ගිනිගත් වසන්තය

 ඡායාරූපය:

ගිනිගත් වසන්තය

නැවුම් වසන්තයක් උදා වෙද්දී ඉන් පෙර සිසිර සෘතුවේ අවසානයෙන් නැඟුණු සීතල මද සුළඟ ඒ වසන්තයේ බිහි දොර තෙක් හමා යනවා.

මම සතියකට පෙර තැබූ සටහනෙහි එදා මට දැනුණු දේ සටහන් කළා. ඒ හැම වදනකින්ම මම කියන්න උත්සාහ කළේ මෙදා වසන්තය පිළිගන්න තරම් පරිසරය සූදානම් නැහැ කියන කාරණයයි. හැම මොහොතකම, හැම ගහක මලකම මම දැක්කේ ඒ දෙයමයි. ඒ සටහන කියවූ චමින්ද මාමා මගෙන් ඇහුවා, “ඇයි පුතා අසුබවාදීව අලුත් අවුරුද්ද දිහා බැලුවේ? වෙනදා වගේම පරිසරය ලස්සනට තිබුණා.” ඒත් මම එහෙම කිව්වේ මේ වසන්තයේ පිපිණු මල්වල පැහැය වෙනදා වගේ දීප්තියෙන් මට පෙනුණේ නැති නිසායි. වෙල් ඉපනැල්ල සිපගෙන එන උඩු සුළඟට ගැයූ, නගරයේ ඉතිරි වී ඇති අතළොස්සක් තරම් තුරු ගොන්නේ ලැගුම් අරන් ගැයූ කොවුල් නද නෑසුණු නිසයි. ඒ හැම දෙයකටම වැඩියෙන් දැනුණේ උණුසුම් වසන්තයක් මැදින් පිපුණු මල් කිහිපයක් බිම පතිත කරන්නට වෙර දන මහා චණ්ඩ මාරුතයක් සැඟව ඇති බවකුයි.

අලුත් අවුරුද්දේ එක දිගට නාද වී යන්තම් ඉස්පාසුවක් ගත් තාත්තාගේ දුරකථනය නැවතත් නාද වෙනවා. ඉරිදා නිවාඩු දවසක් නිසා තාත්තා ඒ තරම් උනන්දු නොවෙන හැඩයි ඒ ඇමතුමට පිළිතුරු දෙන්න. දෙවන වාරයේත් ඒ නාද කිරීම නිසා පිළිතුරු දෙන්න වෙනවාමයි. ඒ ඇමතුම තාත්තාට විතරක් ඇහුණා වෙන්න බැහැ. ඒ තරම් උස්ව ඇහුණු විලාපයක් නිසා මම ඒ අසලම රැඳුණා. තාත්තාගේ මුහුණේ ඉරියව් එකින් එක වෙනස් වෙනවා. වාරු හොයන තාත්තා අසල තියෙන පුටුවේ වාඩි වෙන අතරේ නිහඬකම නොකියන කතාවකට පාර හොයන බව පැහැදිලියි.

“ ඇයි තාත්තේ...?”

“ පුතා, මීගමුවේ ඇල්ෆ්‍රඩ් මාමා කතා කළේ... මාමාට ලොකු කරදරයක්. අපි යන්න ඕනේ දැන් මාමා බලන්න.”

එක්වරම කලබල නොවන තාත්තා දුර ගමනක් යන්න මොහොතක් ඇතුළත තීරණය කරලා. ඒ තීරණයට හේතු ඒ තරම්ම වැදගත් වෙන්න ඕනේ. නිහඬවම අපි සූදානම් වන අතරේ අම්මා අපි නොදැන සිටි රටතොට සිදුවීම් කිහිපයක් ගැන දැනුවත් කරනවා.

“පරිස්සමින් ගිහින් එන්න.” ඒ වදන් ඇතුළේ තිගැස්මක් නැතුවාම නොවෙයි. ගමනේ හරි අඩක් ආවත් පාරේ ගමන් කරන හැම වාහනයක්ම එක තැන නතර වෙලා. හෙමින් හෙමින් ඉදිරියට ඇදෙන්නේ. අහස මන්දාරම එක්ක හාද වෙලා.

“පුතා අද අපිට මේ ගමන යන්න වෙන්නේ නැහැ වගේ. අපි ආපහු යමු. අතරමඟ නතර වෙනවාට වඩා මෙතනින් හැරෙමු.”

ඒ තීරණය නිසා ගමනාන්තය ආපහු අපේ ගෙදර. අහස වගේම මුළු වටපිටාවම මන්දාරම් වෙලා. නොයෙක් සිදුවීම්, හඬාවැටීම්, අහිමිවීම් මැදින් ගෙවෙන දවස් කිහිපයක ආරම්භයක්.

“අපි අද ඇල්ෆ්‍රඩ්ගේ ගෙදර යන්න ඕනෙමයි. මේ වගේ වෙලාවකට නැති සහෝදරකමකින්, මිත්‍රත්වයකින් ඇති වැඩක් නැහැනේ.”

ආපහු අපි දෙන්නාගේ ගමනාන්තය මීගමුව. පැය කිහිපයක් නිසොල්මනේ ගෙවුණා වුණත් අවසානයේ ඇල්ෆ්‍රඩ් මාමගේ නිවස අසලට යද්දී නම් ඒ නිහඬකම තවත් රැඳුණේ නැහැ. සෙනඟ පිරුණු ඒ නිවසේ සාලයට ගොඩ වෙද්දීම ඇත්තටම ඇල්ෆ්‍රඩ් මාමගේ ලෝකය පුපුරලා බිමට සමතලා වෙලා තමයි. නැන්දාත්, පුංචි නංගීත්, මල්ලීත් එක පෙළට නිහඬව, නිසංසලේ නින්දක. තවත් කෙනකුගේ ශරීරයකට වාරුවෙලා ඉන්න ඇල්ෆ්‍රඩ් මාමා නිදි නැහැ කියන්න තියෙන එකම සාධකය නතර නොවී දෙකම්මුල් තෙත් වෙන එක විතරයි. තාත්තා ඒ දෑත් තදින් අල්ලා ගත්තත් ඒ ප්‍රතිචාරය වෙනදා තරම් උණුසුම් නැහැ. ඒත් එක්කම මගේ හිතට එක්වරම දැනුණේ වෙනදා අපි එද්දී පිළිගන්න දොරකඩ රැඳෙන නැන්දා අද නොහිටිය වග; නැන්දාට කලින් පාර අයිනට අපි එක්කාසු කරගන්න බලාගෙන ඉන්න නංගීත්, මල්ලීත් අද නොහිටිය වග.

ඒත් මේ තුන්දෙනා තනිවම දෙව් මව් තුරුලේ නින්දකට ගිහින් නැති බව අවට පරිසරය දිහා බලද්දී පැහැදිලියි. එක නිවසක් හැර අනෙක් නිවසකින් නැඟෙන්නේ විලාපයක්; අහිමි වීමේ විලාපයක්. වසන්තයේ අග උණුසුම් චණ්ඩ මාරුතයක් හමා ගිහින්. ඔවුන්ට ආපහු වසන්තයක් නොඒවි.

 

සුවඳ හොයන පුංචි බඹරිඳු බලා සිටිනවා

තවත් එක මොහොතකට කොයිද ඒ සුවය

ඒ පුංචි මල් පතිතව පර නොවී පොළවට

මැවෙයි මන්දාරම් සිතුවමක් නිමේෂයකදී

සුවඳ තැවරූ චණ්ඩ මාරුතය

හමා ඒ ගිණිගත් වසන්තය අග

[චමත්ක කවීන් බණ්ඩාර]

මාතෘකා