පාට පාට හාට්වලට වඩා ඇස්වල ගින්දර බලවත්

 ඡායාරූපය:

පාට පාට හාට්වලට වඩා ඇස්වල ගින්දර බලවත්

විමල් කැටිපෙආරච්චි සතිපතා ‘ඉති’ වෙත ලියයි

අපට තව තියෙන්නෙ පැය කීපයයි.. අපි දෙන්න මේ හිනාවෙවී පැණි කන්නෙ මරණ තුනක් මැද.. සමහර විට පැයක්වත් යන්න කලින් උන් එන්න පුළුවන්.. ඊට කලින් මේ කතාවෙ වැදගත්ම ටික මට ඔයාට කියන්න ඕන.. ඔය රොමෑන්ටික් කෑලි බෑලි මම නැති දවසක වුණත් ඔයාට වෙන කාගෙන්හරි අහගන්න පුළුවන්.. හැබැයි මම විතරක් දන්න දේවල් තියෙනව.. ඒ නිසා, මම ඒ ටිකට මුල් තැන දෙන්නං

සලිත් එම ප්‍රශ්නය අසන්නට ගොස් ගිලගත්තේය. ඒ වෙනුවට වෙන දෙයක් කීවේය. එහෙත් ඒ බොරුවට නොවේ.

``අම්මයි තාත්තයි මුණගැහිච්ච හැටි ගැන කිව්වම, මට අපි දෙන්න මුණගැහිච්ච හැටි මතක් වුණා..``

සලිත්ගේ බසට සුලෝචනා සිනාසුණාය. එහෙත් ඒ ආදරයෙනි.

``බුක් ලෝන්ච් එකෙන් හම්බවුණාට පස්සෙ, සලිත් ප්‍රියශාන්ත එගොඩවත්ත මාව ෆලෝ කරගෙන මේ ෆ්ලැට් එකට ආව..``

``ඉතාම ඉරණම් සහගත විදිහට, මෙන්න ඊට දවස් දෙකතුනකට පස්සෙ සුලෝචනා ඒන්ජල් පෙරේරාගෙන් මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එනවා..``

``මම ඔයාගෙ රසිකාවියක් කියල ඔයා දැනගෙන හිටියෙ නෑනේ..``

``ඔයාගෙ ප්‍රොෆයිල් එක දැක්කම මාව උඩ ගියා.. මම පස්සෙන් ගිය ගෑනි, මෙන්න සයිබර් අවකාශයෙන් පාවෙලා ඇවිල්ල මගේ ළඟටම..``

``මතකද මුලින්ම කතාකරපු දවස..?`` සුලෝචනා ආදරයෙන් ඇසුවාය.

``මතකයි.. හොඳට මතකයි.. ඊටත් වඩා මම ආසම දේ තමයි ෆේස්බුක් ඉන්බොක්ස් එකෙන් අපි දෙන්න වචනයක්වත් චැට් නොකර ලයිව් ඩ්‍රැමටික් නිමේෂයක මුණගැහිච්ච එක..``

``අන්න අන්න ගතානුගතික මිනිහ පැන්නා.. අන්තර්ජාල යුගය එන්න කලින් තිබ්බ ලියුම් ලියන යුගයට පෙම් බඳින පෙම්වතා..``

සුලෝචනාගේ විහිළුවට සලිත් කෝප නොගෙන සිනාසුණේය.

``නෑ ගෑනියේ.. මේ අහපන්..``

``කියපන් !``

``වර්චුවල් ස්පේස් එකේ මුළු මුළු ගානෙ හොරෙන් හොරෙන් පාස් කරන පාට පාට හාට්වලට වැඩිය ඇස්වලට ඇස් මුණගැහිල ගින්දර පත්තු වෙනකොට ඒක පට්ට බලවත්..``

``දන්නව මිනිහෝ.. පුංචි තියටර් එකේ දොර ගාවදි අහේතුකව තමුසෙ පිටිපස්ස හැරිල බලනකොට මාව සීතල වුණේ ඒ නිසා තමයි..``

``ඒ සෙනඟ පොකුර අස්සෙන් ඇවිල්ලා මාව මතකද කියල අහනකොට හදවත උණුසුම් වුණෙත් ඒ නිසා තමයි..``

``බොරු !``

``ඇත්ත ! ඒ නිසා තමයි, ඩ්‍රාමා එක බලන්න ඉඳගෙන, තර්ඩ් බෙල් එක ගහන්න කළින් ඩාන් ගාල පළවෙනි මැසේජ් එක එව්වේ.. මම බෙල්ල කරකවකව බැලුව සිහිනයකින් වගේ පාවෙලා ආව සුරංගනාවි කෝ කියලා.. තව පොඩ්ඩෙන් බෙල්ලෙ පොට යනව.. ``

``සලිත් ප්‍රියශාන්ත එගොඩවත්තගෙන් ඔන්න ඒ වෙලාවෙ මට ඉන්බොක්ස් මැසේජ් එකක් ආව.. කෝ කොහෙද කියල..``

``සුලෝචනා ඒන්ජල් පෙරේරා මට රිප්ලයි කරනව මේ මෙතන කියල``

``කෝ කොහෙද?``

``මේ මෙතන``

``කවියක් වගේ නේ?``

``වගේ නෙමෙයි සු.. ඒක තනිකරම කවියක්.. අපේ ආදරේ එහෙම පිටින්ම කවියක්..``

``ඒත් මට හිතෙනව අපේ ආදරේ ගැඹුරු යටිපෙළක් තියෙන සරල ගීයක් වගේ කියල.. හොඳට අහන්න යටින් යන මියුසික් එක.. ඒක මාරයි සලිත්..``

``ඔව්.. අර අපි කතාබහ කරලා ආදරෙයි නොකිය ගෙව්ව පීරියඩ් එක මතකද? මම මාර ආසයි ඒකට..``

``මාත් ආසයි.. හරි හරි ඒක නෙමෙයි.. ඉතින් කියන්න..`

``මොනවද ?``

``මුලින්ම ආදරෙයි කියල තියෙන්නෙ මාරි තෙරේසද නැත්තං ප්‍රේම්නාත්ද?``

``මේ.. ඔයා සීජීආර් එකේ වැඩකරාද ඉස්සර?`` සලිත් හදිසියේ මෙන් ඇසුවේය.

``නෑ.. ඇයි? මාව කෝච්චියක් වගේ පේනවද?`` සුලෝචනා විමසිලිමත් දෑසින් ඇසුවාය.

``එක පීල්ලක ඇවිත් වෙන පීල්ලකට වැටෙනකොට, ආපහු ටක් ගාල හරි පීල්ලට කතාව ගන්න ඔයාට පුළුවන්..``

``කතාව විතරක් නෙමෙයි.. ඕන දෙයක් හරි පීල්ලට ගන්න මට පුළුවන්..`` සුලෝචනා ඇසක් ඉඟි මැරුවාය. සොඳුරු නිහඬතාවකට තත්පර කීපයක් වෙන් විය. සලිත් ඇගේ නිකට මත ඇඟිල්ලක් එහා මෙහා කළේය.

``ඒයි.. පොඩ්ඩක් ඉන්නව.. මේ ටික කියල ඉවර වෙනකම්..``

``අනේ අපිට නං කිසි හදිස්සියක් නෑ.. හරි එහෙනං කතාව කියන්න විනීත මහත්මයා..``

``එහෙනං අහගන්න සුවිනීත ලාලනී.. ඊට පස්සේ.. වැඩකරන කොල්ලෙක් එක්ක එකතු වෙලා කන්නාඩි මේසෙ ලොරි බාගෙට පටවපු ප්‍රේම්නාත් මාරි තෙරේසවත් ඉස්සරහින් නග්ගගෙන මාරිලගෙ ගෙදර යනවා..``

``වාව්.. ක්ලැසික් සීන් එකක් ඒක? එතකොට කෙල්ලගෙ අම්මා?``

``එයාටත් හිතාගන්න බෑ මොකද්ද මේ වුණේ කියල.. අම්මා ආව ගමන් කෙල්ල කියනව අම්මෙ මං කන්නාඩි මේසයක් ගත්තා, මම මේක ඉක්මනට ගෙදරට දාල එන්නං කියල.. අපේ ආච්චි අම්මටත් එගොඩවත්ත මුදලාලිගෙ පුතාව දැක්ක ගමන් හිතන්නැති බෑන පොඩ්ඩ කරගන්න තිබ්බනං හොඳයි කියල.. මේ ඔක්කොම වෙන්නෙ රෑ අටට විතර.. පාර දෙපැත්තෙ මංගල්ලෙට දාපු බල්බ් වැල්.. ඒ මැද්දෙන් යන ලොරි බාගයක්.. පිටිපස්සේ පටවපු කන්නාඩි මේසෙ.. ඒකෙන් පේන ගෝලයගෙ මූණ.. පොඩි මුදලාලිගෙ හිත දැනගෙන ඒ මූණෙ ඇඳෙන හිනාව.. ඉස්සරහ සීට් එකේ වම් පැත්තෙ කෝල වෙවී යන මාරි තෙරේසා.. ස්ටියරින් වීල් එක, එක අතකින් අල්ලගෙන අනෙක් අතින් ගියර් දාන ගමන් මාරිගෙ අත අල්ලනවද නැද්ද කියල දෙගිඩියාවෙන් වම් පැත්ත බල බල යන ප්‍රේම්නාත්.. කොහොමද ඒක?``

``පිස්සු හැදෙනව.. ඊට පස්සෙ?``

සුලෝචනා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙනු වෙනුවට සලිත් යමක් කල්පනා කරන්නට පටන් ගත්තේය. ඒ කල්පනාවෙන් මෙතෙක් වේලා පිබිදී තිබූ සලිත්ගේ මුහුණ මඳක් වෙනස් විය.

``පොඩ්ඩක් ඉන්න.. ඇත්තටම පීල්ල පැන්නා.. අපි කියාගෙන ආවෙ කළු ජූලියෙ කතන්දරයක්නේ?`` හදිසියේ මතක් වූවාක් මෙන් සලිත් කීවේය.

``ඔව් ඒක ඇත්ත.. ඒත් මේ ලව්ස්ටෝරි එක සෑහෙන ඉන්ට්‍රස්ට්..``

සලිත් සුලෝචනාගේ මුහුණට එබුණේය.

``සුලෝචනා.. මට ඔයා ලව්වා ලියවන්න ඕන ලව්ස්ටෝරි එකක් නෙමෙයි..``

``ඇයි නැත්තේ? ඒ මුළු කතාවම මිනිස් ආදරයක් ගැන කතාවක්.. මිනිස්සු මිනිස්සුන්ට ආදරේ කරන නොකරන එක ගැන කතාවක්.. ඔයා කොහොමද කියන්නෙ ඒක ලව්ස්ටෝරි එකක් නෙමෙයි කියල..``

``නෑ ඒක වෙනස්..``

``මේ මිස්ට එගොඩවත්ත.. මේ පොතේ කර්තෘ මම.. ඔයා තොරතුරු සම්පාදක විතරයි.. කරුණාකරලා ඉතිහාසය එඩිට් කරන්න නං ලෑස්ති වෙන්න එපා..``

සුලෝචනා සත්‍ය නොරිස්සුමක් ව්‍යාජ උපහාසයක් සමග මුසු කර, මඳක් හඬ නංවා කීවාය. රෙකෝඩරය පවා මොහොතකට වික්ෂිප්ත විය. ඈත පාරක කොහේදෝ තැනක සිට වාහනයක තියුණු තිරිංග ශබ්දයක් ඇසිණි. ඉන් අනතුරුව සලිත් කතා කළේය.

``ඉතිහාසය කියන්නෙම සත්‍යයේ එඩිටඩ් වර්ෂන් එකක් කියල ඔයාම කිව්ව නේද ටිකකට කලින්..``

``මම මේ වෙලාවෙ කතාකරන්නෙ තොරතුරු දැනගැනීමේ අයිතිය මත ඉඳන්..``

``ගොඩාක් අය ඉතිහාසය ලිව්වෙ ඒ අයිතිය උඩ ඉඳගෙන තමයි නංගි..``

සලිත් සුලෝචනාට `නංගි` යැයි අමතන්නේ සෝපාහාසයෙනි. ස්වාර්ථය තර්කය සමග එක්වූ අවස්ථාවල ඔහු එසේ කරයි. එවැනි සෑම මොහොතක ම සමාන ප්‍රතික්‍රියාවකට භාජනය වීමට සිදුවන බව ඔහු ද දනියි.

``ඉතින් ඔයා මේ කරන්න හදන්නෙත් ඒකමනෙ අයියා..?``

``නෑ.. මම මේ කරන්න හදන්නෙ ඒක නෙමෙයි.. ඉතිහාසය එඩිට් කරන්න මට ඕන නෑ.. මම මේ හදන්නෙ කාලය කළමනාකරණය කරන්න.. කරුණාකරලා මෙන්න මේ ටික තේරුම් ගන්න.. අපට තව තියෙන්නෙ පැය කීපයයි.. අපි දෙන්න මේ හිනාවෙවී පැණි කන්නෙ මරණ තුනක් මැද.. සමහරවිට පැයක්වත් යන්න කලින් උන් එන්න පුළුවන්.. ඊට කලින් මේ කතාවෙ වැදගත්ම ටික මට ඔයාට කියන්න ඕන.. ඔය රොමෑන්ටික් කෑලි බෑලි මම නැති දවසක වුණත් ඔයාට වෙන කාගෙන්හරි අහගන්න පුළුවන්.. හැබැයි මම විතරක් දන්න දේවල් තියෙනව.. ඒ නිසා මම ඒ ටිකට මුල් තැන දෙන්නං.. පීල්ල පැන්නොත් මතක් කරන්න මැණික..`` එසේ කී සලිත් දෑස සිහින් කර ස්වරය වෙනස් කළේය. ``අර ආදර කතා මේ කතාවට අත්‍යවශ්‍යයි කියල ඔබට සිතෙනවානම් ප්‍රිය කතුවරිය, ඔව් ඔබ එසේ කරන්න. එහෙත් මේ කුඩා කාල පරාසය මට දෙන්න..``

සලිත්, සුලෝචනාගේ එකඟතාව පැහැර ගත්තේය. ඉනික්බිති ඉතිරිය කියන්නට පටන් ගත්තේය.

``එදා දවසෙත් අම්මා සාමාන්‍ය විදිහට හිටපු හින්දා, අම්මගෙ නෑදෑයොත් අහල පහළ හිටපු හින්දා, තාත්තා මීගමුවෙ ඉඳන් සී ඩී වන් ටූ ෆයිව් බයික් එකේ එදාත් මොරටුවෙ සාප්පුවට ගිහින්.. බැන්දට පස්සෙ පදිංචිය මීගමුවෙ වුණාට, සීයා කියනව තාත්තට සාප්පුවට එන්න කියල.. ඒ වෙනකොට රටේ තත්ත්වෙ හොඳ නෑ.. ඒත් තාත්තා යනවා.. හවස් වෙද්දි ගින්දර ඇවිළෙන්න පටන් ගන්නවා.. ඊට පස්සෙ තමයි කට්ටිය වැල්ලවත්තට බහින්නේ.. ජාතිය බේරගන්න.. මම කොච්චර කාලකන්නියෙක්ද? මම මේ ලෝකෙට එනකොට.. මගේ තාත්තා දෙමළ කඩ කඩනවා.. සිංහල මම මගේ පළවෙනි හුස්ම ගන්න හදන වෙලාවෙ මගේ තාත්තා අතින් දෙමළ මිනිස්සු හුස්ම ගත්ත එක නතර වුණේ නැහැයි කියල කියන්න මම දන්නෙ නෑ.. මම මොකෙද්ද සු.. මම මොකෙද්ද ?``

එසේ කී සලිත් සුලෝචනාගේ උකුල මත හිස හොවාගෙන ඉකි බිඳින්නට පටන් ගත්තේය.

``අඬන්න එපා සලිත්.. ඒක ඔයාගෙ වැරද්දක් නෙමෙයිනේ..``

``නෑ මම අඬන්නෙ ඒකට නෙමෙයි..`` සලිත් හිස හොවාගෙ‍ෙම කීවේය.

``එහෙනං ?``

``තාත්තගෙන් වෙච්ච වැරැද්ද මගේ අතිනුත් වෙච්ච නිසා..!``

``ඒ කිව්වෙෙ?``

 

(මතු සම්බන්ධයි)

මාතෘකා