ලෝකයේ වටිනාම දේ ඔයා ළඟ

 ඡායාරූපය:

ලෝකයේ වටිනාම දේ ඔයා ළඟ

‘Trust’ එක කියන්නේ සල්ලි බිලියන ගාණක් දීලාවත් ගන්න බැරි දෙයක්. ලෝකයේ වටිනාම දේ මොකක්ද කියලා ඇහුවොත් අපට බය නැතුව කියන්න පුළුවන් ඒ trust එක කියලා. මොකද මිනිස්සුන්ගේ ජීවිතයේ බොහෝ දේවල් තීරණය වන්නේ මේ කියන trust එක උඩ.

අනෙක් හැම දෙයක්ම සල්ලිවලට ගන්න පුළුවන්. මොකද ගොඩාක් අය හිතනවා ආදරේ කියන එක සල්ලිවලට ගන්න බෑ ඒක තමයි වටිනාම දේ කියලා. නෑ එහෙම නෑ. ඒකත් සල්ලිවලට යටයි. විශේෂයෙන් අපි වගේ දූපත් මානසිකත්වයක් තියෙන ඌන සංවර්ධිත ජන සමාජයක් තියෙන රටවල ආදරේ සල්ලිවලට යටයි. ඒක පැහැදිලි වෙනවා ඔය සුපිරි කාර්වල ඉස්සරහ සීට් එකේ ඉන්න ටිකක් සුදු බහුතරයක් ලංකාවේ අර ලස්සනයි කියලා පිළිගන්න ප්‍රමිතියට අයිති Girlsලා වීමෙන්. ඒ නිසා සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. ඕනම Relationship එකක් පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි කෝටි ගණන් සල්ලි තිබුණත් Trust එක නැතිවුණු දවසට සියල්ල බිඳ වැටෙනවා.

කරුමේ කියන්නේ භෞතික දේවල්වලට වහල් වෙන ගොඩක් අය ඉස්සෙල්ලාම නැතිකර ගන්නේ Trust එක. මොකද මේ කියන Trust එක උඩ තමයි ගොඩක් Relationships පවතින්නේ. විවාහයක් වගේ නීතිමය බැඳීමක් නැත්නම් අනෙක් හැම එකක්ම ඔය කියන Trust එක උඩ තමයි තියෙන්නේ. යාළුකම්, හාදකම්, ඇයිහොඳයිකම්, සම්බන්ධකම් මේ හැම දෙයක්ම පවතින්නේ මේ කියන Trust එක උඩ. එක දශමයකින් මේ කියන Trust එක බිඳ වැටුණොත් ආයේ මුළු ජීවිතේටම ඒක මකන්න බැරි කැළලක් වෙනවා.

දැන් ආදරේ කරනකොට අපි ආදරේ කරන කෙනාව පට්ට Trust කරනවා. මේ අතර පට්ට සැකයෙන් ඉන්න අයත් නැත්තේ නෑ.

ඒ වුණාට එහෙම සැකයෙන් ඉන්න අයට වුණත් අවසාන Trust එකක් තියෙනවා, “අරයා එයාව දාලා යන එකක් නෑ.” කියලා වගේ පුංචි හරි Trust එකක්. එහෙම නැත්නම් ආදරේ කරන්නේ නැහැනේ. හැබැයි එහෙම පට්ට Trust කරන කෙනෙකුගේ හිතේ තියෙන විශ්වාසය බිඳගන්නවා කියන්නෙම තමන්ටම පිහියෙන් ඇණගන්නවා වගේ වැඩක්. මොකද කෙනෙක්ගේ විශ්වාසය දිනා ගන්න එකත් ලේසි වැඩක් නෙවෙයිනේ. ඒක උපාධියක් ගන්නවාට වඩා අමාරුයි. උපාධියක් ගන්න නම් තියෙන්නේ විෂය නිර්දේශය පාඩම් කරලා කොහොම හරි මහන්සි වෙලා ගොඩ දාගන්න එක. ඒත් Trust එක කියන එක එහෙම පාඩම් කරලා මහන්සි වෙලා ගොඩ දාගන්න බැරි එකක්. ඒක තව පුද්ගලයෙක්ගේ හිතින්ම එන්න ඕන දෙයක්.

ලංකා ඉතිහාසයේ ඉස්සෙල්ලාම Trust එක කඩකරන්නේ විජය රජතුමා. ඒ නිසා මේක ලාංකේය අපට පාරම්පරිකව එන එකක්. එතනදි වෙන්නේ මෙහෙම. හොර මැරකම්, චණ්ඩිකම් නිසා කොණ්ඩෙ පැත්තක් කපලා දඬුවමක් විදිහට ඉන්දියාවෙන් පිටුවහල් කරන විජය කියන තක්කඩියව දකින කුවේණිට එයා ගැන මුලින්ම Sexual attraction එකක් ඇති වෙනවා. ඊට පස්සේ කුවේණි විජයව Trust කරලා තමන්ගේ රාජ්‍යය පාවලා දෙනවා. ඒ කියන්නේ තමන්ගේ යක්ෂ ගෝත්‍රික සේනාව මරාදාන, පරාජය කරන උපක්‍රම ඔක්කොම විජයට කුවේණි කියලා දෙනවා. ඒ හැම එකක්ම කුවේණි කරන්නේ විජය ගැන Trust කරලා. එයා කවදාවත් තමන්ව අත්හරින එකක් නෑ කියලා හිතලා. හැබැයි අන්තිමට විජය මොකද කළේ? ලක්දිව රාජ්‍යත්වය පිහිටුවන්න යනකොට එයා කරන්නේ තමන්ට මේ තැනට එන්න උදවු කරපු රාජ්‍යත්වය අරගෙන දීපු කුවේණිව එළවලා දාලා මධුරාපුරයෙන් කුමාරිකාවක් ගෙන්න ගන්න එක. එතකොට ඉතිහාසයේ ඉඳලාම අපේ පරම්පරාවේ ආරම්භයේදීම Trust එක කඩලා.

ආදරේ කරන කාලෙදි අදටත් සමහර කුවේණිලා ඉන්නවා Boy friend එක්ක ආදරෙන් ඉන්න අවස්ථා සිහිපත් වෙන්න ආදරය තව වැඩි වෙන්න කියලා වීඩියෝවලට, පින්තූරවලට පෙනී ඉන්න අය. දැන් ස්මාර්ට් ෆෝන්ස් තියෙන නිසා මේක අමාරු දෙයක් නෙවෙයි. හැබැයි ඒ වගේම තක්කඩි විජයලා අදත් ඉන්නවා. ඒ Trust එක කඩලා කෙල්ල අතෑරලා ගියාම ඒවා ප්‍රසිද්ධ කරනවා. එහෙම ගෝත්‍රික පිරිමි තමයි බහුතරයක් ඉන්නේ. ඒ නිසා ඔය Trust එක කියන වචනයත් එක්ක පරිස්සමින් ගනුදෙනු කරන්න වෙනවා.

ජීවිතේට එබෙන හැම එකාම Trust කරන්න ගියොත් අපිට වෙන්නේ අර කුවේණිට වුණු එක. හැබැයි Trust කරන්න කලින් ගොඩාක් දුර හිතන්න වෙනවා. එහෙම හිතලා Trust කළාමත් වරදින තැන් තියෙනවා. පරදින තැන් තියෙනවා. හයට හතරට ගණන් කරන්න බෑ වගේ ඉඳගෙන තක්කඩිකම් කරන කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ අවුරුද්දේ තවත් අනෙකාව Trust කරන්නේ පරිස්සමින්. ඒ වගේම කාගේ හරි Trust එක දිනාගෙන තියෙනවා නම් ඔයා ඒක පරිස්සම් කරගන්න. මොකද Trust එක දිනාගන්න එක කෝටි ගාණක් සල්ලි දීලත් කරගන්න බැරි නිසා.

මාතෘකා