හිතින් කතා කළ මිනිස් කලාපය...

 ඡායාරූපය:

හිතින් කතා කළ මිනිස් කලාපය...

අපි හැමදාම හවසට එකතුවෙලා පටු පාරේ බෝඩ් එක තියාගෙන කැරම් ගහනවා. කවදාවත් අපිට අපේ ජාතිය මොකක්ද කියන ප්‍රශ්නේ තිබුණේ නෑ... ඉස්සරහ ගෙදර දූ කොටහළු වෙන දවසේ එහේ කවුරුත් හිටියේ නෑ... ඒ

දූගේ අම්මා එනකම් තනියට හිටියේ මම. ඒ පවුලම අද නැතිවෙලා. මේක මහපොළොව උහුලන්නේ නැති වේදනාවක්. අපිට ජාතියක් තිබුණේ නෑ... එහෙම එකේ මේවා ජාතියකට හේත්තු කරන්න එපා.'

ෆර්හානා මිරානියා කඳුළු පුරවාගෙන පවසන්නීය. ඇගේ නිවසට ඉදිරි නිවසෙහි මිහිදන් කරන්නට නියමිත දේහයන් තුනකි. කෙටියෙන්ම කිවහොත් පවුලම මියගොස්ය.

“අලුත් අවුරුද්දට මෙහෙට ගෙනාව කැවිලි පිඟාන හිස්ව යවන්න නරක හින්දා තාමත් අපේ ගෙදර... මොන අපරාධයක්ද වුණේ මේ” ෆර්හානා ඉකි බිඳින්නීය.

වසර තිහ හතළිහක් පටු පාරේ දෙපස ජීවත් වූ මිනිස්සු 'මිනිස්සු' විනා සිංහල, දෙමළ, මුස්ලිම් නොවීය. ඔවුහු අවුරුදුදාට කැවුම්, දීපවාලිදාට කිරිබත්, නෝම්බිදාට වටලප්පම් ආදරයත් සමඟින් හුවමාරු කරගත්හ.

හැමෝටම කියන්නට කතාවක් තිබේ. එහෙත් ඒවාට පෙරවදන් නැත. මහ පොතක් ගෙන ලියන්නට හැදුවත් ඉතිරිවන්නේ නොලියවෙන කම්පිත කතාවන් ගොන්නක් පමණි.

කටුවාපිටිය දේවස්ථානය අවට ගෙයක් ගෙයක් පාසා සුදු කොඩි එසවී තිබේ. උපරිමය වසර සියයක් දක්වා ජීවත්ව ඉන්නට තාවකාලිකව මෙලොවට බට මිනිස්සුන්ට ඒ කාලය නිස්කාන්සුවේ ජීවත් වීමට නොදෙන්නට තරම් මිනිස්සුම සැහැසි වන්නේ කෙසේද?

කටුවාපිටිය ඛේදවාචකයෙන් මියගිය මිනිසුන්ගේ භූමදාන කටයුතු කෙරුණේ ඉහිලිය නොහැකි පාළු සංවේගයක් මැදය. යාන්තමට වැනෙන සුදු කොඩි පවා හිස් අවකාශය මත සංවේගයේ සටහන් තබයි.

මිනිසුන් තිස් පහක් මිහිදන් කරන අතරේ මිනිත්තු තුනක නිහැඬියාවක් පැවැතියේය. මිනිසකු ජීවිතයේ අත්විඳි පාළුවෙන්, භීතියෙන්, සාංකාවෙන් වැඩිමනක්ම බරිත වූ මිනිත්තු තුන ඒ මිනිත්තු තුනය. හිරිවැටුණු පපුවකට හැරපියා ඒ සංවේගය මිනිසකුට උහුලාගත නොහැකිය. ඉකිලෑම් අහස් කුසට දැනුණි. ආයාසයෙන් තෙරපෙන කඳුළු ඇස් කෙවෙනි පුපුරවාලීය.

රට පුරා කඳුළු වෙත්නම් එහි උල්පත් පටන් ගත්තේ කටුවාපිටිය, කොච්චිකඩේ වැනි ස්ථාන මුල් කරගෙනය.

ජීවිත වනසා දමා ස්වර්ගයට හෝ දෙවියන් වෙතට යා හැකි යැයි මුග්ධ සහ ත්‍රස්ත මිථ්‍යාවක් ලේවලට එන්නත් කරගත් අන්තවාදීහු අහිංසකයන්ගේ ජීවිත ආරාමයට බෝම්බ ගැසූහ. ඒ විවර කළ කරාමයකින් නොනැවතී ගලන වතුර සේ කඳුළු ගලන්නට ඉඩහල ඛේදවාචකයකි.

කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ සමිති ලේකම්වරයා වන සිසිර ප්‍රනාන්දු මේ සිදුවීම දා දේවස්ථානයේ සිටියේය. ඔහු සිටි අසුනේ ඔහුට සමීපව සිටි බොහෝ දෙනා දැන් ස්වර්ගයට ගොස් ඇතැයි ඔහු සිතයි.

ප්‍රහාරයෙන් තමන්ගේ බිරිඳගේ හිසට තුවාල විනිද ඒ තුවාල වේදනා දරාගෙන ඔවුහු සෙසු තුවාලකරුවන්ට උපකාර කළහ. තමන්ගේ සමීපතමයන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු ඔවුහු දුටුහ.

'අපිට පිටිපස්සේ පේළියේ හිටිය ගෑනු කෙනෙක් එක පාරටම බිම වැටුණා. එයාව නැගිට්ටවන්න බැලුවම එක පාරටම එයාගේ ඇඟ නිල් පාට වුණා. අපේම අසල්වැසියෝ අපි ඉස්සරහම මැරෙන හැටි දැකලා අපි ගොඩක් කම්පනයට පත් වුණා'

ඔහු පවසයි.

දෙවියන් සිටිතැයි කියන දෙවොල වටා සුදු කොඩිය. අල්තාරය ඉකි බිඳිමිනි. ජේසු ස්වාමිදරුවාගේ උට්ඨානය සමරනු වස් දේවස්ථානයට ගිය මිනිසුන්ගේ සිහිනවලට සිදු වූයේ කුමක්ද?

බෝමු ගසක අතු අග ලෙළදෙන සුදු කොඩිය පාමුලට මීසමේ මාවත පෙනේ. එය සහමුලින්ම පාළු වී ගිය මාවතකි. එතැන හිඳගෙන වෙන් වූවන් සමරන හුදකලා මිනිසෙකි.

ඔහු කිසිවක්ම නොකියා, 'අකුණු ගැසූ හිතින්' බලාගෙන හිඳී.

ලාවන්‍යා ද සිල්වා ජීවත්වන්නේ කොච්චිකඩේ පල්ලිය ආසන්නයේමය. සැමියා රැකියාව කරන්නේ ඕමානයේ ට්‍රක් රථ රියදුරෙක් ලෙසය. ඈ දෙදරු මවකි. ඇයගේ එක් දරුවකු ප්‍රහාරයට බිලි වෙලාය. නස්රියා සහ නුර්මි හාසන් ඇයගේ අසල්වැසියෝය.

'මම වැඩ කරන්නේ කච්චේරියේ. මගේ මාස අටේ දරුවට ලාවන්‍යා කිරි පවා දීලා තියෙනවා. අපි ඒ තරම් මනුස්සකමින් ඉන්නේ. මේ විපත කරපු උන්ට දෙවියන් වහන්සේ සාප කරනවා'

නස්රියා පවසන්නීය.

කටුවාපිටිය අවට ජනතාව ජීවත් වූයේ එකටය. සහයෝගයෙන් එකම පාසලට ගිය විවිධ දරුවන්ට තමාගේ මිතුරා අහිමිව ගොස්ය.

කතෝලික පාසලක ඉගෙනුම ලැබූ මැලේ ජාතිකයකු වන තුවාන් ශකීර් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබිණි.

'මගේ හදවත තුවාල වී තිබේ. උපතින් මැලේ ජාතිකයකු වුවද මගේ පාසල් අවදිය ගෙවා දැමුවේ කතෝලික පාසැලකය. කුරුසියේ ඇණ ගැසූ ජේසුතුමන්ගේ පිළිරුවද, කන්‍යා මරියතුමියගේ ශාන්ත පිළිරුවද පල්ලියේ ගීතිකාද මට අතිශයින් සමීපය. බාල වියේ එවැනි ආදරණීය මතකයන්ද මේ මොහොතේ මගේ දෙනෙතට කඳුළු නංවයි. අමනුස්සකමටද ම්ලේච්ඡත්වයටද විරෝධය දක්වමි. තුවාල වූ හදවතින් විපතට පත් වූ ආදරණීය මිනිසුන් සමඟ සිටගනිමි. ඔවුන්ගේ දුක බෙදා ගනිමි.'

මෙම ප්‍රහාරවල එක් ප්‍රධාන සැලසුම්කරුවකු මහනුවර ප්‍රදේශයේ උපන් අයෙකි. පසුව කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇත. ඔහුගේ බිරිඳගේ සොහොයුරා පවා සසලව හිඳී.

එක් අයකු කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයටත් ඔහුගේ අනෙක් සොහොයුරා ෂැංග්‍රිලා හෝටලයටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබූ පුද්ගලයන් බවට හඳුනාගෙන තිබේ.

"ඔහු අපේ පවුල විනාශ කළා පමණක් නොවෙයි ලොවපුරා සිය ගණනක් පුද්ගලයින්ගේ ජීවිත විනාශ කළා" යැයි ඝාතකයාගේ බිරිඳගේ සොයුරා බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් වෙබ් අඩවියට ප්‍රකාශ කොට තිබේ.

"ඔහු කුමක් සිදුකරන්න යනවාද කියා අප දැනගෙන උන්නේ නැහැ. එහෙම දැනුවත් වීමක් තිබුණා නම් අපි ඒ ගැන පොලිසිය දැනුවත් කරනවා. මේ ප්‍රහාරය ඔහු පමණක් සිදුකළේ නැහැ, ඔහු අපේ අනෙක් සොහොයුරාවත් එයට සම්බන්ධ කරගෙන තිබෙනවා. ඔවුන් පිළිබඳව අපට කනගාටුවක් නැහැ. ඇත්තේ කෝපයක් පමණයි.” කියා ඔහු පවසයි.

කොළඹ කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙක තුළදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කර ඇත්තේ මෙම සොහොයුරන් බවට තොරතුරු හෙළි වී තිබේ.

"මේ සිදුවීමට පෙර ඔහු සිය බිරිඳට කියා තිබෙනවා තමන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා සැම්බියාවට යන බව. ඒ අනුව ඔහුගේ බිරිඳ ඉන්ෂාෆ් අහමඩ්ව ඉකුත් සිකුරාදා ගුවන් තොටුපොළට ගොස් ඇරලවා තිබෙනවා. ඒ පස්වරු 6.50ට පිටත්වීමට තිබෙන බවට සඳහන් කළ ගුවන් යානයට. එහිදී එයා බිරිඳට සමුදීලා තියෙන්නේ වෙනස්ම ආකාරයටයි.

“ඔහු ඇයව තදින් බදාගෙන ඇයගේ බෙල්ල ස්පර්ශ කරමින් සිටියා. ‘ඔයා ශක්තිමත්ව ඉන්න ඕනේ’, එය වෙනස්ම ආකාරයේ සමුගැනීමක්. පසුව මෙම බෝම්බකරු පසුගිය ඉරිදා උදෑසන 7.30ට පමණ සිය බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී ඇයගේ සැපදුක විමසා තිබෙනවා. ඒ ඔහු කොළඹ පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් තුළදී සිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැයකට පමණ පෙරදී. කවුද සිතුවේ ඉන් පැයකට පසුව ඔහු මෙවන් දෙයක් සිදුකරයි කියා" ප්‍රහාරකයාගේ බිරිඳගේ සොයුරා වැඩිදුරටත් කීය.

වෛරයේ බිජුවට වපුරා අස්වැන්න නෙළන්නට පුළුවන් කාටද? එවන් මිනිසා මිනිසෙක්ද?

"මේ වෙලාවෙ ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි ප්‍රකෝපකාරීව ක්‍රියා නොකර ඉවසිලිමත්ව මෙම ශෝකජනක සිද්ධියට මුහුණ දෙන ලෙස. මේ අවස්ථාවේ ජනතාවත් ප්‍රකෝපකාරී වුණොත් ඝාතකයොයි අපියි අතරේ වෙනසක් නැති වෙනවනේ."

මියගිය මිනිසුන්ගේ අවසන් කටයුතු පැවැති ස්ථානයට වැඩම කළ කැලණිය, නාතුඩුව විජයනන්දනාරාමයේ විහාරවාසී පූජ්‍ය හෙනානිගල සිරිපාලංකාර හිමියන් පැවසුවේ එහෙමය.

'පූජාව ඉවර වෙනකොට පුංචි උන් අත්වල එල්ලිලා දුවගෙන එන්නේ අයිස්ක්‍රීම් කන්න බලාගෙන. බැලුම් බෝල ගන්න බලාගෙන. උන්ට තියෙන්නේ පුංචි හීන. පූජාවෙන් පස්සේ මිනිස්සු එළියට එන්නේ ආදරය කරුණාව පුරවගෙන. ඒත් එහෙම මිනිස්සුන්ට බෝම්බ ගහන්න පුළුවන් කාටද?'

අයෙක් කම්පිතව එහෙම සටහන් කොට තිබේ.

තාමත් මැයි නොවානය අද්දර මිනිස්සු තුෂ්නීම්භූතව සිටිති; වෙසක් අබියස තිගැස්සී සිටිති. දැන් කතාව කෙළවර විය යුතුය. මෙවන් විපතක ස්තුති කතාව මෙයින් හමාර විය යුතුය.

[ප්‍රවීණ විජේවර්ධන]

ඡායා [‍තෝමස් පීටර්]

මාතෘකා