Tradition is not the worship of ashes, but the preservation of fire.

 ඡායාරූපය:

Tradition is not the worship of ashes, but the preservation of fire.

මේ අලුත් අවුරුද්දෙ අහවල් පිටි කළ පොල්කිරිවලින් කිරිබත් හදන්න, අවුරුදු කෑම මේසෙට අහවල් බේකරියෙන් කස්ටමයිස්ඩ් අවුරුදු කේක් එකක්, අවුරුදු කෑමට හරියන්න අපෙන් අවුරුදු බීම, අහවල් භාණ්ඩවලට සීයට පනහක් දක්වා වට්ටම් සහිත අවුරුදු දීමනා..

මාර්තු මැද වෙද්දි ටීවී එකෙන් රේඩියෝ එකෙන් හාහාපුරා කියල අවුරුදු එන්න පටන් ගන්නව. අවුරුදු කැම්පේන්, අවුරුදු ප්‍රමෝෂන් එක්ක මීඩියාවලින් පුනපුනා මිනිස්සුන්ට ෆෙස්ටිව් මූඩ් එක ආරෝපණය කරනව. සාමන්‍යයෙන් අවුරුදු කාලෙට පේමන්ට් එකෙන් ගතහැකි කොකිස් අච්චුවක් විකුණන්නත් දැන් ටීවී කමර්ෂල් එකක් කරනව. ළඟ ළඟම අවුරුදු එනව කියල මුළු රටම කඩිගුලක් වගේ ඇවිස්සෙනව. අවුරුද්දෙ මුල් මාස තුනේ එතෙක් තිබුණ ස්ලෝ ගතිය ඇරිල සම්පූර්ණ වෙනස් චැප්ටර් එකක් ඕපන් වෙනව.

සති දෙක තුනක නිවාඩුවක් අරං ගම්වල දුවන්න බලන් ඉන්න කොළඹ ගැමියො ගමටම තෑගි ගන්න ෂොපිං යනව. ගමේ නැති කොළඹ ඇති බඩුමුට්ටු ගන්න සුපර්මාර්කට් ගානෙ රැස් කනව. මේ කාලෙට සුපර්මාර්කට්වල රෙදි හැට්ට සරං බැනියම් ඇඳල ඉන්න සේවක සේවිකාවන්ගෙ ඇත්ත ගැමි මූණු එළියට පේන්න ගන්නව. කොළඹ නෑයො අවුරුදු අරං යුතුකං ඉෂ්ට කරන්න එනකන් ගමේ නෑයො මඟ බලන් ඉන්නව. හදිස්සියෙවත් අවුරුද්දට නෑගම් ආවෙ නැත්තං, අලුත් අවුරුද්දෙ පරණ තරහ මරහ අමතක කරල අලුත් තරහ මරහ ඇති කරගන්න පොටක් පෑදෙනව. ඉතිං කොළඹ රස්සාවෙන් හම්බෙන අප්‍රේල් පඩියයි අවුරුදු බෝනස් එකයි ඔක්කොම වාෂ්ප වෙනකං කොළඹ ගැමියො කදමලු බැඳගෙන ගමේ යනව. කොළඹ පාළු වෙනව.

අවුරුද්දට ඔන්න මෙන්න කියල තියෙද්දි දුම්රිය දෙපාර්තමේන්තුව, බස් සංගම් ඔක්කොටම ස්ට්‍රයික් කරන්න මතක් වෙනව. ගම්වල යන්න ලෑස්ති වෙලා මලු පොට්ටනි වට කරගෙන අතින් කරින් ළමයි උස්සගෙන පරක්කු වුණ කෝච්චි එනකං කොළඹ කොටුව ස්ටේෂන් එකේ එක එක ප්ලැට්ෆෝම්වලට වෙලා මඟ බලාගෙන ඉන්න අම්මල තාත්තලගෙ ඇස්වල අවිනිශ්චිතකම නලියනව. බස් නෑ කියල දැනගත්තම සෙනඟ පිරිල ඉතිරෙන කොටුව බස් නැවතුම්පළ ගලක් වැදුණ දෙබරයක් වගේ වෙනව.

ටීවී චැනල් රට වටේ පවත්වන අවුරුදු උත්සව දිහා බලන් ඉද්දි නොනගතේ ගෙවෙනව. අවුරුදු කාලෙට බිස්නස් සරු වුණාම ජන ගී කණ්ඩායම් තෙල් ඉහිරෙන හිනා පානව. ටීක් ටීක් ගාල එන එස්.එම්.එස්. එකම දේ එක එක විදිහට ලියල තියනව. සාමය, සතුට, සෞභාග්‍යය පිරි... කියවන්නෙත් නැතුව, ආපු එක මැසේජ් එකක් කන්ටැක් ලිස්ට් එකටම ෆෝවඩ් කරනව. සුපර්මාර්කට් එකෙන් ගෙනත් එවෙලෙ කඩපු පැකට් එකෙන් කැවුම් කොකිස් අතිරස කෑම මේසෙට එනව. අපි නං ඔය මනස්ගාත පිළිගන්නෙ නෑ කියල සුමනදාස අබේගුණවර්ධනට මංජුල පීරිස්ට හිනා වෙන අය නැකත නොවරද්දා නූලට වෙලාවට වැඩ අල්ලනව.

හැම අවුරුද්දෙම එකම සින්දු නැවත නැවත ඇහෙනව. එකම ටීවී ප්‍රෝගෑම්ස් නැවත නැවත යනව. එකම තෑගි හුවමාරු වෙනව. එකම ඇක්ටිවිටීස් ටිකක් නැවත නැවත වෙනව. ගෙවෙන හැම අවුරුද්දකම එකම දේ එකම විදිහට එකම තාලෙට සිද්ද වීමට හේතුව, පරණ දේ නොනසා රැකගැනීමේ ඕනෑකම නම්, අපි මේ කරන්නේ පරණ දේ රැකීම ද කියල නැවතිල පොඩ්ඩක් හිතල බලන්න වෙනව.

සම්ප්‍රදාය කියන්නෙ ගින්නෙන් දැවිල ඉතිරි වුණ අළුවලට වන්දනාමාන කර කර ඉඳීම නෙමෙයි, ගින්න ආරක්ෂා කරගැනීමයි කියල කිව්වෙ 19 වැනි සියවසේ සංගීතඥ ඔස්ට්‍රියානු ජාතික ගුස්ටාව් මාහ්ලර්. මේ වෙද්දි 21 වැනි සියවසේ ඉන්න අපි, හුඟක් කාලෙකට කලින් ගින්න නිවා දාල, තාමත් අළු ගොඩ මේන්ටේන් කර කර ඉන්නව.

මාතෘකා