේ යැව්වා. තුන්දෙනාම ගුරුවරු වුණා. විදුහල්පතිවරු වුණා. ඒ වගේම ඒ අය මට හොඳට සලකනවා."

බේබිනෝනා මාතාවගේ විවාහය ප්‍රමාදයට ෙහ්තු වී ඇත්තේ ඇගේ වැඩිමහල් සහෝදරියකගේ දරුවන් බලා ගැනීම සඳහා ඇය කැමැත්තක් දැක්වීමයි. "මගේ ලොකු අක්කට හිටියා පුත්තු දෙන්නෙක්. මම ඒ දවස්වල ඒ දෙන්නත් එක්ක සෙල්ලම් කරනවා." වසර අසූවකට එහා අතීතයට යමින් ඇය කීවාය.

බේබිනෝනා මාතාව කෙතරම් වසනාවන්තද කිවහොත් ඇගේ එකම පුත්‍රයා වසර හතරක පමණ කාලයක සිට ඇය වෙනුවෙන්ම සිය කාලය කැප කර තිබේ.

අතට- පයට

බේබිනෝනා මාතාවගේ කුඩා කාලයෙදී මෙන්ම විවාපත් වූ විටද අතට පයට වැඩකාරයන් සිට තිබේ. ඒ දිනවල වැඩකාරයන් තිදෙනෙකු පමණ තමන්ට සේවය කළ බව බේබිනෝනා මාතාවගේ මතකයේ තිබිණි. "අද වගේ ඒ දවස්වල වැඩකාරයනට සල්ලි දෙන්නේ නැහැ. වී එළවලු වගේ දේවල් තමයි දුන්නේ. කුඹුරු වැඩ කළාම වී කුරිණියෙන් එකහමාරක් දුන්නා. ගෙදර වැඩ කළාම වී කුරුණියක් වගේ දුන්නා. ඒක හැම දාමත් දෙන්න ඕනෙත් නැහැ. එළවළු පලතුරු ටික, ඊට අමතරව එළකිරි, පැණි, කිතුල් හකුරු මේ වගේ දේවලුත් කුලිය හැටියට දුන්නා. අපේ වත්තේ කිතුල් ගස් කීපයක් මැදලා කිතුල් පැණි හා හකුරු හදා ගත්තා. මට කියන්න අමතක වුණා, ළමයි බලා ගත්තමත් වී තමයි දුන්නේ. දවසට වී කුරිණි එකහාමාරක් දුන්නා."

හතරට පමණක් පාසල් ගියත් ලද හැම අවස්ථාවකම පොතක් පතක් කියවා දැනුම ලබා ගැනීමට බේබිනෝනා මාතාව දක්වා ඇත්තේ දැඩි උනන්දුවකි. ඇගේ දැනුම් සම්භාරය ඇගේ දරුවන්ටද ලැබී තිබේ. ඇගේ වැඩිමහල් දියණිය ප්‍රේමා රාජපක්ෂ මහත්මිය තම මවගේ විශේෂ සිරිතක් පිළිබදව කීවාය. "මම මේ කියන්නේ හැටේ දශකයේ කතාවක්. ඒ දවස්වල අද වගේ ෂොපින් බෑග් තිබුණේ නැහැ. කඩේකට ගියාම කරවල කෑල්ලක්, සිනි ටිකක්, පරිප්පු ටිකක් ඔතලා දුන්නේ පත්තර කොළවල. අපේ අම්මා කෙඩේ ගිහින් ආව ගමන්ම කරන්නේ මෙහෙම ලැබෙන පත්තර කෑලි කියවන එක තමයි. පසු කාලීනව අපේ දරුවන්ගේ පොත් පවා අම්මා කියෙව්වා."

වට වන්දනාව

බේබිනෝනා මාතාව විනෝදයට මෙන්ම වන්දනාමාන හා දානමය කටයුතුවලටද ළැදියාවක් දක්වන තැනැත්තියකි. දන් දීමේදී කිසිවෙකුගෙන් අවසර නොගන්නා ඇය වාර්ෂිකව දින පහක් හෝ හයක් වන්දනාවේ ගොස් තිබේ. ඇගේ එකම පුත්‍ර රත්නය වන පද්මසිරි රාජපක්ෂ මහතා සිය මවගේ වන්දනා ගමන් ගැන පැවසුවේ, අවස්ථාවක දෙකක තමන්ද ඊට දායක වූ බව සිහි කරමිනි.

"ඒ දවස්වල අපේ ගමේ හිටියා වන්දනා ගමන් සංවිධානය කරන කෙනෙක්. එයා මේ ගමන යන්න මුදල් එකතු කරන්නේ අවුරුද්දක ඉඳන් තමයි. මාසිකව නිශ්චිත මුදලක් තමයි එකතු කරන්නේ. මේ එකතු කරන මුදල ප්‍රවාහනයට, කෑම බීමට, වගේම නවාතැන් පහසුකම් ලබාදෙන්නත් ඇති. මාසිකව එකතු කරන නිසා ඉතා සොච්චම් මුදලක් තමයි එක් වාරිකයකට ගෙවන්න වෙන්නේ. ගාල්ලෙන් පටන් ගත්තම කන්දේ විහාරය, කළුතර, කැලණිය, නුවර, මහියංගනය, අනුරාධපුර, පොළොන්නරුව, සේරුවාවිල, කතරගම, වැඳපුදාගෙන එනවා."

බේබිනෝනා මාතාව අදද විහාරස්ථානයට ගොස් ආගමික කටයුතුවල නිරත වෙයි. තමන් ජීවත්වන නිවසට යාබදව විහාරස්ථානය පැවතීම බේබිනෝනා මාතාවට නිදහසේ ආගමික කටයුතු කරගැනීමට ලැබී ඇති වාසනාවකි.

"මම කුඩා කාලේ ඉදලම හිටියේ සතුටින්, විනෝදෙන්. මට කවදාවත් ජීවිතය බරක් වුණේ නැහැ. අදත් එහෙමයි" ඇය අවසන් වශයෙන් කීවාය. මෙලෙස තම ජීවිතය පිළිබදව කියන්නට හැක්කේ කීයෙන් කී දෙනෙකුටද?

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

මාතෘකා