හදිසි නීතියේ නීතිය

 ඡායාරූපය:

හදිසි නීතියේ නීතිය

පසුගියදා සිදු වූ අවාසනාවන්ත බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ලංකාවෙහි හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා විසින් දැනුම්දීමත් සමඟ හදිසි නීතිය යනු කුමක්දැයි යන්න සහ හදිසි නීතිය හා ඇඳිරි නීතිය අතර ඇති වෙනස පිළිබඳවද රටේ සාමාන්‍ය ජනයා අතර කතාබහක් ඇතිවන්නට විය.

ශ්‍රී ලංකාවෙහි ඇඳිරි නීතිය සහ හදිසි නීතිය පැනවීමේ බලය හිමිව ඇත්තේ විධායක ජනාධිපතිවරයාටය. විධායක ජනාධිපතිවරයා සතු බලය පිළිබඳ සඳහන්ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි පරිච්ඡේදයෙහිය. ව්‍යවස්ථාවේ 30 වන වගන්තියේ පළමු උප වගන්තියට අනුව ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියාද වේ. රාජ්‍ය ආරක්ෂාව මෙන්ම මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳවද තීන්දු ජනාධිපතිවරයා විසින් ගනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුකූලව සහ 1947 අංක 25 දරන මහජන මහජන ආරක්ෂක ආඥා පනත (Public Security Ordinance) ප්‍රකාරවයි. මෙම මහජන ආරක්ෂක පනත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලාත්මක කෙරුණක් බව පිළිගැනෙන අතර එහි දෙවැනි උප වගන්තිය ප්‍රකාරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හෝ තත්කාලයේ බලපවත්නා නීතිය යටතේ හෝ හදිසි අවස්ථා නියෝග සෑදීමේ බලය ජනාධිපතිවරයා සතු වේ.

හදිසි නීතිය මුළු රටටම හෝ එක් ප්‍රදේශයකට පමණක් බලපැවැත්වෙන පරිදි පැනවිය හැකිය. ඇඳිරි නීතිය පැනවීමද හදිසි නීති රෙගුලාසිවලින් එකක් ලෙස සැලකේ. නමුත් හදිසි නීතිය සහ ඇඳිරි නීතිය යනු එකක් නොවේ. ඇඳිරි නීතිය පැනවීම යනු හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයාට පැනවිය හැකි රෙගුලාසි හෝ ඔහු සතු බලතලවලින් එකක් පමණි.

හදිසි නීතිය යටතේ යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය වන්නේ නැත. ආඥා පනතේ 18වන වගන්තිය ප්‍රකාරව සාධාරණ සැකය මත එවැනි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියකුට අවසර ඇත. ආඥා පනතේ දෙවන පරිච්ඡේදයේ එන පස්වන වගන්තිය ප්‍රකාරව මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම, මහජනතාව අතර සාමකාමී බව තහවුරු කිරීම සහ සමාජයේ යහපැවැත්ම සඳහා අවශ්‍ය වන සේවා ලබාදීම යනාදියෙහි අවශ්‍යතාවක් පැනනැඟී ඇති බව මෙන්ම මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපතිවරයාට හැඟී යන මොහොතකදී හදිසි නීති රෙගුලාසි පැනවීමට ඔහුට හැකියාව ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් පසු මසක කාලයක් දක්වා පමණක් හදිසි නීති රෙගුලාසි පැනවිය හැකි අතර මාසයක කාලය ඉක්ම යෑමත් සමඟ (අවශ්‍යතාව මත) එම රෙගුලාසිය නැවත බලාත්මක කළ යුතු වේ. (1983 වසරේ පටන් යුද සමය අවසන් වී යුද බිය තුරන් වී ඇති බවට පාර්ලිමේන්තුව පිළිගන්නාතුරුම ශ්‍රී ලංකාවේ හදිසි නීති රෙගුලාසි බලපැවැත්විණි. 1986 වසරේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි ඉවත් කෙරුණද ඔහුගෙන් අනතුරුව නැවත එම රෙගුලාසි බලගැන්විණි.) නීතිමය තත්ත්වය එසේ වුවද ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මසකට අඩු කාලයක්ද එම රෙගුලාසි බලාත්මක කළ හැකිය.

මෙම හදිසි නීතිය බලපැවැත්වෙන කාල සීමාවේදී රට තුළ පවත්නා අනෙකුත් නීති හා රෙගුලාසිවලට ඉහළින් එය බලපැවැත්වෙන බව මහජන ආරක්ෂක පනතේ සත්වන වගන්තියෙන් පෙන්වා දෙයි. මෙම හදිසි නීතිය යටතේ පනවන කිසිදු නියෝගයක් පිළිබඳ රටේ කිසිදු අධිකරණයකින් ප්‍රශ්න කිරීමට මහජනතාවට නොහැකිය. එය මහජන ආරක්ෂක පනතේ අටවන වගන්තියෙන් ප්‍රකාශකර තිබේ.

ආඥා පනතේ පස්වන වගන්තියට ප්‍රකාරව පුද්ගලයින් රඳවා තබා ගැනීම, ඕනෑම ස්ථානයකට ඇතුළත්ව සෝදිසි මෙහෙයුම් දියත් කිරීම, ඕනෑම නීතියක් සංශෝධනය කිරීම, හදිසි නීති රෙගුලාසි මඟින් බලපෑම් සිදුවුණු පුද්ගලයන් හට වන්දි මුදලක් ගෙවීම, එම රෙගුලාසි යටතේ වරදකරුවන් වූ පුද්ගලයින් හට නිසි දඬුවම් පැමිණවීමේ කාර්ය පටිපාටිය සැකසීම යනාදී බලතල ජනාධිපතිවරයාට හිමි වේ.

දොළොස්වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ කැමැත්ත මත සන්නද්ධ හමුදාවන් කැඳවීමේ බලයද ඔහු සතු වේ. දහතුන් වන වගන්තිය ප්‍රකාරව ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින්නන්ගෙන් ඒවා ලබා ගැනීමේ අවසරය රජයට හිමි වේ.

මහජන ආරක්ෂක පනතේ 16වන වගන්තියේ පළමු උප වගන්තිය ප්‍රකාරව මුළු රට තුළම හෝ රට තුළ යම් භූමි ප්‍රදේශයක මහජන සාමය තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයාට හැඟී යන ඕනෑම මොහොතකදී ගැසට් පත්‍රයක් මඟින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් පැනවීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ. එම නියෝගය තුළ සඳහන් කර ඇති කාල පරාසය තුළ අදාළ ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකුට එම ප්‍රදේශයේ ඇති මහා මාර්ග, දුම්රිය මාර්ග, පොදු උයන්, ක්‍රීඩාංගන, පොදු මුහුදු වෙරළ, පොදු පාලම්, පොදු පදික වේදිකා, බෝක්කු ආදී කිසිදු “පොදු” ස්ථානයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි ස්ථානයක රැඳී සිටීමට අවසර නොලැබේ.

එම නියෝගය කඩ කරන ඕනෑම පුද්ගලයකු සාපරාධී වරදක් කළ අයකු ලෙස සැලකෙන ඇති අතර එසේ නියෝගයක් කඩකොට පොලිසිය භාරයට ගැනෙන ඕනෑම පුද්ගලයකු පැය විසි හතරක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කර අදාළ පටිපාටි යටතේ වරදකරු බවට පත් කළ හැකි බව එම වගන්තියේ තෙවන උප වගන්තිය සඳහන් කරයි.

[පද්ම දිසානායක]

මාතෘකා